පොහොට්ටුවේ මන්ත්‍රීලා දුකින් සිටි සතියක්


ජනපති සතිය

පැමිණි ජනාධිපතිවරයා ඉරිදා දිනයේ මහියංගනයට ගොස් එදින රාත්‍රියේ එහි නතරවී පසුදා අලුයම කොළඹ බලා පැමිණීමට පිටත් වූවේ වැඩ රාජකාරි බහුල බැවිනි. ජනාධිපති කාර්යාලය වෙත ජනපති පැමිණෙන විටත් මැති ඇමතිවරු පිරිසක් එහි පැමිණ සිටි අතර බොහෝ දෙනෙකු ජනපතිගෙන් විමසුවේ ජපාන සංචාරයේ ප්‍රගතිය ගැනය.

සැහැල්ලු‍‍ දුම්රිය ව්‍යාපෘතිය ද ඇතුළු නවතා දැමූ ජපන් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම ගැනත්, මින් ඉදිරියට ආයෝජන ව්‍යාපෘතියක් නතර කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අවසර ගත යුතු බවටත් ජනපති රනිල් කළ ප්‍රකාශය ගැන ජපන් රජයේ ප්‍රසාදය හිමි වූ බව විස්තර කළේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකය.

ජපානයේ හිටපු අගමැතිවරුන් පස් දෙනෙකු මුණගැසීම ගැනද මෙහිදී ප්‍රසාදය පළවිණි. ජපානය පොදුරාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ විය යුතු බවට ජනාධිපතිවරයා කළ යෝජනාව ජපන් රජයේ ප්‍රසාදයට හේතුවිණි.


“1977 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගෙන් පසුව පළමු වතාවට යළිත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය සහතිකයක් දුන්නේ වත්මන් ජනපතිතුමා.” ඇමති වජිර කීවේ උද්දාමයෙනි.

ජනපති රනිල් වික්‍රමසිංහ ජපන් අගමැති, විදේශ ඇමති සහ මුදල් ඇමතිට අමතරව ජපන් ඩිජිටල් ඇමතිද මුණගැසුණි. සාමාන්‍යයෙන් විදේශ සංචාරයකදී රාජ්‍ය නායකයෙකු මුණගැසෙන්නේ අගමැති, මුදල් ඇමති හා විදේශ ඇමති යන පිරිස පමණකි. නමුත් ජනපති රනිල් ඉන් ඉදිරියට යමින් ජපාන ඩිජිටල් ඇමති ද මුණගැසීනි. එම හමුව තුළ ලංකාවේ අනාගත ඩිජිටල්කරණය මෙන්ම කෘත්‍රිම බුද්ධිය වැනි දෑ ගැන හොඳ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බව පොදු මතය වේ.

ජනපති රනිල් ඇතුළු කණ්ඩායම ජපන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් මුණගැසීම තුළ ලංකාව සම්බන්ධයෙන් ජපානයේ පැවැති අපැහැදීම නැතිවීමට හේතු කාරණා වූවේය.


ජපන් සාකච්ඡා එසේ යද්දී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ද වන සාගල රත්නායක කීවේ වෙනත් කතාවකි. එනම් ආගමික සංහිඳියාව කඩවන තත්ත්වයක් ගැනය. වහාම මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපති රනිල් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලට උපදෙස් දුන්නේය.


විභාග පැවැත්විය යුත්තේ සිසුන්ට පහසුවෙන ආකාරයට මිස විභාග දෙපාර්තමේන්තුවට පහසුවන ආකාරයට නොවන බව ජනපති කීවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හමුවේය. එදින සවස ජනපති පක්ෂ නියෝජිතයන් මුණගැසුණේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. එය සාර්ථක සාකච්ඡාවක් වූවේය.

පසුදින ජනපති ආරක්ෂක හමුදා සාමාජිකයන් කණ්ඩායමක් මුණගැසුණේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ය. එහිදී ජනපති රනිල් දැඩිව කියා සිටියේ ආගමික සංහිඳියාව බිඳෙන කටයුතුවලට කිසිදු අයුරකින් ඉඩක් නොතබන ලෙසය. එසේම සියලු ආරක්ෂක අංශ එක්ව මේ වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ජනපති රනිල් දැනුම් දුන්නේය.

