පොලිස්පතිට ආණ්ඩුවෙන් විරෝධය


ඉමක් කොනක් නොපෙනෙන අර්බුදයකට රට තල්ලු‍ වෙමින් තිබේ. ඉන් ගොඩ එන්නේ කවදාදැයි හිතාගන්නවත් නොහැකි තරමට අර්බුදය උග්‍ර වී හමාරය.


අර්බුදය ගැන මෙන්ම අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ද සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වෙන නමුත්, විසඳුමක් පෙනෙනතෙක් මානයක නොමැත. ඒ නිසා මේ අර්බුදය කවදා කොතැනින් කෙළවර වේදැයි කිසිවකුත් දන්නේ නැත.


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා හැන්දෑවේ කොටුව ජනාධිපති මනදිරයේ දී පැවැත්වුණේ මේ අතරවාරයේ ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, මැති ඇමැතිවරු ද, ඊට සහභාගි වූහ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මහත්වරු ඊට සහභාගි නොවූහ.
සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් මාතෘකා ගැන කතා බහ ආරම්භ විය. ඒ අතරවාරයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ජනාධිපතිවරයා අතට ලිපියක් භාර දුන්නේය. එය ලියා තිබුණේ ඉකුත් මැයි මස 9 වැනි දා ඇති වූ සිද්ධියෙන් නිවාස සහ දේපළ අහිමි වූ මැති ඇමැතිවරුන් විසිනි. ඉන් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකි බව ය.


ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද කීවේ, මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන ඇතැම් නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවය. ගෝල්ෆේස් අරගලකරුවන් සම්බන්ධයෙන් නිලධාරීන් මීට වඩා වෙනස් ආකාරයෙන් බලන බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ද කීවේය. මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේ පොලිස්පතිවරයා යටතේ කරන පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවය. පොලිස්පතිවරයා ඉවත් විය යුතු බව ඔහු කීවේය.


