ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග පහෙන්ම පරාජය වීම ගැන ඉන්දියා ජාතිකයෝ පවා පුදුමයට පත් වී සිටිති. මුම්බායි ටයිම්ස් පුවත්පත කියනුයේ මෙම පරාජය ළඟ එන ලෝක කුසලාන තරගාවලියට මුහුණ දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි මානසික පසුබෑමක් එක්කරන බවයි.
එසැණ සමග අදහස් දැක්වූ ඉන්දියා ජාතිකයින් කිහිපදෙනෙක් අදහස් දැක්වූහ.
මහරාස්ට්‍ර ප්‍රාන්තයේ විනෝද ශර්මා, ‘‘ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කිසිම අඩුපාඩුවක් මම දකින්නේ නැහැ. නමුත් පන්දු යවන්නන් බොහොම දුර්වලයි. නිසි පුහුණුවක් නැති නවකයින්ට අපේ පිතිකරුවන්ගෙන් ලැබුණු පීඩනය ඔබ දකින්න ඇති. ඔවුන්ට ඒක දරාගන්න අමාරු වුණා. තේරීම් කමිටුව මිට වඩා ඔවුන් ගැන හිතුවානම් හොඳයි කියලයි මට හිතුනේ. ”
මුම්බායි නුවර සංජය සින්ග් , ‘‘96 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මට මතක් වෙනවා. අපේ පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම එළියට දාන්න එදා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වුණා. අද ඒකේ අනික් පැත්ත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න තියෙනවා කියලා අපේ පත්තරවල තිබුණා. ක්‍රීඩකයින්ට හොඳ මානසිකත්වයකින් ක්‍රිඩා කරන්න පරිසරය හදලා දෙන්න ඕනේ ක්‍රිකට් මණ්ඩලය. අපේ වගේම ඔබේ රටෙත් ක්‍රිකට් මණ්ඩලය ජිවත් වෙන්නේ ක්‍රීඩකයන් නිසා. ඒ නිසා ඔවුන් ක්‍රීඩකයන් ගැන හිතන්න ඕනෑ.”
කල්‍යාණන් ග්‍රාමයේ ප්‍රදීප් පත්රෝ, ‘‘ඉදිරි ලෝක කුසලානය අපේ අතේ. අපිට තිබුණු ලොකුම බාධාව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. ඔවුන් හැම අවස්ථාවකම අපිට අභියෝගයක් වුණා. ඒ අභියෝගය දැන් ඉවරයි. මේ කණ්ඩායමම ලෝක කුසලානයට එනවා නම් අපි කැමති. අයි පි එල් නිසා අපේ පිතිකරුවන්ට ලෝකයේ ප්‍රබල පන්දු යවන්නන් ගැන හොද අවබෝධයක් තියෙනවා. පිතිකරුවන්ටත් එහෙමයි. ඉන්දියාවට ජයවේවා. ”

