'Sense of Melbourne' 25 – 26 ලයනල් වෙන්ඩ්ට් හිදී


ඔස්ට්‍රේලියානු දිනය වෙනුවෙන් එනම් ජනවාරි 26ට සමගාමීව ඔස්ට්‍රේලියානු ඡායාරූප ප්‍රදර්ශනයක් 'Sense of Melbourne'  නමින් මෙම 25 සහ 26 යන දිනයන්හී කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 25 උදෑසන 10.00ට ප්‍රදර්ශනය ඇරඹෙන අතර, මෙල්බර්න් සහ ඒ අවට දර්ශන 60ක් ප්‍රදර්ශනය සඳහා ඇතුළත්ය.

20170119Sadun-1මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ දිවයිනේ ප්‍රකට සහ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන සඳුන් ගමගේ සහ අතුල රණරාජා විසිනි. ඔස්ට්‍රේලියාවේ සංචාරයකොට ලබාගත් ඡායාරූප ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය. ඔස්ට්‍රේලියාව යනු ලෝකයට ලෝකයක් වූ විශාල රාජ්‍යයකි. මෙම ප්‍රදර්ශනය එහි එක් සුසුමක් පමණක් වන බව සඳුන් ගමගේ සහ අතුල රණරාජා පවසති. අධ්‍යාපනික සහ වෘත්තීමය බැඳීමක් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තිබුණද, සංස්කෘතිමය වශයෙන් දුරස්ථ බවක් ඇති බවත්, මෙම ප්‍රදර්ශනය ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික වශයෙන් වූ කලාත්මක බැඳීම ඇතිකරවීම වෙනුවෙන් ගන්නා ලද පුංචි ප්‍රයත්නයක් බවත් මේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනා සඳහන් කරති. අධ්‍යාපනික වශයෙන් ඔස්ට්‍රේලියාව හා බැඳී කටයුතු කරන දිවයිනේ ප්‍රකට අධ්‍යාපනික ආයතනයක් වන Jeewa Education මෙම ප්‍රදර්ශනය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇති අතර, ඡායාරූප මුද්‍රණ අනුග්‍රහය Seya Colour වෙතිනි. ඡායාරූප රාමු සහ නිර්මාණ නිමාව සඳහා අනුග්‍රහය Haylays කොළඹ 07 Cafe Pixel ආයතනයෙනි.

25 වැනිදා උදෑසන 10.00ට මෙරට ඔස්ට්‍රේලියානු තානාපති වන බ්‍රයිස් හචෙසන් (Bryce Hatchesson) මහතාගේ සම්භාවනීය ප්‍රධානත්වයෙන් ඡායරූප ප්‍රදර්ශනය ඇරඹේ. 'Sense of Melbourne'  හෙවත් මෙල්බර්න් හැඟීම ලෙස නම් වූ මෙම ඡායාරූප ප්‍රදර්ශනය  25 උදෑසන 11 සිට රාත්‍රී 8 දක්වාත්, 26 වැනිදා උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වාත් විවෘතය. වැඩි විස්තර සඳහා Sandun Gamage  0777 265318 හෝ Athula Ranaraja 0772 26890 අමතා දැනගත හැකිය.

 

