එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධකම් පවත්වන්නේයැයි චෝදනා පිට එතෙර වාසය කරන ශ්‍රීලංකා දෙමළ (ඩයස්පෝරා) සංවිධාන 8 ක් හා පුද්ගලයින් 260 කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වීමට එරෙහිව පසුගිය වසරේ සිට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
පසුගිය සිකුරාදා නිකුත් කර තිබෙන මෙම ගැසට් පත්‍රයට අනුව 2014 මාර්තු මස නිකුත් කර ඇති ගැසට් පත්‍රයකින් තහනම් කර තිබූ සංවිධාන 16 ක් හා පුද්ගලයින් 426 දෙනෙකු අතරින් සංවිධාන අටක හා පුද්ගලයින් 260 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ තහනම මෙසේ ඉවත් කර ඇත.
බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදය,කැනඩා දෙමළ කොංග්‍රසය,ඕස්ට්‍රේලියා දෙමළ කොංග්‍රසය,ගෝලීය දෙමළ සංසදය,ඊළාම් දමිළයින්ගේ කවුන්සිලය,දෙමළ ජාතික කවුන්සිලය,තරුණ දෙමළ සංවිධානය,ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධාන මත පනවා තිබූ තහනම මෙසේ ඉවත් කර තිබේ.
පුද්ගලයින් 269 කට අධික සංඛ්‍යාවක්ද මේ අතරට ඇතුළත් අතර ඔවුහු උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ වාසය කරති.
ඉතිරි සංවිධාන අට හා පුද්ගලයින් 155 ක් පමණ දෙනා සම්බන්ධයෙන් තහනම දිගටම ක්‍රියාත්මක වන බව සඳහන් වන ගැසට් නිවේදනයේ එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජයවී ඇතත් එය හා සම්බන්ධව සිටි මුල් පෙළ සංවිධාන විදේශයන්හි සිට තවමත් ක්‍රියාත්මක වන බවත් එම සංවිධාන එල්.ටී.ටී.ඊ යේ අරමුණ වූ වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීමේ සංකල්පය වෙනුවෙන් පෙනී සිටින බවත්, වැඩිදුරටත් දැක්වේ.
2012 - 2014 කාලයේ විදේශයන්හි සිට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් ශ්‍රීලංකාවේ බෙදුම්වාදී ක්‍රියාකාරකම් නැවත වරක් ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථා තුනක් පැහැදිලිව අනාවරණය කරගැනීමට හැකිව තිබෙන බවද එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
දෙමළ පුනරුත්ථාපන සංවිධානය,(ටී.ආර්.ඕ) තහනම තවදුරටත් ක්‍රියාත්මක වන සංවිධාන අට අතරේ සිටී.මෙම සංවිධාන වල ක්‍රියාකාරීත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හඳුනාගෙන ඇත.
ටී.ආර්.ඕ හි ශ්‍රීලංකා ශාඛාව ඇතුළු වෙනත් රටවල ක්‍රියාත්මක ශාඛා වලට මේ අනුව ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වීමට අවසර නැත.තහනම් ලැයිස්තුවේ ඇති පැරිසියේ දෙමළ සම්බන්ධීකාරක කමිටුව,ඔටාවා නුවර ලෝක දෙමළ ව්‍යාපාරය,සහ සංක්‍රාන්තික රජයක් සඳහා වන දෙමළ ඊළාම් ව්‍යාපාරය , ත්‍රස්ත කටයුතු වලට මුදල් ආධාර දෙන හා ත්‍රස්ත කටයුතු හා සම්බන්ධ ක්‍රියාකාරකම්හි නියැළෙන බව පැහැදිලිව අනාවරණයව තිබෙන සංවිධානයෝය.
දෙමළ ඊළාම් ජනතා එකමුතුව,ලෝක දෙමළ සහන අරමුදල හා එම අරමුදලේ මූලස්ථානයද තහනම් තවදුරටත් ක්‍රියාත්මක වන සංවිධාන අතර සිටී.
ඇතැම් සංවිධාන හා පුද්ගලයින් මත පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කළේ ඔවුන්ගේ අතීත හා වර්තමාන ක්‍රියාකාරකම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශයේ,විදේශ කටයුතු අමාත්‍යංශයේ,රාජ්‍ය බුද්ධි ආයතන්ගේ,සංහිදියාව සම්බන්ධ අමාත්‍යංශයන්ගේ තිබූ වාර්තා ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් පසු බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිවේය.
