චිත්‍ර කලාව තම ජීවිතයේ විනෝදාංශය බවට පත් කරගනිමින් කලාවට අත්පොත් තැබූ සුදර්ශන බියන්විල වර්තමානයේ නවක ගායකයෙකු ලෙසින්ද ක්‍ෂේත්‍රයට එක්ව සිටියි. යොවුන් රසික හදවත්වලට තම කලා හැකියාව තුළින් ආමන්ත්‍රණය කරන මේ යෞවන කලාකරුවා මේ වනවිට ගීත නිර්මාණයකට නැඹුරු වී තම ගායන හැකියාව ඔප්නැංවීමට කටයුතු කරමින් සිටියි. ඒ පිළිබඳව පැවසීමට ඔහු "තරුණයා" සමග මෙලෙස එක්විය.
ඔබ මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම මුලින්ම කලා කටයුත්තකට කියලා මුලපිරුවේ පාසල් කාලෙමයි. මගේ විනෝදාංශය වුණේ චිත්‍ර අඳින එක. ඉතිං කුඩා කාලයේ ඉඳලම චිත්‍ර කලාවට නැඹුරුවක් තිබුණ නිසා ඒ හැකියාව වෘත්තියක් බවට පත්කර ගැනීමට මම උත්සාහ කළා. 1996 මුලින්ම "ජනෝජය" පුවත්පතට චිත්‍ර කතා නිර්මාණය කිරීමට දායක වුණා. ඊට අමතරව මම සෙත් එෆ්.එම්. එකට සම්බන්ධ වෙලා එහි කටයුතු කරන ගමන් ගීත ලියන්න පටන් ගත්තා.
මුලින්ම නිර්මාණය කළ ගීතය කුමක්ද?
"සුදු මැණිකේ" ගීතය තමයි මම මුලින්ම නිර්මාණය කළේ. ඒ කාලේ ඒ ගීතයට තරුණ පරම්පරාවෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් ඒ ගීතය රසිකයන් අතර ජනප්‍රියයි.
ඔබගේ නවතම ගීතයේ මියුසික් වීඩියෝව ගැන යමක් පැවසුවොත්?
මගේ අලුත් ගීතය "ඔයා දන්නේ නෑ", මේ ගීතය ලිව්වෙ මම, තනු නිර්මාණය කළේ ශලින්ද ප්‍රනාන්දු. මේ මාසේ අග වෙනකොට බොහෝ දුරට මෙහි මියුසික් වීඩියෝ නිකුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
ඉදිරි කලා කටයුතු ගැන යමක් පැවසුවොත්?
ඇත්තටම කියනවා නම් මම කාලාව කියන දෙයට නැඹුරු වුණේ චිත්‍ර ඇඳීමත් එක්ක. කාලයක් යනකම් චිත්‍ර කලාව මගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තිබුණා. ඊට පස්සේ සංගීතයට යොමුවීමත් එක්ක චිත්‍ර කලාව මගෙන් ටිකක් දුරස් වෙන්න පටන් ගත්තා. මම නැවත චිත්‍ර අඳින්න උත්සාහ කරනවා. ගීත ගායනයයි, චිත්‍ර ඇඳීමයි සමබරව කරගෙන යනවා. මේ දවස්වල "මේරියන්ස්" සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ගායනා කරන "එදා වගේම" සිංදුව නිර්මාණය කළේ මම. එකේ මියුසික් වීඩියෝවත් තව නොබෝ දිනකින් රසිකයන් අතට පත්වේවි. මම කැමති සුභාවිත ගීත හා නවමු පරපුරේ ගීත සංකලනයක් මගින් නවතම ගීත නිර්මාණයක් සිදු කරලා රසිකයන්ට නවතම අත්දැකීමක් ලබාදෙන්න. ඒ වගේම සංගීත ක්‍ෂේත්‍රයේ ලොකු වැඩක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
සටහන - ප්‍රදීප් චතුරංග