දුෂණ විරෝධය , අස්වැසුම මැද බැලන්ස් සතියක්


ජනපති ජනතාව හමුවෙයි

හස්පතින්දා දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ජනපති කලින් දින වෙන් කර ගෙන තිබූ රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවයට යාමට ද අමතක නොකළේය. එහිදී රාමඤ්ඤ නිකායේ මහනායක මකුලෑවේ විමල නාහිමියන් ඇතුළු සංඝරත්නය ජනපතිට ආශීර්වාද කළේ ඉන්දීය ගමන සාර්ථක සංචාරයක් වන ලෙසටය.

උත්සවය අවසානයේ ජනපති රනිල් ඊට සහභාගීවීමට පැමිණි ජනතාව අතරට ද ගියේ ඔවුන්ගේ දුක සැප විමසීමටය. මෙහිදී පැමිණ සිටි අයෙකු විමසා සිටියේ ජනාධිපති වී වසරක් ගතවෙලා නේද ඉදිරි සැලසුම් මොනවාද? යන්නය.

“රට ගොඩගන්න එක වගේම රටේ දරුවන්ට හොඳ රටක් හදන්න තමයි මගේ බලාපොරොත්තුව. රට යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් තව යන්න ඕනෑ. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු.” ජනපතිගේ පිළිතුර එය විය.

ජනපතිට මන්ත්‍රී බිරියන් හමුවූ මොහොත

අඟහරුවාදා සවස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබුණේ සුහද හමුවකටය. ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම පවුලේ සාමාජික​ෙයා් ද එක්ව සිටියහ. ජනපති රනිල් සමග මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මැතිනිය ද ඊට එක්ව සිටියාය.

සුහද හමුවේදී ජනපති රනිල් මන්ත්‍රීවරුන් සිටි මේසයෙන් මේසයට ගොස් ඔවුන් සමඟ කතා කරද්දී මෙය දුටු ඇමැති ප්‍රසන්න රණතුංග හා මහාචාර්ය ආශු කතා වූවේ මෙතුමා මන්ත්‍රීවරු එක්ක විතරක් නොවෙයි මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් සමඟත් කතා කරන්නට යොමු කළ යුතු බව කියමිනි.

ඇමැති ප්‍රසන්න මන්ත්‍රීවරියන් වූ කෝකිලා ගුණවර්ධනට හා මුදිතා සොයිසාට කතා කොට මන්ත්‍රී බිරින්දෑවරුන් ජනපති හමුවට යොමු කරන ලෙස දැනුම් දුන්නේය. මන්ත්‍රී බිරින්දෑවරුන් හා ජනපති හමුව අවසාන වූවේ ජනපති ගැන ඔවුන්ට මහත් ගෞරවයක් ඇති කරමිනි. මන්ද ඒ ඔවුන් මීට පෙර ජනපති හා සමීපව කතාබස් කොට නොතිබූ බැවිනි.

රනිල් රාජපක්ෂ

දෙමළ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡාව නිමවා පිටතට පැමිණි දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් වටකරගනු ලැබුවේ ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශුවය.
“ජනාධිපතිතුමා අර රනිල් රාජපක්ෂ කතාව කීවේ දෙන්නෙකුට දැනෙන්න විතරයි.” මන්ත්‍රීවරු කියද්දී ආශු ඔවුන් දෙස බැලුවේ ප්‍රශ්නාර්ථවය.
“ඒක කිව්වේ සුමන්තිරන්ටයි, රාසමානික්කම්ටයි. මොකද එයාලනේ රනිල් රාජපක්ෂ කිව්වේ.” මන්ත්‍රීවරු කියද්දී ආශුට කාරණය අවබෝධ විය. 

කෙහෙලියට එරෙහි  විශ්වාසභංගය ගෙනා හැටි

ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සිය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කරනු ලැබීය.

“අද වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදයකට ගිහිල්ලා. මේ විදිහටම හිතුවක්කාර විදිහට කටයුතු කරලා තමයි මේ රටත් බංකොළොත් තැනට අරගෙන ගියේ. මේ විදිහට මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක දිගින් දිගටම සෙල්ලම් කරන්න දෙන්න බැහැ. එනිසා අපි මේ තත්ත්වය වළක්වන්න කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන”‍

සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට කීවේය.