“2015 මම නීතිය හා සාමය ඇමතිව සිටියදී ආගමික සංහිඳියාවට විරුද්ධව කටයුතු කරන අය ගැන සොයා බලන්න වෙනම පොලිස් ඒකකයක් පිහිටවූවා. දැන් ඒක තියෙනවද දන්නේ නෑ. නමුත් වරදට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.” ආරක්ෂක උපදේශක සාගල රත්නායක කීවේ එවැන්නකි.

“පොලීසිය විතරක් නොවෙයි. ත්‍රිවිද හමුදාවත් මේකට මැදිහත් වෙන්න. මේ පසුපස සිටින පාර්ශ්ව ගැන සොයා බලන්න. යම් සිද්ධියක් වීමට ප්‍රථම ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්න.” ජනපති උපදෙස් දුන්නේය.


ජනපති උපදෙස් අනුව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේ ආගමික සංහිඳියාව රැකීමට කටයුතු කරන බව කියමිනි. සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණේ පක්ෂ ඉදිරි කටයුතු ගැන කතා කිරීමටය.


පක්ෂ ඉදිරි කටයුතු ගැන හා ඉලක්ක ගැන මහලේකම් රංගේ බණ්ඩාර විසින් සකස් කළ වාර්තාව ජනපතිට බාර දුන්නේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන විසිනි. මහලේකම් රංගේ ජනපතිගෙන් ඉල්ලා සිටියේ වාර්තාවේ අඩුපාඩු ඇතොත් නිවැරදි කරන ලෙසටය. වාර්තාව අගය කළ ජනපති ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
මහලේකම් රංගේ කියා සිටියේ බල මණ්ඩල 21 ක් මේ වන විට පවත්වා ඇති බවය. මුලතිව්වල පවා ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙරට ආ බව ද මහලේකම් කීවේය. මහලේකම් ජනපති ඉදිරියේ පක්ෂ දිස්ත්‍රික් නායකයන්ගේ වැඩ ගැන පැමිණිල්ලක් ද ජනපතිට ඉදිරිපත් කළේය.

ඒ දිස්ත්‍රික් කිහිපයක බලමණ්ඩල පැවැත්වීමට නොහැකි බව කියූ නායකයන් කිහිප දෙනෙකු ගැනය. මහලේකම් කියූ දිස්ත්‍රික් නායකයන් කිහිප දෙනෙක් ද එම අවස්ථාවේ කළමනාකරණ කමිටුවේ සිටියෝය. බල මණ්ඩල රැස්වීම් පැවැත්වූ අය මෙන්ම පැවැත්විය නොහැකි බව කියූ කිහිපදෙනකු ගැන ද මහලේකම් හෙළි කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනපති කීවේ ඔවුන් ගැන විශ්වාසය තබා වැඩකළ නොහැකි නම් වෙනත් පිරිස් යොදාගෙන හෝ බල මණ්ඩල පවත්වන ලෙසටය. 
මෙරටට පැමිණ සිටින චීන රජයේ විදේශ කටයුතු උප ඇමති “සන් වෙයිඩොං” ජනපති මුණ ගැසුණේ ඉකුත් බදාදා ය. කෘෂි ක්ෂේත්‍රය දත්ත ඩිජිටල්කරණය කිරීමට ඉදිරිපත්ව සිටින බිල් ගේට්ස් පදනමේ ක්‍රියාකාරීන් පිරිසක් ද ජනපති රනිල් මුණ ගැසීමට පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙතය.
බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් මීට පෙර ද මෙරට වැඩකටයුතු වෙනුවෙන් දායක වූ කණ්ඩායමකි. මෙම වැඩ කටයුතු කරගෙන යද්දී රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉටු කර දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබුණි. ඒ අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල හා ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් උපදේශක සභාවක් ඇතිකොට මේ කටයුතු සම්බන්ධීකරණය කරනා ලෙස ජනපති රනිල් උපදෙස් දුන්නේ ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරමිනි.

කෘෂි ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් එය ඩිජිටල්කරණය කිරීමටත්, ඒ වෙනුවෙන් නව මෘදුකාංගයක් සකස් කොට දත්ත එක්රැස් කිරීමටත් කටයුතු කරන බව ඔවුන් දැනුම් දුන්නේය. ඊට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද මෙම පිරිස කැමැත්ත පළ කර තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් ජනපති මුණගැසුණේ මේ අතරවාරයේදීය. රටේ මූල්‍ය කළමනාකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය ආදී කරුණු කිහිපයක් ගැන මෙහිදී සාකච්ඡා කෙරිනි.


