අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි - පක්ෂව ඡන්ද 123 - 0


 


පාර්ලිමේන්තුවේ සභාවාරය හෙට පෙරවරු 10.30 තෙක් කල් තැබීය.


අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට පක්ෂව  ඡන්ද  123ක් ලැබිණි. විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 123කින් සම්මත කළ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

 


 අගමැති වැය ශීර්ෂය  කපා හැරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඉලෙට්‍රෝනික ක්‍රමයට ඡන්ද විමසීම ඇරැඹෙයි


රාජිත සේනාරත්න

කවුද හරි කවුද වැරදි කියන දේ නෙමෙයි මේ වෙලාවේ කල්පනා කළ යුත්තේ. කුමක්ද හරි කියන එකයි අපි කල්පනා කළ යුත්තේ. අපේ අරගලය ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගිහින් තිබෙනවා. ඉදිරියේ හැම දවසක්ම අපේ ජයග්‍රණයේත් ජයග්‍රහණය අත්වෙන දවසක්. 
 
අනිත් හැමෝම වර්ජනය කරනකොට තනිපංගලමේ ඇවිත් කියනවා නම් උඹලාගේ අයිතිය රකින්න උදව් කරනවා කියලා. මං එය පිළිගන්නවා. 
 
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ඉෂ්ඨ දේවතාවා කියලා කතානායකතුමනි, ඔබතුමාගේ නම ඉතිහාසයේ ලියැවෙනවා.  විජේදාස මහතා යෝජනා කළ ඉල්ලීම ජනාධිපති සමඟ කතා කරලා ජනාධිපතිතුමා ලෑස්තිනම් අපි ලෑස්තියි සාමයෙන් බේරා ගන්න. ජනාධිපතිතුමා ඊට එකඟ නැතිනම් අපි ලෑස්තියි ජයග්‍රහණය වෙනකම් අරගල කරන්න.

 


අතුරලියේ රතන හිමි

පාර්ලිමේන්තුවෙත් රටෙත් යම් ව්‍යාකූලත්වයක් තිබෙන අවස්ථාවක මට කතා කරන්න දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පසුගිය රජය පරාජය කරන්න මා කළ දෑ ගැන ගරුත්වයක් ඇතැයි හිතනවා. එජාපය සමඟ එකතු වෙලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න අපි ලොකු කැපකිරීමක් කළා.  එදා පහුගිය ආණ්ඩු කාලයේ මුළු කොළඹම කැසිනෝපුරයක් කරන්න යෝජනාවක් ආපු වෙලාවේ ආණ්ඩුවේ ඉඳන් ඊට විරුද්ධව ඡන්දය දුන්නේ මම විතරයි. අදත් මම මගේ හෘද සාක්කිය රට වෙනුවෙන් ප්‍රකාශ කරනවා.
 
මේ ඇතිවී ඇති ව්‍යාකූලත්වය වෙනුවෙන් ජනාධිපතිට බැන වැදීමෙන් විසඳා ගන්න බෑ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර සමමිතිකත්වයක් නැති තැන ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනවා.  එදා 2004දි පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ විධායක ජනාධිපතිට බලතල අනුවයි. ඊට පෙර ඒ බලය අයින් කරන්න යෝජනාවක් ආපුවම අධිකරණයට ගිය විට ජනමත විචාරණයක් නැතිව එම බලය අයින් කරන්න බෑ කියා තින්දුවක් ආවා. 
 
ඡන්ද ක්‍රමය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය අපි දැක්කා. 2004දි අපි පාර්ලිමේන්තුවට එනකොට මේ රට ත්‍රස්තවාදයෙන් වෙලී ගිය රටක්. එදා ආණ්ඩුවට බහුතරයක් තිබ්බේ නෑ. අපි දිවුරුම් දෙද්දි අපේ මන්ත්‍රීවරුන්ට පහරකෑමට ලක් වුණා. අපි විශාල බලයක් හදලා ත්‍රස්තවාදය පරාජය කරන්න ඒ ආණ්ඩුවට සහාය දුන්නා. 
 
