සජිත් යාල යවන්න ප්ලෑන් කළ බන්දුල අනුරාධපුර පඬු කරඳ හිටවයි


ලයිට් රේල් කතා 

ජනපති රනිල් පුරුදු පරිදි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සතියේ ආර්ථික සමාලෝචනය ගැන කතා කිරීමටය. ආර්ථික සමාලෝචනයට එක්වීමට පෙර ජනපති පැමිණ සිටි මැති ඇමතිවරුන් හා නිලධාරීන් සමඟ කතාවට එක්වූයේ පවතින දේශපාලන තත්ත්වය ගැනය. රත්නපුරයේදී කුරානය ගැන කතා කිරීම ගැන විමසා සිටියේ ශෙහාන් සේමසිංහය.


“ආගමික නිදහස හැම කෙනෙකුටම තියෙන්න ඕනැ. අනෙකුත් ආගම්වලට පළමුව ගරු කරන්න කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. බටහිර සංවිධාන මේ ගැන කතා නොකළට ආසියාවේ සංවිධාන මේ ගැන කතා කරනවා. පකිස්ථානය දැනටමත් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේන්න හදන්නේ. අපිත් මේකේ සම අනුග්‍රහකත්වය ගන්න තීරණය කළා. සිංගප්පූරුවත් මේකට එන බව කියනවා. ඉස්ලාම් නොවන රටවලින් ලංකාව තමයි මේ කාරණයේදි ඉදිරියට ඇවිල්ලා ඉන්නේ.” ජනපති දීර්ඝ විස්තරයක් කළේය.


“අපේ සමහර ජාතීවාදීන් මේක අල්ලගෙන තියෙන්නේ වැරදි පැත්තෙන්.” ඒ පැනය රුවන් විජයවර්ධනගෙනි.

“හරි හෝ වැරදි ලෝකය ඉස්සරහට යන්නේ ජනතාවගේ මේ ආගමික විශ්වාසයන් පදනම් කරගෙනයි. ජනතාවගේ විශ්වාසයන් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. එක කොටසක් විශ්වාස කරන දේ තවත් කොටසක් විශ්වාස කරන්නේ නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. අපිට මේකට ගරහන්න බෑ.” ජනපති කීවේ නළල රැළි ගන්වමිනි.

 

“ලයිට් රේල්වේ ව්‍යාපෘතිය ණය බරක් විතරයි. මේක දුවන්නේ එක පැත්තකට විතරයි කියා ජ.වි.පේ මන්ත්‍රීවරයෙක් මේක විවේචනය කරලා.” ඒ කතාව ඇමති ප්‍රසන්නගෙනි.
“මේ දුම්රිය දුවන්නේ ඉස්සරහට තමයි. මෙයාලා ඉස්සරහට එන්න බයයි.” ඒ පිළිතුර මන්ත්‍රී වජිරගෙනි.


“රටේ ජනතාවට ජාත්‍යන්තර සබඳතා තියෙන නායකයෙකු පැමිණිමේ අගය දැනිලා තියෙන්නේ, ආර්ථික අර්බුදත් එක්ක ජනාධිපතිතුමා බලයට පැමිණි නිසයි.” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් ද අදහස් එක් කළේය.


භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීම ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වය ගැන ද මෙහිදී සමාලෝචනය කෙරිනි.


එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල පිහිටුවීමේ ප්‍රගතිය ජනපතිට වාර්තා කළේ නියෝජ්‍ය නායක රුවන් හා මහලේකම් රංගේ විසිනි. ජනපති දැනුම් දුන්නේ හැකි ඉක්මණින් බල මණ්ඩල අවසන් කොට සම්මේලනය කැඳවන ලෙසය. අගෝස්තු මැද සම්මේලනය පැවැත්විය හැකි බව ජනපතිට කීවේ මහලේකම් රංගේය.

සජිත්ට යාල විපක්ෂ නායක  කාර්යාලයක් දාල දෙන්න බන්දුලගෙන් ප්ලෑනක්

පසුගිය සඳුදා සවස ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හමුවිය. එහිදී සෞඛ්‍ය ගැන කතා කළද බන්දුල අස්වැසුම ගැන ඇසුවේය. 

“සර්, අස්වැසුම ගැන ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නේ. මේක අපිට අවාසියට එන්න පුළුවන්.” ඇමති බන්දුල කීවේය.

“විපක්ෂය මේක අරගෙන යනවා. හැබැයි වැඩියෙන්ම ගහන්නේ සමගි ජන බලවේගයනේ.” ඒ ප්‍රශ්නය මනූෂගෙනි.


“එදා ප්‍රේමදාස මහත්තය ඇති කරපු ජනසවිය නවත්තලා තමයි සමෘද්ධිය ගෙනාවේ. අද ප්‍රේමදාස මහත්තයගෙ පුතා සමෘද්ධිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක තමයි හොඳම විහිළුව.” ඇමති ශෙහාන් ද කතාවට එක්විය.


