'බොරු ආදරේ' එළිදකියි


2016-10-13-ent-18

දකුණුලකින් බිහිවූ ජනප්‍රිය ගායකයෙකු වන මධු රොක්ස්ගේ නවතම ගීතය හා මියුසික් විඩියෝව "බොරු ආදරේ" පසුගියදා එළිදැක්විය. "බොරු ආදරේ" මධුගේ දහවැනි ගීතය මෙන්ම පස්වැනි ගීත රූප රචනාවද වීම විශේෂත්වයකි. මධු ගයන මෙම ගීතය යුග ගීතයක් වන අතර, මන්දාකිණි (තිළිණි ප්‍රසංගිකා) ඔහු සමගින් මෙහි සහය ගායනයට දායක වී ඇත.

"මේ ගීතය ලිව්වේ මනෝජ් සංජය, සංගීතවත් කළේ දිලුක පෙරේරා. රංගනයෙන් දායක වෙන්නේ මා සමගින් ගීතය ගායන මන්දාකිණි. මේ ගීතය මගේම "මධු ඩ්‍රීම්ස්" ප්‍රඩක්ෂන් ආයතන විසින් නිර්මාණය කළේ. ගීතය රූප රචනයට නැගුවේ ගීතයට සංගීතය එක් කළ දිලුක පෙරේරා. මේ ගීතය අද රැල්ලට නිර්මාණය වුණ එකක් නෙමෙයි. මෙය වර්තමාන සමාජය තුළ ගැටෙන ප්‍රශ්න කිහිපයක් මුල් කරගෙන නිර්මාණය වුණ ගීතයක්. "බොරු ආදරේ" රසවිඳින මගේ ආදරණීය රසික, රසිකාවියන්ට මේ ගීතය තුළ වෙනසක් ඇති බව වටහා ගන්න පුළුවන් වේවි."

මේ ගීතයට අමතරව මධුගේ තවත් ගීත කිහිපයක් ඉදිරි කාලයේදී එළිදැක්වීමට සූදානම් කර තිබෙන බවත්, තවත් දින කිහිපයකින් ඔහුගේ "මධු ඩ්‍රීම්ස්" ප්‍රඩක්ෂන් ආයතනය හරහා සඳා වසන්තාගේ "මං හඬන තරම්", දිමුතු ප්‍රසන්නගේ "දුරින් ඉන්න බැහැ" හා ෂමිල විතානගේ "ඔබවයි තවමත් ඕනා" ගීත එළිදැක්වීමට සූදානම් කර ඇති බවද ඔහු අප සමග පැවසීය.