ඉතා සෙමින් ගමනක් යමින් ගායන ක්ෂේත්‍රය දිග්විජය කිරීමට සැරසෙන මෙම ගායිකාව නමින් සයුරි මන්දිරායි. විවිධ ආරක ගීත කිහිපයක් ඔස්සේ රසික හදවත් පුබුදුවාලූ ඇය ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ "සාරවිට" සමගින් පැවසුවේ මෙවැන්නකි.
ඔබ ගැන හැඳින්වීමක් කෙටියෙන් කළොත්?
මම සයුරි මන්දිරා. මගේ පදිංචිය වේයන්ගොඩ. අම්මායි තාත්තයි මල්ලිලා දෙන්නනයි මමයි තමයි අපේ පවුලේ ඉන්නේ. මම ඉගෙන ගත්තෙ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්.
ඔබට සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට මූලික අඩිතාලම යෙදෙන්නේ කොහොමද?
මගේ ගායන හැකියාව මට මගේ පියාගෙන් ලද දායාදයක්. ඉතිං කුඩා කාලයේ පටන් ලද සහජ හැකියාවෙන් ගායනය සම්බන්ධව පාසල තුළදී මෙන්ම, බාහිර ක්‍රියාකාරකම්වලට මම සහභාගී වුණා. ප්‍රාථමික අධ්‍යාපනයේදී දස්කම් පෙන්වා ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා. සාමාන්‍ය පෙළට සහ උසස්පෙළට මම සංගීතය විෂයක් ලෙස හැදෑරුවේ නැහැ. නමුත් මම පාසල් අධ්‍යාපනයෙන් පසු රන්වල ජන ගී පදනමේ හා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පදනමේ සංගීතය හැදෑරුවා. ඉන්පසුව මගේම ගීතයක් එළිදක්වන්න ඕනි කියලා ඇතිවුණ ආසාව සහ උනන්දුවක ප්‍රතිඵලයක් ලෙස තමයි පළමු ගීතය නිර්මාණය වෙන්නේ.
මගේම ගීතයක් කිරීමට පෙර ගොඩාක් දෙනෙක් මගේ හැකියාව සම්බන්ධව ඉහළ ඇගයීමක් තිබීමත් පළමුවැනි ගීතයෙන් පසුව මට ලැබුණු දිරිමත් කිරීම් හා මගේ කටහඬ පිළිබඳව ලැබුණු ඇගයීම් මාව මේ තරම් දුරක් ගෙනාවා.
ඔබගේ කලා කටයුතුවලට පිවිසිලා දැනට කොපමණ කාලයක් වෙනවද?
මම ක්ෂේත්‍රයට එන්නේ 2013 දෙසැම්බර් මාසයේ "දෑත විදහාලා " කියන මගේ පළමුවැනි ගීතයෙන්. දැනට අවුරුදු 3කට වැඩියි මම ක්ෂේත්‍රයට ඇවිදින්.
ඔබ මේ දක්වා සිදුකළ නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
මම මේ වනවිට මගේ ගීතමය නිර්මාණ 7ක් රසිකයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමයි "දෑත විදහාලා", "ගිම්හාන උණුසුමින්" "හැමදාම නුඹෙ වෙන්න", "ලියා දෙමි ජීවිතය" "උණුහුම අස්සේ" "රණ්ඩු කරනා ආදරේ" "නෙතු මගෙ හඬනා" කියන ගීත හත. ඒ අතරින් "හැමදාම නුඹෙ වෙන්න" සහ "නෙතු මගෙ හඬනා" කියන ගීත දෙක සඳහා ලස්සන මියුසික් වීඩියෝ දෙකකුත් කළා.
ඔබට ක්‍ෂේත්‍රය තුළ විවිධ අභියෝගවලට මුහුණ දුන්නද?
