නුවරඑළියේ සීතලේ රට රත් කළ රනිල්


ජනපති සතිය

පසුගිය සති අන්තයේ නුවරඑළියේ පැවති නීතිඥ සමුළුවෙන් පසු ආර්ථික සමාලෝචනයක් ද පැවැති අතර මේ සියල්ල අවසන් කොට ඉරුදින සවස ජනපති කොළඹ පැමිණියේ රාජකාරී ගොඩගැසී තිබුණු බැවිනි. සඳුදා ජනාධිපති කාර්යාලය වෙත ගිය ජනපති රනිල්ට එදින  රාජකාරී බහුල දිනයක් වූවේය. මහාධිකරණය සඳහා විනිසුරුවරුන් හතර දෙනෙකු පත් කළේ ඒ අතරතුරදීය.


සඳුදා දවල් ජනපති රනිල් රාජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ඇතුළු මාධ්‍ය නිලධාරීන් පිරිසක් මුණගැසුණු අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ද ඊට සහභාගී වී සිටියේය.


“ෂැන්ග්‍රිලා ආරක්ෂක සමුළුවේදි යුක්රේන ආරක්ෂක ඇමතිත් මුණ ගැහුණු පින්තූරයක් මම දැක්කා. මොනවද එයා කියන්නේ.” ඒ පැනය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙනි.


“සමුළුවේදී නම් යුක්රේනය ගැන කතා කළා. අපි දෙන්නා නම් කතා කළේ අපේ රටේ විස්තර ගැන. කොහොම වුණත් සමුළුවට ආපු බොහෝ දෙනෙක් මාස කිහිපයකින් රට නැගිට්ටපු විදිය ගැන තමයි කතා කළේ. එයාලා එය හුගක් අගය කළා.” සාගල කීවේය.


ජනපති මෙහිදි ආරක්ෂක සමුළුවේ තොරතුරු විමසූ අතර සාගල කීවේ ඉන්දියානු සාගල කලාපයේ ආරක්ෂාව සාගර කලාපයේ රටවල් විසින්ම කළ යුතු බවට යෝජනාවක් තමන් ඉදිරිපත් කළ බවය. 
“මේක හොඳ අත්දැකීමක් කලාපයේ රටවල් 22 ක ආරක්ෂක ඇමැතිවරු වගේම ජාතික ආරක්ෂක උපදේශකවරු පැමිණ සිටියා.” සාගල පැහැදිලි කළේ ආරක්ෂක ඇමැතිවරුන් සමඟ ඔහුට රාත්‍රී භෝජනයකට ද සහභාගීවීමට ලැබුණු දුර්ලභ අවස්ථාව ද සිහිපත් කරමිනි.


ඇමැති මණ්ඩල හමුවට හා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ජනපති සහභාගී වූවේ එදින සවසය. පාර්ලිමේන්තු සතියේ කටයුතු ගැන මෙන්ම ජනපති පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ද එහිදී කතා කළේය. 
අඟහරුවාදා ජනපති ආරක්ෂක සාමාජිකයන් පිරිසක් මුණ ගැසුණේ ජනපති කාර්යාලයේ දී ය. එහිදි රටේ ආරක්ෂාව ගැන මෙන්ම ආගමික සහජීවනය බිද වැට්ටවීමට ගන්නා උත්සාහයන් මැඩ පැවැත්වීම ගැන ද කතා කළෝය.
අඟහරුවාදා ජනපති ආරක්ෂක සාමාජිකයන් පිරිසක් මුණ ගැසුණේ ජනපති කාර්යාලයේ දී ය. එහිදි රටේ ආරක්ෂාව ගැන මෙන්ම ආගමික සහජීවනය බිද වැට්ටවීමට ගන්නා උත්සාහයන් මැඩ පැවැත්වීම ගැන ද කතා කළෝය.


එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ජනපති මුණ ගැසුණේ එදින සවසය. එහිදී එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල  පිහිටුවීම ජුලි මස මුල් සතිය වනවිට අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනපති රනිල් ඉන් පසු පක්ෂ සම්මේලනය කැඳවීම ගැන ද සාකච්ඡා කළේය. පක්ෂ නව ව්‍යවස්ථාව ගැන විමසා එය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කොට සම්මත කරගත යුතු බව ද දැනුම් දුන්නේය.


ජනපති බදාදා පෙරවරුවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මුණගැසුණු අතර ස්වභාවික ආපදාවන්හී දී කටයුතු කරන ආකාරය ගැන මෙහිදී කරුණු හුවමරු කරගනු ලැබීය. ඔවුන් හමුවීමෙන් අනතුරුව ජනපති රනිල් කෙළින්ම ගියේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙතය. ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ජනපතිව කැඳවා ගෙන ගියේ මහජන මුදල් කාරක සභාව වෙතය.
මුදල් සම්බන්ධ කාරක සභා 10 ක් සභාපතිවරු මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර පාර්ලිමේන්තු ප්‍රධාන කාරක සභා කාමරයේදී මෙම හමුව පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුදල් කාරක සභාව ද එකට ගමනක් යා යුතු බව පෙන්වා දුන් ජනපති රනිල් එම කාරක සභාවේ සභාපති ලෙස සමගි ජනබලවේගයේ හර්ෂ ද සිල්වා මහතාව පත් කරන බව කීවේ ආණ්ඩුවේ යෝජනාවක් ලෙසිනි.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සුපුරුදු ලෙස සතියේ එම දිනය මුදල් අමාත්‍යාංශයේ කටයුතු වෙනුවෙන් වෙන් කරගෙන සිටින නිසාවෙනි.


