2019 දී සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව


හර්ෂණ තුෂාර සිල්වා
 
 
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන  "ලෝන්ලි ප්ලැනට්" ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව ලබන වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.


‘ලෝන්ලි ප්ලැනට්’ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වාර්තාව අනුව ශ්‍රී ලංකාව එලෙස මුල් තැනට පත්ව තිබේ. 
 
යුද්ධය අවසන් වීමෙන් ශ්‍රී ලංකාව සංචාරයට හිතකර රටක් බවට පත්වීමත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගමනාගමන පහසු වීම හා සංවර්ධනය වීමත්, නව ප්‍රවාහන ජාල බිහිවීම, නව හෝටල්, අභ්‍යන්තර ගුවන් සේවා සහ සංචාර කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය වීම යනාදි හේතු නිසා ශ්‍රී ලංකාව එලෙස මුල් තැනට පැමිණ ඇත.
 
“ශ්‍රී ලංකාව විවිධ ආගම් ජාතීන්ගෙන් මිශ්‍ර රටක් බව සුප්‍රසිද්ධ කරුණක්. එරට තිබෙන විහාරස්ථාන, පොහොසත් සහ නැරඹිය යුතු වනජීවින්, අතිශය සුන්දර මුහුද ලොව සංචාරකයන් අතර ප්‍රසිද්ධයි. 
 
ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළයි” යැයි ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ ‘ලෝන්ලි ප්ලැනට්’ ග්‍රන්ථයේ කර්තෘ ඊතන් ගෙල්බර් පැවැසීය. මෙම ග්‍රන්ථය අද (23) එළිදැක්විණි. 
 
ලබන වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව ඇත. 
 
එහි ඉතිරි ස්ථාන හතට පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවල් පත්ව ඇත.