ඔව්. මේ අවුරුදු 3ට ගොඩාක් අභියෝගවලට හා විවිධ බාධකවලට මුහුණ දීලා තියෙනවා. ඉදිරියටත් එසේම වේවි. හිත් රිදීම් සිදු වූ හා පසු බසින්නට සිතුණ වාර අනන්තයි. ඉන් ගොඩක්ම අපගේ නිර්මාණ මාධ්‍යවල ප්‍රචාරය කරවා ගැනීමේදී ඇතිවන අපහසුතා තමයි. අපි වගේ නවකයන්ට ඉතාමත් අඩුවෙන් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒත් ලැබුණු අවස්ථාත් නැතුවාම නෙවෙයි. ඒ ලැබුණු අවස්ථාත් සමග මේ වෙනකම් දුක් විඳගෙන ආපු කටුක ගමන ගැන නිහතමානීව ගොඩක් සතුටු වෙනවා. මගේ හිත හයියයි. ඒ නිසා මගේ ගමන මම කොහොමහරි හෙමිහිට යනවා.
ඔබ වෘත්තීමය ගායිකාවක් වෙන්නද බලාපොරොත්තුව?
මේ හැමදේම මම කළේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් හා ලැබුණු ප්‍රතිචාරවලට අනුකූලවයි. ඒ කොහොම වුණත් දිගටම මගේ ගමන යන නිසා ඉදිරියේදී කොහොම තත්ත්වයක් උදාවෙයිද කියලා දැන්ම කියන්න අමාරුයි.
මේ දිනවල ඔබේ වැඩකටයුතු සිදුවෙන්නේ කොහොමද?
මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධි අපේක්ෂකයෙක් විදියට තුන්වන වසරේ අධ්‍යාපනය හදාරනවා. සංගීත අංශයෙන් ගත්තොත් විශාරද උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව ආරාධනා ලැබෙන සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා.
ඔබේ අධ්‍යාපන කටයුතුත් එක්ක ගායන කටයුතු සඳහා කාලය වෙන්කරගන්නේ කොහොමද?
සංගීතය මට සහජයෙන්ම ලැබුණ දායාදයක් නිසා හෝ ඒ සඳහා මගේ ඇති දැඩි ආශාව නිසා මට ඒ සඳහා අමුතුවෙන් කාලය වෙන්කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. වැදගත් වන්නේ සංගීත කටයුතුත් සමග මගේ අධ්‍යාපන කටයුතු සඳහා කාලය වෙන් කරගැනීමයි. කොහොමවුනත් මම ඒ දෙකම සමබරව කරගැනීමට උපරිම උත්සාහ කරනවා.
වර්තමානයේ ගායන ක්ෂේත්‍රයට නවකයින් බිහිවීම සුලබ වුණත් ඔවුන්ගේ බොහෝදෙනෙක්ගේ පැවැත්වමක් නොමැතිවීම ගැන ඔබේ මතය?
ඒ කතාව ඇත්ත තමයි. හැකියාව ඇති අය ඉන්නවා ගොඩක්. නැති අය ඊටත් වැඩියි. හරියට තාලෙට සිංදුවක් කියාගන්න බැරිඅය ස්ටූඩියෝවල ලස්සනට සිංදු කිව්වට එතැනින් එළියට ආවාම ගොඩක් අසරණ වෙනවා. සල්ලිවලට අද හැමදේම යටවෙලා. සල්ලි තියෙනවා නම් අද ගීතයක් කරලා ප්‍රසිද්ධියක් ලබන එක මහ දෙයක් නෙවෙයි. හැමදේම මුදලට යට වෙද්දී ඒක නවකයන්ගේ වැරැද්දක් කියන්න බෑ. ඒකොහොම වුණත් දක්ෂයෝ සල්ලි නැතිව අතරමග.
ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඉන්නේ?
ඔව්, පොඩි කලකිරීමක් නැත්තේමත් නැහැ. අපි තවමත් මේ ක්ෂේත්‍රයට ආධුනිකයෝ. ඇත්තටම කිව්වොත් අපි මහ ලොකුවට ක්ෂේත්‍රය ගැන දන්නේ නැහැ. අපි ප්‍රවීණයන්ට ගොඩක් ගරු කළ යුතුයි. මොකද එයාලා නිසා තමයි මේ ක්ෂේත්‍රයට තවමත් පැවැත්මක් තියෙන්නේ. ඒත් වර්තමානයේ බොහෝ දෙනෙක් මේ සංගීතය කියනදේ විනාශ කරලා දානවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, නොදන්නකම නිසා. විශේෂයෙන්ම අපි කරන්නෙත් අලුත් දේවල් හොයාගෙන යන එක තමයි. ඒකෙ වැරද්දක් මම කියන්නේ නැහැ. ඒත් අපේ ප්‍රවීණයන්ට හානියක් නොවන්නට ඒ නිර්මාණ සිදුවුනොත් තමයි ගොඩක් වටින්නේ.
