මෛත්‍රී කියන හොඳ වැඩ, ගොන් වැඩ , වැරදි වැඩ


මනූෂගේ පොත ජනපති පෙරලයි 

කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති ඇමති මනූෂගේ පොත දොරට වඩින උත්සවයට සහභාගීවීමට පැමිණි ජනපති පිළිගත්තේ ඇමති මනූෂගේ පවුලේ සාමාජිකයන් විසිනි.
ඒ වෙන විටත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් උත්සව භූමියට පැමිණ සිටියහ. මනුෂ ජනපතිට උත්සවයට ආරාධනා කර තිබුණේ හිටපු මාධ්‍යවේදියෙකු ලෙසටය. ජනපති, අගමැති හා මනූෂගේ පවුලේ සාමාජිකයන් අසුන්ගෙන සිටියේ එකම ස්ථානයකය.
මනූෂට ළංවූ ජනපති විමසා සිටියේ පොතක් ලියන්න කාලය සොයා ගත්තේ කෙලෙස ද කියාය.” විවේකයක් ලැබෙන. ලැබෙන වෙලාවට පොඩි පොඩි කොටස් ලියනවා. පස්සේ ඒ ටික එකතු කරලා පොතක් ගැහුවා.” මනූෂ පිළිතුරු බැන්දේය.
“මටත් මේකේ අත් පිටපත එවලා තිබුණට වැඩ වැඩි හින්දා කියවන්න බැරි වුණා. හැබැයි මම මෙකේ සාරාංශය කියෙව්වා. ඔයා හොඳට වැඩේ කරලා තියෙනවා.” ජනපති මනූෂ දිරි ගැන් වූයේ එලෙසිනි.
ඉන්පසු ඔහු මනූෂට ජාත්‍යන්තර කම්කරු නීති අලු‍ත් වී ඇති ආකාරය ගැන පැහැදිලි කිරීමක් ද කළේය. කම්කරු ඇමති ලෙස මනූෂ ජාත්‍යන්තර කම්කරු නීති මෙරටට හඳුන්වාදීමට ගන්නා උත්සාහය ද ජනපති අගය කළේය.
උත්සවයේ ප්‍රධාන දේශනයක් කළ සද්ධා මංගල සූරියබණ්ඩාර එය අවසන් කොට බැස එද්දී මනුෂ ඔහු ඔවුන් ඉන්නා තැනට කැඳවා ගත්තේය. “සර්, අපේ පරණ යාලු‍වෙක් තමයි” මනූෂ කීවේ සද්ධා පෙන්වමිනි. “ඔව් ඔව් මම දන්නවා.” කී ජනපති ඔහුගේ දේශනය අගය කරමින් කතා කළේය.
සම්භාෂණය අවසන් වන තුරුම ජනපති එහි රැඳී සිටි අතර ඔහු අසුන්ගෙන සිටි මේසයේ අගමැති හා මනුෂ සමග ටිරාන් අලස් හා වජිර අබේවර්ධන යන ඇමතිවරු ද අසුන්ගෙන සිටියෝය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන මැති ඇමතිවරු මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ජනාධිපතිගේ කතා ගැන පැසසුම් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවන්හි ප්‍රගතිය ද ජනපති රනිල් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය. ඇමති මණ්ඩල හමුවෙන් පසු මැති ඇමතිවරු ඇතුළු නිලධාරීන් පිරිසක් ජනපති මුණ ගැසුනේ ඔහුගේ කාර්යාලයේදීය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගිවීම හා එහිදී ලෝකයේ ප්‍රබල නායකයන් මුණ ගැසීමට හැකිවීම ගැන මෙහිදී මැති ඇමතිවරු විමසන්නට වූහ.

 

“ජනාධිපතිතුමා, සාගර සමුළුවේ දී වගේම කියුබාවේ දී චීනය සම්බන්ධයෙන් කළ විග්‍රහය රාජ්‍ය නායකයෝ හැමෝම වගේ අගය කරලා තිබුණා. විදේශ ලේකම්තුමිය කිව්වේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් මේ කාරණාව අගය කළා කියලායි.” රුවන් විජයවර්ධන කීවේ පිරිස දෙස බලමිනි.

