අගමැති ජන්ම දිනයට ගංගාරාමයේ පිංකමක්


(අකිල බද්දෙවිතාන/ ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වැනි උපන් දිනය නිමිත්තෙන් අද (24) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී විශේෂ බෝධි පූජා පිංකමක් සංවිධානය කර තිබිණි.
කොළඹ නව කෝරළයේ සංඝනායක ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමියන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්වුණු අතර අගමැති පෞද්ගලික ලේකම් කේ.පී.දයාරත්න මහතා ද හුණුපිටිය ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසුහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ වනවිට ලක්ෂ හතර හමාරකට වැඩි දරු පිරිසක් විදෙස්ගතව මෙන්ම ස්වයං රැකියා අරඹා තම ජීවිත සාර්ථක කරගෙන ඇති බවත් එම අවස්ථාව ලබාදෙමින් ජිනරතන කාර්මික විද්‍යාලය පිහිටුවීමට උරදුන් එවකට යෞවන කටයුතු ඇමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් කෘතගුණ පූර්වකව එම විද්‍යාලයේ දරු දැරියන් ද පිංකම සඳහා එක්වූ බවත් ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියෝ එහිදී පැවසූහ.