දැන් මේ ව්‍යාකූලත්වය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. පළමුවෙන්ම අපි අත්සන් කළා සිංගප්පූරු ගිවිසුම. එය වෙළඳ සංගම් එක්ක කතා කරලා කළ යුතුව තිබුණා. දේශිය සංගම් රැසක් එම ගිවිසුමට විරුද්ධ වුණා. මමත් අගමැතිතුමා හමුවෙලා කිව්වා අපි මුලින්ම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදමු කියලා. අපි විධිමත් සාකච්ඡාවකින් එවැනි ප්‍රතිපත්තියක් සකස් කළේ නෑ. සිංගප්පූරු අපද්‍රව්‍ය පවා ලංකාවට ගෙනත් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන්වලට අවසර දුන්නා. මේ තීරණය ගත්තට පස්සේ චීනෙදි මොකද වුණේ? ඒ තීරණයට චීනය එරෙහි වුණා. 
 
ජීවමය දේවල් තැනින් තැනට ගෙනියද්දි ඇතිවන ප්‍රශ්න ගැන බරපතල විදියේ නීති සම්මත වෙන තත්ත්වයක තියෙන්නේ. පරිස නීති ශක්තිමත් නෑ. පරිසර නීතිය අලුත් පරිසර නීති එක්ක සම්මත කළ යුතුව තිබුණා. රජයේ ඉඩම් පිළිබඳව ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. වතු කම්කරුවන් අද වහල් සේවයේ ඉන්නේ.  කඳුකරයේ තේ ඉඩම් විකුණන්න එපා කියලා මම යෝජනාවක් කළා. විධායක ජනාධිපතිතුමා මේවයෙදි ඔහුගේ බලය පාවිච්චි කළේ නෑ. හම්බන්තොට වරාය ගැන  කතා කළා. හම්බන්තොට වරාය අපට අහිමි වුණා. ඒ නිසා අපට අවශ්‍ය වුණේ මේ තත්ත්වය නතර කරන්නයි. 
 

 


බිමල් රත්නායක

හිටපු ජනාධිපතිවරයකු ලෙස දැන දැනයි මේ නීති විරෝධී දේ කරන්නේ. ඔක්තෝබර 26 සිට අද දක්වා රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා. අද සිට නීති විරෝධී අගමැතිගේ සහ ඇමැතිවරුන්ගේ මුදල් කප්පාදු කරන්න අපි සහාය දෙනවා. මේවා ශ්‍රීලනිපයේ හෝ පොදුජන පෙරමුණේ තනතුරු නෙමෙයි. මේවා මේ රටේ තනතුරු. මේ රටේ තනතුරු තමයි මන්ත්‍රී කණ්ඩායමක් දැන දැන අවභාවිතා කරන්නේ.

දැන දැන වැරදි කරන එක භයානකයි. මේ තක්කඩි ආණ්ඩුව මෙය අල්ලන් ඉන්නේ කිසිම බලයකින් නෙමෙයි. අපි එදා ඉඳන් කිව්වා මෙය අපි පරද්දන බව. මෙය ව්‍යවස්ථාදායකයේ පැරදිලා තිබෙනවා. ලෝකයේ රටවල්වල පරාජය වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ මිත්‍රශීලී රට ස්වාසිලන්තයත් මෙය පිළිඅරගෙන නෑ. මාලදිවයිනවත් පිළිඅරගෙන නෑ. අධිකරණය තුලත් යම් තරමක් පැරදිලා තිබෙනවා. ජනතාව අතරත් පැරදිලා තිබෙනවා.  අද මේ ඇමැති ධුර දරන්නේ මහින්දලා හදපු මෛත්‍රීපාල සිරිසේන එක්ක බිස්නස් කරන කළු මාධ්‍යජාලයක් හරහායි.

දැනුත් කෙටිපණිවිඩය එන්නේ ඇමැතිවරු කියලා. එහෙට මෙහෙට පැන්න සහ පනින්න ඉන්න අය මත නෙමෙයි මේ ආණ්ඩුව දුවන්නේ. කළු මාධ්‍යජාලයක හයියෙන්.  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විධායක බලතල රට වෙනුවෙන් පාවිච්චි කළේ නෑ. පාවිච්චි කළේ මොනවටද? ශ්‍රීලංකන් කජු කන්න බෑ කියලා කජුකාරයා එළවන්න පාවිච්චි කළා. දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නෑ කියලා තානාපතිවරියගේ ඉඳන් රියදුරු වෙනකම් ගෙන්වන්න පාවිච්චි කළා. දරුවන් පැහැර ගත්ත සිද්ධියකට අත්අඩංගුවට ගන්න හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙක්සිකෝ යවන්න බලතල පාවිච්චි කළා. අල්ලස් අධ්‍යක්ෂ ජනරාල්වරිය අයින් කරන්න බලතල පාවිච්චි කළා. 
 