2048 වසරේ සංවර්ධිත රටක් බිහි කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති රනිල් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය.
පසුගිය කාලයේ ජනපති කිහිප විටක් ජාතිය අමතා ප්‍රකාශ කළ ද ඒවාට මෙවර තරම් ප්‍රතිචාරයක් හිමි වූවේ නැත.
නමුත් මෙවර ප්‍රකාශයෙන් පසු පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ජනපතිට කතා කොට කතාව අගය කිරීමට උත්සාහ කිරීම නිසා ජනපතිගේ පෞද්ගලික දුරකතනයට නිවනක් නොවීය.


ස.ජ.බ, දෙමළ ජාතික සන්ධානයේ මෙන්ම ජාතික ජන බලවේගයේ කිහිප දෙනෙක් ද ජනපති අමතා කීවේ විශේෂ ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ හැර විකල්පයක් රට ගොඩනැගීම වෙනුවෙන් නොමැති බවය.

දේශපාලනඥයන්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රැසක්ද ජනාධිපති ඇමතූ අතර ජනාධිපති සම්බන්ධ කරගත නොහැකි වූ තැන ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දුරකතන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා ඔහුගේ දුරකතනයටද නිවනක් නොවීය.

මේ හැමගේ පොදු ප්‍රකාශය වූවේ ජනපති ඉදිරිපත් කළ වැඩපිළිවෙළට සහාය දිය යුතු බවය.
සාකච්ඡාව අවසන් කළ ජනපති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ පුතුගේ විවාහ මංග්‍යයට සහභාගී වූවේය. එහි පැමිණි ජනපති පිළිගත්තේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකය. ඉන් පිටත්වූ ජනපති රනිල් කෙලින්ම ගියේ නුවරඑළිය බලාය. ඒ සිකුරාදා පැවැත්වූ නීතිඥ සංගමයේ වැඩමුළුවට සහභාගී වීමටය.

බිල්ගේට්ස් පදනම ගැන දෙපැත්තේ කතා

සංවර්ධනය වෙමින් පවතින රටවල, සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ කුසගින්නෙන් සහ අන්ත දරිද්‍රතාවයෙන් මිදීමට සමාජ සත්කාරමය වශයෙන් දායකවන ලොව ප්‍රමුඛ පෙළේ පදනමක් ලෙස Bill & Melinda Gates පදනම කීර්තියක් උසුලයි. එම පදනමේ නියෝජිත පිරිසත් සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සජිත් කටයුතු කළේය.


‘‘ආණ්ඩු බලය නැතිව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය විදිහට ඔබතුමා විශාල වැඩ කොටසක් කරනවා. විශේෂයෙන්ම මේ සමාජ සත්කාර වැඩ පිළිබඳව එක අතකට අපි විස්මයට පත්වෙනවා. අනික් අතින් ඔබතුමාට ප්‍රශංසා කරනවා”‍ පදනමේ නියෝජිතයින් සජිත් ට පැවසීය.


මෙම පදනමේ නියෝජිතයන් සජිත් හමුවීමට පෙර ජනාධිපතිවරයාද හමුවිය. ඒ අතරේ බදාදා ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී මේ ගන කතා ඇති විය.  “බිල් ගේට්ස් ගේ කණ්ඩායම ජනාධිපතිතුමා මුණගැසුනට පස්සේ විපක්ෂ නායකතුමාවත් මුණගැසිලලු‍‍ නේ ද?” ඒ පැනය මන්ත්‍රී මධුරගෙනි.

“ඔව් ගිය කණ්ඩායමට මුකුත් කතා කරන්න වෙලා නෑ. මොකද විපක්ෂ නායකතුමා තමයි වැඩිම කාලයක් කතා කරලා තියෙන්නේ.” ඇමති ප්‍රසන්න කියද්දී වජිර කීවේ “ඉන්දියාව එයාලගේ විපක්ෂය පන්නන්න හදද්දී අපේ ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාව රැක ගන්න කටයුතු කරනවා.” කියලාය.

එහි පිරිස එවිට කොක් හැඬලුව ද ජනපති කට කොනකට සිනහවක් පෑවා මිස කිසිවක් කීවේ නැත.

