මන්ත්‍රීන් හමුවෙන්න ජනපති මේසෙන් මේසෙට යයි


 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව අන් සියලු කාරණා අභිභවා යමින් දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව තිබේ. ගිය සතිය ​ෙවන විට ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා වට ගණනාවක් ද පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමේ උත්සවයේ දී ද ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සියලු‍ දේශපාලන පක්ෂවලට නැවත වරක් විවෘත ආරාධනයක් කළේය. ඒ සමඟම ඊට මූලික පියවර තබමින් ජනාධිපතිවරයා දේශපාලන පක්ෂවලට ද අවස්ථාව ලබාදෙමින් සාකච්ඡාවලට මුලපිරුවේ ය.   


පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම දේශපාලන පක්ෂ පාහේ ගිය සතිය පුරා ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ධනාත්මක ප්‍රවේශයකට අවධානය යොමු කරවමිනි.   
දෙමළ ජාතික සන්ධානයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කණ්ඩායමත්, කුමාර වෙල්ගමගේ කණ්ඩායම සහ චම්පික රණවකගේ හතළිස් තුන්වැනි සේනාංකයත් ගිය සතියේ ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. සමගි ජන බලවේගය සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද සිකුරාදා පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා හමුවූයේ බ්‍රහස්පතින්දා හවස් වරුවේ ය. මේ සාකච්ඡාවට යාමට පෙර මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රීගේ නිවසේ රැස්වී වෙනම සාකච්ඡාවක් ද කළේය. එහිදී ද ශ්‍රීලනිපයේ සමහර මන්ත්‍රීවරුන් කියා තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ශ්‍රීලනිපය සම්බන්ධ විය යුතු බවය.   
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් නව දෙනාම සහභාගි වූහ. දයාසිරි ජයසේකර, ෂාන් විජයලාල් ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, අංගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු ද ඒ අතර වූහ.   


හවස හතරට සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබුණත් ඩලස්ලාගේ කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාව නිසා, ශ්‍රීලනිපය සමග සාකච්ඡා ආරම්භ වූයේ විනාඩි 15කට පමණ පසුවය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රීලනිපය මුල සිටම ඉදිරිපත් කළ යෝජනාවලිය හිටපු ජනාධිපතිවරයා විසින් වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබීය. පක්ෂ නායකයන් ඇතුළත් වන ජාතික සභාවක් පත්කිරීම, කැබිනට් මණ්ඩලය සීමා කිරීම, රාජ්‍ය ඇමැතිවරුන් පත් නොකිරීම, දූෂණවලට සම්බන්ධ නොවූ පිරිස් කැබිනට් මණ්ඩලයට පත් කිරීම ඔවුන්ගේ යෝජනා අතර විය. පක්ෂ නායකයන් ඇතුළත් වන ජාතික සභාවක් පිහිටුවීමේ යෝජනාවට මෙන්ම ආංශික කාරක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය. ජනාධිපතිවරයා කීවේ හැම පක්ෂයකින්ම යෝජනා අදහස් අරගැනීමෙන් පසුව ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, පක්ෂයකින් එක නියෝජිතයකු බැගින් සම්බන්ධ කරගෙන ක්‍රියාකාරී සැලැස්මක් සකස්කරන බවය. ඔහු කීවේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාද නවවැනි දා වන විට ලැබෙනු ඇති බව ය. මේ අතර ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වන්නැයි ශ්‍රීලනිපය ට ආරාධනා කළේය. ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා හිනාවෙමින් කිව්වේ දැනටත් අපේ පස්දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවා, ඒ ඇති නේදැයි කියාය.   
 මේ අතර දැනගන්නට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව ය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් පස්දෙනෙකුම දැනටමත් ආණ්ඩුව සමග සම්බන්ධවී සිටින අතර ඉතිරිව ඇත්තේ නව දෙනෙකි. එයින්ද වැඩි දෙනෙකුගේ අදහස වී ඇත්තේ ආණ්ඩුව සමග සම්බන්ධ වී කටයුතු කළ යුතු බවය.   


