අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොස් එහි විශේෂ නිරීක්ෂණයක යෙදුණේය.
කොටුව අධිකරණයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමත් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමත් මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
රටේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථාන රැසකට අයත් බල ප‍්‍රදේශයට පිහිටි කොටුව අධිකරණයේ භෞතික අඩුපාඩු රැසක් පවතින බව තමන් හොඳින්ම දන්නා බවත්, ඒවාට ඉතා ඉක්මනින් විසඳුම් ලබාදීමට තමන් පොරොන්දු වන බවත් නීතියේ පිහිට පතා පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නව තාක්ෂණය සමගින් මෙම අධිකරණයටත් ලබාදීමට තමන් කැප වන බවත් අගවිනිසුරුවරයා මෙහිදී කීහ.
කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාගේ ආරාධනය පරිදි අධිකරණ සේවා කොමිසමේ ලේකම් සිසිර රත්නායක, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ, මහාධිකරණ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ, කොළඹ අලූත්කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය ඇතුළු විනිසුරුවන්ද නීතිඥවරු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