“අනිවාර්යයෙන්ම අපි කෙහෙලියට විරුද්ධව විශ්වාසභංගයක් ගේමු. බලන්න ඔය ඇමැතිවරයාගේ ප්‍රකාශ. මිනිස්සුන්ගෙ ජීවිත තඹ සතේකට මායිම් කරන්නේ නැහැ”‍
එහෙම කීවේ රංජිත් මද්දුමබණ්ඩාර ය.


“රෝහල්වලට යන හැම කෙනාම ආපහු එන්නේ නෑ කියලා කියනවා. ඒ නිසාලු‍ හොස්පිට්ල් ඉස්සරහ මිනීපෙට්ටි සාප්පු තියෙන්නේ. මාර ඇමැතිවරයෙක්.”‍
ගයන්ත කරුණාතිලක එහෙම කීවේ ය.


“එයා සාමාන්‍යයෙන් ඔය වගේ කතා කියනවා. මට මතකයි වතාවක් කෙහෙලිය මාධ්‍ය ඇමැති විදිහට ඉන්න කාලේ මාධ්‍යවේදියෙක් ඇහුවා ‘බලන්න මාධ්‍යවේදීන්ට පවා ඔබතුමාලගේ ආණ්ඩුවෙන් ගහනවා මාධ්‍ය ඇමැතිවරයා හැටියට ඇයි ඔබතුමා නිහඬ‘ කියලා. මිනිහා ගත් කටටම කිව්වා මං කියල මොනව කරන්නද. මටත් තියෙන්නෙ තැඹිලි ගෙඩියක් අරගෙන බලන්න යන එක විතරයි කියලා”‍
ඉතිහාසයේ සිදුවීමක් සිහිපත් කළේ තිස්ස අත්තනායක ය.


“විපක්ෂයේ අනෙක් පක්ෂ සේරම එක්ක කතා කරලා මේ වැඩේ විධිමත්ව කරන්න පටන් ගන්න”‍
සජිත් මහලේකම් රංජිත් ඇතුළු කණ්ඩායමට වගකීම භාර දුන්නේය.
ඒ අනුව වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ලැබීය.
සජිත් පාර්ලිමේන්තුවේ දී අදාළ විශ්වාසභංගයට සියලු‍ දෙනාගේ සහයෝගය ඉල්ලා සිටියේය.

 


“ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙස යි. එසේ ම රටක සෞඛ්‍යය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍යය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීමට හේතුවක්” යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී දැකිය හැකි වූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක්ම ඊට සිය පූර්ණ සහයෝගය ලබා දීමය.
සමගි ජන බලවේගයෙන් තරග කොට පසුව ඉන් ඉවත්ව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ කුමාර් වෙල්ගම මහතා අද දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.

ආණ්ඩු පක්ෂ රැස්වීමේ අස්වැසුම

පාර්ලිමේන්තු සතිය නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම  සදුදා හවස රැස්වූයේ ජනාධිපති කාර්යාලයේ දීය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. විවාදයට ගැනීමට නියමිතව තිබූ දූෂණ විරෝධී පනත සහ සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂ රැස්වීමේදී වැඩි අවධානයක් යොමු විය. 

පනත් කෙටුම්පත් ගැන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සහ ඇමැති විජයදාස රාජපක්ෂ යන මහත්වරු දීර්ඝ පැහැදිලි කිරීමක් කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට තීරණය විය. එම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා කීවේය. 