අද මන්ත්‍රීවරු උදේ පනිනවා හවස පනිනවා. ඊට වඩා පනින්න එක්කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. එයාලගේ සීයලා ගැන්ගරුද කියලා හොයලා බලන්න ඕනා. අපි මිනිස්සුන්ට ගරු කරනවා. දේශපාලන අදහස් කුමක් වුණත් අපි ගරු කරනවා. එහෙට මෙහෙට පනින තමන්ගේ වැරදි නිවැරදි කරගන්න ඉන්න අය මේ පහුගිය මාසයේ වූ ඩැමේජ්එකට මොකද කරන්නේ? ජනාධිපතිවරයා වැරදි නිවැරදි කරගෙන ජාතියෙන් සමාව ගත යුතුයි. 

බලවත් අයට නඩුවලට ඉදිරිපත් වන පීසීලා තමයි ප්‍රසිඩන්ට් කවුන්සල්ලා. දුප්පතාට ඉදිරිපත් වන පීසීලා තමයි පොලිස් කොස්තාපල්ලා. දැන් මට හිතෙනවා පීසි කියන්නේ ඔය දෙකෙම නෙමෙයි පනින කවුසල් කියන එකද කියලා.

 


රවුෆ් හකීම් 

විජයදාස රාජපක්ෂ මහතා කළ කතාව ගැන යම් යම් පැහැදිලි කිරීම් කළ යුතුයි. ඔහු නීතිඥවරයකු විදියට දන්නවා ඇති ලංකාවේ ආයතන කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර බලතල සමතුලිතව තබා ගැනීමයි පුරවැසියන්ගේ වගකීම. එක් එක් ආයතන අනිත් ආයතනයේ බලය අතික්‍රමණය කළේ නැතිනම් මේ ගැටලු එන්නේ නෑ.

19 සංශෝධනයෙන් වුණේ විධායක ජනාධිපතිගේ බලතල සීමා කිරීමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කරන්න ජනාධිපතිවරයා ගත් තීරණය වලංගු නෑ. එයත් දැන් අධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා හැම වෙලාවෙම ජනතාවගේ තීරණයට ගරු කරපු කෙනෙක්. විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙසයි අගමැති ඉවත් කළේය. අපේ තර්කය වන්නේ වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයේ දිගටම සිටිය හැකියි කියායි.  
 
මේ වගේ අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් පළවෙනි කතානායක ඔබතුමා නෙමෙයි. 17 වැනි සංශෝධනයෙන් පස්සෙත් මේ වගේ යම් යම් ව්‍යාකූලතා ඇති වුණා. මේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාව තිබෙනවා. නමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් බලය අවභාවිතා කරන්නේ කවුද කියලා අපිට මුලින් බලා ගන්න ඕනා. එය අධිකරණයෙන් බලා ගන්න ඕනා. ඒකයි මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ මැදිහත්වීම බලාපොරොත්තු වුණේ. 
 
අධිකරණය ඒ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ නිසා ජනාධිපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කරද්දි අපිට අත්දෙක බැඳන් නිකං ඉන්න බෑ. ගැටලු නිරාකරණය කර ගන්න අපි ලෑස්තියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයා විදියට කතානායකතුමා ඔබතුමා මැදිහත් වෙනවා නම් මේ ප්‍රශ්නය විසඳන්න අපි අපේ සහයෝගය දෙනවා. පහුගිය දින 30ම මේ රටේ ආණ්ඩුවක් නෑ. නීති විරෝධී ආණ්ඩුවක් තමයි තියෙන්නේ. ඔවුන් ජනතාවට තමන්ගේ පස්සා පැත්ත හරවලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාත් දන්නවා ඇති පසුගිය කාලේ එතුමා කරපු දේවල් වැරදි බව. 1970 ගණන්වල ඉඳන් මේ සභාව නියෝජනය කළ දෙදෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හොඳින් දන්නවා. 