ඔබ කියන්නේ නවකයන්ගේ නිර්මාණවලින් ප්‍රවීණයන්ට හානියක් සිදුවෙනවා කියලාද?
නවකයෝ හැමෝම එකවගේ නැහැ. හරියට අතේ ඇඟිලි පහ අසමානයි වගේ තමයි. විවිධ අයගෙන් බිහිවෙන්නේ විවිධ නිර්මාණ. ඉන් ප්‍රවීණයන්ගේ චරිතයට හානි වෙනවා කියන්නත් බෑ එහෙම නොවෙනවා කියන්නත් බෑ.
ඔබේ වැඩකටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහය මොනවගේද?
ඇත්තටම මගේ පවුලේ අයගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. මම කලින් කිව්වා වගේම මට මේ දායාදය මගේ පියාගෙන් ලැබුණේ. මගේ පියාට ලස්සනට ගීත ගායනා කරන්න, බටනලා වාදනය කරන්න පුළුවන්. ඒත් මගේ පියාට මහන්සියේ තරමට ප්‍රතිඵල ලබාගන්න බැරිවුන නිසා මමත් මුලදී ටිකක් අකමැති වුණා මගේම ගීත ගායනා කරනවට. ඒත් මගේ ආදරණීය අම්මා කුඩා කාලේ ඉඳන්ම ආස කළා මම ගායිකාවක් වෙනවා දකින්න. මගේ අම්මා මගේ හෙවණැල්ල කීවොත් මම හරි. දැන් මගේ පියාත් ඒ ගැන ආඩම්බරයෙන් පියාගේ යාළුවොත් එක්ක කතා කරනවා ඇහුනම ඒ තරම් සතුටක් තවත් නෑ.
ඔබේ ඉදිරි බලොපොරොත්තු සහ වැඩකටයුතු මොනවාද?
ඉදිරියේදී සංගීතය පිළිබඳ තවදුරටත් හදාරමින් වෙනස් තේමාවලින් වෙනස් ආරයේ ගීතවලින් රසිකයෝ අතරට එන්න බලාපොරොත්තු වෙනවා. තව මගේ කළමනාකරණ උපාධි අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙතෙක් ආ ගමනේදී ඔබට උදවු උපකාර කළයුතු පිරිසක් ඇති?
අනිවාර්යයෙන්ම. මගේ අම්මා, තාත්තා මල්ලිලා දෙන්නා ඇතුළු පවුලේ නෑදෑ හිතවතුන් සියලු දෙනාම මතක් කළ යුතුයි. මගේ පළමුවැනි ගීතය සඳහා මාව යොමු කරවපු කැළුම් ඉඳුවර අයියා එදා ඉඳන් අද වෙනකම් මට ගොඩක් උදවු උපකාර කළා. ශර්මි, උපේ, ගයෝ, චිතා නංගී, හසිනි නංගී, ෂෙරිල් අයියා, සෑම් අයියා, සෙව්වන්දි නංගී සහ මගෙ මුහුණු පොතේ යාළුවන් වන ඉඳුනිල් මල්ලි, නුවන්තිකා අක්කා, ෂා මල්ලා, මනීෂා අක්කි, ෂෙහාන් මල්ලි, හර්ෂි නංගී, මල්ෂි නංගි, එමල් මල්ලී සහ ඒෂාන් මල්ලී ඇතුළු පිරිස අනිවාර්යයෙන් මතක් කළ යුතුයි. නම් කියපු නොකියපු මට උදවු උපකාර කළ නොකළ සියලු දෙනාටම මම ස්තූති වෙනවා වගේම ඒ අය ඉදිරියටත් මා සමග ඉඳියිවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
දිනිත් කණිෂ්ක



