අජිත් ප්‍රසන්නට ඇප


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයෙහි විභාගවන නඩුවක සාක්කිකරුවන්ට සහ වින්දිතයින්ට බලපෑම් කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ පහක ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කර ඇති අතර ඔහුට එරෙහිව අධි චෝදනා කඩිනමින් ගොනු කිරීමට කටයුතු කරන බැවින් , සැකකාර අජිත් ප්‍රසන්න මහතාට ඇප නියම කිරීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා කළ දැනුම් දීම සහ ඉදිරිපත් වූ වෙනත් කරුණු සලකා බලමින් මෙම නියෝගය ලබා දෙන ලදී.

සැකකාර අජිත් ප්‍රසන්න මහතා  සෑම මාසයකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු යැයි ද නියෝග කෙරිණි.

එසේම සැකකාර අජිත් ප්‍රසන්න  මහතා විසින් ස්වේච්ඡාවෙන්ම  ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයෙහි සදහන් පරිදි අධිකරණයෙහි විභාගය වන නඩු හෝ විනිසුරුවරුන් සම්බන්ධව, සාක්කිකරුවන් සම්බන්ධව මාධ්‍ය හමුවෙහි මින් ඉදිරියට කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටින ලෙසද ඇප කොන්දේසියක් ලෙස නියම කෙරිණි. 

රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින තමාව ඇප මත මුදා හරින්නැයි ඉල්ලා අජිත්   ප්‍රසන්න මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මින්මතුවට සාක්ෂිරුවන්ට බලපෑම් සිදුවෙන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හරහා නිකුත් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින්  අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.

ඊට අමතරව තම සේවාදායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම යන කරුණු සුවිශේෂ කරුණු සේ සලකා ඔහු ඇප මත මුදාහරින නියෝගයක් නිකුත්කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාවය පළකර සිටියේය.ඒ අනුව අභියාචනාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

ඉකුත් ජනවාරි මස කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කිරීම තුළින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා 2020 ජනවාරි 24 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.එතැන් පටන් වසරකට ආසන්න කාලයක් ඔහු රිමාන්ඩ් බාරයේ සිටියේය.