ඒ අතර රෝහල්වල ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද කතාබහක් ඇති විය. ඒ ගැන මතු කළේ ගයාෂාන් මන්ත්‍රීවරයාය. කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කීවේ බෙහෙත් හිගයක් නොමැති බවය.
මේ කතාබහ යන අතරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පිටව ගියේය. ඔහු ගොස් ටික වේලාවකින් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ද පිටව ගියේය. ඔවුන් දෙදෙනා හදිසියේ පිටව යාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සිටියේ එතරම් පැහැදීමකින් නොවේ.
‘අගමැතිතුමා මේ සාකච්ඡාවේ ඉන්න ඕන. අපිට තියෙන ප්‍රශ්න එතුමා⁣ගෙන් නිරාකරණය කරගන්න ඕන’ යැයි ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා කීවේය. අපි හිතුවේ අගමැතිතුමා ඉන්ටර්නැෂනල් පොරක් කියලා. ඉන්ධන ප්‍රශ්නයට මොනවා හරි කරයි කියලා අපි හිතුවා. යැයි කිවේ සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයාය.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කංචන විජේසේකර ඇමැතිවරයා පැහැදිලි කළේය. ඔහු කීවේ ඉදිරි දින දෙක තුන තුළ ඉන්ධන හිඟයක් ඇති වන බවය. රජය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවත්, ජනතාවගෙන් ද ඒ සඳහා සහාය අවශ්‍ය බවත් ඔහු කීවේය.
අනතුරුව උදේනි කිරිඳිගොඩ මන්ත්‍රීවරයා කතා කළේය. ‘ජනාධිපතිතුමා කට්ටියක් ගෙන්නලා එක රැස්වීමක් පවත්වනවා. අගමැතිතුමා ඒගොල්ලො ගෙනල්ලා තවත් රැස්වීමක් තියෙනවා. එකෙන් පේන්නෙ ජනාධිපතිතුමාත් අගමැතිතුමා අතර විරසකයක් තියනවා කියලයි. මේක නරක පූර්වාදර්ශයක්’ යැයි කිරිඳිගොඩ කීවේය. එහෙත් දෙදෙනා අතර ගැටුමක් නැති බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
මේ අතර තවත් මන්ත්‍රීවරයෙක් කීවේ විසි එක් වෙනි සංශෝධනය කැබිනට් එකේ අනුමත වුණා කියලා ආරංචියි. අපි ඒ ගැන මෙතන කතා කරන්නේ කොහොමද?. අගමැතිතුමාත් නෑ. විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාත් නැහැ. අපට තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගන්නෙ කොහොම ද මන්ත්‍රීවරයා කීවේය.
මේ අතර වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ද කතා කළේය. ජනාධිපතිතුමාට ඇත්තටම ලැබුණේ හතර කේන්දරේ පාළු වෙච්ච ආර්ථිකයක්. ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ ණය ගෙවීම් පහළ දාල තිබුණේ. අපි හිතුවා ඔබතුමා ආවට පස්සේ මේ තත්ත්වය වෙනස් වෙයි කියලා. බැඳුම්කර වලින් මුදල් ගන්න බැරි තත්ත්වයට පත්කරල තියෙද්දී බදු සහන දුන්නා. ඒක කොතරම් නම් වැරැද්දක් ද කියලා දැන් තේරෙනවා. මේ වැරදි තීන්දුවලට මහ බැංකු අධිපතිවගේම මුදල් ඇමැතිවරු මේකට වගකියන්න ඕන. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්තයා මේ තත්ත්වය නිවැරදි කරන්න උත්සාහ ගන්නවා. ඔහු සම්බන්ධයෙන් ජනතාව අතර ප්‍රසාදයකුත් තියෙනවා. එතුමා ඉවත් කරන්න යනවා කියලත් කතාවක් යනවා. ”‍වසන්ත යාපා කීවේය .ඔහු විමසා සිටියේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අයින් කරන්න යයි බලපෑමක් තිබේ ද කියාය.
ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කීවේ එතුමාට කිසිම විරෝධයක් නෑ. මමයි එතුමා ගෙනාවෙ. කාලේ දික්කරන්න අගමැතිතුමාගේ නිර්දේශ අවශ්‍යයි. ඒ නිර්දේශය ලැබුණම දීර්ඝ කරනවා. එතුමා ඉන් ඉවත් කරන්න අදහසක් නෑ, යනුවෙනි. ඇමැතිවරුන් කිහිපදෙනකු විමසා සිටියේ අගමැතිවරයා මේ රැස්වීමට සහභාගි නොවෙන්නේ පොහොට්ටු මන්ත්‍රීන් සම්බන්ධයෙන් විශ්වාසයක් නැති නිසා දැයි කියාය. ”‍එතුමාට අපි ගැන විශ්වාසයක් නැත්තං අපිටත් එතුමා ගැන විශ්වාසයක් නැහැ යැයි මන්ත්‍රීවරු කීහ.

 

 

ඉන්දීය නියෝජිත පිරිසක් හදිසියේ එති

 

 

ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු තිදෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින් දා උදේ මෙරටට පැමිණියහ. නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළෙන් කෙලින්ම කොළඹ බලා පිටත් වූහ. ඔවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට තවත් ණය ආධාර පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සොයා බැලීමට බවට ඒ වන විටත් ආරංචි පැතිර යමින් තිබිණි. ඉන්ධන ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් ලබාදෙන බවට ද ආරංචි පැතිර ගියේය. කොළඹට ආ මේ පිරිස මුලින්ම ජනාධිපතිවරයා හමු වූහ. එහිදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අසල්වැසි රාජ්‍යයක් ලෙස අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ය. ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවෙන් අනතුරුව පිරිස අගමැති කාර්යාලයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වූහ. ශ්‍රී ලංකාවේ පැය අටක පමණ කාලයක් ගත කළ මෙම පිරිස එම විශේෂ ගුවන් යානයෙන්ම හවස් වරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ.