ශ්‍රීලනිපය ජනාධිපතිවරයා හමුවීමට පෙර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවිය. ඩලස් සමග සිටින මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙක් ඊට සම්බන්ධ වූහ. මේ පිරිස ජනාධිපතිවරයා හමුවන්නට යන්නට කලින් දිනයේ ජී.එල්.ගේ නිවසේදීද රැස්වී සාකච්ඡාවක් කළේ ජනාධිපතිවරයා සමඟ පසුදින පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙනි. ජනාධිපතිවරයා හමුවේ මුලින්ම අදහස් දැක්වූයේ හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. ඔහු ප්‍රධාන කාරණා හතරක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය. දැනට සිටින කැබිනට් මණ්ඩලය වැඩි නොකිරීම. විධායකය විසින් පවරනු ලබන කිසිදු වගකීමක් තම කණ්ඩායම භාර නොගැනීම, වර්තමාන ජනමතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන බැවින්, කෙටි කාලයක් තුළ මැතිවරණයක් පැවැත්වීම, විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කිරීම යන කාරණා සම්බන්ධයෙන් ජී.එල්. දිගින් දිගටම කරුණු පැහැදිලි කළේය. ඔහු කීවේ තම කණ්ඩායම විධායකය විසින් පවරනු ලබන වගකීම් බාර නොගත්තද ව්‍යවස්ථාදායකය විසින් පවරනු ලබන වගකීම් භාර ගැනීමට සූදානම් බවයි. ඩලස් අලහප්පෙරුම මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ හොඳ දේවල් සඳහා කොන්දේසි විරහිතව සහාය දැක්වීමට සූදානම් බවය. ඉන්ධන, ගෑස් අර්බුදය විසඳීම, විදුලි අර්බුදය විසඳීම ආදී කාරණා මෙන්ම ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ​ෙවන කාරණාවලට තම සහාය ලබාදෙන බව ඔහු කියා සිටියේය.   


මේ අතර, හවුල් පක්ෂ ද ජනාධිපතිවරයා හමුවීමට යන්නට පෙර ඉකුත් අඟහරුවාදා හැන්දෑවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී රැස්විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ නොවූ අතර, වාසුදේව නානායක්කාර, මොහොමඩ් මුසම්මිල්, ඩියු ගුණසේකර, වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු කණ්ඩායමක් එයට සම්බන්ධ වූහ. ජනාධිපතිවරයා හමුවී සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඇති බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මේ හමුවේ අරමුණ විය. එහිදී තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කලින් ඉදිරිපත් කළ මූලික යෝජනා පදනම් කරගෙන මේ සාකච්ඡාව කරගෙන යාමට ය.   

 

 

ජනපති මන්ත්‍රීන් හමුවෙන්න මේසෙන් මේසෙට යයි

පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් සඳහා විශේෂ තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. ඊට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු සියලු‍ දෙනාම පාහේ සහභාගි වූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් මෙන්ම තානාපතිවරු පිරිසක් ද එක මේසයක අසුන් ගෙන සිටියහ. ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව යාබද මේසවල සිටි මන්ත්‍රීවරුන් හමුවන්නට ද ගියේය. අසල මේසයක චමල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටි අතර, ජනාධිපතිවරයා ද හිස්ව තිබූ පුටුවක් ගෙන ඉඳ ගත්තේය. ඒ සමගම ජන බලවේගය, ශ්‍රීලනිපය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද පැමිණ ජනාධිපතිවරයාට ළෙන්ගතුව කතා බහ කරමින් සුබපතනු දක්නට ලැබිණි. 

