එක්තරා වකවානුවක චිත‍්‍රකතාව ශ්‍රී ලාංකේය පාඨකයන්ගේ සිත් සතන් තදින් ඇද බැඳගන්නට සමත් විය. එසේ පාඨක සිත් සතන් තෙළිතුඩින් සැනහූ ඒ සොඳුරු කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද වයෝවෘද්ධය. තෙළිතුඩට පණ දීම අසීරුය. එවන් සොඳුරු කලාකරුවන්ට අත හිත දීමටත්, පාඨකයින්ගෙන් ඈත් වූ චිත‍්‍රකතාවට යලි පණක් දීමටත් අරමුණු කරගනිමින් ‘‘ජාතික චිත‍්‍රකතා පදනම’’ බිහිවෙයි. ඔවුන් සංවිධානය කරනු ලබන එම චිත‍්‍රකතා ශිල්පීන් 80 දෙනෙකුගේ පමණ චිත‍්‍ර ඇතුළත් ‘‘සිත්තරු ඇඳි රූ 2’’ චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙම මස 27, 28, 29 සහ 30 යන දිනයන් හිදී කොළඹ ලයනල් වෙන්ටඞ් කලාගාරයේදී පැවැත්වේ. එම චිත‍්‍රකතා පදනමේ සභාපති ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී දයා රාජපක්‍ෂයන් සමඟ කළ කතිකාවකට මෙම ඉඩ හසර වෙන්වෙයි.
![]() |
![]() |
ජාතික චිත‍්‍රකතා පදනම බිහිවෙන්නේ කුමන අරමුණු පෙරදැරිවද ?
මේ පදනම මගේ තනි සංකල්පයක් විදියටයි බිහිවෙන්නේ. මේ රටේ වසර 40ක් පමණ චිත‍්‍ර කතා ඇඳි සිත්තරකු විදියට මට හිතුණා දැනට චිත‍්‍ර කතා ක්‍ෂේත‍්‍රයෙන් ඇත්වෙලා ඉන්න මගේම සහෝදර දක්‍ෂ චිත‍්‍ර ශිල්පීන් නැවත ජනතාව අතරට අරන් යන්න සහ ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුය කියලා. මොකද චිත‍්‍රකතා සමාජයෙන් ඈත් වුණේ මේ ශිල්පීන්ගේ වරදින් නොවෙයි. ඒ ඒ චිත‍්‍රකතා පුවත් පත් මුද්‍රණය කළ ආයතනවල පුවත්පත් අලෙවිය අඩු වු නිසයි.
මගේ චිත‍්‍රකතා ජීවිතය වෙනුවෙන් සම්මානයක් පිරිනැමෙන්න යෝජනා වුණු මොහොතක මට හිතුණා මේ චිත‍්‍ර කතා ක්‍ෂේත‍්‍රය නැවත නගා සිටුවන්න. ඒ වෙනුවෙන් මේ පදනමේ වත්මන් ලේකම් ධූරය දරණ දුමින්ද සංජීව බාලසූරිය මාධ්‍යවේදියා සහ උපසභාපති ධූරය දරණ පියල් උදය සමරවීර යන කතුවරයා චිත‍්‍ර ශිල්පියා සමඟ කළ දිගු කතිකාවකින් පස්සේ ඒ හැමගේ සහයෝගයත්, චිත‍්‍ර කතාවේ බොහෝ දුර ගිය දීගොඩ කුමාර මහාචාර්ය සිරිමල් අබේරත්න, කැමිලස් පෙරේරා වැනි චිත‍්‍ර ශිල්පීන්ගේ දායකත්වයත් ඇතිව ජාතික චිත‍්‍ර කතා පදනම බිහිකළා. එයට දැන් වසර 7ක් ගෙවිලා. දැනට ලංකාව පුරා විසිරී සිටින ශිල්පීන් 20ක් පමණ මීට දායක වී සිටිනවා.