 

 

ධම්මික ආගමනය

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කර තිබූ පෙත්සම් පහම ඉවත දැමීමෙන් පසුවය. ධම්මික පෙරේරා දිවුරුම් දී පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ළඟට ගොස් ඔහුට අතට අත දුන්නේය. ඔහුට වෙන්ව තිබුණේ නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් විපක්ෂයේ පසුපෙළ ආසනයකි. ඔහු සිය ආසනයේ අසුන් ගන්නට පෙර වීරවංශ මන්ත්‍රීවරයා ළඟට ගොස් අතට අත දුන්නේ ය. එතනින් පිටත්ව සිය අසුනට යද්දී විමල් කීවේ අපි හිතුවේ ආණ්ඩුවේ ලොක්කෙක් කියලාය.
බලනකොට එතුමා අපේ පැත්තෙම නේද ඉදගන්නෙ”‍යනුවෙනි. ගම්මන්පිල මන්ත්‍රීවරයා ද ඔහු සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටිනු දක්නට ලැබිණි.

 

රුසියානු ජනපතිගේ  ලිපියකුත් රැගෙන තානාපති  මෛත්‍රිගේ ගෙදර

රුසියානු ගුවන් යානයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු‍වෙන් පසුව ඒ පිළිබඳ කනගාටුව පළ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යැවීය. ඔහුගේ ලිපියට රුසියානු ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් එවා තිබූ අතර, රුසියන් තානාපතිවරයා එම ලිපිය ඉකුත් අඟහරුවාදා ඔහුගේ අතටම බාර දුන්නේය. හිටපු ජනාධිපතිවරයාට ලිපිය බාර දෙන ගමන් ඔහු කීවේ ශ්‍රී ලංකාවේ තෙල් සහ පොහොර අර්බුදයට විසඳුම් දීමට රුසියාව සූදානමින් සිටින බව ය. එහෙත් ආණ්ඩුව පාර්ශ්වයෙන් එතරම් සූදානමක් නැති බව ඔහු කීවේය.

 

හවුල් පක්ෂ රුසියන්  තානාපති හමුවේ

මේ අතර හවුල් පක්ෂවල නායකයෝ ද ඉකුත් අඟහරුවාදා සවස රුසියානු තානාපති කාර්යාලයට ගොස් තානාපතිවරයා හමුවූහ. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග එමෙන්ම අතාවුල්ලා ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. මෙම හමුව සංවිධානය කළේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහය. ඔහු පක්ෂ නායකයන් රුසියන් තානාපතිවරයාට හඳුන්වා දුන්නේය. ඒ සමගම ඔහු ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය ගැන කනගාටුව පළ කළේය.


අනතුරුව කතා කළේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ය. රටේ තෙල් ගෑස් අර්බුදයක් තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් උදව් කළ හැක්කේ කෙසේදැයි විමසා සිටියේය. රුසියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500 ක ණය මුදලෙන් වියදම් කර ඇත්තේ 150ක් පමණ බැවින් ඉතුරු ටික සඳහා තෙල් දීමට නොහැකි දැයි විමල් වීරවංශ විමසා සිටියේය. උදය ගම්මන්පිල ද ශ්‍රී ලංකාවට උදව් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයා ගෙන් විමසා සිටියේය. මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට සවන් දුන් රුසියන් තානාපති කීවේ ගුවන් යානය සම්බන්ධ ප්‍රශ්නයෙන් රුසියාව අපහසුතාවට පත් වූ බවය. ශ්‍රී ලංකාවට පොහොර සහ ඉන්ධන ලබා දීමට රුසියාව සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය නායකයන් කතාකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් කීවේය. එම හමුවෙන් එළියට ආ විමල් සහ ගම්මන්පිල දෙදෙනාම මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉතාම සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බව ය.