 

අලස්-චමල් පැටලෙති

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ දිනයේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 8 දී රැස්විය. ඊට ඇමැතිවරුන්ගෙන් සහභාගී වූයේ ටිරාන් අලස් සහ කංචන විජේසේකර යන දෙදෙනා පමණි. සාකච්ඡාවේ අරමුණ වූයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ය. සාකච්ඡාව උණුසුම් වූයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථා කිරීමේ දී ය. මැයි නව වැනිදා සිද්ධියේදී ඇමතිවරුන් ගණනාවකගේ නිවාස ගිනි තබා විනාශ කර තිබියදී, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැතැයි මන්ත්‍රීවරු ගණනාවක් චෝදනා මුඛයෙන් කතා කළහ. චමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් ඒ සම්බන්ධයෙන් කතා කළේ පොලීසියට චෝදනා එල්ල කරමිනි. ඔවුන් කීවේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව ය. මෙම නිවාසවලට හානි කළේ පොලිසියේ ඕඅයිසීලා පවා බලාගෙන සිටියදී බැවින්, ඔවුන් එම පුටුවල ම සිටියදී පරීක්ෂණ හරියට කෙරෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ඔවුහු කියා සිටියහ.   
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කීවේ එ් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇති බව ය. එහෙත් තමාට එහි වගකීම ගත නොහැකි බව අලස් කියද්දී චමල්ට තරහ ගියේය. ඔහු විමසා සිටියේ වගකීම බාරගත නොහැකි නම් ඇමැතිකම ගත්තේ ඇයිද කියාය. මේ අතර රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කියා සිටියේ පොලිස්පතිවරයා තියාගෙන මේ පරීක්ෂණ කටයුතු කළ නොහැකි බවය. එබැවින් පොලිස්පතිවරයා වහා ඉවත් කිරීමට පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටියේය.   


මේ අතර කංචන විජේසේකර මන්ත්‍රීවරයා ඉන්ධන සැපයුම සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි කළේය. ඔහු කීවේ කිව් ආර් කෝඩ් ක්‍රමය නිසා තෙල් පෝලිම් විශාල වශයෙන් අඩු කළ හැකි වූ බව ය. එය තවදුරටත් අඩු වනු ඇතැයි කී ඔහු ඉන්ධන අර්බුදය විසඳමින් සිටින බවද කියා සිටියේය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා සඳහන් කළේ කෘෂිකාර්මික ප්‍රදේශවලට ඩීසල් හා භූමිතෙල් නොලැබීමෙන් ගැටලු‍ රැසක් මතුව ඇති බවය. ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන්නැයි ඔහු කංචනගෙන් ඉල්ලා සිටි අතර කංචන කීවේ කෘෂිකාර්මික ප්‍රදේශවලට ඩීසල් සහ භූමිතෙල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවය. ඒ අනුව එම ප්‍රදේශවලට ඩීසල් හා භූමිතෙල් කඩිනමින්ම ලැබෙනු ඇතැයි ඔහු කියා සිටියේය.   
 ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී මන්ත්‍රීවරුන් රනිල්ට ඡන්දය දුන්නේ මුදල් ලබාගෙන බවට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ එම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරුන්ගේ කීර්තිනාමයට බරපතළ කැළලක් සිදුව ඇති බව ය. එබැවින් මේ සම්බන්ධයෙන් වහා සොයා බලා පියවරක් ගන්නැයි ඔහු ඉල්ලීමක් කර ඇත.   

 

ජනපතිගේ ලිපියට සජිත්ගෙන් පිළිතුරු

 

 

පාර්ලිමේන්තු නව සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමත් ඉන් අනතුරුව ඔහුගේ කතාවත් අවසානයේ සජිත් සිය මන්ත්‍රී කණ්ඩායම සමග පාර්ලිමේන්තු ලොබියට ආවේය. එහිදී ඔහුට මාධ්‍යවේදීන් පිරිසක් හමුවිය.  


‘‘සර්, බලන්නකො අපිට කැමරා ගේන්නවත් දෙන්නේ නෑනෙ’’ මාධ්‍යවේදීන් පිරිස කීය.   
“ඒ මොකෝ, වෙනදත් ඔයාලා කැමරා ගේනවනෙ”‍ සජිත් කීවේය. 
‘‘ඒකනෙ සර්, බලන්නකො.” 


‘‘ජනාධිපතිතුමාගේ කතාව ගැන මොකද හිතන්නේ?” මාධ්‍යවේදීන් සජිත්ගෙන් ඇසුවේය. 
‘‘කතාව හොඳයි. අදහසුත් ඉතාම හොඳයි. වැදගත් වෙන්නේ ක්‍රියාවයි”‍ සජිත් කීවේය. 
ජනාධිපතිතුමාගේ සමස්ත කතාව දෙස බැලීමේදී එය ධනාත්මක හරයාත්මක කතාවක් බව පැවසූ සජිත්, කතාවේ කරුණු ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවත් පැවසීය. 