අනුර කුමාර දිසානායක

අර්බුද සාකච්ඡාමය විසඳා ගැනීම වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තු වෙනවා. ඇතිවන අර්බුද තව තව දිග්ගැස්සෙනවට කවුරුත් කැමති නැතිව ඇති. හැබැයි ප්‍රශ්න තේරුම් ගත යුත්තේ ඕපාපාතිකව ඇතිවූ ප්‍රශ්නයක් විදියට නෙමෙයි. හිතාමතා කුමන්ත්‍රණකාරී ලෙස කරන ලද අර්බුදයක් නම් කොහොමද එකඟතා ඇති කරගන්නේ? එය විසදා ගැනීමේ රාමුව මොකක්ද? අපි කැමති වුණත් නැතත් අපි යටත් වන නීතියක් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

එහි අනිටු ප්‍රතිවිපාක ගැන සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ගැන විශාල සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. 17 සංශෝධනය සහ 19 ගෙන එද්දි අපි යම් සාධනීය මැදිහත්වීමක් කළා. එකඟ වෙන හා නොවන කරුනු මෙහි තිබෙනවා. ජනාධිපතිගේ සිට සියලු පුරවැසියන් මේ ව්‍යවස්ථාවට යටත්. මේ ප්‍රශ්න විසඳීමේ මාර්ගෝපදේශය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි.

ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාවක් තිබිය දී එම ව්‍යවස්ථාව කිසිසේත් සැලකිල්ලට ලක් නොකර හිතුවක්කාරී තක්කඩි උවමනාවන් වෙනුවෙන් ජනපති වැඩ කළා. අපි නම් ජනපති එක්ක කිසිම සාකච්ඡාවකට එකතු වෙන්නේ. සාකච්ඡා මේසයේ විසඳා ගත හැකි ප්‍රශ්න තිබෙන බව පිළිගන්නවා. මෙය එවැනි ප්‍රශ්නයක් නොවෙයි. මෙය කුමන්ත්‍රණයක්. ජනාධිපතිවරයාගේ සාක්ච්ඡා ගණනාවකට අපි ගිහින් දෙනවා. ඒ සාකච්ඡාවල සහතික වෙච්ච දේවල් ජනපති ඉටු කරලා නෑ. ඔහු සමඟ සාකච්ඡා ගැන අපිට කිසිම විශ්වාසයක් නෑ. ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කිරීමයි අපේ අරගලය. 

ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කිරීමට අපි පාර්ලිමේන්තුවේ වැඩ රාශියක් කළා. ආණ්ඩුවක් වැට්ටවීමට පාර්ලිමේන්තුවට අවස්ථා තුනක් තිබෙනවා. ඒ අනුව විශ්වාස භංගයක් සම්මත කරලා ආණ්ඩුව පරජයට පත් කළා. පසුගිය 14 වැනි දා සිදුවූයේ එයයි. එය පාර්ලිමේන්තුවේ කටයුත්තක්. ආණ්ඩුවක් නොමැති බව ඔබතුමා 15 වැනි දා ප්‍රකාශයට පත් කළා. ජනාධිපති තේරුම් ගත යුතුයි තමන්ගේ බලසීමාව ඇතුළේ කටයුතු කිරීම ගැන.

විශ්වාස භංගය සම්මත වූ ආකාරය ගැන කිසිම ප්‍රශ්නයක් කරන්න ජනපතිට අයිතියක් නෑ. විශ්වාස භංගය ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරයක්. ව්‍යවස්ථාදායකය ඇතුළේ ආණ්ඩුව පරාජයට පත් වූ බව නිවේදනය කරලා තිබෙනවා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති කළ යුත්තේ නව ආණ්ඩුවක් පත් කිරීමයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කළ යුතු කටයුතු සිදු කිරීම ගැන මොනවද සාකච්ඡා කළ යුත්තේ? ඔහු හිතුවක්කාරී ලෙස හැසිරෙමින් තිබෙනවා. විශ්වාස භංග දෙකක් සම්මත කරලා තිබෙනවා. අද යෝජනාවේ අරමුණත් ව්‍යවස්ථාවට ජනපති යටත් කිරීමට. ජනාධිපති කටයුතු කළ යුත්තේ හිතට එන අදහස් අනුව නොවෙයි.

