ජාතික ආණ්ඩුවක් හැදෙයිද ?


නුවරඑළියේ සංචාරය නිමවා කොළඹ පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ රාජකාරි ආරම්භ කිරීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ ඉකුත් සඳුදා ය. සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දෙන් පසුව රාජකාරි ආරම්භ කරන මුල් දිනය බැවින් ජනාධිපති කාර්යාලයේ සේවක පිරිස චාරිත්‍රානුකූලව තේ පැන් සංග්‍රහයක් එදින සූදානම් කර තිබුණි.


ජනාධිපති කාර්යාලයේ තම නිල කාමරය වෙත යෑමට ප්‍රථම ඔහු ගියේ සිය නිලධාරීන් සූදානම් කර තිබූ කැවිලි මේසය වෙතය. ජනපති එතනට පැමිණෙන බවට ලද පණිවුඩය හේතුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ලේකම් කාර්යාල දොරකඩ වෙත පැමිණියේ ජනපති පිළිගැනීමටය.


ජනපති රනිල් ඇතුළු පිරිස ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති කැවිලි මේසය වෙත ඔවුන් දෙපල විසින් කැඳවා ගෙන යද්දී රැස්ව සිටි සේවක සේවිකාවෝ ඔහුට සුබ පතන්නට වූහ. සැමට ආචාර කරමින් කැවිලි මේසය අසලට ගිය ජනපති “ඔයාලත් එන්න” යැයි සේවකයන්ට ආරාධනා කරමින් තේ පැන් සංග්‍රහයට එක්වූවේය.
“පසුගිය වසරේ නිදහසේ අවුරුදු සමරන්න ලැබුණේ නෑ. හැබැයි පොදුවේ කාටත් මේ වසරේ නම් අවුරුදු සමරන්න ලැබුණා.” සුබ පතන්නට ආ සේවක සේවිකාවන් ජනපතිට ආචාර කරමින් කීවේ එවැන්නකි.


“මොන අමාරුකම් තිබුණත් අවුරුදු සමරන්න ඉඩ හදලා දුන්න එක වටිනවා.” ලේකම් සමන් හා දිනිත් චින්තක කීවේ ජනපති දෙස බලමිනි.
ඒ වන විටත් මැති ඇමැතිවරුන් ගණනාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේ අලු‍ත් අවුරුද්දට ජනපතිට සුබ පතන්නට ය. සේවක සේවිකාවන්ගේ තේ පැන් සංග්‍රහය නිමවා ජනපති කෙළින්ම ගියේ මැති ඇමැතිවරුන් රැඳී සිටි ස්ථානය වෙතය. අගමැති දිනේෂ් ද එහි පැමිණියේ ඒ අවස්ථාවේදීය. ඔහුවත් කැඳවාගත් ජනපති මැති ඇමැතිවරුන් සිටි දෙසට පිය මැන්නේය.


නිමල් සිරිපාල, විජයදාස රාජපක්ෂ, කෙහෙළිය, අමරවීර ආදී මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටියෝය. ජනපති පැමිණ සිටි සියල්ලන්ටම වෙන වෙනම සුබපැතුවේය. ආ ගිය කතා හා විහිළු තහළුවලින් එම ස්ථානය පිරී ගියේ නිතැතිනි.
ඇමැති විජයදාස අසලට ගිය ජනපති ප්‍රතිත්‍රස්ත පනත ගැන ඇත්ත කතාව ජනතාවට කියන්න වේවි යැයි කීවේ සුබපතන අතරතුරය. මහින්ද අමරවීර අසලට ගිය ජනපති ඔහුගේ රිලවුන් ගැන විමසද්දී සැමට සිනහව නතර කර ගන්නට නොහැකි විය.
ජනපති ද සිනහසෙමින් සිටිනු දුටු එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් එතැනට ගොස් “ සිංහල අවුරුද්ද ජනතාවට නිදහසේ සමරන්න සැලසීම ගැන ජනපතිතුමන් සතුටින් ඉන්නේ. සර් හිටියේ නැත්නම් මේ අවුරුද්ද සමරන්න ඉඩක් නොලැබෙන්නත් තිබුණා.” යැයි කියද්දී සැවොම හිස සලා එය අනුමත කළහ.
“සර් දන්නවද මේ පාරත් විපක්ෂ නායකතුමා සිංහල අවුරුද්දට ඉඳලා තියෙන්නේ කොළඹින් පිටත ඈත ප්‍රදේශයක. මේ නිසා ගොඩක් අයට එතුමාට සුබපතන්නත් බැරිවෙලා.” මන්ත්‍රී වජිර පැමිණ ජනපතිට තොතුරක් දුන්නේය.


