A-380 ගුවන් යානා ගොඩබැස්වීමට කටුනායක පහසුකම්


(ඩේලිමිරර් ඇසුරෙනි - 042)

ප්‍රධාන ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු පමා වී නම් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල අසාදුලේඛනගත වීමට ඉඩ තිබු බව සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ හේතුවෙන් ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කළ බවද  අමාත්‍යවරයා කියයි.

මීටර් 65 ක පළලින් යුතු වූ ධාවන පථය මෙම ව්‍යාපෘතියෙන් පසු මීටර් 75 පුළුල් බවක් ගනු ඇත. A-380 වැනි විශාල ගුවන් යානා ගොඩබැස්වීමට අවශ්‍ය අලුත්වැඩියා කටයුතුද මෙහිදී කෙරෙමින් පවතී.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය ජනවාරි 06 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා වසා දමා ඇත. මේ වන විට ගුවන්තොටුපල කටයුතු පැය අටකට සීමා කර ඇති අතර එම කටයුතු පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක වෙයි.

“සමහර පිරිස් ගුවන්තොටුපල වසා දැමීමේ තීරණයට විරුද්ධ වුණා. නමුත් අපි සම්පුර්ණයෙන් ගුවන්තොටුපල වසා දමා නැහැ. සැලසුම් කළ කටයුතු වලින් 75%ක් පමණ දැන් සම්පුර්ණයි.චීන සමාගම මෙම ධාවන පථයේ අවුරුදු 20ක් කල් පවතිනු ඇතැයි සහතික වුණා. නෙදර්ලන්තයේ තාක්ෂණයක් භාවිත කරමින් මෙරට ඉංජිනේරුවන් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය කළා.“යැයි ද ඇමතිවරයා පැවසීය. 

ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු නිම වු පසු ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ නව පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත ය. දෙවැනි අදියර ජුලි මාසයේදී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.