අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි  අංක තහඩු ලබා ගැනීම සඳහා  ව්‍යාජ  පැමිණිලි පිටපතක් ලබා දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ  පොලිසියකට අනුයුක්ත සැරයන්වරයෙකි.

හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමි  මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනෙගම විහාරස්ථානය කරා වැඩම විම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් බව පවසා පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය  තිබෙන බවට පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ටී 56 ගිනි අවියකින් එම හිමිනම ඉකුත් ජනවාරි 23 වෙනි දින වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සැකකාර සැරයන්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, පොලිස් අධිකාරී රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආනන්ද ලාල් පොලිස් කොස්තාපල්වරුන්වන 79162 රුවන්, 35501 පෙරේරා යන මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.