13 න් පහළ කි‍්‍රකට් තරගාවලිය නව වෙනස්කම් රැසක් සහිතව


වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශවලට අනුව වෙනස්කම් රැසක් සමගින්, තරගකාරිත්වයෙන් තොරව පැවැත්වීමට ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර තිබේ.

අධ්‍යාපන, ක‍්‍රීඩා, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අමාත්‍යංශ හතර එකතුව ගත් තීරණයකට අනුව වයස 13 න් පහළ දරුවන් තරගකාරි ක‍්‍රීඩා ඉසව්වලට සහභාගි කරවීම අත්හිටුවීමට මේ වසර මුලදී තීරණය කළේය. ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සභාවේ සාමාජිකයන් වන සියලූම පාසල් ක‍්‍රීඩා සංගම්වල සහභාගිත්වයෙන් පසුගියදා අධ්‍යාපන නිලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකින් පසුව වයස 13 න් පහළ තරග තරගාකාරිත්වයෙන් තොරව පැවැත්වීමට අවස්ථාව හිමිවී තිබේ.

මේ අනුව වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියද තරගකාරිත්වයෙන් තොරව සංවිධානය කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. මෙවර ද වයස 13 න් පහළ තරගාවලිය පාසල් ක‍්‍රීඩකයන් ලියාපදිංචි කර තරග කාලසටහන ද පාසල් ක‍්‍රිකට් සංගමය නිර්දේශ කිරීමට නියමිතය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ වයස 13 න් පහළ වයස් සීමාව ක‍්‍රීඩකයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අතපොත් තබන අවස්ථාව වන බැවින් එය මගහැරීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අයහපත් තත්ත්වයක් ඇතිකරලීමට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් තරගකාරිත්වයෙන් තොරව 13 න් පහළ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බවයි.
”මෙම තරගාවලියේ දස්කම් අනුව පළාත් සහ දිස්ත‍්‍රික් මට්ටමින් ‘රන්’ සහ ‘රිදී’ ලෙස සංචිත දෙකක් තෝරා ගැනීමට සැළසුම්කර තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී ක‍්‍රීඩකයන්ට පීඩනයක් යොමු නොකළ යුතු බවට අපි පුහුණුකරුවන්ට සහ කණ්ඩායම් බාර ආචාර්යවරුන්ට උපදෙස් දෙනවා” යැයිද පාසල් කි‍්‍රකට් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.  

13 න් පහළ නව තරගාවලියේ වෙනස්කම්

  • පාසලකට එම පාසල පිහිටි ප‍්‍රදේශයේම පාසල් සමග තරග 8 ක් පමණක් නියම කිරීම.
  • සීමිත  ඕවර ක‍්‍රමය ඉවත් කර සාමාන්‍ය කි‍්‍රකට් තරගයක් ලෙස පැවැත්වීම.
  • තරගයක් පැය 6 කට සීමා කිරීම.
  • කණ්ඩායමකට සම්පූර්ණ තරගයේම පන්දුවට පහරදීමේ අවස්ථාව තිබීම.
  • තරගවලට අවුන්ස 4.75 පන්දුව යොදා ගැනීම.
  • තණතීරුවේ හෝ ලණුපැදුරේ දිග යාර 22 සිට 20 දක්වා අඩු කිරීම.
  • වේග පන්දුයවන්නකුට එක දිගට යැවිය හැකි  ඕවර සංඛ්‍යාව 6 ක් වන අතර තරගයකදී යැවිය හැකි උපරිම  ඕවර සංඛ්‍යාව 12 කට සීමා කිරීම.
  • දඟ පන්දු යවන්නකුට තරගයකදී යැවිය හැකි උපරිම  ඕවර සංඛ්‍යාව 15 කට සීමා කිරීම.
  • කිසියම් කණ්ඩායමක් තරග කීපයකදී  ඕවර 75 ඉක්මවා පන්දුවට පහරදීමට සමත්වුවහොත් ඇගයීමේ සහතියක් පිරිනැමීම.
  • තරගාවලියේ ශූරයන් තෝරා නොගැනීම.