 

“චිනය කියන්නේ දැනටමත් ලෝකයේ ප්‍රබලම රටක්. අපේ ලොකුම ණය හිමියාත් චීනය. අපට චීනය අතහැරලා යන්න බෑ.” ඇමති ප්‍රසන්න රණතුංග කියද්දී සැවොම හිස සැලූහ.
“ඒ වගේම එතුමා දේශන තුනක දී ලෝකයේම නැගී එන රටවලට බලපාන ආර්ථික ප්‍රශ්න කතා කළා. අනෙක් පැත්තෙන් ජනාධිපතිතුමා පක්ෂපාති ලංකාවට කියලා කියපු කතාවටත් මෙරට හොඳ පිළිගැනීමකට ලක්වුණා.” මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කීවේය.


“ඇයි බංග්ලාදේශ අගමැතිතුමිය අපි මෙච්චර ඉක්මනට ණය ගෙවයි කියලා හිතුවේ නෑ කියපු කතාවටත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ලෝක ප්‍රජාවම, කඩා වැටුණු රටක් ලෙස අප ඉක්මනින්ම නැගී සිටීම ගැන විමතිය පළ කරනවා.” මන්ත්‍රී වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.


“සමාජවාදී කියුබාවේ ජනාධිපති ලංකාවට ගෙන්වා ගන්නේ ධනවාදි නායකයෙක් කියන රනිල් වික්‍රමසිංහ විසින්. හැබැයි ලංකාවේ සමාජවාදී නායකයා යන්නේ ධනවාදී රටවලට. මේ වෙනස ජනතාව තේරුම් ගන්න ඕනෑ.” ඇමති ප්‍රසන්න කීවේ සැවොම සිනා ගන්වමිනි.


“ඉරාන ජනාධිපතිවරයාත් උමා ඔය විවෘත කරන්න ලංකාවට පැමිණෙන්නේදැයි” මන්ත්‍රී මදුර විමසද්දී ජනපති හිස සැලු‍වේය.
මේ සියල්ල අසා සිටි ජනපති රනිල් කීවේ හැකි ඉක්මනින් රට සංවර්ධනය කරා රැගෙන යාම සිය අභිප්‍රාය බවය.

පාර්ලිමේන්තු සතියක් නොවූ නිසාත්, දීර්ඝ සති අන්තයක් නිසාත්, පසුගිය සතියේ දේශපාලන කරළියේ පැවතුණේ  තරමක නිහැඬියාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් සිටි අතර, ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දෙවැනි වාරිකය සම්බන්ධයෙන් සලකා බැලීමට දිවයිනට පැමිණ සිටියහ. මේ නිසා ගිය සතියේ  දේශපාලන කරළිය ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබිණ.

එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ බොහෝ කතා බහට ලක්විය. හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනේ දී තමන් ජනාධිපති කාලයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස සිටි චමුදිත සමරවික්‍රම සමග කළ සාකච්ඡාව බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. මේ නිසා මේ ගෙවුණේ මෛත්‍රීගේ සතියයි. 

මෛත්‍රී කියන හොඳ වැඩ, ගොන් වැඩ,  වැරදි වැඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම, අනු සංවිධානවල ප්‍රධානීන් ද ඉකුත් සති අන්තයේ කොළඹට කැඳවීය. පක්ෂයේ  සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම හමුව පැවැත්වුණේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී ය. ඒ සඳහා සියලු‍ දෙනාට ආරාධනා ලිපි යවා තිබුණේ මෛත්‍රීගේ අත්සනින් යුතුවය. එම හමුව කැඳවීමේ අරමුණ, එහි සඳහන් නොවූ නමුත්, කැඳවා තිබුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සහ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි.