සජිත් ගම්උදා බලන්න යයි

පසුගිය ඉරිදා හවස සජිත් තවත් විශේෂ කටයුත්තක් යොදාගෙන තිබුණේ ය. මේ එම ප්‍රදේශයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අවධියේ බිහිකළ උදා ගම්මානවල තත්ත්වය දැක බලා ගැනීමට යාම ය.


එම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඊට නම තබා තිබුණේ “උදාවක ඇරඹුම”‍ කියාය. සජිත්  ගිරාඳුරුකෝට්ටේ රෝහලට පැමිණියේ ඒ අනුවය. එහි දී ගිරාඳුරුකෝට්ටේ රෝහලේ පවතින අඩුපාඩු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලූ සජිත් එම ස්ථානයේදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා එම රෝහලේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ පවත්නා තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගත්තේය. රෝහලට අවශ්‍යව පවතින ආරෝප්ලාන්ට් යන්ත්‍රයක් ලබා ගැනීම උදෙසා මැදිහත් වන බව එහිදී විපක්ෂ නායකතුමා  පැවසූ අතර  වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිර කාන්දුකරන යන්ත්‍ර ද ලබා ගැනීම උදෙසා සිය මැදිහත්වීම සිදු කරන බවට පොරොන්දු විය.

වඩිවෙල් බය නෑලු‍

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත්වූ සාගල රත්නායක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පළමු වතාවට ජනපති මුණ ගැසුණේ ඉකුත් බදාදාය. එම අවස්ථාවට එහි ලේකම් වඩිවෙල් සුරේෂ් ද හිටපු සභාපති හරීන් ප්‍රනාන්දු ද පැමිණ සිටියෝය.

 

“ආ ඔබතුමාට විනය පරීක්ෂණයකුත් දාලා කියලා ආරංචියි. මෙතනට ආවා කියලා දැන ගත්තොත් මොනවා කරයි ද දන්නේ නෑ.” වඩිවෙල් සුරේෂ් දෙස බලමින් ජනපති කියද්දී සැමට සිනහව නවතා ගත නොහැකි විය.


“මම කාටවත් බය නෑ. මම හරි දේ කරන්නේ.” වඩිවෙල් සුරේෂ් පිළිතුරු බැන්දේ එලෙසිනි.


වතු කම්කරුවන්ගේ ගැටලු ගණනාවක් ගැන ජනපති සමඟ මේ පිරිස සාකච්ඡා කළ අතර ඒවාට විසඳුම් සැපයීමට ජනපති එකඟ වූවේය.

සංහිඳියාව බිඳින්න දෙන්න බෑ 

ජනපති රනිල් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. මේ අවස්ථාවට මැති ඇමැතිවරු පිරිසක් ද එක්ව සිටියෝය. 


“ආගමික හා ජාතික සංහිඳියාවන්ට බාධා කරලා රට ආපස්සට ගෙනියන්න විශාල පිරිසක් උත්සාහ දරන බව පේන්න තියෙනවා.” මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කීවේය.

“සංහිඳියාව බිඳින්න කටයුතු කරන්නේ මුස්ලිම් විරෝධීවද, බෞද්ධ විරෝධීව ද නැතිනම් කතෝලික - හින්දු විරෝධීව ද කියන එක ජනාධිපතිතුමාට අදාළ නෑ. අවශ්‍ය අයට විරුද්ධව පියවර ගන්න කියලා එතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තියෙන්නේ.” වජිර අබේවර්ධන කීවේ බැරෑරුම්වය.

“සංහිඳියාව බිඳින්න කටයුතු කරන්නේ මුස්ලිම් විරෝධීවද, බෞද්ධ විරෝධීව ද නැතිනම් කතෝලික - හින්දු විරෝධීව ද කියන එක ජනාධිපතිතුමාට අදාළ නෑ. අවශ්‍ය අයට විරුද්ධව පියවර ගන්න කියලා එතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තියෙන්නේ.” වජිර අබේවර්ධන කීවේ බැරෑරුම්වය.


“ආගම්වාදයට අන්තවාදයට ඉඩ දෙන්න බෑ. සිවිල් සමාජයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.” ඇමති ශෙහාන් සේමසිංහ ද කතාවට එක්විය.