මේ වන විට ඒ අරමුණු කෙතරම් දුරට සාක්ෂාත් වී තිබෙනවාද ?
අපට කිසිම කෙනෙකුගේ ප‍්‍රතිලාභ අනුග‍්‍රහයක් රජයෙන් හෝ වෙනත් ආයතනයකින්වත් ලැබිලා නැහැ. අප සේවය කරන සමාගම් වලින් ලැබුණු උදව් පදව් හැරුණු කොට මෙය අසීරුවෙන් යන ගමනක්. අපි එකිනෙකාගේ එකමුතුව ශක්තිය මත මේ වනවිට යම් වැඩ කොටසක් කළා. එයින් සැඟවී සිටි චිත‍්‍රකතා ශිල්පීන් යළිත් ඉස්මතු වී තිබෙනවා. මේ පදනම බිහිවුණයින් පස්සෙ අපි 2011 වසරේ ජාතික කලාභවනෙ මෙම චිත‍්‍රකතා ශිල්පීන්ගෙ සිතුවම් ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වුණා. ඊට මේ රටේ විවිධ ප‍්‍රදේශවලින් චිත‍්‍රකතා ශිල්පීන්ට තවමත් ආදරය කරන විශාල පිරිසක් සහභාගීවුණා. ජනපති, අගමැති, මැති ඇමැතිවරු ඇතුළු රාජ්‍ය මට්ටමේ නායකයො පැමිණියා. ඒක අපට කළ ගෞරවයක්. නමුත් අපි ඔවුන්ට ආරාධනා කළේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. කැමැත්තෙන් කරන යමක් බාරගන්න අපි කැමැති වුණත් මෙතෙක් එවැනි කිසිම දෙයක් ලැබුණෙ නැහැ.
මේ චිත‍්‍රකතා ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඉදිරි සැලසුම් කොයිවගේද ?
අපේ රටේ චිත‍්‍රකතාවලට එක්තරා වකවානුවක විශාල ඉල්ලූමක් තිබුණේ වයස අවුරුදු 35න් එහා අයගෙනුයි. ඒ කණ්ඩායමේ අවශ්‍යතාව තවම තිබෙන බව පෙනෙනවා. ඒ නිසා පැරැණි ජනප‍්‍රිය චිත‍්‍රකතා අපි නැවත මුද්‍රණය කරනවා. අපි මෙම මස 27 වැනිදා ලයනල් වෙන්ඩිඩිහිදී පවත්වන ‘‘සිත්තරු ඇඳි රූ-2’’ ප‍්‍රදර්ශනයේදී ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත්ගෙ චිත‍්‍රකතා ප‍්‍රකාශනයක් එළිදැක්වෙනව. එදා චිත‍්‍ර කතාවට විශාල පණක් දුන්න සුසිල් පේ‍්‍රමරත්න ජී.ඇස්.ප‍්‍රනාන්දු වැනි විශිෂ්ඨ කලාකරුවන්ට අපි ගෝල්ෆේස් හෝටලයේදී සම්මාන උළෙලක් පැවැත්වුවා. ඉදිරියේදීත් අපට ලැබෙන ප‍්‍රතිපාදන එක්ක එවැනි තවත් කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවා. දැනට පදනමේ ගිණුම බොහොම දුප්පත්. ප‍්‍රදර්ශනයේදී පවා ලැබෙන මුදලකින් එය ශිල්පීන්ගේ උන්නතිය සඳහා යොදවනවා. ඒ එක්කම වැළලී ගිය චිත‍්‍රකතාවට ඉදිරියේදී අපි නව පණක් දෙන්නත් කටයුතු කරනවා. චිත‍්‍ර කතාවට ලැදි සැමට මෙම 27 වැනිදා සිට දින 4ක් ලයනල් වෙන්ට්ඞ් රඟහල විවෘතයි.
දුෂ්‍යන්ත කුමාර