“ප්‍රේමදාස මහත්තයගේ දෝෂාභියෝගය වෙලාවේ එතුමාව ඒකෙන් බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මෙතුමා එදා ජනාධිපති ප්‍රේමදාස බේරගත්තේ නැත්නම් එතුමගේ  පුතා අද දේශපාලනයේ නෑ.” මන්ත්‍රී වජිරද කතාවට එකතු විය.

“අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා කොළඹ තියෙන විපක්ෂ නායක කාර්යාලය ආණ්ඩුවට පවරා ගන්න කියලා. මොකද මෙහෙම විපක්ෂයකින් වැඩක් නෑ.” ඇමති බන්දුල කියූ විට සැවොම එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූහ.

“නෑ, මම කිව්වේ එතුමා නිතරම යාල කැලේට වෙලා ඉන්න හින්දා ,කොළඹ විපක්ෂ නායක කාර්යාලයක් නඩත්තු කරන එක අපරාදේ කියලායි. අපි එතුමට යාල කැලේ බංගලාවක් අරගෙන විපක්ෂ නායක කාර්යාලයක් දාලා දෙමු.” බන්දුල කියද්දී සැමට සිනහව නතර කර ගැනීමට නොහැකි ව්ය.

තලතාගේ බොරු කිව්වා එහෙනම්

යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමතිවූ තලතා අතුකෝරළ ඉදිරිපත් කළ අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත කළ අගමැති ලෙස රත්නපුරයට ජනපති රනිල් ගියේ ය. තළතා අතුකෝරළ දුටු රනිල් “ආ එදා මට කියලා බොරු කැබිනට් පත්‍රිකාවකට නේද අනුමැතිය අරන් තියෙන්නේ.” ජනපති කී දෙයින් වික්ෂිප්තවූ තළතා මන්ත්‍රිනිය “මොකක්ද සර් ඒ කතාව” යැයි පෙරළා විමසුවාය.


“මට කිව්වේ අධිකරණ සංකිර්ණයක් හදනවා කියලානේ. ඒත් හදලා තියෙන්නේ මන්දිරයක්නේ. මේකට සුප්‍රිම් උසාවියත් ගෙනාව නම් තමයි හරි.” ජනපති කී විට සැවොම කොක් හැඬලූහ. 

කැටගොඩගේ කැටයම

”‍මේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ගෙනාපු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කැටගොඩගේ කැටයමක්.”‍ එහෙම කීවේ ඩලස් ය. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීය. 


”‍මේ ආණ්ඩුවට සුජාතභාවයක් නෑ. වහාම අලු‍ත් මැන්ඬේට් එකට යන්න ඕනැ.’’දුමින්ද නාගමුව එහෙම කීවේය.
”‍මැතිවරණ කල් දමන මේ කුමන්ත්‍රණයට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගත්තා.”‍ සජිත් කීවේය.


”‍ඔබතුමන්ලා සාධනීය වැඩ කොටසක් කරපු බව අපි පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ වුනත් විපක්ෂයේ හැසිරීම සම්ප්‍රදායික විපක්ෂ භූමිකාවට එහා ගිය එකක්.”‍ සිවිල් සංවිධාන නියෝජිතයෙක් කීවේය.

ජ.වි.පෙ. ඉන්න තැන 

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ ආණ්ඩුවේ අස්වැසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ජන මතය ගොඩනංවන ලෙසටය.


ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමගම විපක්ෂ නායක සජිත් මුදල් කමිටු රැස්වීමට සහභාගි වීමට තීන්දු කළේය.


නමුත් මේ කිසිවකට ජනතා විමුක්ති පෙරමුණ සහභාගීවනු දැකිය නොහැකි විය.


”‍එතුමන්ලා කොහොමද හිතට එකඟව මේවට විරුද්ධ වෙන්නේ.එයාලා ඉන්න තැන හැමෝම දන්නවනෙ”‍ එහෙම කීවේ තුෂාර ඉදුනිල් ය.
”‍ඒක හරි.හැබැයි ඔයවගේ වෙලාවක විපක්ෂ නායකතුමා රටේ නොහිටියනම් එයාලා කොහොම කියයිද”‍ හර්ෂණ රාජකරුණා කීවේය.

බර අදින  ගොන්නු කවුරුන්ද?

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිකම් නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් බොහෝ දෙනකු සිටින්නේ දැඩි කලකිරීමෙනි. ඒ බව ඔවුන් කරන කියන ප්‍රකාශවලින් ද පැහැදිලිය. ජනාධිපතිවරයා මේ පිරිසට කැබිනට් ඇමතිධුර දෙන බවක් තවමත් පෙනෙන්නට නැත. බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේ පැවති පොහොට්ටුවේ මාධ්‍ය හමුවේ දී එස්. එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මේ ගැන  අපූරු කතාවක් කීවේය. කොසොල් රජතුමා දැකපු හීන දාසයේ  දොළොස් වැනි හීනය ගැන කී චන්ද්‍රසේන මන්ත්‍රීවරයා, ලොකු ගොන්නු ඉදිද්දී පොඩි ගොන්නු කරත්ත අදින බව එම  සිහිනයේ කියවෙන බව කීවේය. ඔහු නොකියා කිව්වේ ජ්‍යෙෂ්ඨයන් පැත්තකට දමා  අලු‍ත් අය ආණ්ඩුවේ තනතුරු දරමින් සිටින බව ය. 