මිහින්තලේ හා මාධ්‍ය ප්‍රශ්න

“මිහින්තලේ හාමුදුරුවෝ රජයෙන් මුදල් දුන්නේ නෑ කිව්වට සංඛ්‍යා ලේඛන එක්කම රජයේ නිලධාරීන් රටට කරුණු කියපු එක වැදගත්.” ඇමති ප්‍රසන්න රණතුංග  කතාවක් ගෙනාවේය.


“සිවිල් ක්‍රියාකාරීන් කියන්නේ මේක පිටුපස වෙනත් බලවේගයක් ඉන්නවා කියලායි. අනුරාධපුරයේ මිනිස්සු අපට කියන්නේ වෙනත් කතාවක්.” මන්ත්‍රී සහන් ද කතාවට එකතු වූවේය.


“මාධ්‍ය නිදහස නැති කරන්න විකාශන අධිකාරි පනත ගේන්න යනවා කියලා මාධ්‍ය ආයතන කලබල වෙලා.” ඒ හඬ වජිරගෙනි.
“මාධ්‍යවේදීන් හිරේ දාන්න ජනාධිපතිතුමාට නම් ඕනකමක් නෑ. හැබැයි ඉතින් මාධ්‍ය ආයතන මැදිහත් වෙලා මිනිස්සුන්ගේ ගෙවල් පුච්චන්නේ නැතිනම් කිසි දේකට බය වෙන්න අවශ්‍ය නෑ.” ඇමති මනූෂ කියද්දී සැමදෙනා සිනහ වූහ. 

විමලවීරගේ දුක්ගැනවිල්ල

කැබිනට් අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහ ආණ්ඩුවේ පක්ෂවල නායකයන් සඳුදා හවස ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගි වූ මෙම රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු 42 දෙනෙක් සහභාගී වී සිටියහ. 
ඇමැති ධුර අපේක්ෂාවෙන් සිට මෙතෙක් නොලැබුණු පොහොට්ටුවේ මන්ත්‍රී පිරිස ද  ඊට සහභාගි වූහ. මේ පිරිසෙන් වැඩි දෙනෙකු පසුගිය කාලයේ පැවැති ආණ්ඩුවේ  කිසිදු රැස්වීමකට සහභාගී නොවූ නමුත්, ඔවුන් මේ රැස්වීමට පැමිණ සිටීම විශේෂත්වයක් විය. සමහරුන් පැමිණ සිටියේ ඇමතිකම් සම්බන්ධයෙන් සාකච්ඡා වනු ඇතැයි සිතාය. ඔවුන්ගේ අදහස වූයේ ඊළඟ දිනයේ දිවුරුම් දෙන්නට එන්න යැයි ජනාධිපතිවරයා කියනු ඇති බවය.


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම මෙහෙයවනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සහ කාංචන විජේසේකර යන අමාත්‍යවරුන් දෙදෙනා විසිනි. රාජපක්ෂ පවුලෙන් ඒ සඳහා  ආරාධනා  ලැබ සිටියේ ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරයා පමණි. ඒ  මොණරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා වශයෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති චමල් රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරු ඒ සඳහා සහභාගි නොවූහ. ජනාධිපතිවරයා කීවේ මිළඟ සාකච්ඡාවට චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක සහ සරත් වීරසේකර යන තිදෙනා ද කැඳවන්නැයි  කියාය. රැස්වීම  කැඳවීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර යන  දෙදෙනාද පැහැදිලි කිරීමක් කළහ. අනතුරුව ජනාධිපතිවරයා රටේ ආර්ථික, දේශපාලන  තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායත් සමග රටේ ආර්ථිකය ගොඩනගා ගෙන යන බව ඔහු කීවේය. - ඍන ආර්ථිකයක් ලෙස තිබුණු මෙරට ආර්ථිකය මේ වන විට බින්දුවේ මට්ටමට ගෙනැවිත් ඇති බව කී ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් පමණ වන විට ධන මට්ටමට පැමිණෙනු ඇති බව කීවේය ජනාධිපතිවරයා කීවේ මේ තත්ත්වය ගමට ගිහින් පැහැදිලි කරන ලෙසය.


ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේ රටේ  ආර්ථිකය ගොඩ දමා ඇති ආකාරය මෙන්ම ඒ ප්‍රතිලාභ ලැබෙන ආකාරය සම්බන්ධයෙන්ද ගමට ගොස් ඡනතාව දැනුවත් කරන්නැයි  කියාය ජනාධිපතිවරයා දිගින් දිගටම එම  ඉල්ලීම් කළේය.