ව්‍යවස්ථාවට අනුවයි කටයුතු කළ යුත්තේ. ජනාධිපති ව්‍යවස්ථාව කඩමින් කටයුතු කරනවා නම් සාමාන්‍ය පුරවැසියන්ට නීති කඩන්න එපා කියන්නේ? මිනිස්සු සිවිල් නීති කඩනවා නම් ජනාධිපති කොහොමද ජනතාවට නීති කඩන්න එපා කියන්නේ?  ජනාධිපති දිගින් දිගටම ව්‍යවස්ථාව කඩනවා නම් ඔහුගේ තක්කඩි වැඩ  යළි යළිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දිය යුතුයි.  අය වැය යෝජනාවකදි, වැය ශීර්ෂයයක්දි රුපියල් 10ක් කපන්න යෝජනාව ගේන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මේ යෝජනාවත් ඕනෑම මන්ත්‍රීවරයකුට ගේන්න පුලුවන්. මහින්ද රාජපක්ෂට හිමි විය යුත්තේ මේ මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද පමණයි. අගමැතිවරයකු ලෙස ඔහුට කිසිම වරප්‍රසාදයක් ලබන්න බෑ. 

සෙල්ලම් ගෙදරක අගමැති වුණාට කමක් නෑ ඔටුන්න ඔළුවේ දාගෙන. අගමැතිවරයකු නොවන කෙනෙක් මහජනතාවගේ භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා නම් ඒ වැය ශීර්ෂය කපන්න මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.  අටවාගත් අගමැතිට පමණක් නෙමෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ බලතල නෑ. 

මේ යෝජනාව සම්මත වූ වහාම එජාපයත් අරලියගහ මැදුරෙන් යායුතුයි.


කතානායක - මේ සම්බන්ධයෙන් ඉතාම ඉක්මණින් මැදිහත් වී කටයුතු කරනවා.


විජේදාස රාජපක්ෂ

ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ මූලික වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.  යම් යම් වැරදි දේ නිසා අපේ රට අවුරුදු 30ක දරුණු යුද්ධයකට පැටලිලා පීඩාවට පත් වුණා. ඉන් පසු සියලු දෙනාට බලාපොරොත්තු දෙමින් තමයි 2015 අපි ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ. 


(ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත් කිරීම ගැන කතා කරයි.)
 
ජනපතිගේ ජයග්‍රහණයත් එක්ක මේ රට හොඳ පැත්තකට යයි කියලා හිතලයි ජනතාව ඡන්දය දුන්නේ.  එජාපයට 43ක් තිබිය දී පවා තුනෙන් දෙකෙන් 19 සම්මත කරන්න පුලුවන් වුණා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා සහයෝගය දුන්නා. විධායක ජනපති බලතලවල විශාල ප්‍රමාණයක් නිලයෙන් ඉවත් කරලා අමාත්‍ය මණ්ඩලයටත්, ව්‍යවස්ථා දායක සභාවටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් බෙදා හරින්න අපට හැකියාව ලැබුණා.

එම ව්‍යවස්ථා සංශෝධනය ඉතාම නිවැරදිම සංශෝධනයක් කියා මම කියන්නේ නෑ. ලෝකයේ නිවැරදිම ව්‍යවස්ථා දකින්න බෑ. විශේෂයෙන්ම 2015 අගෝස්තු 17 මැතිවරණයකට මුහුණ දුන්නා. මැතිවරණයට පෙර පටන් අපි ප්‍රකාශ කළේ 113 වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් එජාපයට ආවත් ශ්‍රීලනිපයේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් නිර්මාණ්‍ය කරනවා කියලා.

නමුත් අපට සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගන්න බැරි වුණත් ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ජනතාවට පොරොන්දු වූ පරිදි ආණ්ඩුවක් හැදුවා. වසර තුනක කාලයේ ප්‍රශ්න ඇති නොවුණා නෙමෙයි. අපිට චෝදනා ඉදිරිපත් නොවුණා නොවෙයි. අපි උපරිම වහයෙන් ජනතාවගේ අභිලාශයක් ඉටු කරන්න කටයුතු කළා. නමුත් කාලයාගේ අවෑමෙන් අපේ ආණ්ඩුවට නායකත්වය දුන්නු, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාර්ශ්වයත්, ගරු අගමැතිතුමාගේ පාර්ශ්වයත් වශයෙන් පැරණි අවලාද දේශපාලන අවතීරණ වුණා.