කතාව අවසන්වී පිරිස කෙළින්ම ගියේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයට ය. ඒ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඒ ​ෙවනවිටත් කැඳවා තිබූ බැවිනි. තානාපතිවරයා හමු​ෙවන්නට රතන හිමියන් සහභාගීනොවූ නමුත් උන්වහන්සේ පක්ෂ කාර්යාලයේ රැස්වීමට පැමිණ සිටියහ. සාකච්ඡාවට අලු‍ත් සාමාජිකයෙක් ද පැමිණ සිටියේ ය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාය. හවුල් පක්ෂ මුල දී පැවැත් වූ මහජන සභාවට ද දොලවත්ත සහභාගී වූ අතර හවුල් පක්ෂවල රැස්වීමට සහභාගි වූයේ පළමු වරටය. රජයේ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් ආවේක්ෂණ සභාවක් පත් කිරීම ගැන මුල දී සාකච්ඡා වූ අතර අනතුරුව කතාබහට ලක් වූයේ අලු‍තෙන් පිහිටුවන සන්ධානය ගැනය. එම සන්ධානය ලබන මාසයේ පමණ පිහිටුවන්නට තීරණය වූ අතර ඒ සඳහා නම් කීපයක් ද යෝජනා වී ඇතත් නම් අනුමත ​ෙවනතෙක් මාධ්‍යයට හෙළිදරව් නොකරන්නට ඔවුහු තීන්දුවකට පැමිණියහ.

 

මන්ත්‍රීවරුන්ගේ  ගෙවල්වලත් දර ලිප්

ගෑස් අර්බුදය තවදුරටත් විසඳෙන පාටක් නොමැත. මේ නිසා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ටත් දර ලිප් සොයා යන්නට සිදුව ඇත. ගිය සතියේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිවෙස්වල දර ලිප් අලු‍තින් සකස් කළ අතර ඒ සඳහා අවශ්‍ය දර ගම් බිම් ප්‍රදේශවලින් රැගෙන ආ බවත් දැන ගන්නට තිබිණි.

අමාත්‍යාංශ වැඩට නාමල් යළි අතදායි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉකුත් සතියේ කරළියට පැමිණීම සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතා බහට ලක්ව තිබේ. කංචන විජේසේකර ඇමැතිවරයා ප්‍රධානත්වයෙන් විදුලිබල අමාත්‍යාංශයේ ඉකුත් දා පැවැති සාකච්ඡාවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද පැමිණියේය. ඔහුට කිසිදු සම්බන්ධයක් නැති අමාත්‍යාංශයක කටයුත්තක් සඳහා නාමල් හදිසියේම පැමිණියේ ද යන්න බොහෝ දෙනා විමසන්නට වූහ. කංචන විජේසේකර ජනමාධ්‍යයට කියා තිබුණේ නාමල් පැමිණියේ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිවල පිරිසක් සමග බවය. එහෙත් දේශපාලන කරළියේ බොහෝ දෙනා කියන්නේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ඔහු විපරමින් සිටින බව පෙන්වීම සඳහා ඊට සහභාගි වූ බවකි.

 

විපක්ෂයේ රතු එළිය

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී තීන්දු තීරණ කිහිපයකට එළඹුණේ ය.
එයින් ප්‍රධානතම තීන්දුව වූයේ එම සතිය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ගනු ලැබූ තීන්දුවයි.
“මේක මේ වෙනකොට සෙල්ලම් ගෙයක් වෙලා ඉවරයි. මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙනවා. කාටවත් කිසි ගානක් නෑ. ආණ්ඩුව ඔළුගෙඩි සෙල්ලමක. යහළු මිත්‍ර කමට තනතුරු මාරු කරගන්නවා. මිනිස්සුන්ට එදා වේල හොයාගන්න බැරිව දුක් විඳිනවා. විසි එක් වෙනි සංශෝධනය වළක්වන්න කකුල් මාට්ටු දානවා. මෙහෙම තත්ත්වයක් ඇතුළේ මේ සතියේ අපි ආණ්ඩුවට රතු එළියක් දල්වන්න ඕන”‍ විපක්ෂ නායක සජිත් මන්ත්‍රී කණ්ඩායමට කීවේය.