20170119Sadun-2සඳුන් ගමගේ

සඳුන් ගමගේ යනු මෙරට මාධ්‍ය කලාවේ නිරතව සිටින ප්‍රකට චරිතයකි. ඔහු විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප පුවත්පතේ විශේෂාංග රචකයෙකු සහ ඡායාරූප ශිල්පියෙකු ලෙස දශක දෙකකට එහා කාලයක සිට කටයුතු කරයි. සඳුන් සතු සුවිශේෂත්වය වන්නේ ඡායාරූප කලාවේ විවිධ පැති ස්පර්ශ කිරීමයි. ඉරිදා ලංකාදීප සඳැල්ලෙන් ඇරඹි ජනප්‍රිය චරිත ඡායාරූප ගැනීමේ කලාවේ සිට මංගල උත්සව ඡායාරූපකරණය, විලාසිතා, ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම සංචාරක ඡායාරූප ගැනීම සඳහා අත්දැකීම් රැසක් බහුල විශිෂ්ට ගණයේ ඡායාරූප ශිල්පියෙකි. කලාත්මක ගුණය සහ නව්‍යතාවය මුසු වූ වින්දනාත්මක ඡායාරූප කලාවක නිරතව සිටින සඳුන්ගේ ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය Stars and Brides 2004දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්විණ. ඉනික්බිතිව 2014දී Sendal my Brides නමින් ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී දෙවැනි ප්‍රදර්ශනය පැවැත්විණ. තෙවැනි ප්‍රදර්ශනය පැවැත්වූයේ 2015දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කෝබර්ග් නගර ශාලාවේදීය. මෙල්බර්න්හි ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වූ ප්‍රථම ශිල්පියා ඔහු වෙයි. ඉනික්බිතිව 2016 ඉතාලියේ වෙරෝනා හිදී ප්‍රදර්ශනයක් සංවිධානය වූ අතර, පසුගිය දෙසැම්බරයේදී (2016) %ජපානයේ අසිරිය^ ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්විණ. එය ඔහුගේ පස්වැනි ඡායාරූප ප්‍රදර්ශනය වේ. ශ්‍රී ලාංකීය රසය ලෝකයට ප්‍රකාශ කරවීම අරමුණු කරගෙන මෙම වසරේදී ඔස්ට්‍රේලියාව‘, කැනඩාව සහ ඇමරිකාවේදී ප්‍රදර්ශන පැවැත්වීමට ඔහු කටයුතු සංවිධානයකර තිබේ.

20170119Sadun-6 20170119Sadun-7 20170119Sadun-8 20170119Sadun-9

20170119Sadun-Ranaඅතුල රණරාජා (Athula Ranaraja)

මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අතුල රණරාජා වත්මනෙහි ශ්‍රී ලංකාවේ ඡායාරූප කලාව උගන්වන ගුරුවරු අතරේ සිටින ප්‍රමුඛ දේශකයෙකු සහ උපදේශකයෙකු වෙයි. ඡායාරූපකරණය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු වන අතුල ඡායාරූප කලා සංගමයේ ගෞරවය ලද ශිල්පියෙකි. ශ්‍රී ලංකා වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ සම්මානයෙන්ද පුද ලද ඔහු කැලණිය සරසවියේ ඩිප්ලෝමාධාරියෙකුද වන්නේය. 2004 වසරේදී ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය Blue - Green - Red නමින් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්විණ. එම කලාගාරයේදීම ඔහුගේ දෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය වූ Single Light ප්‍රදර්ශනය පැවැත්විණ.

ඡායාරූප කලාවට අමතරව එතෙර- මෙතෙර සේවයකොට වෘත්තීය පලපුරුද්ද ලබා ඇති අතුල ඡායාරූපකරණයට එහා ගිය තාක්ෂණය ගැන සහ විවිධ විෂයයන් ඔස්සේ අත්දැකීම් ලද සහ ඒවා ප්‍රායෝගිකව අත්හදා බැලීම් කළ චරිතයකි.

2016 දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ Black Cat කලාගාරයේදී ඔහුගේ තෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්විණ.

එලෙසින් විස්තර කියවෙන සඳුන් ගමගේ සහ අතුල රණරාජා එක්ව ඉදිරිපත් කරන මෙම ප්‍රදර්ශනය සඳුන්ගේ හයවැනි ප්‍රදර්ශනය ලෙසද, අතුලගේ 4වැනි ප්‍රදර්ශනය ලෙසද සඳහන් කළ හැකිය. 

20170119Sadun-3 20170119Sadun-4 20170119Sadun-5