ඒ අනුව යෝජනාව ඉදිරිපත් කිරීමට අම්පාරේ ඩී. වීරසිංහ මන්ත්‍රීවරයාගේ නමත්, ස්ථිර කිරීමට, කෑගල්ලේ සුදත් මංජුල මන්ත්‍රීවරයාගේ නමත් යෝජනා විය. 
ජනාධිපතිවරයා කීවේ විපක්ෂයෙන් විරෝධය එල්ල විය හැකි බැවින්, යෝජනාව  එක දිගටම කියවිය හැකි මන්ත්‍රීවරයකුගේ නම යෝජනා කරන ලෙසය.
මේ අතර, ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සියලු‍‍ දෙනාට ආරාධනා කළේ 18 වෙනිදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වන ලෙසය. භෝජන සංග්‍රහයට සහභාගී විය යුතු නිසා පනත් කෙටුම්පත කලින් සම්මත කරගෙන අවසන් කරන්නැයි ජනාධිපතිවරයා කීවේය.
ආණ්ඩු පක්ෂ රැස්වීම අවසන් කරන්නට යාමේදී ජගත් කුමාර මන්ත්‍රීවරයා නැගී සිටියේය. ඔහු මතු කළේ සමෘද්ධිය හා අස්වැසුම සම්බන්ධ ප්‍රශ්නයකි. 
“ජනාධිපතිතුමනි, මම කලිනුත් මේ ගැන කියලා තියෙනවා. මේක රටේම  පොදු ප්‍රශ්නයක්. ඔබතුමා අස්වැසුම  ක්‍රියාත්මක කරන්න ගත්තේ හොඳ අදහසකින් වෙන්න පුළුවන්. නමුත් දැන් ඒක රට තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ වෙනකොට ලක්ෂ දහයකට වැඩිය අභියාචනා ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තියෙන විරෝධය අඩුවෙලා තියෙන්නේ අභියාචනා නිසයි” රට වැටිල තිබුණු තැනින් ඔබතුමා ගොඩ ගත්තා. 


අපිට පාරෙ බැහැලා යන්න  බැරිවෙලා තිබුණු තත්ත්වය නැති කළා. නමුත්  අස්වැසුම  නිසා රටේ ලොකු විරෝධයක් ඇති වෙලා තියෙනවා. මේක ඔබතුමාගේ ජනාධිපතිවරණයටත් බලපෑම් කරන්න පුළුවන්. ගෝඨාභය  රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පොහොර වැඩේ හොඳයි කිය කිය ප්‍රශස්ති ගයපු අය දැන් හොයා ගන්නත් නෑ” යැයි ඔහු කීවේය.
ඒ සමඟම ඔහු නම නොකියා එක්තරා රාජ්‍ය ඇමැති වරයකුට හින්ට් එකක්ද  පාස් කළේය. ඔහු නම නොකීවද ඒ කීවේ  ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයාට බව එහි සිටි අයට රහසක් නොවීය. 
“දැන් මම මේක විවේචනය කරද්දි මමයි  විරෝධතා කරන්නේ කියලා කියන අයත් හෙට වෙනකොට මේකට හොයාගන්න බැරි වේවි. මේ සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන විරෝධය අඩු කරන්නනයි මම මැදිහත් වුණේ.” 


“ආණ්ඩුවට විරෝධය දක්වන  ඒකත් මම නතරකරලා තියෙනවා. හැබැයි මම විපක්ෂයේ හිටියනං මම තමයි මේකට ලොකුම විරෝධය මතු කරන්නේ. මේ අතර, සමෘද්ධි ව්‍යාපාරය නැති  කරන්න හදනවා කියලා මතයකුත් රටේ තියනවා”‍ ජගත් කීවේය.
ජනාධිපතිවරයා කීවේ ඉදිරි දින කිහිපයේ තමා පාර්ලිමේන්තුවේ ඉන්න බැවින් ඒ ගැන සාකච්ඡා කරමු කියාය.
චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයා නෝක්කාඩුවක් කීවේය. ඔහු කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන් ගන්නෙ නැති ඇමැතිලා, ලේකම්ලා සිටින බවය. 

“ජනාධිපතිතුමනි, අපි මෙතැනදී අසරණයි. අපට වැඩක් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපට දැන් හිඟා කන්න වෙලා තියෙන්නේ”‍ මායාදුන්නේ කීවේය. 

ඔහුගේ අදහස අනුමත  කරමින් චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමැතිවරයාද හඬ අවදි කළේය.
”මේ චින්තක මන්ත්‍රිතුමා කියන එක ඇත්ත. සමහර ලේකම්ලා ඉන්නවා ඇමැතිවරුවත් ගණන් ගන්නෙ නෑ. පොස්පේට් එකෙත් එහෙම තත්ත්වයක් තියෙන්නේ” යැයි ඔහු කීවේය.

