"දියමත ලියමි","ගඟ අද්දර", "භාර්යාවෝ" වැනි ටෙලිනාට්‍ය කිහිපයක නිෂ්පාදනයෙන් දායක වූ ඇය star events ආයතනයේ ප්‍රධානියාද වන්නේය. සුධර්මා නෙත්තිකුමාර නම් වූ ඇයගේ මීළඟ වැඩකටයුත්ත වන්නේ මේ මස 15 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 7.00ට පැවැත්වෙන Next Gen සංගීත ප්‍රසංගයයි. මේ කතාබහ ඒ පිළිබඳවයි
ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්?
කිර්ති පැස්කුවල් මහතා මේ ප්‍රසංගය කරද්දි තමයි මුලින්ම මම බලන්න ගියේ. ඉතිං මම එහිදී අලුත් පරපුරේ අයගේ දක්ෂතා දැක්කා. ඇත්තටම ඒ දෙමව්පියන්ටත් වඩා සමහර දරුවන් දක්ෂයි. මට ඒ ගැන සතුටු හිතුණා. මේ අපේ අනාගතය. ඒ අයට අපි ඉඩක් ලබාදිය යුතුයි. මම ඒ ප්‍රසංගය පවත්වනවා. මෙහිදී කීර්ති පැස්කුවල් සහ ඔහුගේ පුතා කසුන්, සංගීත් වික්‍රමසිංහගේ පුතා සනුක, සමිතා මුදුන්කොටුව හා ඇගේ දියණිය කාවින්ද්‍යා, නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුතා ගයාන්, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා ඔවුන්ගේ දියණියන් වන රයිනි හා වින්ඩි, චාන්දනී හෙට්ටිආරච්චි හා ඇගේ දියණිය ජැක්ලීන්, අමල් පෙරේරා හා ඔහුගේ පුතා නදීමාල්, මායා දමයන්ති හා ඇගේ දියණිය කුෂානි සදරේඛා, රනිල් මල්ලවආරච්චි හා ඔහුගේ පුතා පවන් මල්ලවආරච්චි එකම වේදිකාවක ගීත ගායනා කරනවා. ඒක වෙනස් අත්දැකීමක් වෙයි. මේක මව්පියන්ටයි ඔවුන්ගේ ප්‍රතිභාසම්පන්න දරුවන්ගෙයි දක්ෂතා දක්වන්න හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කඩුවෙල කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වෙනුවෙන් යොදවන්න මම කටයුතු කරනවා.
පසුගිය කාලයේ ඔබේ ආයතනයෙන් ප්‍රසංග රැසක් සංවිධානය කළා නේද?
ඔව්. රූකාන්ත චන්ද්‍රලේඛා ප්‍රසංගය සංවිධානය කළා. නිරෝෂා විරාජනීගේ ප්‍රසංගයක් සංවිධානය කළා. සෝනු නිගම්ගේ ප්‍රසංගය සංවිධානය කළා. එය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක්. ඒ නිසා එයට ජාත්‍යන්තර ප්‍රමිතියේ ශබ්ද විකාශන යන්ත්‍ර හා ආලෝකයන් භාවිත කළා. ඉන්පසු අමරදේවයන්ගේ 86 වන ජන්ම දිනය වෙනුවෙන් ප්‍රසංගයක් සංවිධානය කළා. එය මට අමතක නොවන අත්දැකීමක්. මුදල්වලින් ගන්න බැරි ආත්මතෘප්තියක් එයින් මම ලැබුවා.
මේ වන විට ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙන් ඈත්වෙලාද ඉන්නේ?
නැහැ. අපි කොතරම් හොඳ නිර්මාණ කළත් එය ජනතාව අතරට ගෙන ඒමට කලක් ගත වෙනවා. ටෙලිනාට්‍ය සඳහා විශාල පෝලිමක් තියෙනවා. මම නිෂ්පාදනය කළ තවත් ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතවත් තිබෙනවා. ඉන්පසු මාගේ නිෂ්පාදන දායකත්වයෙන් තවත් ටෙලි නිර්මාණ සිදුවේවි.
ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
මේ වසරේම තවත් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ කලාකාරිනියන්ගේ ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
නිදුක් මදුෂික