‘‘ඒක ඇත්ත, අගමැතිතුමා ඇවිල්ලා රටේ තියෙන භයානකකම ගැන කියනවා. ඒ අතරේ ජනාධිපති අගමැති දෙන්නා කඹ අදිනවා.”‍ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
‘‘අපි කෙළින්ම පාර්ලිමේන්තුව මේ සතියේ වර්ජනය කරමු”‍ රාජිත සේනාරත්න කීවේය.
‘‘ඔව් ඒ අදහස හොඳයි. හැබැයි අපි වර්ජනය කරනවා නම් ඒකට හේතු මේ රටට කියන්න ඕනෑ”‍ හර්ෂ ද සිල්වා කීවේය.


‘‘මේ වෙලාවේ මේ රටේ තියෙන හැම හේතුවක් ම හේතුවක් තමා. මේ රටේ හැම මනුස්සයාම කියන්නේ මේ දුර්දාන්ත ආණ්ඩුවට ගෙදර පලයං කියලා, මේ රටේ හැම මනුස්සයාම කියන්නේ ගෝඨාභය රාජපක්ෂටත් ගෙදර පලයන් කියලා. තවත් මොනවද?”‍ රාජිත ඇසුවේය.
‘‘ගෝඨාභය ජනාධිපතිවරයා අවස්ථා කීපයක දී පාර්ලිමේන්තුව වාර අවසාන කළා. ඒ හැම වෙලාවකම රට තිබුණේ පුදුම අර්බුදයක. එදා අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියනකොට ගෝඨාභය ජනාධිපතිවරයා ඒක තුට්ටුවකට මායිම් කළේ නෑ. අද පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් කතා සාප්පුවක් විතරයි. මේ සතියේ අපි ආණ්ඩුවට මේ රතු එළිය දල්වමු”‍ සජිත් කීවේය.
ඒ අනුව අඟහරුවාදා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට තීන්දුව අරගෙන ය.


අදාළ තීන්දුව සජිත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමිනි.
‘‘අද අපි මේ පාර්ලිමේන්තුවේ රැස්වෙලා ඉන්න මොහොතේ අපේ මහපොළොවෙ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙලා තියෙනවා. දරාගන්නට බැරි පීඩනය හමුවේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අන්ත පීඩනයකින් මිරිකෙනවා. ජනතාවගේ පීඩනයට කිසිම විසඳුමක් නෑ. පෙට්රල් භූමිතෙල් ඩීසල් පෝලිම් එමටයි. ආණ්ඩු වෙනස් වීමත් එක්ක පෝලිම් වැඩි වෙලා. දරුවන්ට අම්මලට කිරි පිටි ටික නෑ. වැඩ කරන ජනතාවට රස්සා ටික නෑ. කර්මාන්තශාලා වැහෙනවා. රාජ්‍ය සේවකයන් අනාථයි. නාගරික ග්‍රාමීය දුප්පත් නැති බැරි ජනතාව, මධ්‍යම පංතිය, දෛනික වේතන ලබන ජනතාව, ස්වයං රැකියාලාභීන්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, කම්කරුවන් අද අන්ත අසරණ වෙලා.
ගරු කථානායකතුමනි, විපක්ෂයේ සියලු‍ම ප්‍රගතිශීලී කණ්ඩායම් සමග අපි තීන්දුවක් අරගෙන තියෙනවා මේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.
මේ රටේ ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව, බොරු කියන ආණ්ඩුව, රට රවටන ආණ්ඩුව කරන බොරුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.”‍ සජිත් කීවේය.

 

සජිත් සමග එක්වූ  සම්මානනීය චරිතය!