“ඒක තමයි එතුමා නිතරම ඉන්නේ යාල වනෝද්‍යානයෙනේ. ඒ නිසා මම බැලු‍වේ වෙනම නිල නිවසක් එහේ එතුමට එතන හදලා දෙන්න කියලා.” ජනපති ඇඟට පතට නොදැනී කියා එතනින් ඉවත්ව ගියද එහි සිටි අයට සිනහා නොවී සිටිය නොහැකි විය.
විදෙස් තානාපතිවරුන් පිරිසක් ද ජනපතිට අලු‍ත් අවුරුද්දට සුබ පැතිය යුතු බවට අගමැති දිනේෂ් ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ජනපති ලේකම් සමන් ඒකනායක විසින් ඒ අනුව තානාපති හමුව සූදානම් කර තිබුණි. තානාපතිවරුන් රැසක් එහි පැමිණ සිටි අතර ඔවුහු ජනපතිට අලු‍ත් අවුරුද්දට සුබ පැතූහ.
එදින සවස ඇමැති මණ්ඩල හමුව පැවැති අතර එහිදී ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක්ම අනුමත කරන ලදී. මෙහිදී රජයේ සේවාවන් කිහිපයක් ද අත්‍යවශ්‍ය සේවා කිරීමට අනුමැතිය හිමි වූ බැවින් ජනපති ලේකම් විසින් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේය.
අඟහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීම පැවැති අතර ඊට පක්ෂයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ. මැයි දින රැළිය ගැන මෙහිදී අදහස් හුවමාරු විය. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මහලේකම් රංගේ බණ්ඩාර කීවේය.
“ජාතික ආණ්ඩුවකට යනවා කියලා කතාවක් යනවා. පාක්ෂිකයෝ අපෙන් මේ ගැන විමසනවා. ඇත්තටම මොකක්ද ඇත්ත කතාව.” කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ශමල් සෙනරත් විමසා සිටියේය.


“අපි දන්න තරමින් නම් ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවකට කතා කළේ නෑ.” ජාතික සංවිධායක සාගල පිළිතුරු බැන්දේය.
“එයාලම ජාතික ආණ්ඩු කතාවක් කියලා දැන් එයාලම එන්නේ නෑ කියනවා. ජාතික ආණ්ඩුවක් ඕනෑ වෙලා තියෙන්නේ එයාලටම තමයි.” රංගේ ද කතාවට එක්වූවේය.
“මම කිව්වේ පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් විදියට වැඩ කරමු කියලයි. දැන් ඒක කෙරෙනවානේ. ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතරයක සභාපතිකම් දීලා තියෙන්නේ විපක්ෂයට. රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සභාපතිකම දීලා තියෙන්නෙත් විපක්ෂයට. දැන් පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් ලෙස වැඩ කරනවා.” ජනපති ඇඟට පතට නොදැනී දුන් පිළිතුරෙන් සැමගේ සැක සංකා තුනීවී ගියේය.


නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමන් මැයි රැළියට සහභාගී නොවනු ඇතැයි ජනපති රනිල් පැමිණ සිටි පිරිස දැනුම්වත් කළේය. පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමඟ මැයි දිනය සැමරීමට සැලසුම් සකස් කරන්නැයි ජනපති පැමිණ සිටි පිරිසට උපදෙස් දුන්නේය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා කම්කරු අමාත්‍යාංශයන් හි ප්‍රගති සමාලෝචන රැස්වීම පැවතුනේ බදාදා පෙරවරුවේය. එහිදී ජනපති දැඩි තීන්දුවක් ගත්තේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවය. උසස් පෙළ පිළිතුරු පත් පරීක්ෂාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දිගින් දිගටම කල් දමන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බව ජනපති මෙහිදී නිලධාරීන් හමුවේ දැඩිව කියා සිටියේය. එදින සවස ජනපති ආරක්ෂක මූලස්ථානය වෙත ගියේ ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කර තිබූ බක්මහ උළෙල නැරඹීමටය.
ජනපති රනිල් මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ඉකුත් බ්‍රහස්පතින්දාය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය පැමිණ සිටි සැවොම අගය කළහ. “ඇත්තටම ජනාධිපතිතුමාත් දැන් කංචන ඇමැතිතුමා වගේ කැත්තට පොල්ල වගේ ඉන්නවා. අධ්‍යාපනය ගැන කියපු දේ නම් රටේ දරුවෝ ඉන්න සෑම දෙමාපියෙක්ම අගය කරනවා.” ඇමති සියඹලාපිටිය කීවේ ජනපති අගයමිනි.


