84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ හෙට - අනිද්දා


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයට වැඩිම ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ මහ ක‍්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (2 සහ 3) දෙදින කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම මහ ක‍්‍රිකට් තරගයේ 1924 වසරේ සිට පැවැති තරග 83 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායකත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.

මෙවර ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස තුෂාර සමරකෝන් ද, නාලන්දා විදුහලේ නායකයා ලෙස ළහිරු ජයකොඩි ද කටයුතු කරති.

මෙවර ආනන්ද විදුහලේ ප‍්‍රබලතම පිතිකරුවන් වන උප නායක ධනුක පතිරණ සහ පසිඳු ඉසිර ලකුණු 550 ඉක්වමීමට සමත්ව සිටිති. නායක තුෂාර සමරකෝන් සහ තමාලක ඇතුළත්මුදලි මෙවර ආනන්ද සතුව සිටි සෙසු ප‍්‍රබලතම ක‍්‍රීඩකයෝ වෙති.

දඟ පන්දුයවන ඉසුරු ගුණසේකර (කඩුලූ 33) සහ ළාබාල ක‍්‍රීඩක සමූ අෂාන් (කඩුලූ 31) මෙම තරගවාරයේ වැඩිම කඩුලූ ලාභියෝ බවට පත්ව සිටිති. පිට දඟ පන්දුයවන තමාලක ඇතුළත්මුදලි කඩුලූ මෙම තරගවාරයේදී කඩුලූ 26 ක් දවාගනිමින් තුන් ඉරියව්වේද දස්කම් දක්වා තිබේ.

නාලන්දා විදුහල් ප‍්‍රබලතම පිතිකරුවා වන නායක ළහිරු ජයකොඩි මෙම තරගවාරයේදී ලකුණු 475 ක් රැස්කර තිබේ. වොෂාන්ත සිල්වා (288) සහ අවිෂ්ක ද සිල්වා (260) නාලන්දාව සතුව සිටින ප‍්‍රබලතම පිතිකරුවෝ වෙති.

දඟ පන්දුයවන්නන් වන මාලිංග ද සිල්වා (39) සහ ප‍්‍රමෝද් හේට්ටියාවත්ත (37) මෙවර නාලන්දාව සතුව සිටින ප‍්‍රබලතම පන්දුයවන්නෝ වෙති.

මෙම විදුහල දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක‍්‍රීඩකයන් 60 ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින ලකුණු 10,000 බැගින් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා මෙන්ම සුවිශේෂි නායකයකුද වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේ ද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරු අර්ජුන රණතුංග මහතා ආනන්ද විදුහලේ ද ආදි සිසුවෝ වෙති.

මෙම විදුහල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකයන් හය දෙනකු (බන්දුල වර්ණපුර, අර්ජුණ රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල්) බිහිකර තිබේ.

ආනන්ද විදුහල් සංචිතය:
තුෂාර සමරකෝන් (නායක), ධනුක පතිරණ (උප නායක), තමාලක ඇතුළත්මුදලි, වෙනුක නයිදියාවඩු, තවීන් ධනංජය, ඉමේෂ් ජයසේකර, දසුන් විජේසිංහ, කුෂිල් පෙරේරා, තමාල අබේගුණසේකර, තිරාන් විජේසූරිය, දුෂ්මන්ත දිසානායක, සමූ අෂාන්, ඉසුරු ගුණසේකර, ඉෂාන් බණ්ඩාරනායක, සුචිර පරණාතල සහ පසිඳු තිරිමාදුර

නාලන්දා විදුහල් සංචිතය:
ළහිරු ජයකොඩි (නායක), කෞෂාල් ඩයස් (උප නායක), නිඛිල විරසිංහ, රුචින්ත පෙරේරා, ළහිරු විජේරත්න, ගවේෂ ප‍්‍රනාන්දු, රෂ්මික විජයංග, මාලිංග ද සිල්වා, ඩිලාන් විනුර, එරංග සොයිසා, රවින් දිසානායක, ඉසුරු සමරසිංහ, අවිෂ්ක ද සිල්වා, සෙනුර අමරසිංහ, ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත, වොෂාන්ත සිල්වා, මාලිංග අමරසිංහ

 

ආනන්ද විදුහල් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

නාලන්දා විදුහල් කණ්ඩායම