මෙහිදී ජනපති ලේකම් සමන් ඒකනායක ජනපතිගේ අවධානය ලක් කළේ අල් ජසීරා රූපවාහිනි නාළිකාව කළ වැරදි පුවත් පළ කිරීමක් ගැනය. එම කාරණය සොයා බලන්නැයි ජනපති ලේකම් පැවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක වෙතය.


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පෙළපාළිය මැඩපැවැත්වීමට පොලිසිය කටයුතු කරද්දී කමාන්ඩෝ සෙබළුන් සිටින බවට හා පැරණි දර්ශන සජීව දර්ශන ලෙස ප්‍රචාරය කිරීම ගැන තමන් එහි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිලි කරන බව ජනපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ කීවේය. ඒ අනුව දිනුක් කොළඹගේ හා ජනාධිපති උපදේශක ක්ෂෙනුකා සෙනවිරත්න විසින් අදාළ ලිපිය සකස් කොට අල් ජසීරා ප්‍රධානීන් වෙත එදිනම යොමු කර තිබුණි.


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පෙළපාළිය මැඩපැවැත්වීමට පොලිසිය කටයුතු කරද්දී කමාන්ඩෝ සෙබළුන් සිටින බවට හා පැරණි දර්ශන සජීව දර්ශන ලෙස ප්‍රචාරය කිරීම ගැන තමන් එහි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිලි කරන බව ජනපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ කීවේය. ඒ අනුව දිනුක් කොළඹගේ හා ජනාධිපති උපදේශක ක්ෂෙනුකා සෙනවිරත්න විසින් අදාළ ලිපිය සකස් කොට අල් ජසීරා ප්‍රධානීන් වෙත එදිනම යොමු කර තිබුණි.


ජනපති බ්‍රහස්පතින්දා සවස ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. අඛණ්ඩ තෙල් සැපයුමක් වෙනුවෙන් ඇමරිකානු තෙල් සමාගම සමඟ මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබූවේ ඛනිජතෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අයි.එම් පාර්ක් සමාගමේ උපසභාපතිවරයා විසිනි.

ජනපති නුවරඑළියේ

ජනපති රනිල් වික්‍රමසිංහ ගෙවුණු සති අන්තයේ සිටියේ නුවරඑළියේ ය. දේශපාලන දෙබරයට ඔහු ගලක් විසි කළේ එහි සිටය. ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති කීවේ මේ මොහොතේ කිසිදු දේශපාලන පක්ෂයකට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ගත නොහැකි බවය. ජනපති කතාව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ එය ළැව් ගින්නක් සේ පැතිර ගියේ විපක්ෂයේ කොටස් අතරය. ජනපති නුවරඑළියෙන් පිටත් වන්නටත් පෙර සිටිම එහි සිටි නීතිඥයින් පවා මේ ගැන විමසන්නට වූවේ දේශපාලනයේ උණුසුම ඔවුනට ද දැනුණු බැවිනි.
“මැතිවරණයෙන් 50% ක් ගන්න බෑ කියපු කතාවට විපක්ෂය කලබල වෙලා. එයාලා ඡන්දය තියන්න කියලා අභියෝග කරනවා.” නීතිඥ දිනේෂ් විදානපතිරණ ජනපතිගේ කනේ තැබු‍වේ එවැනි පුවතකි.
“ආණ්ඩු පක්ෂය මේ කාරණය පිළිගත්තත් විපක්ෂය මේ කාරණය පිළිගන්න කැමති නෑ.” අසල සිටි නීතිඥයෙක් කීවේය.


“ජනාධිපතිතුමා ආණ්ඩුව මෙහෙය වන්නේ ජනතාව අතර ආණ්ඩුව ගැන විශ්වාසයක් ගොඩ නගලා 50% න් උඩට යන්න.” නීතිඥ සුජීවන් හෙන්දාවිතාරණ කීවේ ජනපති දෙස බලමිනි.
“අපි ඉදිරියට යන විදිය ගැන කල්පනා කරද්දී විපක්ෂය හිතන්නේ එයාලා දිනලා කියලායි. අපි අලු‍‍ත් විදියට හිතද්දී එයාලා තවම අරගලය තියනවා කියලා හිතාගෙන වැඩ කරනවා.” නීතිඥ දිනේෂ් ඇත්ත තත්ත්වය පැහැදිලි කළේය.