අපි උත්සාහ කළේ ජනතාව බලය දුන්නු වසර පහක කාලේ ජාතික ආණ්ඩුවක් අනුව ආදර්ශමත් දේශපාලන රටාවක් ස්ථාපිත කරන්නයි.  කණ්ඩායම් දෙකට නායකත්වය දුන්න ජනාධිපතිටත්, අගමැතිටත් තමන්ගේ කණ්ඩායම් දෙක සංයමයකින්  හසුරුවා ගන්න නොහැකි වුණා. ඒකෙදි  ඒ දෙන්නම අසමත් වුණා. ඒ අතීත වැරදි වලින් පාඩම් ඉගෙන ගනිමින් සිටියදී තමයි අප අතර තිබුණු විශ්වාසය ගිලිහෙමින් පැවතිද්දි තමයි ඔක්තෝබර් 26 වැනිදා පූර්ව දැනුම් දීමකින් තොරව අගමැතිවරයා ඉවත් කළ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමත් සිදු වුණේ. මේ වන විට එම ක්‍රියාදායමයෙන් අනතුරුව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත්, පාර්ලිමේන්තුව විසිරුවීමට නියෝග දීමත් සිද්ධ වුණා. පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහි කාරණය මේ වන විට අධිකරණයේ විභාග වෙනවා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය පැවරිලා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුව තුළ මතුවන කාරනා , ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇති මතගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බෑ කියලා ඔප්පුවෙන අවස්ථාවක ජනතාව ප්‍රශ්න කළොත් ජනතාවගේ ප්‍රශ්න විසඳහන්න පුලුවන්ද කියලා ප්‍රශ්න කළොත් අපි නිරුත්තර වෙනවා.  මෙම ගැටලුව විසඳා ගන්න කතානායකවරයාට සහ විධායකයට ලොකු වගකීමක් තිබෙනවා. විධායකයේ නියෝග ව්‍යවස්ථාව පිළි නොගැනීමත්, ව්‍යවස්ථාදායකය සම්මත කර ගන්නා යෝජනා විධායකට පිලිනොගැනීමත් නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා.

පහුගිය කාලයේ සිදුවූ දේවල්වල හරිවැරදි හොයලා පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමෙන් ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ. එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇති කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවන්න පුලුවන් කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම්.  මේ ප්‍රශ්න නිරාකරණය කරන කර්ත්‍යවයේදී සාර්ථකව වැඩ කරන්න පුලුවන් කතානායකතුමා විදියට ඔබට විතරයි. 

මේ රටේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව බාර දීලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා සිටිනවා.


විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කතා කිරීම ආරම්භ කළේය.


නවීන් දිසානායක 

මම ඒ යෝජනාව ස්ථිර කරනවා. අද සමහරු වැරදි චිත්‍රයක් පෙන්වන්න හදනවා. අපි මේ යෝජනාව ගේන්නේ අගමැතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන්. ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන් නොවෙයි. බහුතරයක් නැති ආණ්ඩුවකට ඉදිරියට යන්න බෑ. ඔවුන්ට කියනවා දැන්වත් ඉල්ලා අස්වෙන්න කියලා. අද දිනත් අපිට පැහැදිලි බහුතරයක් තිබෙනවා.

 

 


කතානායක - යෝජනාව ස්ථිර කිරීම

 


රවී කරුණානායක 

ප්‍රථමයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අය වර්ජනයක් කරනවා. කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා නොවැම්බර් 10 කියපු දෙයක් මම උපුටා ගන්නවා. (කියවයි) බහුතරය තියෙන්නේ කොහෙද කියලා පේනවා.
(ජනරජයේ අරමුදලින් කිසිදු වියදමක් කිරීමට අගමැති ලේකම්වරයාට අවසරක් නැතැයි කියමින් යෝජනාව ඉදිරිපත් කරයි.)

( එම යෝජනාව )

 මේ දවස් කීපය තුළ හෙලිකොප්ටර් වලට ලක්ෂ එකසිය ගණනක් වියදම් කරලා තියෙනවා. 148 යටතේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වගකියන්න ඕනෑ. අප රජයේ සේවකයන්ට කියන්නේ නීතිය පිළිපදින්න කියලා. මේ බහුතරයක් නැති අවජාතක ආණ්ඩුව කියන දේ අහන්න එපා. දේශපාලනඥයන් කියපු දේවල් කරන්න ගිහින් ලලිත් වීරතුංග මහතාට වූ දේ දැක්කා.