ප්‍රසිද්ධියේ නොකිවුවද බොහෝදෙනා එහිදී කතා  කළේ ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ හදිසි ජනාධිපතිවරණයකට බවය. ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර යන දෙදෙනා පසුගිය කාලයේ දිගින් දිගටම කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය ලබාදෙන බවය.
ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කතා කළේය. සාගරගේ කතාව ඉදිරියට ගෙන යමින් විමලවීර දිසානායක මන්ත්‍රීවරයා කතා කළේය. ඔහුගේ කතාව තුළ විමලවීරට වූ අසාධාරණය පමණක් නොව ඇමතිකම් අපේක්ෂාවෙන් සිට නොලැබුණු අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ දුකද  තිබූ බව පැහැදිලි විය. විමලවීර එහිදී කතා කළේ දැඩි කලකිරීමෙනි.

“ඔබතුමා ඔය පුටුවට ගෙනාවේ අපි එකතුවෙලා. හැබැයි අපිට සාධාරණය ඉටුවෙලා නැහැ. මේ රැස්වීම්වලට කැඳෙව්වෙ මොකටද කියලා අපි දන්නෙත් නෑ. අපි හැමදේටම  අතඔසවනවා විතරයි. අපට අසාධාරණකම් වෙලා තියෙනවා. ඒවා නිවැරදි කරන්න කවුරුවත් කතා කරන්නේ නෑ. විමලවීර කියාගෙන  ගියේය.

“අපි පක්ෂය ගොඩදාන්න සෑහෙන මහන්සියක්  ගත්තා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය දිනවල දුන්නා. දැන් අපි තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. ආණ්ඩුවේ හිටියට අපට තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ. අපි කියන දේවල් නිලධාරීන් අහන්නෙ නෑ. සමහර පුබ්බඩ ඇමතිවරුන්ට අපට යමක් කියන්නත් බෑ. ඒ නිසා ඔබතුමා අපි ගැනත් බලන්න”‍ යැයි විමලවීර කීවේය. විමලවීරගේ ආන්දෝලනාත්මක කතාව සභාව මීයට පිම්බාක් මෙනි. කිසිවෙක් ඒ ගැන කතා කරන්නට නොගියහ.

පොහොට්ටුවේ දුක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීම් මේ දිනවල ආරම්භ කර ඇත. ඒ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ උපදෙස්වලට අනුවය. ඒ යටතේ ඉකුත්  සති අන්තයේ හොරොව්පොතාන හා මැදවච්චිය යන ආසනවල පොහොට්ටුවේ ආසන බලමණ්ඩල පිහිටුවීමේ කටයුතු සිදු වූයේ   අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන හිටපු  ඇමතිවරයාගේ මූලිකත්වයෙනි ඒ සඳහා වයඹ පළාත නියෝජනය කරන මැති ඇමති පිරිසක් ද සහභාගී වූහ. ජොන්ස්ටන්  ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන මැති ඇමතිවරුන් ද ඊට  සහභාගී වූ අතර, ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ද සහභාගී විය. පුත්තලම සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා හොරොව්පොතාන රැස්වීමේදී කළ ආන්දෝලනාත්මක කතාව ඉකුත් සතියේ දේශපාලන කරළියද  තරමක් උණුසුම් කළේය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්  වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු  කිව්වේ රාජ්‍ය ඇමතිකම් බල්ලෙකුටවත් වැඩකට නැති බවය. ඔහු මෙසේ කීවේ ආණ්ඩුවේ  රාජ්‍ය අමාත්‍ය ධුරය  දරමින්ම වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා පත් කරන්න මූලිකත්වය දුන් පොහොට්ටුවේ ජොන්ස්ටන්  ප්‍රනාන්දු , එස්.එම්.  චන්ද්‍රසේන වැනි ජ්‍යෙෂ්ඨයන් කලකිරීමෙන් සිටින බව ඔහු කීවේය. ඔවුන්ට සාධාරණය ඉටු වී නැති  බව කී හෙතෙම සඳහන් කළේ මේ රාජ්‍ය ඇමතිකම් බල්ලෙකුටවත්  වටින්නේ නැති බවය. සනත් නිශාන්තගෙන් පසුව ජොන්ස්ටන් හා එස්.එම්. චන්ද්‍රසේන  යන දෙදෙනාගේ කතාවලින් ද පොහොට්ටුවේ තිබෙන කලකිරීම මැනවින් පැහැදිලි විය. චන්ද්‍රසේන කීවේ බුදුන් වහන්සේ බුදුවීමට පිටදුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් සතියක් කෘතගුණ දැක් වූ බවය. ඔහු  නොකියා කීවේ ජනාධිපතිවරයා පත් කිරීමට මහන්සි වූ පොහොට්ටුවේ පිරිසට ජනාධිපතිවරයාගෙන් කෘතගුණ සැලකීමක් නොලැබුණු බවය.