“විශ්වවිද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර බලන්නේ නැති නිසා සාමාන්‍ය පෙළ විභාගය තියාගන්න විදියකුත් නෑ. මෙතනදී තදින් හිටියේ නැතිනම් දෙමාපියෝ අපට බණීවි. මේ වෙලාවේ අපි ගන්න ඕනෑ දරුවන්ගේ පැත්ත.” මන්ත්‍රී මධුර විතානගේ කී දේ සැවොම එක හඬින් අනුමත කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද සහතිකය සේම වොෂින්ටනයේදී රැස්වී ණය හිමියන් ලබාදුන් සහතිකය ගැන ද මෙහිදී කරුණු පැහැදිලි කළේ ශෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාය. “අපි ඊළඟ අවුරුදු 25 ගැන ඉදිරිපත් කළ සැලසුමත් අවුරුදු පහකට ඉදිරිපත් කළ සැලසුමත් ඒ අයගේ ප්‍රසාදයට ලක්වුණා.” මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කීවේ සතුටිනි.


දහවල් ජනාධිපති කාර්යාලයේදී මැති ඇමැතිවරු පිරිසක් ජනපති මුණගැසුණේ පාර්ලිමේන්තු කටයුතු ගැන මෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන කතා කිරීමටය. ප්‍රතිත්‍රස්ත පනත ගැන මෙන්ම, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ගැනද මෙහිදී පිරිස තොරතුරු විමසා සිටියහ.
“ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න. අනෙක මේක ගෙනාවේ 2015 - 2019 කාලේ. ඒකට එදා පක්ෂ වෙච්ච උදවිය අද ඒක හොඳ නෑ කියනවා. මොකක්ද විපක්ෂයේ අද ඉන්න කණ්ඩායමට වෙලා තියෙන්නේ කියලා මට නම් පැහැදිලි නෑ.” වජිර අබේවර්ධන කීවේ නොක්කාඩුවෙනි.
“ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වගේම රටෙනුත් ලැබුණු ඉල්ලීම අනුව තමයි මේක ගෙනාවේ. සිවිල් සංවිධාන පවා එදා කිව්වා මේ පනත හොඳයි කියලා. දැන් ඔවුන් මේ කතා කරන දේ අපැහැදිලියි.” මනුෂ නානායක්කාර ද කතාවට අලගු තැබීය.


මේ ගැන මාධ්‍ය හමුවේ දිගටම කතා කරන්නැයි ජනපති මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. ප්‍රසන්න රණතුංග මෙහිදී වෙනත් කතාවක් ගෙන ආවේය.” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවට ස.ජ.බේ අයට අද විරුද්ධ වෙන්න බැරි නිසා එයාලා වෙන කාරණයක් පෙන්නලා විවාදයෙන් පැනලා යන්නයි හදන්නේ.” ඇමති ප්‍රසන්න කීවේ අලු‍ත් තොරතුරකි.
“ඔව් ඔව් එයාලා දැන් කියනවා මේ ගිවිසුම භාෂා තුනෙන්ම දෙන්න ඕනෑ කියලා. ස.ජ.බෙට අමතක වෙලා ඉන්දු ලංකා ගිවිසුමත් පාර්ලිමේන්තු විවාදයට ගත්තේ ඉංග්‍රීසි පිටපතින් පමණයි කියලා.” ඇමැති බන්දුල ද පිළිතුරු දුන්නේ එලෙසිනි.