“1977 න් පස්සේ මේ වෙනකම් පාර්ලිමේන්තු ඡන්දයේදී කාටවත් 51% පන්නලා යන්න බැරි වුණා. ජේ.ආර් වත් හිතුවේ නෑ හයෙන් පහක් ගන්න පුළුවන් වේවි කියලා. තුනෙන් දෙකක බලයක් එදායින් පස්සේ කාටවත් ආවේ නෑ. එහෙම බැලු‍‍වම දැන් බලය තියෙන්නේ කාටද කියලා කාටවත් කියන්න බෑ. ස.ජ.බ ට වත් ජ.වි.පෙ ටවත් පො.ජ.පෙ ට වත් කාටවත් මේ 50% ඉක්මවූ බලයක් තියෙනවා කියලා කියන්න බෑ. රටේ ඇත්ත තත්ත්වය ඒකනේ. සාම්ප්‍රදායිකව හිතලා සාම්ප්‍රදායිකව වැඩ කරලා කාටවත් දිනනන්න බෑ.” ජනපති කීවේ තරුණ නීතිඥයින්ට උපදේශයක් ද දෙමිනි.

“සර්, පහුගිය බ්‍රහස්පතින්දා කළ විශේෂ ප්‍රකාශයත්, නුවරඑළියේ කතාවත් ගත්තහම රට ගොඩනගන්න විපක්ෂයට විකල්ප තියෙනවා ද කියන ප්‍රශ්නයක් මතු වෙනවා.” තරුණ නීතිඥ දිනේෂ් කියද්දී සැවොම එය අනුමත කළේ ජනපති දෙස බලමිනි.

 

හර්ෂ විල්සන් ?

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ. මෙතෙක් එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසිනි.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට මුදල් කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවීම පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීමක් විය.

ඒ බව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී යෝජනා කරනු ලැබීය.කෙසේ වෙතත් අදාළ සභාපති ධූරය ලබාගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය දිගින් දිගටම විශාල අරගලයක් සිදු කරනු ලැබීය.විපක්ෂ නායක සජිත් අවස්ථා කිහිපයකදීම ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් හඬ නැගීය.​

කෙසේ වුවත් සජබ යේ සමහරුන් මේ තනතුර බාර ගැනීම ගැන ඉන්නේ කැමැත්තකින් නොවේ. මේ තනතුරින් කරන්නට හැකි දෙයක් නැතැයි ඔවුන්ගේ අදහසයි. මේ අතරේ පොහොට්ටුවෙන් ආව මන්ත්‍රීවරයෙක් කියා ඇත්තේ මේ තනතුරේ කටයුතු ගැන හර්ෂට ට්විටර් ගහන්න බෑ කියාය.
කෙසේ හෝ හර්ෂට එම තනතුර ලැබුණු අතර මුදල් කාරක සභාවේ දී ජනාධිපතිවරයා හර්ෂගේ පත්වීම ගැන දැනුම් දුන්නේය. ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකු වූ චාලි විල්සන් ගැන කතාවක් ජනපති කීවේ මුදල් කාරක සභාවේ මූලසුනේ සිටින අතරවාරයේය. චාලි විල්සන්ගේ කතාව අවසන් කළ ජනපති හර්ෂ දෙස බලමින් “චාල්ස් විල්සන්ට වගේ හොඳ ලේකම්වරියක් හර්ෂටත් හොයලා දෙන්න ඕනේ” යැයි කියද්දී සභාවම ගිගුම් දුන්නේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සිනා හඬිනි.


ඉන් පසු අවස්ථාවක මන්ත්‍රීවරු චාලි විල්සන් ගැන විමසද්දී ජනපති රනිල් එහි ඉතිහාස කතාව කීවේ එය කියවන ලෙස මන්ත්‍රීවරුන්ට පවසමිනි.


“චාලි විල්සන් කියන්නේ ඇමරිකානු කොංග්‍රස් සභිකයෙක්. එයා සෝවියට් ඇෆ්ගනිස්ථාන් යුද්ධය වෙලාවේ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක්. චාල්ස්ට ඇෆ්ගනිස්ථානයට යන්න යුද ගුවන් යානක් ඒ කාලේ වෙන් කරලා තිබුණා. හැබැයි එයාට අමතරව එම ගුවන් යානයේ යන්න අවසර තිබුණේ එයාගේ බිරිදට පමණයි. හැබැයි මෙයා දවසක් එයාගේ ස්ටෙනෝග්‍රපර්වත් එක්ක ගෙන ආවා මේ ගුවන් යානයේ යන්න. එතනදි ගුවන් නියමුවා ඒකට විරෝධය පළ කළා. පස්සේ චාල්ස් ඒ ගමන ගියේ නෑ. ටික දවසකට පස්සේ ගුවන් හමුදාවට ප්‍රහාරක යානා 100 ක් ගන්න අනුමැතිය ඉල්ලලා කොංග්‍රසයට ඉල්ලීමක් ආවා. මේ වෙලාවේ චාල්ස් යානා 100 ත් වෙනුවට දුන්නේ ගුවන් යානා 75 ක් ගන්න අවසරය පමණයි.” ජනපති අතීත කතාව කීවත් එය හර්ෂට ගැළපුවේ කෙසේදැයි කාටවත් සිතාගත නොහැකි විය.
“සජිත් අයි.එම්.එෆ් එකට ඡන්දය දුන්නේ නෑ. අයි.එම්.එෆ් කොන්දේසි පිළිගන්නේ නෑ කිව්වා. හැබැයි මුදල් කාරක සභාවට ආණ්ඩුවෙන් හර්ෂව පත් කළාට පස්සේ දැන් එයාටත් මේ කොන්දේසි පිළිගන්න වෙනවා.” වජිර කීවේ සිනාසෙමිනි.