මහින්ද අනුරාධපුරයේ


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් බදාදා හැන්දෑවේ අනුරාධපුරය බලා පිටත්ව ගියේ ඔහුගේ හිතවතකු වන, අනුරාධපුරයේ ව්‍යාපාරික සමන් කණ්ඩම්බිගේ දුවගේ  මංගල උත්සවයට සහභාගී වීම වෙනුවෙනි. ඒ යන ගමන් ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ රුවන්වැලි සෑය ද වැඳපුදාගැනීමට අදහස් කර ඇති බැවින්, අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි  මහින්ද එස්.එම්. චන්ද්‍රසේනට දැනුම් දී තිබිණි. ඒ අනුව අනුරාධපුරයට ගිය  මහින්ද, චන්ද්‍රසේන, එස්.එම්. රංජිත් ඇතුළු පිරිස සමග ගොස් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වැඳපුදා ගත්තේය. එදා මහින්දලා අනුරාධපුරයට ගිය විට එකතුවන ශෙහාන් සේමසිංහ මෙවර දක්නට නොලැබිණි. මහින්ද සමන් කණ්ඩම්බිගේ දුවගේ විවාහ මංගල උත්සවයට බ්‍රහස්පතින්දා උදේ සහභාගී වී කෙළින්ම කොළඹ  බලා ආවේ  තවත් මංගල කටයුත්තක් තිබූ බැවිනි.

ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ  පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයයි. එය බ්‍රහස්පතින්දා දහවල් පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයෝ රැසක් ඊට සහභාගි වූහ. මහාචාර්ය චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සාගල රත්නායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු දේශපාලනඥයන් මෙන්ම පුවත්පත් කතුවරුන් ඇතුළු පිරිසක්ද  ඊට සහභාගී වූහ. රනිල් වික්‍රමසිංහ මහතා කල්තියා පැමිණ  පිටව ගියේ  එදින රාත්‍රියේ ජාතිය ඇමතීමේ කතාව පටිගත කිරීමට තිබූ නිසා සහ නුවරඑළියේ සංචාරයක නිරතවීමට තිබූ නිසාය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් පැමිණ බොහෝ වේලාවක් එහි රැඳී සිටිනු දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණියේ තරමක් ප්‍රමාද වෙලාය. ඔහු  අනුරාධපුරයේ  සිට පැමිණෙන විට සවස දෙක පමණ වී තිබිණි. මංගල උත්සවයට සහභාගී වී පිටව යාමට ඩලස් එළියට එද්දී මහින්ද මුණගැසුණි.  මහින්ද කීවේ අනුරාධපුරේ වෙඩින් එකකට ගිය නිසා ප්‍රමාද වූ බවය. බොරලැස්ගමුවේ තවත් උත්සවයක් තිබෙන බව කියමින් ඩලස්  මහින්දගෙන් සමුගත්තේ ය.

චම්පිකත් ගී ගයයි

මේ අතර එදිනම තවත් මංගල උත්සවයක් පැවැත්විණි. ඒ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ දුවගේ විවාහ මංගල උත්සවයයි. එය පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්  හෝටලයේය. එය චම්පිකගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම පවුලට සමීප හිතවතුන් කිහිප දෙනෙකුට පමණක් සීමා වී තිබිණි. එහි විශේෂත්වය වූයේ චම්පික ද එදින ගීයක් ගායනා කිරීමය. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන “දුවේ උඹ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි ”‍ගීතය ඔහු  ඉතා හැඟු‍‍ම් බරව ගායනා කළේය. 

■ ගජබා