එම  හමුවට කලින් පක්ෂයේ පරිපාලන කමිටුව එදින උදේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී රැස්විය. ඒ පක්ෂයේ ජාතික සංවිධායක  දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු වෙනුවෙන් සකස් කළ කෙටුම්පත අනුමත කර ගත යුතු බැවිනි. ඒ අනුව පරිපාලන කමිටුවේ සාමාජිකයන් වන වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උපසභාපති ෂාන්  විජයලාල් ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ආචාර්ය චමිල ලියනගේ යන  පිරිස ඊට සහභාගි වූහ. එහි දී තීරණය වූයේ දුමින්දගේ වැඩපිළිවෙළ ආසන හා  දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවේ දී අනුමත කර ක්‍රියාත්මක කිරීමටය.
ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුව 10.30 ට පමණ ආරම්භ විය. පිළිගැනීම  කළේ වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ය. අරමුණ පැහැදිලි කරමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා  දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම් ධුරයෙන්  ඉවත් කිරීමට හේතුව, වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම  ඉදිරි සංවිධාන කටයුතු ගැන ද ඔහු පැහැදිලි කළේය. දයාසිරි ජයසේකර අනුකම්පාවක් ඇති වෙන විදියට අද කතා කියමින් යනවා. ඔහුගේ මේ අතිධාවනකාරී ක්‍රියාකලාපය නිසයි අපට ඔහු අයින් කරන්න සිද්ධ වුණේ. ඔහු මම නැති තැන්වල මාව විවේචනය කළා. එයාගෙ අරමුණ වෙලා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වෙන්න. ඔහු පක්ෂයේ අරමුදලින් එක්කෝටි විසි ලක්ෂයක් කාටවත් නොකියා හෙලිකොප්ටරේ නාමයෝජනා දෙන වෙලාවේ වියදම් කරලා තියෙනවා. පක්ෂ මූලස්ථානය වෙන පක්ෂවලට මාධ්‍ය හමු තියන්න දුන්නා. ආපු සමහර සංවිධායකලා මට බැන්නා. මට සිද්ධ වුණා ඔහු අයින් කරන්න. සාමසාකච්ඡාවලට කවුරුහරි එනව නම් එන්න. හැබැයි දයාසිරිට සභාපතිකම, ලේකම්කම, ජාතික සංවිධායකකම නම් දෙන්නෙ නෑ. වෙන ඕන තනතුරක් දෙන්න පුළුවන්”‍ මෛත්‍රී කීවේය.


ඒ සමඟම ඔහු කිව්වේ ලබන වසර මැතිවරණ වසරක් බවය. ‘‘ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය කියන මේ හතරෙන් එකක් හරි දෙකක් හරි ලබන වසරේ තියන්න පුළුවන්. ස්ථිර වශයෙන්ම තියන්න වෙන්නේ  ජනාධිපතිවරණයයි, මහ මැතිවරණයයි. දුමින්ද දිසානායක ඇමතිතුමා ඉදිරි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. එතුමා ඒ ගැන  පැහැදිලි කරයි.’’ මෛත්‍රී කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි.


තමා පහුගිය කාලයේ හොඳ වැඩ මෙන්ම, ගොන් වැඩත් කර ඇති බව මෛත්‍රී කීවේ හැමෝම හිනස්සමිනි.  2015 මැතිවරණයෙන් පසුව ඩිලාන් පෙරේරාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් දී ඇමතිකමක් දීම තමා කළ ගොන් වැඩක් බව ඔහු කීවේය. ඩිලාන්ගේ තාත්තට ආණ්ඩුකාරකමක් දීමද ගොන් වැඩක් බව ඔහු කීවේය.

අනතුරුව කතා කළේ දුමින්ද දිසානායක ජාතික සංවිධායකවරයාය. ඔහු කීවේ පක්ෂ සාමාජිකත්වය වැඩි  කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. සාමාජික අයදුම්පත් පිරවීම නොව අඩුම  වශයෙන් මැතිවරණ කොට්ඨාසයකින් අලු‍තින් පවුල් සියයක් හෝ පක්ෂයට බඳවා ගෙන සාමාජිකත්වය ලබා දිය යුතු බව දුමින්ද සඳහන් කළේය. ඒ සඳහා ඊ සාමාජිකත්වය ලබා දීමට වෙනම ඇප් එකක් ද සකස් කර ඇති බව ඔහු කීවේය. ඔහු කීවේ ඔක්තෝබර් 15 වැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා සියලු‍ම මැතිවරණ කොට්ඨාසවල ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය. ජනවාරි මාසයෙන් පසුව මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව ඔහු කීවේය.