“ඔව් පක්ෂ විපක්ෂ කවුරු මේ කමිටුවට පත්වුණත් අයි.එම්.එෆ් ගිවිසුමට සහාය දීලා වැඩ කරන්න ඕනේ.” ඇමති ප්‍රසන්න රණතුංග කී විට සැවොම එය අනුමත කළහ.
“අපි හර්ෂට බාරදීලා තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන බලන්න කියලානේ.” ජනපති රනිල් ද ඇගට පතට නොදැනී කීවේ එම ස්ථානයෙන් පිටත් වන අතරවාරයේය.

 

ආශුට මල්

සභාපති ගැටලුව විසඳා  ජනපති රනිල් පාර්ලිමේන්තුවේ සිය කාමරය වෙත යන විට මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටි අතර මහාචාර්ය ආශු මාරසිංහ ඔවුන් සියලු‍‍ දෙනාටම ජනපති මුණ ගැසීමට අවස්ථාව සලසා දුන්නේය.
“මල්ලී පහුගිය ආණ්ඩුව කාලේ මම ඇමැති කෙනෙක් වුණත් ජනාධිපති මුණ ගැහෙන්න මට සෑහෙන කාලයක් බලාගෙන ඉන්න සිදුවුණා. හැබැයි ඔයා මෙතනට එන කිසිම මන්ත්‍රීවරයෙකුට ජනපති මුණ ගැසෙන්න නොහැකිව ආපසු හැරිලා යන්න ඉඩ හැදුවේ නෑ.” සරත් වීරසේකර මන්ත්‍රීවරයා ආශුගේ පිටට තට්ටුවක් දමමින් කියද්දී‘රැස්ව සිටි මැති ඇමතිවරු සියලු‍‍ දෙනා එය හිස සලා අනුමත කළෝය.

සමරිසි පෙළපාළි ගැන

 මධුර කී කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත ගෙනා සමරිසි අයිතිවාසිකම් පනත් කෙටුම්පතට සහාය දෙමින් පසුගිය දා කොළඹ දී පැවැති පෙළපාළියට ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව ද එක්ව සිටීම ගැන ද බ්‍රහස්පතින්දා උදයේ කතාබහක් ඇති විය.


“ලංකාවේ මේ පෙළපාළිය ගියේ ජාත්‍යන්තර පෙළපාළිය යන්න ඉස්සෙල්ලා. ජාත්‍යන්තර පෙළපාළියට ලොකු මුදලක් ලැබෙනවා. ඒක මේ පක්ෂයේ අයට ගෙන්න ගන්න ද දන්නේ නෑ මෙහෙම පෙළපාළි යන්නේ.” මන්ත්‍රී මධූර විතානගේ කී විට සැවොම එකිනෙකාගේ මුහුණ බලාගත්හ.

ලු‍ කතාව 


රටේ ලොකු තැනගේ ඉතා වැදගත් උත්සවයක් සංවිධානය කරන්න පැවරිලා තිබිලා තියෙන්නේ කාලයක් පොඩි ඇමතිකමකුත් දරපු නීතිය දන්න මහත්තයෙකුටලු‍. මේ මහත්තයා කල්පනා කළාලු‍ සීතල පළාතක රටේ ලොකු තැන සහභාගී වන උත්සවයට මුදල් හොයන්නෙ කොහෙමද කියලා. වංගු ගහලා අහුවුණොත් ලොකු තැන එළවන බව දන්න නිසා මෙයා අමුතු තාලේ රාත්‍රී භෝජන සංග්‍රයක් පවත්වලාලු‍. මේකේ විශේෂත්වය වුණේ ආරාධිතයන් විසි දෙනෙක් විතරයි වීමලු‍. ඒ හැමෝටම  ලොකු තැනගෙන් ප්‍රශ්නයක් අහන්න දෙනවා කියලලු‍. හැබැයි ඉතින් මේකට එන්න ඇරයුම් පත ලැබෙන්නේ රුපියල් මිලියනයක් ගෙව්වොත් විතරයි කිව්වලු‍. හුඟක් අය ඇවිත් කාලා ප්‍රශ්නත් ඇහුවලු‍. ලොකු තැන මේ වැඩේ තාම හරියටම දන්නෙ නෑලු‍.

