අගමැතිගේ ඉල්ලීමට එරෙහි පෙත්සම විසිවෙයි


අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු කිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේ කිරීමට තීරණය කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගැනීමෙන් පසුවය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සිය මූලික විරෝධතාවය ඉදිරිපත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වගන්තිය සමඟ කියැවෙන පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 3 වැනි වගන්තිය අනුව මෙම පෙත්සම පවත්වාගෙන යානොහැකි බවත් , වගඋත්තරකාර අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු පරිපාලන හෝ විධායක ක්‍රියාවක් කඩකර නොමැති බවත්ය. එම කරුණ පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.

මෙම පෙත්සම ප්‍රියසාද් ඩෙප් , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.