එසේම එම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතු බවට තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද සජිත් පැවසීය. 
‘‘සමගි ජන බලවේග​ෙය කවුරුහරි ආණ්ඩුවට එකතු වෙනවද?”‍ මාධ්‍ය ඇසුවේය. 
‘‘ඉදිරි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක ප්‍රධාන රාමුවේ කොටස් 3 මෙහි සඳහන්ව ඇති බැවින් කවුරුන් හෝ ඇමති කටු සූප්පු කර අවස්ථාවාදී සර්ව පාක්ෂික පාලනයකට ප්‍රවිශ්ට වීමට උත්සාහ කරන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට බරක් පටවන පාලනයක් බවත් සජිත් පැවසීය. 
මේ අතර සර්වපාක්ෂික වැඩසටහනක් වෙනුවෙන් ආරාධනා කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂනායක සජිත් වෙත ලිපියක් එවා තිබුණි. 


එදිනම හවස ඊට ප්‍රතිචාර දැක්වීමට සජිත් කටයුතු කළේය. 


දැනට අප මාතෘභූමියෙහි උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇති බවත්, එකී කරුණු සැලකිල්ලට ගෙන ඉහත ලිපියෙහි සඳහන් පරිදි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ඔබතුමා විසින් කර ඇති ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිළිගැනීමට තීරණය කර ඇති බව මෙයින් ඔබට ගෞරවයෙන් දන්වා සිටින බවත් විපක්ෂනායකවරයාගේ ලිපියෙහි සඳහන් විය. 


මේ අතර වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ පුවත වාර්තා වීමත් සමග සජිත් ඒ පිළිබඳව වහාම සොයා බැලු‍වේය. සිය නීතිඥ කණ්ඩායමට ඒ පිළිබඳව දැනුම්දුන් සජිත් ඉන් අනතුරුව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ ද ඒ ගැන සාකච්ඡා කළේය. 


‘‘ඊයෙ එකට එකතු වෙලා රට ගොඩනඟමු කියන ජනාධිපති අද ජෝසප් ස්ටාලින්වත් අඩංගුවට ගන්නවා. මේ විදිහටම ජනාධිපති වැඩ බාර ගත්ත දවසට පහුවදා ගෝල්ෆෙස් අරගලකරුවන්ට පහර දෙනවා. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?”‍ සජිත් කීවේය. 
‘‘එක අතකින් එකට එකතුවෙලා වැඩ කරමු කියලා අනෙක් අතෙන් මර්දනය ක්‍රියාත්මක කරනවා’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය. 


ඊට පසුදින සජිත් වහාම ජෝසෆ් ස්ටාලින් ගේ සුව දුක් බැලීමට ගියේය. 
‘‘සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුළට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්ද?”‍ සජිත් ප්‍රශ්න කළේය. 
‘‘වැඩකරන ජනතාව වෙනුවෙන් මෙන්ම ගුරු පරපුර වෙනුවෙන් පවා ඔහු අරගල කළා. මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළ යුතු වෙලාවක අත්තනෝමතික ලෙස දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකිනවා”‍ සජිත් කීවේය. 


‘‘ඒ දවස්වල ජෝසප් ස්ටාලින් ගැන පාර්ලිමේන්තුවේදී රනිල් කියපු කතා පුදුමයි”‍ රාජිත කීවේය. 
එදා ඔහුව අත්අඩංගුවට ගන්නා විට ජී එස් පී සහනය අහිමිවන්නට පුළුවන් කීවා. ජෝශප් ස්ටාලින් කියන්නේ ජාත්‍යන්තරය දන්න වෘත්තීය සමිති නායකයෙක් කීවා. එතකොට එයා අද ජාත්‍යන්තරය දන්නේ නැද්ද?”‍ සජිත් ඇසුවේය. 