ප්‍රසන්න ගේම ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ගිය සතියේ පැවැත්වුණේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසේය. අරගලය සමයේ ගිනිබත් වූ ඔහුගේ නිවසේ  පැවති මෙම රැස්වීමට වෛද්‍ය රමේෂ් පතිරණ, ශෙහාන්  සේමසිංහ, තිස්ස කුට්ටිආරච්චි,  මහින්දානන්ද අලු‍‍ත්ගමගේ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්  සහභාගී වූහ. ඔවුන්ට  තිබූ ප්‍රශ්නය වූයේ ඉතා මහතට හිටිය ප්‍රසන්න එකපාරටම කෙට්ටු වුණේ කෙසේද කියාය.”‍ 
ඇමැතිතුමා කොහොම ද ඔය  එක පාරටම කෙට්ටු  වුණේ?


තිස්ස කුට්ටිආරච්චි විමසා සිටි අතර, ප්‍රසන්න හිනාවෙමින් කීවේ ඒවා “රාජ්‍ය රහස්” කියාය.
අනේ අපිටත් කියන්න කොහොමද ඔය විදිහට ඇග  හදාගත්තේ කියලා, ඔහු කීවේය. ප්‍රසන්න කීවේ ලොකු දෙයක් නෑ, මම දිගටම එක්සයිස් කළා කියාය.
ප්‍රසන්න රැස්වීමේදී කීවේ පොහොට්ටුවේ අයට හිරිහැර කළොත් පොලියත් එක්කම රිටන් එක දෙනව කියාය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ඉකුත් සති අන්තයේ පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
එහි විශේෂත්වය වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවට එක්ව තනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර තිබීමය. 
සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට කලින් සිකුරාදා හවස පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූයේ පසු දින පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කරන යෝජනා සහ න්‍යාය පත්‍රය අනුමත කර ගැනීම වෙනුවෙනි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ආණ්ඩුවේ තනතුරු දරන  නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.


රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා දැනුම් දී තිබුණේ තම දියණියගේ විවාහ කටයුත්තකට දිවයිනෙන් බැහැරව සිටින බැවින් ඊට  සහභාගී නොවන බවය.
චාමර සම්පත් සහ ශාන්ත බණ්ඩාර යන රාජ්‍ය ඇමැතිවරු දෙදෙනා මධ්‍යම  කාරක සභාවට, විධායක සභාවට හෝ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි නොවූහ. ආචාර්ය  සුරේන් රාඝවන් සහ ජගත් කුමාර යන දෙදෙනා මධ්‍යම කාරක සභාවට සහභාගි වූ නමුත්, සමස්ත ලංකා කාරක සභාවටත් විධායක සභාවටත් සහභාගි වූයේ නැත.
මධ්‍යම කාරක සභාවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයේ  මහ ලේකම්වරයා ලෙස පසුගිය කාලයේ සිදු වූ දේවල් පිළිබඳ දීර්ඝ වශයෙන් වාර්තාවක් ඉදිරිපත් කළේය.
තීන්දු  තීරණ ගැනීමට කලින් සිදු වූ සියලු‍‍ දේවල් එහි සඳහන්ව තිබූ අතර, ආණ්ඩුවට එක් වූ මැති ඇමැතිවරුන් තනතුරු දරමින්ම පක්ෂයට ගැනීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන  නැති බව ඇඟවීමට ඔහුට අවශ්‍යව තිබිණි. ඔහු කලින් පැවති මධ්‍යම කාරක සභා රැස්වීම්වල සියලු‍‍ වාර්තාව ඉදිරිපත් කළේය.
මේ අතර, මෛත්‍රිපාල සිරිසේන මහතා කතා කළේය. ආණ්ඩුවට ගිය පිරිස එලෙසම නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීමට හේතු වූ කාරණා ගැන ඔහු පැහැදිලි කළේය.

ඔහු කීවේ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන්  ලැබුණු තීන්දුවකට අනුව ඔහු  නැවත පක්ෂයට ගැනීමට සිදු වූ බවය. නඩුවලට  යනවට වඩා  කතා බස් කර බේරා ගැනීම වඩාත් සුදුසු බව ඔහු කීවේය.