‘‘මේ තීරණය ගෙන තියෙන්නේ හොඳින් සොයාබැලීමෙන් පසුව.තහනම ඉවත් කළ සමහර සංවිධාන හා පුද්ගලයින් කිසිම අයුරකින් ත්‍රස්ත කටයුතු වල නියැළුණු හෝ නියැළී සිටි හෝ සංවිධාන නොවෙයි.ඒ වගේ සංවිධාන හා පුද්ගලයින් තහනම් ලැයිස්තුවක තියාගෙන සිටීම සාධාරණ නැහැ.‘‘
‘‘තහනම ක්‍රියාත්මක වෙන සංවිධානවල ක්‍රියාකාරකම් ගැන තවදුරටත් අධ්‍යනය කළ යුතුව තිබෙනවා.‘‘ ඔහු වැඩිදුරටත් පැවසීය.
‘‘මම හිතන්නේ අපි දැනටමත් පැති ගණනාවකින් සංහිදියා ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.ආරක්ෂක අංශ අත්පත් කරගෙන සිටි ඉඩම් ඒවායේ නියම හිමිකරුවන්ට භාරදෙන්න අපි වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.යුද්ධයෙන් හානියට පත්වුනු පළාත් ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් එම පළාත්හි ජීවත් වන ජනතාවට ඒ හරහා රැකියා අවස්ථා ඇතිකරන්නත් අපි කටයුතු කරමින් සිටිනවා.මෙහෙමයි අපි ඉදිරියට යා යුත්තේ ‘‘. ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
තහනම ඉවත් කෙරුණු සංවිධාන වලට දැන් ශ්‍රීලංකාවේ කටයුතු වල නියැළීමට අවස්ථාව ඇතත් රටේ නීතිය උල්ලංඝණය නොවන අයුරින් කටයුතු කිරීමට ඔවුන් වගබලා ගත යුතුව ඇතැයිද ලේකම්වරයා පැවසීය.
තහනම ඉවත් කර ඇති සංවිධාන හා පුද්ගලයින් ත්‍රස්ත කටයුතු වල නියැළී හෝ ඒවාට ආධාර දී ඇති බවට බුද්ධි තොරතුරු හෝ පැහැදිලි සාක්ෂි නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (21) නිකුත් කර තිබෙන නිවේදනයකද දැක්වේ.
ජනවාරි මස පාලන කටයුතු ආරම්භ කළ දා පටන් ගෝලීය දෙමළ සංසදය වැනි මධ්‍යස්ථ මතධාරී දෙමළ ඩයස්පෝරා සංවිධාන සමග සහයෝගයෙන් වැඩකටයුතු කිරීමේ පිළිවෙතක් නව රජය අනුගමනය කරන බව දක්නට හැකිවිය.
දෙමළ ඩයස්පෝරා සංවිධාන අතරින් විශාලතම සංවිධානය වන ගෝලීය දෙමළ සංසදය 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවූවකි.එස්.ජේ එම්මානුවෙල් පියනම නායකත්වය දරන එහි සාමාජිකයෝ ලොව පුරාම විසිර සිටිති.ජාතික ගැටලුව විසඳීමට ප්‍රචණ්ඩත්වය නොව නීතිය,සංහිදියාව හා සාධාරණත්වය පදනම් කරගත් දේශපාලන විසඳුමක් අවශ්‍ය බව එම සංවිධානයේ මතයයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩනයේ කළ සංචාරකයදී කළ ආරාධනාවක් අනුව සංහිදියා කටයුතු වලට දායකත්වය ලබාදීමට ශ්‍රීලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව එම්මානුවෙල් පියතුමා පෙර අවස්ථාවකදී පැවසුවේය.
ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතා පවසනුයේ තහනම ඉවත් කෙරුණු පුද්ගලයින් හා සංවිධාන පිළිබදව මෙතෙක් තමන්ව දැනුම්වත් කැර නොමැති බවයි.
‘‘හරි විදිහට අමාත්‍යංශ ක්‍රියාපටිපාටියට අනුව ඒ කටයුත්ත සිදුවිය යුතුයි.මේ අලුත් ගැසට් නිවේදනය ගැන අපිට තවමත් නිල වශයෙන් දැනුම්දී නැහැ.‘‘ ඔහු කීය.