දිව දෙකේ කතා 

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී ලිපියක් ඉදිරිපත් කරමින් තමන් සමග ජන බලවේගයන් ඉල්ලා අස්වූ ”‍ ව්‍යාජ ලියවිල්ලක් ”‍ අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පැවසුවාය.
මේ පිළිබඳව පක්ෂයේ මහලේකම් රජිත් මද්දුම බණ්ඩාර ඊට වහාම පිළිතුරු දුන්නේය.
‘‘අපි කියනවා රස පරීක්ෂකට මේ ගැන පරීක්ෂා කරන්න කියලා”‍ රංජිත් මද්දුමබණ්ඩාර‘ කීවේය.
තමන් සමගි ජන බලවේගයෙන් අස් නොවූ බවත්,තවදුරටත් තමන්ට එම පක්ෂය අයිති බවත් ඩයනා පාර්ලිමේන්තුවේදීත් පැවසුවාය.
එහෙත් මිනිත්තු කිහිපයක් යන විට මාස කිහිපයකට පෙර ඇය විසින්ම විවිධ රූපවාහිනී වැඩසටහන්වලදී කරන ලද අදහස් සමාජ මාධ්‍ය පුරා සැරිසරන්නට විය.

විකාශන අධිකාරි පනතට

විපක්ෂය හරස් වෙයි 

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය තීන්දු කළේ එහි විධායක කමිටුව පාර්ලිමේන්තුවේදීත් රැස් වූ අවස්ථාවේදී ය.

‘‘මේක සෘජුවම මාධ්‍යවලට බලපානවා. විශේෂයෙන්ම මාධ්‍ය නිදහසට මේක බරපතළ විදිහට බලපානවා. ඒ නිසා මේ ගැන මූලිකව අපි සාකච්ඡා කරන්න ඕනේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන එක්ක”‍ විපක්ෂ නායක සජිත් කීවේය.

ඒ අනුව විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව තීන්දු කළේ මාධ්‍යවේදීන් මාධ්‍ය සංවිධාන ඇතුළු පිරිස් කැඳවා මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටය.
තීන්දුවට අනුව යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම‘ (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබීය.
ඒ, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය.

 

සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු‍‍ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්,මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කරනු ලැබීය.

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන විපක්ෂ එකමුතුවේ කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම හමුවේ දී ප්‍රකාශ කර සිටියේ අදාළ පනතට විරුද්ධ බවය. එම පනත හරහා මතුවන ගැටලු පිළිබඳවත්, එම පනත හරහා මාධ්‍ය ස්වාධීනත්වයට එල්ල වන බලපෑම පිළිබඳ වතෙහිදි විපක්ෂ නායකවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.


‘‘මාධ්‍ය ආචාරධර්ම වේවා, මාධ්‍ය නියාමන කරුණු කාරණා වේවා මාධ්‍ය සම්බන්ධ ඕනෑම දෙයක් රැගෙන ආ යුත්තේ රජයක් හෝ දේශපාලනඥයින් විසින් නොවේ. ඒ ගැන හැකියාව තියෙන්නෙ එම විෂය ගැන දන්න මාධ්‍යවේදීන්ට. ඒ නිසා එහෙම වැඩපිළිවෙළක් ගේන්න ඕනි මාධ්‍ය විසින්මයි”‍ සජිත් කීවේය.
‘‘ලෝකයේ දියුණු මාධ්‍ය සම්ප්‍රදායන් පවතින රටවල පනත් කෙටුම්පත් අධ්‍යයනය කොට සියලු‍‍ දෙනාට පිළිගත හැකි ප්‍රශස්ත යෝජනාවලියක් සකස් කරන්න.ඒක ඔබතුමාල විසින්ම කරන්න”‍ සජිත් අදාළ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

දැනට යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින බරපතළ ගැටලු‍‍ අටක් පිළිබඳව මහාචාර්ය ජී එල් පීරිස්‘ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර සමස්තයක් වශයෙන් මෙම පනත ප්‍රතික්ෂේප කළ යුතු බවද පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්ය ජී ඇල් පීරිස්‘ මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරන බවද අවධාරණය කළේය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තිමයභාවය ගොඩ නැංවීමේ වැදගත්කම ඩලස් අලහප්පෙරුම‘ විසින් ද මෙහිදී‘ අවධාරණය කරනු ලැබීය.ඒ විදිහට සිදු කරමින් සිටින්නේ මාධ්‍ය නිදහසට එරෙහිව පිඹුරුපත් සකස් කිරීම බවද ඔහු පෙන්වා දුන්නේය.


1996 අංක 26 දරන ටී.ආර්.සී පනතත් යෝජිත පනතට ඇතුළත් කොට ඇති බවත්, එය අතිශයින්ම බරපතළ බවත් මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
පනතේ සාමාජිකයින් පත් කිරීම ද සංයුතිය ද අතිශය ගැටලු‍‍ සහගත බව පැවසු ඒ මහතා එය ද අතිශය බරපතළ තත්ත්වයක් බව කීය.


මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පිරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

රැස්වීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් පැමිණ සිටි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ බොහෝ වේලා වෙලා සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.