‘‘මේවා මේ තමන්ට ඕනැ වෙනකොට කබරගොයා තලගොයා කරන න්‍යාය නේ”‍ තිස්ස අත්තනායක කීවේය. 
‘‘ඔබතුමා ජනාධිපතිතුමා හමුවෙනවද?”‍ නලින් බණ්ඩාර ඇසුවේය. 


‘‘ඔව් අපි යනවා.”‍ 
සජිත් කීවේය. 


නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් (Michael Appleton), නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveler) සහ විපක්ෂනායක සජිත් අතර හමුවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී සිදුවිය. ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානයට යොමු වූ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම වෙනුවෙන් නවසීලන්ත රජයේ සහයෝගය ලබාදෙන ලෙස සජිත් එහිදී ඉල්ලා සිටියේය. 
ඉන් අනතුරුව සජිත් ඉන්දීය ව්‍යාපාරික සංසදයේ නියෝජිතයින් පිරිසක් හමුවිය. 


මේ වන විට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ ආධාර ලබා දී ඇති අතර මෙය ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම දායකත්වයක් ලෙස එහිදී සජිත් කෘතවේදීව සිහිපත් කරනු ලැබීය. 
ශ්‍රී ලංකාව වෙත ඉන්දියාව දීර්ඝ කාලයක් තිස්සේ ලබා දෙනු ලබන සහයෝගය සහ මිත්‍රත්වය පිළිබඳව හෘදයාංගමව සිහිපත් කළ සජිත් ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සහයෝගය සාදරයෙන් පිළිගන්නා බවත්, ඉන්දියාව ඉතා හොඳ මිතුරෙක් බවත් ප්‍රකාශ කළේය. 

 

එජාප නියෝජ්‍ය නායකට  මහනුවරින් ඉල්ලීමක්

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක වශයෙන් පත්වීම් ලැබූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී සිය විෂයයට අදාළ විශේෂඥයන් හමුවූයේය. ජාත්‍යන්තර සමුළුවලදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡා කළේය.
ගිය සතියේ තවත් විශේෂත්වයක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහනුවර ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට දළදා වහන්වැසේ වැඳ පුදා ගැනීමට ගියේ රුවන් විජයවර්ධන මහතා සමග ය.


රුවන්-රනිල් දෙදෙනාම එකම වාහනයේ ගමන් කළහ. මහනුවරට ගියේත් යළි කොළඹට ආවේත් එකම වාහනයකය. දළදා මාළිගාවට එදින විශාල පිරිසක් පැමිණ සිටි අතර ජනතාවගේ තදබදය නිසා රුවන් පහළ මාලයේ නතර වූයේ තවත් හිතවතෙක් සමගය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා වහන්සේට රන් මාලයක් පූජා කිරීමට සූදානම්වී ‘කෝ රුවන්’ යනුවෙන් සොයා බැලීය. ඔහු නොසිටි නිසා මාළිගයේ කාර්ය මණ්ඩලයේ කෙනකු පහළ මාලයට ගොස් රුවන් උඩුමහලට කැඳවාගෙන ආවේය. ජනපතිවරයා දළදා කරඬුවට රන්මාලය පූජා කළේ ඉන් අනතුරුවය.


මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂයේ හා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුණි. දිළුම් අමුණුගම, කේසර සේනානායක හා ශාන්තිනි කෝංගහගේ යන මහත්ම මහත්මීන් මෙම හමුව සංවිධානය කර තිබුණි.


එහිදී මහනුවර දිස්ත්‍රික්කයට පැමිණෙන ලෙසට රුවන් විජයවර්ධන මහතාට පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය.


ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කටයුතුවලට අමතරව බදාදා දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රුවන් පාක්ෂිකයන් හමුවිය. එදින මුළු දවසම ඔහු ගත කළේ පාක්ෂිකයන් සමගය.
ඉන් අනතුරුව රාජගිරිය තපෝවන අමරපුර මහනිකායේ දොඩම්පහල චන්ද්‍රසිරි මහ නාහිමියන්ද සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් හා රාමඤ්ඤ මහ නිකායේ මකුලෑවේ විමල මහ නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.


