'ශ්‍රීලනිපය කඩන්නේ එජාපය දිනවන්නයි' - විදුර වික්‍රමනායක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර මට්ටමේ පිරිසක් වුවද වෙනත් පක්ෂයක් හැදුවහොත් එහි නියත ප්‍රතිඵලය වනු ඇත්තේ මීළඟ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බව ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

ශ්‍රීලනිපයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාබද්ධ කරගෙන යන ගමනක් බව කී හෙතෙම එජාපයේ ජයග්‍රහණයට කැමැති අය වෙත්නම් ඔවුන්ට අලුත් පක්ෂයක් ආරම්භ කළ හැකි බව කීවේය.

ඒකාබද්ධ විපක්ෂය තුළ දේශපාලන ජුදාස්ලා තවත් නැතැයි එහි ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුව ද දේශපාලනයෙහි වෙනස් වන ස්වභාවය අනුව ඇමැතිකම් වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නන් තවත් සිටීමට ද බැරිකමක් නැති බව ද වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.