 

මේ අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන මහාචාර්ය  රෝහණ ලක්ෂ්මන් පියදාස ද කතා කළේය.


ඔහු අපූරු කතාවක් කීවේය. ‘‘අපේ පක්ෂ නායකතුමා හොඳ වැඩ වගේම ගොන් වැඩද කර ඇති බව කිව්වා. මම හිතනවා එතුමා හොඳ වැඩ, ගොන් වැඩ වගේම සමහර වැරදි වැඩත් කළා කියලා’’ යැයි  කී රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ සඳහා උදාහරණයක් ලෙස ඉදිරිපත් කළේ  මහ මැතිවරණයෙන් පසුව පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී එම වැරදි වැඩ කර ඇති බවය. ලක්ෂ්මන් පියදාස මහතා ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ සිටි අයෙකි. ඒ වෙනුවට ආචාර්ය සුරේන් රාඝවන් පාර්ලිමේන්තුවට පත් කර යවන ලදී. ආචාර්ය රාඝවන් පත් කර යැවීම සම්බන්ධයෙන් ඔහු සිටින්නේ තරමක් උරණවෙලාය. එහෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය රාඝවන් මෛත්‍රීටත් නොකියා ආණ්ඩුවට සම්බන්ධ විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් රෝහණ ලක්ෂ්මන් මෛත්‍රීට ඒ ගැන සිහිපත් කළේය. වෙලාවට සුරේන් රාඝවන් සභාවේ නොසිටියේය.
මේ අතර, ආසන සංවිධායකවරුන්ට ද අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබිණ. එක සංවිධායකවරයෙක් පමණක් දයාසිරි වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු කිව්වේ මෛත්‍රීට සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී පහර දෙන විට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිටියේ නම් ඔහු මෛත්‍රී  වෙනුවෙන් පෙනී සිටින බවය. ඒ ගැන වෙනත් කිසිවකු කතා කරන්නට ගියේ නැත. මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර මෙන්ම ෂාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

චන්ද්‍රිකා-මෛත්‍රී අලු‍ත් හාදකම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හැට දෙවැනි ගුණසමරුව ඉකුත් සතියේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වුණේ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක,  සුනේත්‍රා බණ්ඩාරනායක, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, කුමාර වෙල්ගම, ෂාන් විජයලාල් ද සිල්වා, සරත් ඒකනායක ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

වෙනදා බණ්ඩාරනායක දින උත්සවයේ දී සමරු ගීතය ගායනා කිරීමේ අවස්ථාව අඛණ්ඩව ලැබුණේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයටය. ඒත් එම සම්ප්‍රදාය වෙනස් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමරු ගීතය ගායනා කිරීම වේයන්ගොඩ ශාන්ත මේරී ජාතික පාසලට ලබාදී තිබිණ. එසේ වූයේ කුමක් නිසාදැයි පැහැදිලි නැත.

 

මේ අතර මෙවර සමරු උත්සවයේ තවත් විශේෂත්වයක් විය. හිටපු ජනාධිපතිනී  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය කාලයේ සිටියේ  තරමක විරසකයෙනි. ඒ නිසා පසුගිය වසර ගණනාවක බණ්ඩාරනායක සමරුව වෙනුවෙන් උත්සව දෙකක්  සංවිධානය කරන්නට සිදුවිය. චන්ද්‍රිකා හොරගොල්ලේ දී සමරු උත්සවය පවත්වද්දී  මෛත්‍රී ගිය වසරේ පැවැත් වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේය. ගාලු‍මුවදොර  බණ්ඩාරනායක පිළිරුව අසල පැවති උත්සවවලදී ද චන්ද්‍රිකාගේ උත්සවය සහ මෛත්‍රීගේ උත්සවය කියා උත්සව දෙකක් පැවැත්විණ.  එහෙත් මෙවර උත්සව දෙකක් නොපවත්වා මේ දෙපිරිසම එකට සහභාගි වී සිටීම මෙන්ම චන්ද්‍රිකාත්-මෛත්‍රීත් කුළුපගව උත්සවයේ කතා බහ කරමින්  සිටීම ද බොහෝ දෙනා අතර කතාබහට ලක් විය.