මෙහි විශේෂත්වය වූයේ රුවන් විජයවර්ධන අමරපුර නිකායාරක්ෂක සභාවේ උප සභාපති හා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ නියෝජ්‍ය ලේකම් තනතුරුද හෙබවීමයි.

 

 වැඩිකළ ඉන්ධන දීමනාව නොගන්න ජවිපෙ තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව මසකට රුපියල් ලක්ෂ දෙකකින් වැඩි කිරීමට රජය ගන්නා ලද තීරණය ප්‍රතික්ෂේප කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරනු ලැබුවේය.
ජනතාව ඉන්ධන පෝලිම්වල දුක් විඳිද්දී, ජනතාව ඉන්ධන පෝලිම්වල ජීවිතක්ෂයට පත්වෙද්දි මන්ත්‍රීවරුනට විශේෂ වරප්‍රසාද ලබා නොදිය යුතු බව තීරණය කළ ඔවුන් ඒ තීරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට පසුගිය සතියේදී පැවැරුවේය.


ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ගිය සතියේ පක්ෂ මූලස්ථානයේදී රැස්විය. මෙහිදී ප්‍රධාන මාතෘකාව වූයේ අරගලකරුවන් මර්දනය කිරීමයි. අරගලකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, විදෙස් ගමන් තහනම පිළිබඳව මෙහිදී එරංග ගුණසේන මහතා කරුණු ඉදිරිපත් කළේය. මේ සිද්ධින්වලට අදාළව නීතිමය කටයුතු සොයා බැලීමට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නීතිඥ සුනිල් වටගල මහතාට භාර දුන්නේය.


මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මේ රජය උත්සාහ කරනු ලබන්නේ අරගලකරුවන් මර්දනය කර ගෝල්ෆේස් අරගලකරුවන්ට පීඩා කිරීමට බවය. රජයේ මෙම වැඩ පිළිවෙළ පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කරදීම වසන්ත සමරසිංහ හා ලාල් කාන්ත යන මහත්වරුන්ට පවරනු ලැබීය.


මර්දනයට එරෙහිව වෘත්තිය සමිති මැදිහත් කරගෙන විරෝධතා ව්‍යාපාර රටපුරා පැවැත්වීමට පියවර ගන්නා බව මෙහිදී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව රජයේ මර්දන වැඩ පිළිවෙළට එරෙහි දේශපාලන පක්ෂ මැදිහත් කර ගැනීමේ කටයුතු විජිත හේරත් මහතාට පැවැරීමද මෙහිදී සිදුවිය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට මල්වතු මහ නායක හිමියන් විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. ජනතාවට මහ මැතිවරණයක් දිනා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර ගෝල්ෆේස් අරගලකරුවන් සෙනසුරාදා පවත්වන විරෝධතාවට සහාය දැක්වීමටද තීරණය කරනු ලැබීය.


සර්ව පාක්ෂික සමුළුවක් සඳහා ජනාධිපතිවරයා කර තිබෙන ඉල්ලීම පිළිබඳවද සාකච්ඡාවී ඇති අතර මෙහිදී රජයේ නිත්‍ය කාලය, ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කිසිදු කරුණු ඉදිරිපත් කිරීමක් නොවීම පිළිබඳවද පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනතාවට දැන ගත යුතු අවශ්‍යම කරුණු සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම පිළිබඳව කරුණු පෙන්වා දුන් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සාර්ථක එකක් නොවන බව ද කීය.

 

කරු පාර්ලිමේන්තුවට යයි  

හිටපු කතානායක කරු ජයසූරිය මහතා පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට එනු දක්නට ලැබීම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මෙන්ම එහි සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද සතුටට කරුණක් විය.  


මෙවර කරු පාර්ලිමේන්තුවට ගියේ දේශපාලනඥයකු ලෙස නොවේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙසටය. නව රජයේ ප්‍රතිපත්තියක් වී ඇති ආංශික කාරක සභා ක්‍රමය නැවත බලාත්මක කිරීමට අදාළව කටයුතු සොයා බැලීම මෙන්ම අදාළ අංශ වෙත උපදෙස් ලබාදීම කරුගේ මෙවර පාර්ලිමේන්තු ගමනේ අරමුණ විය.   

 

ගජබා