ඇති කළ කීර්තිමත් විද්‍යාඥයෙකු වූ ආචාර්ය රොහාන් පෙතියාගොඩ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත්කරනු ලැබීය.
1956 නොවැම්බර් මස 19 වැනි දින පේරාදෙණියේදී උපත ලද රොහාන් පෙතියාගොඩ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.


ලන්ඩන් කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා ඉන්පසු සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී (MPhil) උපාධිය ලබා ඇත.
1981දී සිය වෘත්තීය ජීවිතය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙස ආරම්භ කළ හෙතෙම ජීව විශේෂ 100කට අධික සංඛ්‍යාවක් විදු ලොවට හඳුන්වාදුන් කීර්තිමත් විද්‍යාඥයෙකි.
ස්වාභාවික විද්‍යා පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙස ඉහළ පිළිගැනීමක් සහිත ලීනියන් පදක්කම හිමිකරගත් ආසියාවේ දෙවැන්නා ඒ මහතාය.


දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 98 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ 23දාටය. ඒ වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සජිත් අතින් සිදු විය. ඒ “සසුනට අරුණ වැවයි දාගැබයි - ගමයි පන්සලයි” වැඩසටහන අනුව, ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම, නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද චන්දවිමල නාහිමි සමරු මහා සෑ රාජයාණන් සසුනට පූජා කිරීමය.
මීට අදාළ බොහෝ කටයුතු සම්බන්ධීකරණය කළේ ගයන්ත කරුණාතිලක ය. එම විහාරස්ථානය සමඟ සමීප කුළුපග ඇසුරක් ගයන්තට තිබූ අතර අදාළ චෛත්‍යය විහාරස්ථානයේ ඉදි කිරීම වෙනුවෙන් සජිත්ගෙන් ඉල්ලීම සිදු කොට තිබුණේ ද ඔහුය.


‘‘දෙකොන දැල්වෙන විලක්කුවක් සේ යුද්ධ දෙකක් තිබූ රටක් භාරගත් රණසිංහ ප්‍රේමදාස මහතා එදා නොහැකියාව සහ බැරිකම ගැන කියමින් නොසිට වැඩ කළ බව සජිත් එහිදී පැවසීය. වැඩ බැරිකම ගැන අඳෝනා නොකියූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවට වැඩ කරන හැටි පෙන්වූ බව ද ඔහු පැවසීය.
රටේ ප්‍රශ්න විසඳන බවට කියා බලය ලබාගත් පාලකයින් රටම ඛේදවාචකයකට තල්ලු‍ වී තිබියදීත් පොදු ජනතාව පෝලිම්වල ලතවෙමින් සිටියදීත් වායු සමීකරණ යන්ත්‍ර දමාගෙන යෝගා කරමින් සිටින බව කී ඔහු මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මිනිසුන්ගේ දුකට මුවා වී හෝ තමන්ගේ මඩිය තරකර ගැනීම බවද පැවසීය.

 

අගමැති අයි එම් එෆ් හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී සාකච්ඡා වට කීපයකටම සහභාගි වූයේය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රබල අවශ්‍යතාව වූයේ ජාත්‍යනතර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ එකඟතාවයකට එළඹීම ලබන 30 වැනිදාට පෙර සිදුකර ගැනීමටයි. එම එකඟතාව ලැබුණොත් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට මූලික පියවර ලෙස ලැබු​ෙණාත් එය රටේ ආර්ථික අර්බුදයට සැහැල්ලු‍වක් බව අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය වී තිබුණි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් 10 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ අග්‍රාමාත්‍යවරයා පළමු වටයේ සාකච්ඡාව ආරම්භ කළ අතර මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවිය. මේ ගැන විමසීමේදී අග්‍රාමාත්‍යවරයාට දැනගන්නට ලැබුණේ අරගලකරුවන් මුදල් අමාත්‍යාංශ දොරටු අවහිර කරගෙන සිටින බවය. අරගලකරුවන්ට හානියක් නොකර නිලධාරින් ගෙන්වල දෙන්න. අග්‍රාමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නේය. මුදල් අමාත්‍යංශ නිලධාරින්ගේ ප්‍රමාදය සාකච්ඡාවට බලපෑමක් නොවුණේ ඒ වනවිටත් අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාව ආරම්භ කර තිබූ නිසාය. රාජ්‍ය මූල්‍ය තත්ත්වය, ණය, බැංකු අංශයේ ස්ථාවර භාවය, සමාජ ආරක්ෂණ ජාලය ඇතුළු මූලික කරුණු ගණනාවක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි මට්ටමේ සාකච්ඡා වටය රටට ඵලදායී මට්ටමට ගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක් ගත්තේය.