ඔහු මේ ප්‍රකාශය කළ දිනට පසු දින පැවති උත්සවයක දී මාධ්‍යවේදීහු පිරිසක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමැතිවරයාගෙන් මේ ගැන  විමසා සිටියහ.”‍ මම මේ ඇමතිතුමා කියපු දේට උත්තර දෙනවා නෙවෙයි. හැබැයි පහුගිය කාලේ ඇතිවුණු තත්ත්වයක් නැවත ඇති නොවෙන්න අපි වැඩ කරනවා. හැබැයි අපි බර ඇද්දට ගොන්නු නෙවෙයි”‍ ප්‍රමිත කීවේය.

 බන්දුල පඬු කරඳ අරන්  උතුරට යයි

ප්‍රවාහන ඇමති ආචාර්ය  බන්දුල ගුණවර්ධන ගිය සතියේ  දුම්රියෙන් කොළඹ  සිට යාපනය බලා පිටත්ව ගියේය. ඒ ඉන්දීය රජයේ ආධාර යටතේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීම සහ  දුම්රිය ගමනා ගමන කටයුතු යළි ආරම්භ කිරීම වෙනුවෙනි. මධ්‍යම  අධිවේගී මාර්ගයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි පඬුකරද ගස කැපීම පසුගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළේය. එම ගස කැපීමට එරෙහිව  පසුගිය කාලේ දැඩි විරෝධයක් රට තුළ නැගී තිබූ අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් පැමිණ ගස ගලවාගෙන ඉවත් කර තිබුණේ කිසිවකුටත් නොදැනෙන්නට ය. මේ නිසා ගිය සතියේ පඬු කරඳ ගස බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ මාතෘකාවක් විය. ඉවත් කරනු ලැබූ පඬුකරඳ ගහ වෙනුවට පඬු කරඳ ගස් කීපයක් සිටුවන්නට  බන්දුල තීරණය කළේ මේ නිසාය. කොළඹින් යද්දි පඬු කරඳ පැළ රැගෙන දුම්රියෙන් ගිය බන්දුල, අනුරාධපුර දුම්රිය ස්ථානයේත් කිලිනොච්චියේ සහ යාපනය දුම්රිය ස්ථානයේත් පඬු කරඳ ගස් කිහිපයක් සිටුවීය.

උත්තර ලංකා අපේක්ෂකයෙක් හොයයි

මේ අතර උත්තර ලංකා සභාගය ද ගිය සඳුදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර,  ඩිව් ගුණසේකර, ජයන්ත සමරවීර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගී වූ අතර අතුරලියේ රතන හිමියෝ ද සහභාගි වූහ. එදින උදය ගම්මන්පිල සහභාගී නොවූ අතර ඔහුගේ පක්ෂයේ නියෝජිතයෙක් සහභාගී විය. සාකච්ඡාව ඇදී ගියේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. රනිල් වික්‍රමසිංහ මහතා කලින් ජනාධිපතිවරණය නොකැඳවුවත් ලබන අගෝස්තු මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහස විය. ඒ නිසා අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා  නොකර පොදු වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි පිරිසකගේ අදහස විය. ඔවුන් කීවේ දැන් සිටම මේ සඳහා සූදානම් විය යුතු බවය.


නිදහස් ජනතා සභාව ද රට පුරා රැස්වීම් මාලාවක් නැවත වරක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ පිළිබඳ සාකච්ඡාවක් නාවල පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණේ  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ  ප්‍රධානත්වයෙනි. මහාචාර්ය  ජී.එල්. පීරිස් මහතා දිවයිනෙන් බැහැරව සිටි බැවින් එයට සහභාගී නොවීය. මහාචාර්ය  චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය  චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු ද සහභාගි වූහ.

 

 චරිත අලුත් වැඩක

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය  චරිත හේරත් අලු‍ත් වැඩකට අත ගසා තිබේ. රට පසුගිය කාලේ බංකොලොත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කාරක සභාවට ද චරිත හේරත් පත් කර නොමැති අතර මේ සම්බන්ධයෙන්  තනියම වාර්තාවක් සකස් කිරීමට ඔහු  භාර ගෙන ඇත. 2010 සිට 2015 දක්වා ගත්  ණය සහ වියදම් කිරීම් 2015 සිට 2019 දක්වා ගත් ණය සහ වියදම්, 2019 සිට 2023 දක්වා කාලය තුළ  ආර්ථිකය කඩා වැටීම යන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මාස තුනක් ඇතුළත මේ වාර්තාව එළිදැක්වීමට ඔහුගේ අපේක්ෂාව වී ඇත. 

 

■ ගජබා