මහා සංගීතඥයකු හා ගායකයකු ලෙස අනභිභවනීය සාහිත්‍ය සේවාවකින් හෙළ ගීතයේ ගාන්ධර්වයා වූ පණ්ඩිත ඩබ්ලිව්.ඩී අමරදේව (88) මහතා දැයෙන් සමුගත්තේය.
වර්ෂ 1927 දෙසැම්බර් පස් වැනි දා මොරටුවේදී ඔහු උපන්නේය. වනක්කුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයකු ලෙස ශ්‍රී ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හර්මෝනියාව වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට ඔහු දායක කර ගත්තේය.
රන්මුතුදුව, සාරවිට, දෙලොවක් අතර, සිකුරුතරුව යන චිත්‍රපටවල ද කරදිය, නල දමයන්ති, වෙස්සන්තර, බවකඩතුරාව යන නාට්‍ය වලට ද ඔහු ගීතයෙන් පෝෂණය කළේය.
මහගමසේකර ශුරීන්ගේ ‘’මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගෙන මම යන්නම්, අඳුරට ඉඩ දී අඳුරට සැඟවී ඔබගෙන් සමුගන්නම්’’ ගීතයට ද හඬ මුසු කළේය.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේවගේ මවුපියෝ දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් වුහ. කුඩා කල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි.
අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා වු මෙහොමඩ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.
‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.
පණී භාරතගෙන් නැටුම් ඉගෙන ගත් විමලා අමරදේව මහතා සමඟ විවාහයෙන් පසු ඔහු සමඟ ජන ගී ගායනා කළාය. ඔහුගේ දියණියන් වන මධුභාෂිනි හා සුභානි අමරදේව සමඟ ගී ගැයුහ.