අගමැතිගේ ප්‍ර‍කාශයට අප්‍ර‍සාදය


රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදයට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිප දෙනකු අවිචාරවත් ලෙස විවේචනයට ලක්කලැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අප්‍ර‍සාදය පළ කරයි. මාධ්‍ය ආයතන සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම් ඊට ප්‍ර‍තිකර්ම යොදා ගැනීමේ ක්‍ර‍මයක් ඇතැයි ද අගමැති එයින් බැහැරවීම කණගාටුවට කරුණක් යැයි ද එම නිවේදනයේ දැක්වේ. හෝමාගම හා ඇඹිලිපිටි සිද්ධි මත මාධ්‍යවේදීන් නිර්දය විවේචනයට ලක්කිරීම අගමැතිවරයකුට තරම් නොවන බවත් පුවත්පත්වල කතුවැකි සඳහා තෝරාගත යුත්තේ කුමන මාතෘකා දැයි කිසිවකුටත් බලපෑම් කළ නොහැකි බව ද මෙම නිවේදනය කියයි. මේ අතර වලව මාධ්‍යවේදී සංවිධානය ද අගමැතිගේ ප්‍ර‍කාශය අප්‍ර‍සාදයට ලක්කරයි.