මේ අතර ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් හරහා යළි ලබා ගැනීමට යෝජනා කර ඇති ණය මුදල පිළිබඳව සාකච්ඡා කිරීමට මෙරටට පැමිණ සිටින නිලධාරින් හමුවූ අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමගද සාකච්ඡා කළේය.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කර තිබූ ජාත්‍යන්තර යෝග දිනයටද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය. මෙම යෝග උත්සවයට රොෂාන් රණසිංහ, සුසිල් ප්‍රේම ජයන්ත යන ඇමැතිවරුන් හා මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාද පැමිණ සිටියහ.
ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිත පිරිසක්ද අග්‍රාමාත්‍යවරයා හමුවී රජයට අවශ්‍ය උදව් ලබා දෙන බවද ප්‍රකාශ කර සිටියහ.


මීට අමතරව රටේ ආහාර අර්බුදය සම්බන්ධයෙන් සැලසුමක් සකස් කිරීමට නිමල් සිරිපාල ද සිල්වා හා සමන් රත්නප්‍රිය යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළේය. සෑම අංශයක් සමඟම සාකච්ඡා කර ආහාර නිෂ්පාදනය, ආහාර කල්තබා ගැනීම, ආහාර පිටරට යැවීම, බෙදා හැරීම, පෝෂණය ආදී මාතෘකා මූලික කර ගනිමින් සියලු‍ අංශ සමඟ සාකච්ඡා කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ගෙවතු වගාවට ජනතාව පෙලඹවීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් පැවැත්වීමේ වැඩපිළිවෙළ යටතේ වෘත්තීය සමිති හමුවීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට බාර කළේය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවී මෙරටට ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කළේය.

 

 

 

 

ජවිපෙ මහපාරේ අරගලය තද කරයි

ජාතික ජනබලවේගයේ විධායක සභාව පසුගිය සතියේදී රැස්වූ අවස්ථාවේ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ බල අරගලය පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා කතා කළේය. එහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා කරුණු දක්වමින් 21 වැනි සංශෝධනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කළේය. 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙයිද, නොවෙයිද යන අවිනිශ්චිතතාව මත විජිත හේරත් මහතා කරුණු දැක්වීය. එයට හේතුවූයේ අමාත්‍ය මණ්ඩලයද ඔවුන්ගේ මෙම විධායක සභාව රැස්වූ දිනයේම පැවැත්වීමට නියමිතව තිබීමය.


රටේ ආර්ථිකය පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා කරුණු දැක්වීමක්ද සිදු කළේය. මෙහිදී ජාතික ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂණ පිළිබඳව සමාලෝචනයක් කරනු ලැබීය. ජනතාව පත්වී සිටින පීඩාව පිළිබඳව රජයට එරෙහිව මීට වඩා පුළුල් උද්ඝෝෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. පාරට බැස හෝ මේ රජය පලවාහල යුතු බවට ජනතාව තුළ දැඩි මතයක් තිබෙන බැවින් මේ විරෝධතා ව්‍යාපාර වඩාත් තියුණු කළ යුතු බව නායක අනුර කුමාර දිසානායක මහතා යෝජනා කළේය.