 

අර්ථසාධක අරමුදල රැකගන්න සජබ,  නිදහස උසාවි යයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදල් යොදාගැනීමට එරෙහිව සමගි ජන බලවේගයත් නිදහස ජනතා සභාවත් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, නිදහස ජනතා සභාව වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ඒ හරහා සමාජ සුබසාධන අරමුදල්වලට අගතියක් වන බව කියමිනි.
මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන නව පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් දැනටමත් විරෝධය  එල්ල වී ඇති අතර, මෙය ලබන සතියේ පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සමගි ජන බලවේගය නිදහස ජනතා සභාවත් තීරණය කර ඇත.

 හදිසි ජනාධිපතිවරණයක් ද

උත්තර ලංකා සභාගයේ  විධායක සභාව ද ඉකුත් අඟහරුවාදා හැන්දෑවේ බොරැල්ල කොමියුනිස්ට්  පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. වාසුදේව නානායක්කාර,  උදය ගම්මන්පිල,  වීරසුමන වීරසිංහ, ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් ඊට  සහභාගි වූ අතර, විමල් හා ඩලස් යන දෙදෙනා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සහභාගි නොවූහ.

ඉදිරියේදී මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් විය.
හදිසි ජනාධිපතිවරණයක් ආවොත්  ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්ද කතාබහට ලක්විය. එහිදී වැඩි වැඩිදෙනෙකු කිව්වේ නියමිත කාලයට පෙර ලබන වසරේ ජනාධිපතිවරණය  පැමිණීමේ හැකියාව ඇති බවය. 

හැමෝම චීනෙට 

චීන ජනරජ දිනය නිමිත්තෙන් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ විශේෂ උත්සවයක් පැවැත්වුණි. සෑම වසරකම පැවැත්වෙන මේ උත්සවයට මෙවර වෙන කෙදිනටත් වඩා දේශපාලනඥයන් පැමිණ සිටිනු දැක ගත හැකි විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, ජනාධිපතිවරුන් වන මහින්ද, මෛත්‍රී සහ ගෝඨාභයද මෙම අවස්ථාවට එක්විය. කෙසේ වුවද චන්ද්‍රිකා අසුන්ගෙන සිටියේ චීන තානාපති බිරිඳ සිටින මේසයේය. මහින්ද, මෛත්‍රී සහ ගෝඨා චීන තානාපතිවරයා සමග අසුන් ගෙන සිටියේය. අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම තවත් බොහෝ දේශපාලනඥයයෝ එක්ව සිටියහ. ඒ අතර ජොන්ස්ටන්, මහින්දානන්ද, විජයදාස, පාඨලී ද  ලසන්ත අලගියවන්න, සනත් නිශාන්ත දැක ගතහැකි විය. මේ උත්සවයට අතීතයේ සිට එක්වන ගම්මන්පිල, තිස්ස විතාරණ, නවීන්, මයන්ත, විජිත හේරත් වැන්නන්  මෙවරත් දැක ගත හැකි විය.


මේ දේශපාලනඥයන් දෙස බලා සිටි අතීතයේ සිට චීනය සමග මිතුරුව කටයුතු කරන අයෙකු කීවේ “ මීට අවුරුදු 10 කට විතර කලින් මේ ඉවෙන්ට් එකට එන්න හැමෝම පස්සගහනවා. දැන් බලන්නකො එන පෝලිම” කියාය. මේ අතර එම උත්සවයේ විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ජුලී චන්ග් මහත්මියද එයට සහභාගි වීමයි. ඇය පැමිණ සිටි විවිධ මට්ටම්වල ආරාධිතයන් සමග බොහෝ වේලාවක්  කතා බහ කරමින් සිටිනු දැක ගත හැකි විය.

 

■ ගජබා