”‍රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ  හිඟයක් තිබෙන බව මාධ්‍යයත්  දිගින් දිගටම කියනවා. වෛද්‍ය සංගම්වලිනුත් ඒ බව  ප්‍රකාශ  කරනවා. ඒ සම්බන්ධයෙන් වහාම  විසඳුමක් දෙන්න. වෛද්‍යවරුන් නැතුව රෝහල් වැහෙනවා මේකට පියවරක් නොගත්තොත් මිනිස්සු අපටත් ශාප කරාවි”‍ මධුර කීවේය.

සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාද  මදුරගෙ කතාව අනුමත කරමින් කතා කළේය. ඔහු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් ඉල්ලීමක් කළේ මේ සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය කුමක්දැයි දැනුවත් කරන ලෙස ය.

 

‘‘වෛද්‍යවරුන්ගේ ඔය කියන තරම් හිඟයක් නෑ. පිටරට ගියපු වෛද්‍යවරුන් හාරසියක් විතර එන්න ඉන්නවා. මේ  සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් තියෙනවා. ඒ ලැබෙන තීන්දුව අනුව අපි කටයුතු කරනවා.’’ යැයි කෙහෙළිය කීවේය. බෙහෙත් හිඟය  සම්බන්ධයෙන්  අදහස් දක්වමින් කෙහෙළිය  කීවේ බෙහෙත් වර්ගවල යම් ගැටලු‍‍වක් තිබෙන බව පිළිගන්නා බවය. එය අවම කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව අමාත්‍යවරයා කීවේය.


ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ද වෛද්‍යවරුන්ගේ හිඟය ගැන මෙන්ම බෙහෙත් හිඟය සම්බන්ධයෙන් ද  ප්‍රශ්න කළේය. ‘‘රෝහල්වල  බෙහෙත් හිගයක්  තියෙනවා විතරක් නෙමෙයි, බෙහෙත් මිල විශාල වශයෙන් වැඩි වෙලා. ජනතාව දැඩි පීඩාවට පත්වෙලා”‍ කැටගොඩ කියද්දී ජගත් කුමාර  මන්ත්‍රීවරයාද කැටගොඩගේ අදහස අනුමත කරමින් කතා කළේය. 


‘‘කැටගොඩ මන්ත්‍රිතුමා කියන කාරණය ඇත්ත. වෛද්‍යවරුන්ගේ  හිඟය මිනිස්සුන්ට බරපතළ ලෙස බලපාලා තියනවා වගේම බෙහෙත් හිඟය ත් දැඩි ලෙස තියෙනවා. බෙහෙත් මිලත් වැඩියි.’’
‘‘ඩොලර් එක අඩුවුණා කිව්වට අත්‍යවශ්‍ය  භාණ්ඩ මිල අඩු වෙලා නෑ. ඩොලරය අඩුවීමේ වාසිය ව්‍යාපාරිකයන්  ජනතාවට දෙන්නෙ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ විස්සකට වත්  මිල් පාලනයක් ගේන්න’’ යැයි ඔහු කීවේය. කෙහෙළිය කීවේ  බෙහෙත් වර්ග 16 ක මිල ළඟදීම අඩු කිරීමට පියවර ගෙන ඇති බව ය.
මේ අතර, ඩී.බී. හේරත් මන්ත්‍රීවරයා දුක්ගැනවිල්ලක්  ඉදිරිපත් කරමින් කීවේ පසුගිය අරගලයේ දී  සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැති බවය.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද එම කතාවට හවුල් විය.’’ අපි  එකතුවෙලා නඩු දැම්මා. නීතිපති ඇවිත්  කිව්වා ඉල්ලා ඇති  සහන ගැන විමර්ශනයක් කරලා පියවර ගන්නවා කියලා. ඒකට එකඟවෙලා අපි නඩුව ඉල්ලා අස්කර ගත්තා. හැබැයි එකඟ වූ දේවල් තාම ක්‍රියාත්මක වෙලා නෑ. වැරදි කරපු කරපු අයට දඬුවම් දෙන එකත් ප්‍රමාදයි”‍ ඔහු කීවේය. ජනපති රනිල් කීවේ ඒ  සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගන්නා බවය.
මේ අතර කුරුණෑගල සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා ලිපියක් රැගෙනවිත් තිබිණි. ඔහු එම්  ලිපිය ඉදිරිපත් කරමින් කිව්වේ කුරුණෑගල ප්‍රදේශයේ  අධ්‍යාපන ක්ෂෙත්‍රය සම්බන්ධ නිලධාරියකු  මාරුවක් සඳහා ගුරුවරයකුගෙන් එළුවන් දෙදෙනෙකු කප්පන් ලෙස එල්ලා ඇති බවය. තමා  ගුරුවරයාගෙන් එම පැමිණිල්ල ලිඛිතව ඉල්ලා ගත් බවද ඔහු කීවේය. ජනාධිපතිවරයා සුසිල් ප්‍රේම් ජයන්ත ඇමැතිවරයාට කීවේ ඒ ගැන වහාම සොයා බලන ලෙසය.