ඒ අනුව අද (26) සිට දින 5ක් රටේ ප්‍රධාන නගර කීපයකදීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතා රැස්වීම් පැවැත්වීමට තීරණය කළේය. පළමුවැන්න අද (26) අනුරාධපුර නගරයේදී ද, 27 කුරුණෑගලදී ද, 28 මාතරදී ද, 29 පානදුරද, 1 දින අම්බලන්තොට යන නගරවලදී මෙම විරෝධතාව පැවැත්වීමට තීරණය කළේය. මෙම විරෝධතාවල තේමාව වන්නේ ‘ආණ්ඩුව පන්නමු. අනුර එක්ක පාරට බහිමු’ යනුවෙනි.


මෙම සාකච්ඡාව අවසානයේ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී සජිත් ප්‍රේමදාස විභාගයකට උත්තර ලියනවා දාල තියෙනවා. කතාවක් තියෙනවා හරිනිත් සජිත්ට ලෙක්චර්ස් කළා කියලා යැයි විමසීය.
එයට පිළිතුරු දෙමින් හරිනි ප්‍රකාශ කර සිටියේ මම ලෙක්චර්ස් දෙන වෙලාවේ සජිතුත් පැමිණ සිටි අවස්ථා තිබෙන බවය.


ප්‍රතිසංස්කරණය සඳහා ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් හමුවිය. එහිදී වික්ටර් අයිවන්, දිල්රුක්ෂි ඩයස්, ඇතුළු පිරිසක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, 21 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුවට බලය පැවැරීම යන මාතෘකා මත සාකච්ඡා පැවැත්වීය. ඒ පිළිබඳව ඔවුන් එකතු කළ අදහස් හා ජනතා විමුක්ති පෙරමුණේ අදහස් අතර බරපතළ වෙනසක් නොවූ බව අනාවරණය විය. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය ගැනද ඔවුන් විමසා ඇත.


එරංග ගුණසේකර, ජගත් මනුවර්ණ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම පිළිබඳව ජවිපෙ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා විය. මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමටත් ලබන ඉරිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත් තීරණය විය. පසුවදා විජිත හේරත් හා අනුර දිසානායක යන මහත්වරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අරගලකරුවන් මුණ ගැසීමට ගියහ.

 

පාර්ලිමේන්තුව සතු වගකීම

රටතුළ විවිධ ප්‍රශ්න මුල්කරගෙන වාද විවාද හා විරෝධතා දසතින්ම මතුවෙද්දී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය සතියේ දී වැඩි අවධානයක් යොමුකර තිබුණේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වන පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටය. කරු ජයසූරිය ප්‍රමුඛ එම සංවිධානයේ දැඩි ස්ථාවරය වී ඇති 20 වැනි සංශෝධනය අහෝසි කරගැනීම සඳහා වන අවශ්‍යතාව පිළිබඳ ඔවුන්ගේ ඇති උනන්දුවද දැඩි ලෙස කියාපාන්නටද පසුගිය සතිය තුළ අවස්ථාවක් කරගෙන තිබුණි. එහිදී කරු කියන්නේ අද රටේ මතුව ඇති සියලුම අර්බුදවලට ප්‍රධානතම හේතුව 20 වැනි සංශෝධනය මගින් එක් පුද්ගලයකු අතට ගෙන ඇති අසීමිත බලය අත්තනෝමතික ලෙස යොදාගැනීම නිසා වන බවය. ජනාධිපතිවරයා පසුගිය කාලය තුළදී ගනු ලැබූ තීන්දු හා තීරණ රාශියක් රටේ මතුව ඇති අර්බුදයට හේතුවී ඇති බවට කරුණු දක්වන කරු ඒ අනුව දැන් ඇති එකම විසඳුම 20 අවසන් කිරීම බව අවධාරණය කරයි.

 

-ගජබා-