ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පැවැත්වූ ‘ත්‍රීවිල් ස්ටාර්’ තරගයේ වැඩිම SMS මනාප ප්‍රමාණයක් හිමිකරගනිමින් එම තරගයේ ජනප්‍රිය අංශයේ ජයග්‍රාහකයා වූ චාමර ඩිල්ශාන් වර්තමානය වනවිට නව පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් ගී තරුවක් බවට පත්ව සිටියි. ගායන තරුවක් වීම හා ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අප සමගින් මෙලෙස අදහස් දැක්වීය.
“ගායකයෙක් වෙන්න මම හීන මැව්වේ පාසල් අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා. නමුත්, ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත්, මීට වසර දෙකකට කලින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පැවැත්වූ ‘ත්‍රීවිල් ස්ටාර්’ තරගයට මම සහභාගී වුණා. එහිදී SMS මනාප එක්ලක්ෂ තිස්හත් දහසක් අරගෙන එහි ජනප්‍රිය අංශයේ ජයග්‍රාහකයා වුණා. එතැනින් පස්සේ තමයි මගේ ගමන ආරම්භ වුණේ. ඒ වගේම මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ C ශ්‍රේණියේ සරල ගී ශිල්පියෙක්ද වෙනවා.
‘ත්‍රීවිල් ස්ටාර්’ තරගයෙන් පස්සේ මිනිස්සු අතර මම ජනප්‍රිය වුණේ මලිති මධාරා පද රචනා කළ චන්දන වල්පොළ සංගීතවත් කළ ‘මගේම වෙලා’ කියන ගීතය හරහා. එම ගීතයට මම රූප රචනාවක් පවා නිර්මාණය කළා. එය නිර්මාණය කළේ අජන්ත ඒකනායක. මේ ගීතයට කලින් මම බුදුගුණ ගීතයක් කළා. ‘දිරා ගිය කසා වත’ කියලා. මෑතකදී මම රොක් ශෛලයට ‘ගාසා’ කියලා ගීතයක් නිර්මාණය කළා. එහි කියැවෙන්නේ ගාසා යුද තිරයේ පවතින ගැටුම්වලින් මියයන අහිංසක මිනිස්සු ගැන.
මේ රොක් ගීතය මම කළේ වෙනසක් බලාපොරොත්තු වෙන්. අද වනවිට ඒ වෙනසට ගොඩක් දෙනෙක් හොඳ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ අතර රොක් ගීතවලට ගොඩක් කැමති තරුණ පිරිස. අන්තර්ජාල වෙබ් අඩවි තුළින් මේ ගීතය නරඹපු සමහරක් විදේශයකයන් පවා මේ ගීතයේ රසවිඳලා මට කතා කළා. ඉදිරියේදීත් මම මෙවැනි වෙනස් ආරේ ගීත කිහිපයක් එළිදක්වන්න සැලසුම් කරලා තියෙනවා.
ප්‍රසංග වේදිකා සඳහා නම් ගොඩක් ආරාධනා ලැබෙනවා. පසුගිය දිනවල මම කොරියාවේ පැවැති විදෙස් ගී ප්‍රසංගයකටත් දායක වුණා. 0713 399036 අංකයට මගේ ආදරණිය රසික රසිකාවියන්ට මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රසංග සඳහා මට ආරාධනා කරනවා නම් ඒ අංකයට කතා කරලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මාව අද මේ තත්ත්වයට ගෙන එන්න කිහිප දෙනෙක් උදවු කළා. ඒ අතර ගුවන් විදුලි සංස්ථාවේ අශෝක කුමාරව විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි.”