නිමල් සිරිපාල, මහින්ද අමරවිර යන දෙදෙනා පසුගිය කාලයේ සිටියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙසය. ඔවුන් ඉන් ඉවත්ව යාමත් සමඟ අලු‍‍තින් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු හතර දෙනෙක් පත් වූහ. එහෙත්  අලු‍‍තින් එකතු වූ පිරිසට ද තනතුරු දිය යුතු නිසාම ජ්‍යෙෂ්ඨ උප  සභාපතිවරුන් සංඛ්‍යාව 4 සිට 8 දක්වා වැඩි කිරීමටත්, උප සභාපතිවරුන් දහදෙනා 12 දක්වා වැඩි කිරීමටත්, උප  ලේකම්වරුන් අටදෙනා 10 දක්වා වැඩි කිරීමටත් තීරණය විය. 
භාණ්ඩාගාරික ලෙස අලු‍‍තින් පත් කර සිටියේ දුෂ්මන්ත  මිත්‍රපාල මන්ත්‍රීවරයාය. ලසන්ත අලගියවන්නට කලින් දැරූ තනතුර දීමට  තිබූ නිසා, හිටපු ජනාධිපතිවරයා කීවේ  දුෂ්මන්තට ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් පිරිනැමිය යුතු බවය. ඒ අනුව මෛත්‍රී කීවේ පසු දින  පැවැත්වෙන විධායක සභාවේ දී මෙම තනතුරුවලට පත්කර ගන්නා බවය.

තිලංග සුමතිපාල හිටපු රාජ්‍ය ඇමැතිවරයා ලිපියක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායම නැවත ආණ්ඩුවේ තනතුරු දරමින්ම පක්ෂයට නැවත  එක් කර ගැනීමට තමන් තුළ එතරම් කැමැත්තක් නොමැති බවය. ඔහු කීවේ ඔවුන් එන්නේ නම් තනතුරු අතහැර පැමිණිය යුතු බවය.

වාමාංශික බලවේග  එක්කර   බලවේගයක් ගොඩනැගිය යුතු යැයි ඔහු යෝජනා කර තිබිණි. මෙම කාරක සභාවේ දී අදහස් දැක්වූ නිමල් සිරිපාල ඇමැතිවරයා ඒ සියලු‍‍ දේට උත්තර දුන්නේය. මේ රටේ වමක් ඉතිරි වී නැති බව  ඔහු කීවේය. කොමියුනිස්ට්, සම සමාජ පක්ෂ පවා දැන් කැඩී වෙන් වී ඇති බව ඔහු කීවේය. ඒ නිසා දේශපාලන තීන්දු ගත යුත්තේ කාලීනව සිදුවන වෙනස්කම් අනුව බව ඔහු කීවේය.


සමස්ත ලංකා කාරක සභාවත්, විධායක  සභාවත් සෙනසුරාදා උදේ රැස්විය. ඒ හිටපු  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. නිලධාරීන් පත් කිරීම එහිදී සිදුවූයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන්ගේ පුරප්පාඩු පිරවීම පමණි. උප ලේකම් සහ උප සභාපති තනතුරු පසුව පුරවන්නට තීරණය විය.

කාම්බෝජයේ මැතිවරණ  නිරීක්ෂණයට මෛත්‍රීත් යයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිකුරාදා කාම්බෝජය බලා පිටත්ව ගියේය. ඒ එරට පැවැත්වෙන ලෝක සාම සමුළුවට සහභාගී වීම සහ මේ දිනවල පැවැත්වෙන එරට  මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙනි.

මෛත්‍රි එනතෙක් ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන්  විජයලාල් ද සිල්වා මහතා පත් කරනු ලැබ සිටී.

මේ අතර උත්තර ලංකා සභාගයේ විධායක සභාව  සඳුදා හවස  කොමියුනිස්ට්  පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර වෛද්‍ය ජී වීරසිංහ, ඇතුළු ඊට සහභාගි වූ අතර, ගෙවිඳු කුමාරතුංග සහ අතුරලියේ රතන හිමියෝ ඊට සහභාගී නොවූහ. කලින් සතියේ මෙන් ඔවුන්ගේ සාකච්ඡාවට ලක් වූයේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙනි.
ඔවුන් කීවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරණය කලින් පැවැත්විමේ සූදානමක් ඇති බවය. ඊට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් විය යුතු බව උත්තර  ලංකා සභාගයේ අදහස විය.

 

■ ගජබා