“පාස්කු ප්‍රහාරය ගැන කියපු දෙයක් ගැන ප්‍රකාශයක් ගන්න ටී.අයි.ඩී එකට එන්න කිව්වම හිටපු නීතිපති ආවේ නෑ. හැබැයි හිටපු මුදල් ඇමැති ලෙස මට නම් එහෙම අවස්ථා ලැබුණේ නෑ.” රවි කරුණානායක ද කතාවට එක්වූවේය.


“එයා කිව්වේ ඇත්ත නම් මෙතනට ඇවිල්ලා කියන්න බය වෙන්නේ මොකට ද”. මධුර විතානගේ ද විමසා සිටියේය.
“දැන් රිළව් රට යවනවට ගොඩක් දෙනෙක් කැමතියි. හැබැයි චීන තානාපති කාර්යාලය කියලා තියෙනවා එයාලා රිළව් ඉල්ලු‍වේ නෑ කියලා.” ඇමති ප්‍රසන්න තවත් කතාවක් ඇද ගත්තේය.


“ඔව් මම මේ සියලු‍ කාරණා ගැන හොයන්න කමිටුවක් පත් කරන්න ඉන්නේ.” ජනපති කී විලාසය අනුව සැවොම සිනාසුනහ.

ශ්‍රීලනිප එක් කිරීමේ වෑයම  ලත් තැන ලොප් වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සහ පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් සිංහල අලු‍ත් අවුරුද්දට පෙර මෛත්‍රීගේ නිල නිවසේ දී පැවැත් වුණේ කණ්ඩායම් දෙක එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙනි. මෛත්‍රීට අමතරව දයාසිරි ජයසේකර, ෂාන් විජයලාල් ද සිල්වා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් ඇතුළු කණ්ඩායමක් ශ්‍රීලනිපයෙන් සහභාගි වූ අතර, අනෙක් කණ්ඩායම වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් සහභාගි වූහ. 


මහින්ද අමරවීර සහ රංජිත් සියඹලාපිටිය යන ඇමැතිවරුන් දෙදෙනා වෙනත් කටයුතු හේතුවෙන් සහභාගී නොවන බව කල්තියාම දැනුම් දී තිබූ නමුත්, ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා සහභාගී නොවන බවට දැනුම් දීමක් හෝ කර නොතිබිණි. චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමතිවරයා සාකච්ඡාවට ටික වෙලාවක් සිට පිටව ගියේය. නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය අභියාචනාධිකරණයෙන් අත්හිටුවීමෙන් අනතුරුව මෙම හමුව සිදු වූයේ ඔවුන් නැවත පක්ෂයට එක්කර එම තනතුරු නැවත දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි. ඒ සම්බන්ධයෙන් එම හමුවේ දී සාකච්ඡා කළ ද බොහෝ දෙනකු ඊට එකඟ නොවූයේ ඔවුන් ආණ්ඩුවේ තනතුරු දරමින් නැවත පක්ෂයේ කටයුතු කිරීම පක්ෂයේ විනය පවත්වාගෙන යාමට ගැටලු‍වක් බව කියමිනි. පක්ෂයේ අයගේ තර්කය වූයේ එම පිරිස පක්ෂයට ගන්නේ නම් ඔවුන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්ව ආ යුතු බවය.

ජීඑල්ට පොහොට්ටුවෙන් ලැබුණු  ආරාධනය

රැස්වීමක් මේ සති අන්තයේ නෙළුම් මාවත කාර්යාලයේ පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන්නැයි පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ලිපියකින් දැනුම් දී තිබිණි. මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය ද යවා තිබූ අතර පක්ෂයේ සභාපතිවරයාගේ කතාවට ද වෙලාවක් වෙන්කර තිබිණි. පොහොට්ටුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජී.එල්. වහාම හැරෙන තැපෑලෙන් සාගර කාරියවසම්ට ලිපියක් යැව්වෙ මහා සභාවක් කැඳවීම නීතිවිරෝධී බව පවසමිනි. මෙම රැස්වීම කැඳවීමට එරෙහිව උසාවි යන බව ද සාගරට යැවූ ලිපියෙන් සඳහන් කර තිබිණි


මේ අතර මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට ද නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු ගිය බ්‍රහස්පතින්දා මහනුවර ගියහ. එය සංවිධානය කරනු ලැබුවේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් වන අතර, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳගොඩ ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඊට සහභාගි වූහ. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හා අනුනායක හිමිවරුන් ද බැහැ දුටු පිරිස ප්‍රති ත්‍රස්ත පනතේ ඇති හානිදායක වගන්ති සම්බන්ධයෙන් කෙටි සටහනක් ද මහ නායක හිමිවරුන්ට පිළිගැන් වූහ.


මේ අතර, නිදහස ජනතා සභාව ද මැයි දිනය මහනුවර දී සැමරීමට තීරණය කර ඇත. එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ ද සහභාගීත්වයෙන් මෙය පැවැත්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි රැලිය පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද මහනුවරය. එහි සංවිධානය කටයුතු කිරීමට මැයි දින කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි සභාපතිවරයා වන්නේත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාය. මැයි දින කමිටුව ඉකුත් සතියේ රැස්වී රැලිය හා පෙළපාලිය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, තේමාව වී ඇත්තේ නිදහස් වෙමු නිවහල් වෙමු යන්නයි.

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබයත් සටනේ

ත්‍රස්ත විරෝධි පනත හරහා ගෙන එන රාජ්‍ය ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය හරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය විනාශ කිරීම මේ ආණ්ඩුවේ ඒකායන අරමුණ බවත් මේ අරමුණ පරාජය කිරීමට සියලු‍ම ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් කීවේය.


ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව දැවැන්ත බලවේගයක් ගොඩනැගිය යුතු බවත් ඒ වෙනුවෙන් සූදානම් වන ලෙසත් සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව ඉතා පුළුල් ලෙස කබීර් හෂීම් අදහස් දැක්වීය.


‘අලු‍ත් ත්‍රස්ත පනතේ ස්වාභාවය පිළිබඳව පිටු ගණනින් අදහස් දක්වා තිබූ වජිර අබේවර්ධන කබීර් හෂීම් මහතාගෙන් ටියුෂන් ගන්න ඕනෑ”‍ ඉරාන් වික්‍රමරත්න කීවේය.
‘අද රට කරන්නේ කළු කඩ මුදලාලි කෙනෙක්. රිළව් විකුණලා හරි කමක් නෑ කීයක් හරි හොයාගන්න තමා හදන්නේ.”‍ එහෙම කිව්වේ තුශාර ඉඳුනිල්ය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එකතු වන බවට යන ව්‍යාජ පුවත් පිළිබඳව එහිදී තුෂාර විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියේය.
‘ඇත්තටම ආණ්ඩුවට කිසි වැඩක් නැති බව අපි දන්නවා. ඒත් අපිට වැඩ තියෙනවනේ. ඒ නිසා ඔය වගේ හිස් විහිළුවලට උත්තර දෙන්න යන්න එපා”‍  සජිත් කීවේය.
‘හැබැයි කබීර් නම් නියම උත්තරයක් දීලා තිබුණා.”‍  මහ ලේකම් රංජිත් කීවේය.
සමගි ජන බලවේගය නිර්මාණය ‌කළේ ප්‍රතිපත්තිගරුකව බවත්, තමන් ඇතුළු සජබ කිසිවකුත් රට පාවාදී ජාතික ආණ්ඩුවලට එක් නොවන බවත් කබීර් හෂීම් කීවේ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරේය.


‘‘අපේ සමහරු ආණ්ඩුවට යනවා කියලා සමහරු කියලා තිබුණා. ඒ වගේ බොරුවලට මම උත්තර දෙන්න යන්නෙ නෑ. මේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරවලින් පමණක් ගොඩ නගන්න බෑ”‍ කබීර් කීවේය.


මේ අතර ආණ්ඩුව විසින් ප්‍රචාරය කරනු ලබන බොරු ප්‍රවෘත්තිවලට මනෝ ගනේෂන්ද කදිම උත්තරයක් දුන්නේ ය.
තම පක්ෂය සමගි ජන බලවේගය සමග සන්ධානගතව සිටින පක්ෂයක් බවත්, ජාතික ආණ්ඩුවකට හෝ ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් තම පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැති බවත් මනෝ ගනේෂන් කීවේය.


තම පක්ෂය ජාතික ආණ්ඩුවකට එක්වන බවට මාධ්‍ය පළ කළ අසත්‍ය පුවතට ප්‍රතිචාර දක්වමින් ඔහු ට්විටර් පණිවුඩයක් මගින් මේ බව පෙන්වා දුන්නේය.
මේ අතර සමගි ජන බලවේගයේ මැයි දින රැලිය උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට සමගි ජන බලවේගය තීන්දු කොට තිබේ.
‘වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය මැයෙන්”‍ මෙවර මැයි දිනය පැවැත්වීමට ඔවුන් තීරණය කොට ඇත.


‘මැයි රැළිය තියන්න අපි ඉල්ලපු කිසිම ග්‍රවුන්ඩ් එකක් මේ වෙනකොටත් අපිට නිදහස් කරලා නැහැ.”‍  නලීන් බණ්ඩාර කීවේය.
ඒ මොහොතේම අදාළ අංශවලට කතා කළ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමගි ජන බලවේගයට අදාළ ක්‍රීඩාංගන වෙන් නොකරන්නේ මන්දැයි විමසා සිටියේය.
”‍අපි රැස්වෙලා ඒ ගැන තීන්දුවක් අරගෙන දන්වන්නම්”‍


ඔවුන්ගෙන් එවැනි පිළිතුරු ලැබෙද්දී මහ ලේකම් රංජිත් ඇසුවේ’ ඇයි අපේ සෙනඟට ආණ්ඩුව බය වෙලා ද ?”‍ කියලා ය.
අවසානයේ දී කොළඹ ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගනය සමගි ජන බලවේගයට වෙන් කර ගත හැකි විය.


”‍හැබැයි එන සෙනග දාන්ඩ මේක නම් ඉඩ මදි. නමුත් වෙලාවේ හැටියට මේක හරි ලැබුණ එක ලොකු දෙයක්.” මුජුබර් කීවේය.

මැයි දිනයට ජවිපෙන් ‘‘ජනතා පාලනයක්’’

‘‘සැබෑ විසඳුමක් ජනතා පාලනයක්’’ යන තේමාව මත ලබන මැයි දිනය පැවැත්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට නිශ්චිත ස්ථානයක් ලබා නොදීම ගිය සතියේ සාකච්ඡාවට භාජනය විය. මැයි රැලිය ගාලු මුවදොර පිටියේ පැවැත්වීම සඳහා අනුමැතිය ඉල්ලා, ඒ සඳහා සාකච්ඡා පැවැත්වීමට කිසිම ​දේශපාලන රැස්වීමක් සඳහා ලබා නොදීම අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව ගාලු මුවදොර පිටියේදී ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය පැවැත්වීමට ​නොහැකි තත්ත්වයක් උදාවිය. වෙනත් ස්ථාන කීපයක් සඳහා අනුමැතිය ඉල්ලා තිබුණත් ගිය සිකුරාදා වනතුරුත් ඒ සඳහා අනුමැතිය ලබාදී නොතිබීම ගැන ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.


මැයි රැලියට කිසිම ස්ථානයක් ලබා නොදුන්නොත් කොළඹ කුමන හෝ ස්ථානයක මැයි රැලිය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේය.


මේ අතර කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනයෙන් කොරියාව බලා පිටත්ව ගිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 15 වැනිදා සෝල් නුවරදී එරට වෙසෙන  ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක් හමුවිය. එහිදී රටේ තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණි. සිය ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කැමැත්තෙන් සිටියත් ඒ සඳහා පහසුකම් නොවීම පිළිබඳ එම ව්‍යාපාරිකයෝ කරුණු දැක්වූහ. ඉහළ බඳු අනුපාතය, අදාළ රාජකාරි කටයුත්තක් කර ගැනීමට යන කාලය, දූෂණය, පගාව ආදී කරුණු නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනයක් කිරීමට ඇති නොහැකියාව ඔවුහු පෙන්වා දුන්හ. පවතින ගැටලුවලට විසඳුම දේශපාලන ක්‍රමයේ වෙනසක් බව මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.


ඔහු පසුවදා ‘තේගු’ නගරයේදී කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික පිරිසක් හමුවූවේය. එහිදී රටේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගත් තීරණය, මර්දනකාරී පනත් ඉදිරිපත් කිරීම ආදිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කළේය.


මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගත් තීරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ආසන සමුළු හා කොට්ඨාස සභා මට්ටමින් පැවැත්වීමට ලබන ජූලි මාසයට පෙර අවසන් කිරීමට ද තීරණය කළේය.

 

ගජබා