USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු


(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළේය.

මෙලෙස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කටයුතු අඩපණ වීමත්, ඇමෙරිකාව විදේශයන් වෙත ලබා දෙන මූල්‍ය සහාය නැවත සමාලෝචනය කරන තෙක් දින 90 ක කාලයක් සඳහා අත්හිටුවීමට මීට පෙර නියෝග කර තිබීමත්, සමග එම නියෝජිතායතනයේ ආධාර මත ක්‍රියාත්මකවූ මෙරට රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක සේවකයන්ගේ රැකියාද අවදානමට ලක්ව ඇත.

ආධාර මත ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන්ගේ රැකියා පමණක් නොව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යපෘති බොහොමයක්ද තාවකාලිකව ඇනහිටීමේ අවදානමක් මතුව තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තීරණයක් නොවන අතර එම නියෝජිතායතනය ඈවර කිරීමට ජනාධිපති ට්‍රම්ප් සහ ඊලෝන් මස් තීරණය කිරීමත් සමග එම නියෝජිතායතනයේ ගෝලීයව සිටින නිලධාරීන් අතලොස්සක් හැර අනෙක් සියලු දෙනා 07 රාත්‍රී 11.59 සිට මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇත.

වොෂිංටන් නගරයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධාන මුලස්ථානය වසා දැමීමටද ට්‍රම්ප් පරිපාලනය පසුගිය 3 වැනිදා පියවර ගත්තේය.