පුංචි ඡන්දයේ  අපේක්ෂකයන්ට වෙන්න යන දේ

රාජ්‍ය  පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ  උපදේශක කාරක  සභාව ඉකුත්දා රැස්වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙනි. සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර් යේෂණ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ දී තිබෙන  බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන ජගත් කුමාර මන්ත්‍රීවරයා මතු කළේය. ඔහු කීවේ  එය නිවැරදි කරන බවට වන  කෙටුම්පත සකස් කර ඇති බව  කීවත් මෙතෙක් එය  ලැබී නැති බව ය. අගමැතිවරයා කීවේ ඒ සම්බන්ධයෙන් කමිටුව රැස්වී ලබන සතියේ සාකච්ඡා කළ හැකි බවය.
මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේ ‘‘පළාත් පාලන ඡන්දය පේන තෙක් මානෙක නෑ.’’ ඒ නිසා මේ ඡන්දය තියෙන එකකුත් නෑ. යනුවෙනි.  


අගමැතිවරයා කිව්වේ ‘‘අපි ඡන්ද  කල් දාලා නෑ. අපිත්  කැමතියි ඡන්දෙ තියන්න’’ කියාය. 
අනතුරුව දයාසිරි  කීවේ ‘‘ආණ්ඩුව සල්ලි දෙන්නෙත් නෑ.  ඡන්ද තියන්නත් විදියක් නෑනේ’’ යනුවෙනි.
මේ අතර ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිවරයා කීවේ ඡන්දයට ඉල්ලපු රාජ්‍ය සේවකයින්ගේ ගැටලු‍‍වකුත් තිබෙන නිසා මේ නාමයෝජනා අවලංගු කළාම ඉවරයිනෙ’’ කියාය. 
දයාසිරි කීවේ ‘‘ඒක හොඳ අදහසක්’’ කියාය. 
ලසන්ත අලගියවන්න කීවේ ‘‘ඡන්දෙට නාමයෝජනා භාර දෙද්දී එකට හිටපු අයත් දැන් වෙන් වෙලා නෙ. ඒ නිසා ඒක අහෝසි කරන එක  වැඩිය හොඳයි’’ කීයාය. 


දයාසිරි මන්ත්‍රිතුමා ඒක ‘‘යෝජනා කරනවා නම් මම ස්ථිර කරන්නම්’’ යයි පැවසීය.
ජගත් කුමාර  පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කීවේ ‘‘එහෙනම් යෝජනාව ස්ථිරයි නේ. අපි ඒක  ලියා ගන්නම්” කියාය. එහි  සිටි දේශපාලන පක්ෂ නියෝජිතයන් බොහෝ දෙනකු කීවේ නාමයෝජනා අවලංගු  කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැමති බවය.

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්  යළි පක්ෂයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනාගෙන් නවදෙනකු සිටින්නේ ආණ්ඩුවේය. මේ පිරිසට එරෙහිව පක්ෂය  පනවා තිබූ තහනමට  එරෙහිව නිමල් සිරිපාල ඇමතිවරයා  උසාවි ගියේය. ඔහු නැවත පක්ෂයට ගන්නැයි උසාවියෙන් දුන්  නියෝගය මෙතෙක් ක්‍රියාත්මක නොවූ අතර, ගිය සතියෙ ශ්‍රිලනිප මධ්‍යම  කාරක සභාව රැස්ව විසඳුමක් ලෙස යෝජනා කළේ නිමල් ඇතුළු පිරිසගේ  පක්ෂ  සාමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කර ඇති ලිපිය  අත්හිටුවීමට ය. මේ නිසා එම පිරිසට නැවත පක්ෂය සමඟ සම්බන්ධ වීමේ ගැටලුවක් නැත. 

සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි .පක්ෂයේ  හිටපු ජ්‍යෙෂ්ඨ  උප සභාපතිවරයකු  වන නිමල් සිරිපාල  ඇමතිවරයාට ද ඒ සඳහා ආරාධනා කර තිබූ නමුත් ඔහු ලිපියකින් දැනුම්දී තිබුණේ එදින කැබිනට් රැස්වීම පැවැත්වෙන නිසා සහභාගී විය නොහැකි බවය. මින් ඉදිරියට මධ්‍යම කාරක සභා රැස්වීම තිබේ නම් තමන්ට කල් වේලා ඇතුව දැනුම් දෙන ලෙසත්, එම දැනුම්දීම ලිඛිතව දැනුම් දෙන ලෙසත් නිමල් ලිපියෙන් දැනුම් දී තිබිණි.