මේකයි අපි කියන්නේ නීති විරෝධී නියෝග පිළිපදින්න එපා කියලා.  පහුගිය පාර්ලිමේන්තු දින ටිකේම අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. මේ ව්‍යාජ වශයෙන් පත් කරලා තියෙන ආණ්ඩුවට කියනවා ප්‍රශ්න ඇති නොකර ඉල්ලා අස්වෙන්න කියලා. 


කතානායක - අද දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් විරෝධය එල්ල කළා. මේ සම්බන්ධයෙන් මම නීති උපදෙස් ගත්තා. මේ යෝජනාව ඉදිරිපත් කරන්න මම අවසර දෙනවා.

 


කතානායක

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් පවත්වනවා. ඊට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න තීරණය කළා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් හිටපු කතානායක චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා ඇතුළු කණ්ඩායමක් පත් කළා.

 


වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කිරීමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ විය.


පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සන්ධාන කණ්ඩායම් රැස්වීම අවසන් වී පිටව යමින් සිටි මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සමඟ කීවේය.

 


එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට අතුරලියේ රතන හිමියෝ ද සහභාගී වූහ.

ඒ සම්බන්ධයෙන් විමසීමේ දී උන්වහන්සේ කීවේ ‘මම ඉතින් හැම එකකටම යනවා‘ කියාය. පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බැවින් අද පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වන බව ද ඒ  හිමියෝ කීහ.

 

 


පාර්ලිමේන්තුවේ සභා ගැබට නොපිවිසී සභාව වර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය තීරණය කරයි.


අගමැති වැය ශිර්ෂය කපා හරින යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් බවත්, එම නිසා එද කිසිසේත්ම ඊට සහභාගී විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන්විය. අද දින වැඩකටයුතු න්‍යාය පත්‍රයට අනුව සිදු කිරීමට පක්ෂ නායකයන් එකඟ වී ඇත.

පක්ෂ නායක රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ කිසිවකුත් සහභාගී වී නැතැයි දැනගන්නට තිබේ. 

අදට නියමිත න්‍යාය පත්‍රයේ ඇත්තේ අගමැති වැය ශිර්ෂය කපන යෝජනාවයි.


අද පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් චෝදනා කළේ න්‍යායපත්‍රයක් නැතිව පාර්ලිමේන්තු කටයුතු සිදුවන බවටයි. 

අද පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ පළමු වැනියට යොදා ඇත්තේ අගමැති වැය ශීර්ෂය කපන යෝජනාවයි.

මීට පෙර පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගෙන ආ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් තවත් මන්ත්‍රීවරුන් කොටසක් කීවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ක්‍රම දෙකක් ගැන ස්ථාවර නියෝග වල සඳහන් බවයි. ඉන් එක් ක්‍රමයක් වන්නේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහකට පසු න්‍යායපත්‍රයට ඇතුළත් කර විවාදයට ගැනීම බවත්, ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව ඉදිරිපත් කිරීම අනිත් ක්‍රමය බවත් මන්ත්‍රීවරු කීහ.

 



කෙසේ වෙතත් මෙම යෝජනාව ගෙනැවිත් ඇත්තේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බව කියති. 


14 වැනි දා පැවැති විශ්වාස භංගය සම්මත වීමෙන් පසු අගමැතිවරයකු සහ ආණ්ඩුවක් නොමැති බැවින් රජයේ මුදල් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව මෙම යෝජනාවේ සඳහන්වේ.

 

 

 


පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට පෙර උදෑසන 9.00ට පක්ෂ නායක රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
 පාර්ලිමේන්තුව අද 10.30ට ආරම්භ වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අදට නියමිත කාර්යන්ට අදාලව එහිදී සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.

නීත්‍යනුකූල අගමැතිවරයකු නොමැති බැවින් අගමැති කාර්යාලයේ වැය ශිර්ෂය කපන යෝජනාවක් අද විවාදයට ගැනීමට නියමිත බව පැවසේ.