දිලීප සාරංග යනු වෘත්තීය ගායකයෙකු නොවෙයි. එහෙත් ඔහු ගායනා කරන ගීත පිළිබඳව බොහෝ දෙනාගේ අදහස නම් ඉතාමත් සුබදායක වී තිබේ. 'මෑෂප්' සංකල්පය ඔස්සේ ගීත නැවත ගායනා කරමින් සමාජ වෙබ් අඩවි පුරා නිරන්තර කතාබහට ලක්වන පුද්ගලයෙකු ලෙසද ඔහු හැඳින්විය හැක.
මේ වනවිට ඔහු කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ තිබේ. ඉතාලියේ වෙසෙන ඔහු වෙනත් වෘත්තියක නියැළෙන අතර, විවේකී කාලය තුළ ඔහු කරනු ලැබන මෑෂප් සහ ඔහුගේ ගීත වටා රසික පිරිසක් එකතු වී ඇති බවද කිව යුතුයි. %තරුණයා^ සමග ඔහු මෙලෙස එක්විය.
ඇත්තටම මේ දිලීප කියන්නේ කවුද? මොනවද කරන්නේ?
මම ඉතාලියේ ජීවත් වෙන්නේ. මම රැකියාවක් කරනවා. නිදහස් වෙලාවට, ආසාවට සංගීත කටයුතුවල නියැළෙනවා. ඉතිං ඒක දැන් අවුරුදු දෙකහාමාරක ඉඳන් සිදු කරනවා. මෑෂප් හද හද කවර්ස් කරනවා.
විනෝදාංශයක් විදිහට මෑෂප් කරපු ඔබට ලංකාව තුළ මෙතරම් රසික පිරිසක් ඉඳියි කියලා හිතුවද?
ඇත්තටම නැහැ. මම හිතුවෙ නැහැ මෙච්චර රසික පිරිසක් මා වටා එක්රොක්ව ඉඳියි කියලා. මම ලංකාවට එනකම්ම මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නැහැ. සමාජ වෙබ් අඩවි ඔස්සේ මට ලොකු රසික පිරිසක් ඉන්නවා කියලා දැනුණා. නමුත් ලංකාවෙ අය මගේ ගීත අහන්න මෙච්චර කැමැතියි කියලා නම් දැනුණෙ ලංකාවට ආපුවහම තමයි.
ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවට ආපුවාමත් ගොඩක් අය කතා කරනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතිං ඒ තරම් සතුටක් නැති තරම් කියලා තමයි මට කියන්න තියෙන්නේ.
මෑෂප් සංකල්පයට එහා යන්න හිතන්නේ නැද්ද?
ඇත්තටම එහෙම හිතලා තියෙන්නේ. මොකද මම ගොඩක් කළේ මෑෂප් ගීත. එකම විදිහට ගීත කිහිපයක් හැඳුණා කියලා දැනෙනවා. ඉතිං විශ්වාස කරනවා ඊට වඩා වෙනස් දේවල් බොහෝ ප්‍රමාණයක් ඉදිරියෙදි කරන්න.
රැකියාවත් එක්ක සංගීත පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්ද?
පොඩි අපහසුවක් තියෙනවා. සමහර දවස්වලට මම ෆුල්ටයිම් වැඩ කරන දවසුත් තියෙනවා. ඉතිං හවසට ගෙදර ඇවිල්ලා සහ නිවාඩු දවස්වල තමයි ඒ දේවල් සිදු කරන්නේ. නමුත් කොහොම හරි කාලය වෙන්කර ගන්නවා.
අද බිහිවන ගීත නිර්මාණ රැල්ලත් එක්ක රසිකයන් අතරට එන එක අභියෝගයක් වුණේ නැද්ද?
අභියෝගයක් වුණා. අද නම් ගොඩක් අමාරුයි තැනකට එන්න. මමත් හිතුවෙ නැහැ මේ විදිහට රසිකයන් පිරිසක් මා වටා එකතු වෙයි කියලා. කොහොම හරි අද මම බොහෝ අය දන්න කෙනෙක් බවට පත්වෙලා තියෙනවා.