ඇමැතිකම් නැති පොහොට්ටු  මන්ත්‍රීලාගේ විරසකය

ගිය  සතියේ පාර්ලිමේන්තු ලොබියේදී  පොට්ටුවේ මන්ත්‍රීවරුන්  තිදෙනෙකු  හමුවී කතාබහ කළේ ඇමැතිකම් නොලැබිල්ල දුක්ගැනවිල්ල  ගැනය. මේ තිදෙනාගෙන් එක් අයෙක් මධ්‍යම පළාත නියෝජනය කරන්නෙකි. අනෙක් කෙනා  උතුරුමැද කෙනෙකි. ඉතිරි කෙනා  නැගෙනහිර පළාතේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි  බොහෝ කාලයක් සිට ඇමැතීම්  නොමැතිව බලා සිටින මේ තිදෙනා  එහිදී කතා කළේ මින් ඉදිරියට  ඇමතිකම් නොලැබෙන්නේ නම්, ආණ්ඩුවේ කටයුතු සඳහා ඡන්දය නොදෙන බවය.

විදෙස් තානාපතිවරුන් බන්දුලගේ බත් දන්සලේ

ජනමාධ්‍ය ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන   පසුගිය සති අන්තයේ හෝමාගම දී පොසොන් කලාපයක් සූදානම් තිබුණේ පොසොන් පොහොය නිමිත්තෙනි. පිටිපන හරිත විශ්ව විද්‍යාලයකේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම පොසොන් කලාපයේ  හමුදාවෙන් ඉදිරිපත් කරන ලද කූඩු ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා  බංගලිදේශය, වියට්නාමය, නේපාලයේ ඇතුළු රටවල තානාපතිවරුන් ට ද ආරාධනා කර තිබිණි. 
පනාගොඩ හමුදා කඳවුර අසල පැවැති කූඩු ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව පිරිස පිටිපන ට රැගෙන යාමට වෙනම බස් රථයක් ද සූදානම් කරගෙන බන්දුල  බලා සිටියේය. ඔහුද තානාපතිවරුන්  සමඟ බස් රථයෙන් ගොස්, පිටිපනදී  දහස් ගණනකට පෝය දා රාත්‍රී සූදානම් කර තිබූ පොසොන් දන්සල ට එන්නැයි  තානාපතිවරුන්ට ආරාධනා කළේය. ඔවුන්ටද දන්සලෙන් කෑම බෙදා දෙන්නට  ආරාධනා කළ බන්දුල පසුව පිරිස හමුදාවෙන් කෑම උයන  තැනට රැගෙන ගියේය. දන්සලෙන් ම රෑට කමු යයි බන්දුල කළ යෝජනාව පිළිගත් තානාපතිවරු ද පෝලිමේ  ගොස් රෑ කෑම ගත්හ.

සමෘද්ධිය රකින්න එස් බීත් සටනට

ලෝක බැංකු ආධාර යටතේ දිළිඳු පවුල්වලට සහනාධාර බෙදා දීමේ කටයුතු සමෘද්ධියෙන් ඉවත්කර ප්‍රතිලාභ සහන  මණ්ඩලය හරහා සිදුකිරීම සම්බන්ධයෙන් සමෘද්ධි නිලධාරීන් සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය මෙහෙයවන ජගත් කුමාර මන්ත්‍රීවරයාද ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩුව සමඟ සටනක නිරත විය.


ගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්  සූදානම් කර තිබූ අතර, ඊට එස් බී දිසානායක හිටපු  ඇමැතිවරයා ද ,හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරු ද  ඊට සහභාගී  සහභාගි වූහ. සමෘද්ධි ව්‍යාපාරය  කියන්නේ මේ රටේ දිළිඳුකම පිටුදකින්න  හදපු සාර්ථක වැඩපිළිවෙළක්. කවුරුහරි මේක නැති කරන්න වැඩ කළොත්  එයාගෙ අත පිච්චෙයි’’ එස්.බී.  කීවේය.

 

 පොලිසිය බේරගන්න ටිරාන්  කෙළින් හිටගනී

මරදන්කර්නිවලදී පොලිසිය සමග ගැටුමක් ඇති කරගත් දෙමළ මහජන පෙරමුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ සිද්ධිය ඉකුත් සතියේ  පාර්ලිමේන්තුවත්, රටේ දේශපාලනයත් ගිනියම් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පෙනී සිටිමින්  ටිරාන් අලස් කීවේ පොලීසිය කටයුතු කළ ආකාරය නිවැරදි බව ය.


ඉකුත්දා මාලබේ ප්‍රදේශයේ පැවති මාධ්‍යවේදී උදය  ඒකනායකගෙ නැන්දනියගේ මළ ගෙදරට ද ටිරාන් පැමිණි විට මාධ්‍යවේදීහු ඔහු වට කරගනීමින් මේ සිද්ධිය ගැන විමසන්නට වූහ .ටිරාන්  දිගින් දිගටම කිවේ පොලිසිය හරියට රාජකාරි කර ඇති බව ය. ඔහු ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බවද කීවේය. 
සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, රාජිත සේනාරත්න, ජොන්ස්ටන්  ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරුන්  ගණනාවක් පසුව එහි පැමිණි අතර ඔවුන්ගේ ද ප්‍රධාන  මාතෘකාවක්  බවට එය  පත්ව තිබිණි.

■ ගජබා