මිරිහානේ සිද්ධියේ සජීවී විකාශය ආණ්ඩුවෙන් නවත්වයි


 

ඩොලර් අර්බුදයත්, ගෑස්, විදුලිය හා ඉන්ධන අර්බුදයත් සමග ආර්ථිකය බරපතළ ගැටලු‍වකට මුහුණ දෙමින් සිටී. ඒ සමගම රටේ දේශපාලන කරළියද සැලකිය යුතු ආකාරයෙන් ගිනියම් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත පාර ආසන්නයේ විශාල පිරිසක් රැස්ව ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කළ කෝලාහලය ඊට එක් උදාහරණයකි.
මෙවැනි උද්ඝෝෂණයක් පවත්වන බව බොහෝ දෙනකු නොදැන සිටි අතර, ජුබිලි කණුව අසලට හැන්දෑවේ රැස් වූ පිරිස් ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ මාර්ගය අසල රැස්ව උද්ඝෝෂණය කිරීම නිසා නිර්මාණය වූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ ගැටුම්කාරී තත්ත්වයකි. අවසානයේ විරෝධතාව මැඩපවත්වන්නට කඳුළු ගෑස් සහ වතුර ප්‍රහාර එල්ල කරන්නට පොලිසියට සිදුවිය.


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව උද්ඝෝෂණයක් සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ පළමු අවස්ථාව මෙය විය. සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා ‘‘ෂැංග්‍රිලා’’ හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටි බවද වාර්තා විය. කෙසේ වුවද තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ වතුර ප්‍රහාර එල්ල කරන්නට ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි


මිරිහානේ සිද්ධියේදී රාජ්‍ය දේපළ ගණනාවකටද හානි වී තිබිණි. හමුදාවේ බස් රථයක්, පොලිස් ජීප් රථයක් ඇතුළු වාහන කිහිපයකට ගිනිතබා තිබූ අතර, තවත් දේපළ රැසකට හානි වී තිබේ.


මිරිහානේ සිද්ධිය රට පුරා මෙන්ම, ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රචාරය වන්නට ගත වූයේ සුළු වෙලාවකි. රටේ ආර්ථික අර්බුදයත් සමග ඇතිව තිබෙන දේශපාලන අර්බුදය එතරම් සුබවාදී නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.


මිරිහානේ ඇතිවූ සිද්ධිය එක්තරා රූපවාහිනී නාළිකාවක් ඔස්සේ සජීවීව විකාශනය කරමින් තිබිණි. එය එතරම් හිතකර නොවන බව දැනගත් ආණ්ඩුවේ බලධාරීන් සජීවී විකාශය නතර කරන ලෙස උපදෙස් දුන් බවටද වාර්තා පළ විය.


අඩු ආදායම්ලාභීන්ට ආණ්ඩුවෙන් රුපියල් 5000ක දීමනාවක්


සතියේ කැබිනට් රැස්වීම ඉකුත් සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එය මාස දෙකක් ගෙවීමට යෝජනා විය. ඒ යටතේ පවුල් ලක්ෂ තිස් එකකට එම දීමනාව හිමිවනු ඇත.


ආණ්ඩුවේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ දී ඉකුත් සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, මහාචාර්ය චරිත හේරත් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ද, ජනාධිපති මාධ්‍ය අංශයේ හා අගමැති මාධ්‍ය අංශයේ නිලධාරීහු ද සහභාගි වූහ.


සාකච්ඡාවට ලක්වුණේ ආණ්ඩුවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙනි. ආණ්ඩුවේ කටයුතු මාධ්‍ය හරහා ප්‍රමාණවත් ලෙස සහ විධිමත් ලෙස ප්‍රචාරය නොවන බවට එහිදී චෝදනාවක් විය. ආණ්ඩුව කරන දේවල්වලට වඩා නොකරන දේවල් මාධ්‍යවල පළ වන බවට එහිදී ඇමැතිවරු ද පෙන්වා දුන්හ. මහාචාර්ය චරිත හේරත් ඉදිරිපත් කළේ ඊට විරුද්ධ අදහසකි. ඔහු කිව්වේ ආණ්ඩුවේ ආගියුමන්ට් ෆේල් බවය. ජනතාවට වැදගත් වන්නේ පණිවිඩකරුවා නොව පණිවුඩය බවත්, එහෙත් එවැනි පණිවුඩයක් දෙන්නට ආණ්ඩුවට නොහැකිවී ඇති බවත් ඔහු කීවේය. චරිත කියන්නේ කුමක් ගැනදැයි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විමසීය. ආණ්ඩුව කරගෙන යන්න ආගියුමන්ට් එකක් තියෙන්න ඕන. ඇයි අපි මෙතන ඉන්නේ. මොනවද අපි කරන්නේ. නමුත් මිනිස්සු අතර මතයක් තියෙන්නේ කැබිනට් එකේ ඉන්නේ මෝඩයෝ කියලා. අපි මුකුත් කරන්නෙ නෑ කියලා. ඉතින් ඒ නිසා අපි කියන දේවල් මිනිස්සු පිළිගන්නේ නෑ. චරිත හේරත් කීවේය.


අනතුරුව කතා කළේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ය. ඔහු කිව්වේ චරිත හේරත් කියන දේට එකඟ විය නොහැකි බවය. ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණයේ සිට එන්නත්කරණය සාර්ථක කර ගැනීම දක්වා වූ කටයුතු මාධ්‍ය හරහා රැගෙන යාම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බවය. එය හරියට මාධ්‍ය හරහා නො ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව ඔහු කීවේය.


රූපවාහිනී සංවාද හා සාකච්ඡාවලට යන පිරිසක් ද එහිදී තීරණය කෙරිණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිස රූපවාහිනී සහ මාධ්‍ය සාකච්ඡාවලට ගොස් රටේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නට යෝජනා විය.


මෛත්‍රීට නිල නිවසෙන් යන්න වෙයි


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචිව සිටින කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස භාවිත කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ගිය සතියේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම දේශපාලන කරළියේ ද කතාබහට ලක්විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව හිටපු ජනාධිපතිවරයා සති හතරක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත්ව යා යුතුය. අධිකරණ නියෝගය නඩුව අසා අවසන් වනතුරු බලපැවැත්වේ. මේ හේතුවෙන්, හිටපු ජනාධිපතිවරයාට සිය නිවසේ රැඳී සිටීමට හැකියාව ලැබෙන්නේ තවත් සති කිහිපයක් පමණි. ඔහු අලු‍ත් අවුරුද්දෙන් පසුව එම නිවසෙන් ඉවත්ව යාමට දැනටමත් තීරණය කර ඇත. අධිකරණ නියෝගය දුන් දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමු වූහ. 


දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා යන මැති ඇමතිවරු පිරිස පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මහගම සේකර මාවතේ නිල නිවසට ගොස් මෛත්‍රී හමුවූහ. එහිදී සිදුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෛත්‍රී පැහැදිලි කළ අතර පිරිස කියා සිටියේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නිවසක් හිමි විය යුතු බවය. එබැවින් කඩිනමින් ආණ්ඩුවෙන් නිවසක් ලබා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ඔවුහු කියා සිටියහ. කෙසේ වුවද අධිකරණ තීන්දුවට ගරු කරමින් අලු‍ත් අවුරුද්දෙන් පසුව නිල නිවසෙන් පිටව යන බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.


මේ අතර, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ ඉකුත් සිකුරාදා දහවල් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඔහු හමුවූහ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, අතාවුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද, අතුරලියේ රතන හිමියෝ ද එම අවස්ථාවට සහභාගි වූහ. ඒ පිරිස විමසා සිටියේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙනි. හිටපු ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය. එහිදී හවුල් පක්ෂවල නායකයින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ආණ්ඩුවෙන් නිල නිවසක් හිමි විය යුතු බවය. තමාට කොළඹ නිවසක් නැති නිසා යන්නට සිදුවන්නේ ගම්පහට හෝ පොළොන්නරුවට බව හිටපු ජනාධිපතිවරයා කීවේය. හවුල් පක්ෂවල නායකයන් කියා සිටියේ දේශපාලනය කරන්න නම් කොළඹ සිටීම අවශ්‍ය බවය. එබැවින් ව්‍යවස්ථානුකූලව හිමි නිවසක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන්න කියාය.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට පක්ෂයේ බොහෝ දෙනකුගෙන් බලපෑම් එල්ලවී ඇතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ දීර්ඝ සාකච්ඡාවක් වන බවත්, එදින සවස පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණාත්මක රැස්වීමක් පවත්වන බවත් මෛත්‍රී කීවේය.
හවුල්කාර පක්ෂවල නායකයෝ ද මේ දිනවල මහනාහිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය බැහැදැක ‘රට හරිමගට’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වති.


හවුල් පක්ෂවල ඉලක්කය වී ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීමය. ඒ සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවත්, 113 සම්පූර්ණ වූ වහාම එය ඉදිරිපත් කරන බවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමුළුවට සාමාජික රටවල නායකයන් සම්බන්ධ වූයේ සූම් තාක්ෂණ ඔස්සේය. රාජ්‍ය නායක සමුළුවට පෙර දිනයේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුලළුව පැවැත්වුණේ විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට සහභාගි වීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් මහතාද ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔහු දින තුනක් ලංකාවේ රැඳී සිටියේය. එම කාලය තුළ ඔහු ජනාධිපතිවරයාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පිරිස්, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද හමුවී සාකච්ඡා කළහ.


මහජන විරෝධයට සජිත්ගේ සහාය


මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූයේ ඉන්දීය තානාපති නිල නිවසේදීය. සජිත් හමු වූ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා දීර්ඝ වේලාවක් සුහ ද සාකච්ඡාවක නිරත විය.


‘‘ඉන්දියාව කියන්නේ අපිට ගොඩක් සමීප රටක්. භූමියෙන් විතරක් නෙමෙයි, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන් සමීප රටක්. මේ වෙලාවේ රටේ ඇතිවෙලා තියෙන ආර්ථික තත්ත්වයෙන් මිදීමට උදව් කරන්න’ ’සජිත් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.


‘‘හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීතුමා සුවසැරිය ලංකාවට ගෙන්වා ගැනීමට විශාල මැදිහත්වීමක් කළ බව අපි දන්නවා’’ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා පැවසුවේය.


‘‘ආර්ථික කටයුතු ගැන විශාල වගකීමක් හර්ෂට, ඉරාන්ට වගේම කබීර් හෂීම්ට ලබා දී තිබෙනවා’’ සජිත් පක්ෂයේ කටයුතු ගැන ද පැහැදිලි කළේය.


මේ අතර රටවල් හතක තානාපතිවරුන් සජිත් හමුවීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ බ‍්‍රහස්පතින්දාය. පලස්තීනය, කුවේට්, ඕමාන්, ඉන්දුනීසියාව, පකිස්ථානය, තුර්කිය සහ මාලදිවයින යන රටවල තානාපතිවරුන් හමුවිය


‘‘රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පලස්තීන ප‍්‍රශ්නය වෙලාවේ දී පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියා. අදත් ඒ වෙනුවෙන් කෘතවේදීව සිහිපත් කරනවා’’ පලස්තීන තානාපතිවරයා අතීතය සිහිපත් කළේය.
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි නෙස්බි සාමිවරයා හමුවූ විපක්ෂ නායකවරයා රටේ ආර්ථිකය වැරදි දිශාවකට යාමට හේතු වූ කරුණු ගැන පැහැදිලි කළේය.


සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් ආසන මට්ටමෙන් ලබන 7 වැනිදා විරෝධතාවයක් සංවිධානය කර තිබේ. මේ ගැන සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් හමුවූයේ විපක්ෂ නායක කාර්යාලයේදීය.


‘‘15 වැනිදා අපි කළ සාර්ථක විරෝධතාවයෙන් ජනතාව දැන් ඉදිරියට එමින් තියෙනවා. දැන් බය නැතිව ජනතාව පාරට බහිනවා’’ එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා පැවසුවේය.


‘‘දැන් මේ විරෝධතාව මිනිස්සු අතට අරගෙන තියෙනවා. අපි මේ මිනිස්සු තනි කරන්න ඕනෑ නෑ. අපි මේකට දේශපාලන පාටක් ගාන්න ඕනෑත් නෑ. ජනතාවගේ විරෝධතාවයන්ට ශක්තියක් දෙන්න, ජනතාව ආරක්ෂා කරන්න අපි ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙනවා’’ සජිත් කීවේය.


‘‘අරගලය අපි මහ පාරට අරගෙන එන්න ඕනෑ’’ රාජිත යෝජනා කළේය


මේ අතර ජනතාව ස්වාධීනව නැගී සිටිමින් 3 වැනිදා රට පුරාම විරෝධතාවයක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බවට විපක්ෂයට තොරතුරු වාර්තා විය. ඒ අනුව එම විරෝධතාවයට සහාය දැක්වීමට ඔහුට අවශ්‍ය විය.


‘‘මම මේකට සහාය ලබා දෙනවා කියලා සමාජ මාධ්‍ය හරහා පණිවුඩයක් නිකුත් කරන්නම්. මේක අපේ වැඩක් නොවුණත්, ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැගී සිටීම්වලට අපේ ශක්තිය දෙන්න ඕනෑ’’ සජිත්ගේ ස්ථාවරය විය.


ඒ අනුව තුන් වැනිදා විරෝධයට සහාය ලබාදෙන බවට සජිත් පණිවුඩයක් නිකුත් කළේය. එයට විවිධ පාර්ශවයන්ගෙන්, විවිධ අදහස් ඉදිරිපත් විය.


‘‘මම පක්ෂ නායකයෙක් විදියට නෙමෙයි පුරවැසියෙක් විදියට තමයි අදහස් දැක්වූයේ. මේක එක පක්ෂයක් අතට ගන්න නෙමෙයි උත්සාහ කළේ. පුරවැසි සටන්වල දී අපි දේශපාලනය ඉස්සරහට අරගෙන පටු වාසි ලබා ගැනීමට කටයුතු කරන්නේ නෑ’‘ සජිත් තම හිතවතුන්ට පැවසුවේය.


මේ අතර මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස වට කරමින් ජනතාව විරෝධය දක්වන විට එහි පවතින තත්ත්වයන් ගැන සජිත් කරුණු සොයා බැලු‍වේ නිදි වර්ජිතවය. එතැන සිටි පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වූ වහාම සජිත් අවධානය යොමු කළේ අවශ්‍ය අයට නීතිමය සහාය ලබාදීම කෙරෙහිය.


‘‘මෙතැන පාට පක්ෂ බේද බලන්න එපා. නීති උපදෙස් අවශ්‍ය කවුරුන් හෝ ඉන්නවා නම් ඔවුන්ට නීතිමය සහාය ලබා දෙන්න. හැබැයි කිසිම තැනක දී මේක දේශපාලන කෝණයකින් ගන්න එපා’’ සජිත් උදෑසනම පක්ෂයේ නීති කමිටුවේ ජ්‍යෙෂ්ඨයන්ට දුරකතනයෙන් කතා කරමින් උපදෙස් දුන්නේය.


අප්‍රේල් සමරුවට ජවිපෙ සැරසෙයි


පනස් එක් වැනි අප්‍රේල් විරු සමරුව අනිද්දා (5) ස්ථාන තුනකදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේදී තීරණය කළේය. රත්නපුරයේ පැවැත්වෙන සමරුව පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා, බිමල් රත්නායක හා වෛද්‍ය නලින්ද සිල්වා, බිමල් රත්නායක හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්ද කෑගල්ල සමරුව පක්ෂයේ ලේකම් අනුර කුමාර දිසානායක හා විජිත හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ද මාතලේ සමරුව ලාල් කාන්ත හා සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ තීරණය කළහ.


මීට අමතරව මැයි රැලිය කොළඹදී පැවැත්වීමටත් තීරණය විය. පෙළපාළිය හා රැස්වීම පැවැත්වෙන ස්ථානය පසුව දැනුම් දීමටද තීරණය කළේය. මේ සඳහා පොලිසිය සමග සම්බන්ධ අවශ්‍ය කටයුතු කිරීමට සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා පත් කළේය.


පොළොන්නරුවේ පැවැත්වූ ගොවි රැලියට අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ගොවි ජනතාව ඉමහත් උද්ඝෝෂණයකින් සහභාගි වී සිටියහ. පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, නාමල් කරුණාරත්න, සමන්ත විද්‍යාරත්න, ටී.බී. සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්විණි.


රැස්වීමට පෙර පෙළපාළියක්ද පැවැත් විණි. ජාතික ජනබලවේගයේ පක්ෂ කාර්යාල යුරෝපා හා මැදපෙරදිග රටවලින් ඕස්ට්‍රේලියාව හා ඇමෙරිකාව යන රටවලත් පිහිටුවීමට එරට සිටින පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණි. ඒ පිළිබඳව නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. මැයි මාසයේදී එම කාර්යාල පිිහිටුවීම සඳහා අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා ලැබී ඇත. මේ අතර රට පුරා තැන් තැන්වල පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණි.


අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ වෙනසක්?


සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුව තුළ විශාල වෙනසක් වනු ඇතැයි විශ්වාසයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ පැවැති වෘත්තියවේදීන් හමුවකදී ප්‍රකාශ කළේය.


ජාතික ආණ්ඩුවක් නොව ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් එකතු විය යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. පසුගිය සතියේදී පැවැති විශේෂත්වය වූයේ එජාපය කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයයි. අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේ පැවැති සත්‍යග්‍රහය සාර්ථක වීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරුන් ප්‍රධාන පක්ෂයේ ප්‍රධානීන් තුළ දැඩි උනන්දුවක් ඇති කර තිබුණි. එකතු වී රට හදන වැඩට පිරිස මෙහිදී දිවුරුම් ප්‍රකාශයක්ද ලබා දුන්හ.
මෙවැනි විරෝධතා ව්‍යාපාර මින් ඉදිරියටත් පැවැත්වීමට සැලසුම් කළයුතු බව ප්‍රකාශ කළ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන්ගේ උද්යෝගය තබා ගනිමින් ජනතාව අප වටා එකතු කර ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කළේය.


ඒ අනුව හයිඩ් පිටියෙන් ඇරඹි සත්‍යග්‍රහ ව්‍යාපාරය ගමින් ගමට ආරම්භ කිරීමටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම කොළඹින් පිටත දී තවත් සත්‍යග්‍රහයක් පැවැත්වීම ගැන හා සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම කොළඹින් පිටත දී තවත් සත්‍යග්‍රහයක් පැවැත්වීම ගැන හා සිංහල-හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රටපුරා නගරයෙන් නගරයට ​ මෙවැනි සත්‍යග්‍රහ ව්‍යාපාර පැවැත්වීමටත් සාකච්ඡා විය.
මෙහිදී රුවන් විජයවර්ධන මහතා අදහස් දක්වමින් පැය 13 ක් විදුලිය කැපීමෙන් ජනතාව බලවත් අසීරුවකට පත්වී සිටින බව ප්‍රකාශ කළේය.


නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඩොලර් වගේම රට තුළ රුපියල් හිඟයකුත් ඇති වන බවයි. අයි.එම්.එෆ්. වාර්තාව ගැන මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව කඹ ඇදිල්ලක යෙදී සිටින බවද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මීට අමතරව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අයි.එම්.එෆ්. වාර්තාව ගැන දින දෙකක විවාදයක් ඉල්ලා සිටියේය. එහිදී ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිතුරු එවමින් අප්‍රේල් මස පළමු පාර්ලිමේන්තු සතියේම එම විවාදය ලබා දෙන බව දන්වා ඇත.
පසුගිය සතියේ තවත් විශේෂත්වයක් වූයේ ඉන්දියානු විශේෂ ඇමැති ජයශංකර් මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමයි. මීට අමතරව නායක රනිල් වික්‍රමසිංහ මහතා රූපවාහිනී පුවත්පත් හා වෙබ් අඩවි කීපයක් සමග සාකච්ඡා පැවැත්වීය.


කරුගේ වෑයමට මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ‘‘යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්’’ මැයින් යුත් සංවාද මාලාවේ මහනුවර දිස්ත්‍රික් සම්මන්ත්‍රය පසුගිය බදාදා පැවැත්විණි. එයට කන්ද උඩරට නියෝජනය කරන සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. එම සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසු කරු ගියේ මල්වතු හා අස්ගිරි මහා විහාරයන්ට ය. ඒ මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහාය. එහිදී කරු ජයසූරිය මහතා මහානායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේ තම සංවිධානයේ මෙම උත්සාහය ආණ්ඩු බලය ලබාගැනීමට හෝ ආණ්ඩුව පෙරළා දැමීම වැනි පටු අරමුණකින් යුතුව සිදුකරන්නක් නොවන බවය.


එහිදී රට තුළ සිදුවියයුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ තම යෝජනා මහානායක හිමිවරුන්ට පිළිගැන් වූ කරු ජයසූරිය මහතා ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා තම සංවිධානය මහනුවරට පැමිණි බව දැනුම් දෙන ලදී. එහිදී අස්ගිරි හා මල්වතු යන මහනායක හිමිවරුන් වහන්සේලා ප්‍රකාශ කරන ලද්දේ තමන් වහන්සේලාගේ ආශිර්වාදයද එම කටයුත්තට ලබා දෙන බවය. පටු බාල අරමුණු වලින් තොරව රට ගැන කල්පනා කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරගෙන යමින් සිටින වැඩපිළිවෙළ තමන් වහන්සේලා ද අගය කරන බව මහානායක හිමිපාණන් වහන්සේලා එහිදී ප්‍රකාශ කරන ලදී.

 

 

-ගජබා-