ඔබගෙම ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?
මම දැනට මගේම කියලා ගීත කිහිපයක් කරලා තියෙනවා. "සකුරා මල්" කියන ගීතය ඉදිරියේදී වීඩියෝවත් එක්කම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම "වෙන් වෙලා ඇයි ඔයා", "සංසාරේ පුරා" කියලා ගීත දෙක ජනප්‍රිය වෙලා තියෙනවා.
ඔබත් මේ රැල්ල පස්සේ යන ගායකයෙක්ද?
මගේ මුලින්ම ගීතවල එහෙම රටාවක් තිබුණා. නමුත් ඉදිරියේදී නිර්මාණය කරන ගීතවල මොඩර්න් මියුසික් එක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී හැදෙන ගීතවලත් පදරචනය පැත්ත ටිකක් හොඳ වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබුණු අර්ථ රසය වැනි ගීත නිර්මාණය කරන්න උත්සහ කරනවා.
ඒ කියන්නේ අද නිර්මාණය වන ගීතවල යම්කිසි අර්ථ රසයේ අඩුබවක් තියෙනවා?
නැහැ, එහෙම්මමත් නෙමෙයි. එකම විදිහේ සිංදු ගොඩක් එනවා. මමත් ඒ විදිහට තමයි සිංදු හැදුවෙ. ලංකාවෙ ගීත හැදෙන විදිහ ඒක වෙන්න ඇති. දැන් හිතනවා ඒ දේ වෙනස් වුණොත් හොඳයි කියලා. මම හිතලා පොඩි පොඩි වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. රැල්ලෙන් පිටයන්නේ නැති වෙයි. මම රැල්ලෙන් පිට ගීත නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඒ දේවල් මිනිස්සුන්ගේ අතරට ගිහිල්ලා නැහැ. ඉතිං ඒ සීමාවේ ඉඳගෙන පොඩි පොඩි වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා.
රැල්ලක් නිර්මාණ කරන්නේ රසිකයන්ද? නැත්නම් ගායකයාද?
කෙනෙක්ව නම් කරන්න බැහැ. සමහර විට සංගීතය හැදෙන අයගෙන් වෙන්නත් පුළුවන්. සමහරවිට ගායකයන් අතින් වෙන්නත් පුළුවන්.
සමාජ වෙබ් අඩවි නැත්නම් අද ඔබ මෙතන නැහැ නේද?
ඔව්, ඇත්තෙන්ම. මොකද මම මුල ඉඳලම YouTube චැනල් එකට තමයි සිංදු දැම්මේ. මුල් කාලයේ මාව කිසිම මීඩියා එකකින් අඳුනන්නේ නැහැ. කවුරුත් එහෙම දන්නේ නැහැ. කාලයක් තිස්සේ නිර්මාණ කරලා කරලා මගේ සිංදු බොහෝ අය අහලා එහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ හැමදේටම මූලික වුණේ සමාජ වෙබ් අඩවි තමයි.
පිටිපස්සෙන් ඉඳගෙන සහයෝගයට හිටිපු අය ගැන කිව්වොත්?
මට මෙතනට එන්න ගොඩක් අය උදව් කළා. විශේෂයෙන් දෙමවුපියන්. මගේ යාළුවෝ. ඉරේෂා, පණ්ඩුක අයියා සහ ශෂීමා අක්කිව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඊට අමතරව මගේ සමාජ වෙබ් අඩවිවල පේජස් කරන අය ගොඩක් උදව් කළා. ඒ අය මගේ සිංදු ශෙයාර් කරලා ලොකු සහයෝගයක් ලබා දුන්නා. මට වචනයකින් හරි උදව් කරපු හැමෝම මේ මොහොතේ ආදරෙන් මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර


