ජනතාව බඩගින්නේ ආණ්ඩුව විසි එකේ


 

 

 

 

 

ආර්ථිකයත්, දේශපාලනයත් දෙකම බරපතළ අර්බුදයට ලක් වෙමින් තිබේ. එය ගොඩ ගන්නට විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් වෙමින් තිබුණද, තවමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි විසඳුමක් පෙනෙන තෙක් මානයක හෝ දකින්නට නැත. දේශපාලන අර්බුදය විසඳීම සඳහා යෝජනා කර ඇති විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය ද තවදුරටත් පවතින්නේ සාකච්ඡා මට්ටමිනි.

දේශපාලනයේ දී ගත් අමාරුම තීන්දුව ගැන ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඉකුත් සඳුදා කොටුව ජනාධිපති මන්දිරයට කැඳවීය. අගමැති රනිල් වික්‍රමසිංහ ,හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ,හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් ඊට සහභාගී වූහ. මෑත දී ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ. ජනාධිපතිවරයා, අගමැති රනිල් හිටපු අගමැති මහින්ද සහ සභානායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි අතර, ජනාධිපතිවරයාගේ දෙපසින් අගමැති රනිල් සහ හිටපු අගමැති මහින්ද අසුන්ගෙන සිටීම විශේෂත්වයක් විය. තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ බැසිල් රාජපක්ෂ මහතා දැඩිව විවේචනය කරන විජයදාස රාජපක්ෂ මහතාත්, බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාත් දෙදෙනාම ඉදිරිපෙළ එක ළඟ අසුන් දෙකක අසුන්ගෙන සිටීමය.


සාකච්ඡාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විසිඑක් වැනි ආණ්ඩුක්‍රමක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවූ බව ය . මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නෙ මගේ කැමැත්ත ඇතිවයි. අගමැතිතුමාත් විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාත් මා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. රට ඉල්ලන දෙයක් නම් මම මේ වෙලාවේ ඒකට එකඟයි. අධිකරණ ඇමතිතුමා හැමෝම එක්ක සාකච්ඡා කරලා මේ සංශෝධනය සකස් කරලා තියෙන්නේ යැයි කී ජනාධිපතිවරයා මේ ගැන පැහැදිලි කරන්නැයි විජයදාස රාජපක්ෂ ඇමතිවරයාට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීම, කොමිෂන් සභා පත් කිරීම සහ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් විජයදාස පැහැදිලි කළේය.
නව සංශෝධනයෙන් ජනාධිපතිවරයා කරන පත් කිරීම සම්බන්ධයෙන් ගැටලු‍වක් තිබෙන බව තාරක බාලසූරිය මන්ත්‍රීවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෙලාවක් ලබා දිය හැකි දැයි ඔහු විමසා සිටියේ ය. කොමිෂන් සභා පත් කිරීම ගැන පැහැදිලි කළ විජයදාස ඇමැතිවරයා ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දිය හැකි බව කීවේය. ඒ අනුව එය බ්‍රහස්පතින්දා පෙරවරුවේ යොදා ගන්නැයි ඉල්ලීමක් ද කළේය.


දහනවවැනි සංශෝධනය ගෙනෙද්දී අපි ඡන්දෙ දුන්නා. ටික දවසක් ගියාම අපිට ඒකෙ අඩුපාඩු පෙනුණා යැයි රෝහණ දිසානායක කී අතර, විජයදාස කීවේ බ්‍රහස්පතින්දා පැවැත්වෙන හමුවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කළ හැකි බවය.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ වෙනත් අදහසක් ය. ඔහු විසිඑක්වැනි සංශෝධනයට එකහෙළා විරුද්ධය. ඔහු කීවේ ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට පැවරීම ගැන තමා විරුද්ධත්වය පළ කරන බවය.
ඔබතුමාගේ බලය දිස්ත්‍රික්කයකින් පත් වන කෙනකුට පවරන්න අයිතියක් නෑ. මම ඒකට විරුද්ධයි. මම 19 ට අත ඉස්සුවේ නෑ. මං 21ට අත උස්සන්නේත් නෑ. මම කියන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න ටික විසඳන්න කියලා යැයි සරත් වීරසේකර කීවේය. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමා අගමැතිකම ඉල්ලාගෙන නොපැමිණි බවය. තමාට ඒ සඳහා ආරාධනා කළ නිසා අගමැතිකම භාරගත් බව රනිල් කීවේය.
පුත්තලමේ චින්තක මායාදුන්න මන්ත්‍රීවරයා ද කතාවට සම්බන්ධ විය. ඔහු කීවේ දැන් තියෙන ප්‍රශ්නය මේක නෙවෙයි කියාය. අපේ ගෙවල් ගිනි තියලා ඇඳි වත විතරයි තියෙන්නේ. මිනිස්සු ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධන නෙමේ. චින්තක මායාදුන්න කීවේය.


පසු පෙළක සිටි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ද මේ ගැන කතා කළේය. මේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට අසාධාරණයක් වෙච්ච බව මම පිළිගන්නවා. ඒ ගැන මම කනගාටු වෙනවා. මායි මනුෂ මන්ත්‍රීතුමායි මෙතනට ආවේ ගින්දරකට පැන්න වගේ. අපි මේ වෙලාවේ ජනතාව ඉල්ලන දේ ගැනත් බලන්න ඕනේ, යැයි හරීන් කීවේය.
මේ කතාබහ අතරේ මහින්ද අමරවීර ඇමතිවරයා පොහොර ප්‍රශ්නය ගැන කීවේය. රටේ ලොකු ආහාර අර්බුදයක් තිබෙනවා. අපි ඒ ගැනත් කැබිනට් එකේ විශාල වශයෙන් සාකච්ඡා කරලයි ආවේ. ජනතාවට සහන දීලා කුඹුරු ටික කරන්නයි බලන්නෙ. ‘‘මහින්ද අමරවීර කියද්දී මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරු ඊට වෙනස් අදහස ඉදිරිපත් කළහ.”‍ ඔබතුමා රට බය කරන්න එපා. කුඹුරු විශාල ප්‍රමාණයක් වගා කරල තියෙන්නෙ. පොහොර නැති වුණත් 50% ක හෝ අස්වැන්නක් එනවා. ඒ නිසා මේ විදියට ජනතාව බය කරන්න එපා”‍ යැයි මහින්දානන්ද කියද්දී ශෂීන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේ!”‍ අපි කාබනික පොහොර හදන්න පටන් ගත්තා. මුදල් ප්‍රශ්න නිසා දැන් මේවා නතර වෙලා. ඒ අය දිරිමත් කරන්න වැඩ පිළිවෙළක් අවශ්‍යයි”‍ කියාය.


මේ කතාබහ අතරේ ජනාධිපතිවරයා නැවතත් කතා කළේය. දේශපාලන ප්‍රතිසංස්කරණ කරලා ඉදිරියට යමු. මම මුලින්ම ආණ්ඩුව භාර ගන්න කියලා ආරාධනා කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට. නමුත් එතුමා ඒක බාරගත්තේ නෑ. ඉන් පස්සේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතා කළා. එතුමා මේක බාර ගත්තා. එතුමා කෙරෙහි විශ්වාසය තියල අපි පොදුජන විදිහට සහාය දෙනවා”‍ ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ තම දේශපාලන ජීවිතයේ ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බවය. කළ කැපවීම් ගැන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් ඇමතිවරුන්ටත් ස්තුතිවන්ත වන බවද ජනාධිපතිවරයා කීවේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කීවේ”‍ මම රට වෙනුවෙන් කාර්යභාරය ඉටු කරන්න බාරගත් බවය.

 

ජගත් කුමාරගෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක්

ජගත් කුමාර මන්ත්‍රීවරයා කතා කළේ චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරමිනි.”‍ අපි හැමදාම මෙතන කතා කරනවා. අදත් මම කතා කරනවා. අපි කියපුවා කළේ නෑ. ජනතාවට ජීවත්වෙන්න අමාරුයි. මං මුල දී කිව්වා, ඉන්ධන, ගෑස් පෝලිම් නිසා කවදාහරි දවසක පාකිස්තානයේ දී වගේ මන්ත්‍රීවරයෙක් ගහල මරයි කියලා. අපි කිව්වට ඒවා ඇහුවේ නෑ. ඒවට පියවර ගත්තේ නෑ. අන්තිමට අපිට මන්ත්‍රීවරයෙක් නැති වුණා. දැනුත් මේවා සාකච්ඡාවලට විතරක් සීමා නොවී විසඳුම් දෙන්න. 


ඉන්ධන, ගෑස් ප්‍රශ්නයට වහාම විසදුම් දෙන්න. ජනතාවට මේවා දුන්නොත් මේ තියෙන පීඩනය නැති වෙයි. සමහරු නීතිය අතට අරන්. නීතියේ ආධිපත්‍ය සැමට සාධාරණ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. ජගත් කුමාර දීර්ඝ විස්තරයක් කරමින් කීවේය.

 

දයාසිරිට රාඝවන් හරස්වෙයි

කලින් පැවති සාකච්ඡාවේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුව, විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1දී බ්‍රහස්පතින්දා දහවල් පැවැත්විණි. මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනකු පමණ ඊට සහභාගි වූ අතර, ඉදිරි පෙළ අසුනේ සිටියේ මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා සහ ආචාර්ය විජයදාස රාජපක්ෂ යන ඇමැතිවරුන් පිරිසය. 


විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නට කලින් පැවති සාකච්ඡාවට සහභාගි නොවූ ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ද ඊට සහභාගි වී සිටි අතර, කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රසන්න රණතුංග, මහින් ද අමරවීර, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, දයාසිරි ජයසේකර, සරත් වීරසේකර රොෂාන් රණසිංහ ඇතුළු මැති ඇමති පිරිසක් ද ඊට සහභාගී වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද ඊට සහභාගි වී සිටි අතර, ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තුවෙන් පත්ව පසුව ආණ්ඩුවට එක්වූ ආචාර්ය සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නයක් මතු කරමින් විමසා සිටියේ, ආණ්ඩු පක්ෂයේ අයට පැවැත්වෙන සාකච්ඡාවට විපක්ෂයේ අය සහභාගි කර ගත්තේ ඇයි ද යනුවෙනුයි. 
ඔහුගේ ඉලක්කය වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ය. එය දැනගත් දයාසිරි මන්ත්‍රීවරයා රැස්වීමෙන් නැගිට පිටව ගිය අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගොස් දයාසිරි නැවත කැඳවාගෙන ආවේය. මේ සාකච්ඡාවේ තවත් විශේෂත්වයක් වූයේ රාජපක්ෂ පවුලට සම්බන්ධ කිසිවකුත් සහභාගී නොවීම ය.
සාකච්ඡාව ආරම්භ කරමින් විජයදාස රාජපක්ෂ ඇමතිවරයා විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන මන්ත්‍රීවරුන්ට පුළුල් විග්‍රහයක් කළේය. ඔහු කිව්වේ විසිඑක් වැනි සංශෝධනය 19 වන සංශෝධනය වත්, 20 වැනි සංශෝධනයවත් නොවන බවය. 19වැනි සංශෝධනයේ හොඳ ලක්ෂණත්, විසිවැනි සංශෝධනයේ හොඳ ලක්ෂණත් යන දෙකම විසිඑක්වැනි සංශෝධනයට ඇතුළත්ව ඇති බව විජයදාස කීවේය. ඒ අනුව ,දහනවය ප්ලස් සහ විස්ස මයිනස් යන දෙකම මෙහි අඩංගු ඇති බව විජයදාස කීවේය.
විසිඑක්වැනි සංශෝධනයට ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනා ද ඇතුළත් බව විජයදාස කීවේය. එහිදී මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවට පමණක් නොව, මහ බැංකුවට, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී ද ද්විත්ව පුරවැසියන් පත්කර ගත නොහැකි බවට වන වගන්තියක් ඇතුළත් කළ යුතු බවය. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීමට විරුද්ධව කිසිවකුත් අදහස් ඉදිරිපත් නොකිරීම ද විශේෂත්වයක් විය.

මන්ත්‍රීලා හතක් අතුකෝරළගේ නිවසට

ඉකුත් 9 වැනිදා ඇතිවූ කලබලයේ දී ඝාතනයට ලක් වූ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ පවුලේ අයගේ සුවදුක් බලන්නට මන්ත්‍රීවරු හත් දෙනෙක් ඉකුත් දා පොළොන්නරුවේ ඔහුගේ නිවසට ගියහ. ඩලස් අලහප්පෙරුම, උදයන කිරිඳිගොඩ , ලලිත් එල්ලාවල, සුදත් මංජුල, උදයකාන්ත ගුණසේකර,කේ.කේ.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් හය දෙනා වෑන් රථයකින් කොළඹ සිට අතුකෝරල මන්ත්‍රීවරයාගේ නිවසට ගිය අතර, සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයා කෙළින්ම එම නිවසට පැමිණ සිටියේය.


මන්ත්‍රීවරුන් හය දෙනා තෙල් අර්බුදය නිසා කොළඹ සිට ගියේ එකම වාහනයකිනි. ඔවුන් සඳහා වාහනයක් ලබා දී තිබුණේ කරුණා කොඩිතුවක්කු මන්ත්‍රීවරයාය. පිරිස උදේ කෑමට පස්යාලේ හෝටලයකට ගිය අතර, මන්ත්‍රීවරුන් පිරිස එකම වාහනයකින් බසිනු දුටු හෝටලයේ කෑම ගනිමින් සිටි මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පතිවරයා කීවේ මන්ත්‍රීවරුන් මේ ආකාරයෙන් ගමන් කිරීම හොඳ ආදර්ශයක් බව ය. 


අනතුරුව පිරිස පොළොන්නරුව බලා පිටත්ව ගිය අතර, අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් හමුවී ඔවුන්ට ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සොයා බැලූහ. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබූ අතර, ඩලස් ඇමතිවරයා ටිරාන් අලස් ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කර ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියා මාර්ගයක් ගන්නැයි ඉල්ලීමක් කළේය.
නවවැනිදා ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ නිවස ද ගිනිබත් විය. එම නිවස බලන්නට ද මෙම මන්ත්‍රීවරුන් හත්දෙනා රොෂාන්ගේ නිවසට ගිය අතර, කොළඹ පැවති හදිසි කටයුත්තක් නිසා ඔහු නිවසේ නොසිටියේය. අනතුරුව පිරිස සිරිපාල ගම්ලත් ඇමතිවරයාගේ ගිනිබත් නිවස බලන්නට ද ගියහ.

නිමල්ට අමරවීරට ශ්‍රීලනිපය එරෙහි වෙයි

මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අඟහරුවාදා පස්වරුවේ ඔහුගේ නිල නිවසට කැඳවීය. සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,තමා පසුගිය දිනවල රට පුරා ආසන සංවිධායකයන් සමග සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු නොගත යුතු බව ඉන් සියයට අනූ අටක්ම ප්‍රකාශ කළ බවත්ය. මේ අවස්ථාවේ ආණ්ඩුවේ තනතුරු ගත යුතු යැයි ප්‍රකාශ කළේ ඉන් සියයට දෙකක් පමණක් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.


නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගොස් ඇමති ඇමතිධූර ගැනීම සම්බන්ධයෙන් ද, හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය. ඔහු කීවේ, ඔවුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනකු ගෙන්වාගෙන ආණ්ඩුවට එක් නොවන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවය. 
එසේ වුවද නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනා ආණ්ඩුවට ගොස් ඇමති ධුර ගත් බවත්, එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කර ගත් තීන්දුවට පටහැනි බවත්, හිටපු ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව කතා කළේ, දයාසිරි ජයසේකර මහලේකම්වරයා ය. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනා ආණ්ඩුවට ගොස් තනතුරු ගැනීම දැඩිව විවේචනය කළ දයාසිරි පක්ෂය මේ ගැන කතා කිරීමටත් පෙර නිමල්, අමරවීර සහ දුමින්ද දිසානායක ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව කීවේය. එපමණක් නොව ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද දයාසිරි දැඩි විවේචනයක් කරමින් කීවේය.”‍ පක්ෂය මේ ගැන සාකච්ඡා කරන්න කලින්, තනතුරු සම්බන්ධයෙන් මේගොල්ලන් මීට කලිනුත් මේ විදිහට කටයුතු කළා.


2019දී ත් මේ අය පෞද්ගලිකව ගිහින් කතා කරලා ආණ්ඩුවේ තනතුරු ගත්තා යැයි දයාසිරි කීවේය. තමා එම සාකච්ඡාවලට නොගිය බව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කීමට උත්සාහ කළ ද, දයාසිරි ඊට ඉඩක් නොදුන්නේය. දුමින්ද ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති බව දයාසිරි කීවේය.
තිලංග සුමතිපාල හා ෆයිසර් මුස්තාපා යන දෙදෙනා නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර ආණ්ඩුවට යාම සම්බන්ධයෙන් එතරම් දෝෂාරෝපණයක් එල්ල නොකළ අතර, දෙපැත්තටම නැතිව අදහස් පළ කරන්නට ඔවුහු වග බලා ගත්හ.
කෙසේ වුවද, නිමල් සිරිපාල හා මහින්ද අමරවීර දෙදෙනා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට මෙම සාකච්ඡාවේ දී තීරණයක් නොගෙන ඇති නමුත්, ඔවුන් දෙදෙනා පක්ෂය තුළ දැරූ සියලු‍ තනතුරුවලින් ඉවත් කරමින්, මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පසුදිනම මාධ්‍යයට ලිපියක් නිකුත් කෙළේය.

 

වවන්න වෙන්නේ රැවුල විතරයි

රට වැටී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සහ විපක්ෂ නායක සජිත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.


”‍පඩි ගෙවන්නත් සල්ලි නැති නිසා ට්‍රිලියනයක් මුදල් අච්චු ගහන්න යනවා”‍ අශෝක් අබේසිංහ එහෙම කිව්වේ විපක්ෂ නායක කාර්යාලයේදී ය.


”‍ඒ මුදල් අච්චු ගසන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්න වෙන්නත් පුළුවන්”‍ විපක්ෂ නායක සජිත් කීවේය.
”‍ඒක ඇත්ත, මහජන බැංකුවටත් ලංකා බැංකුවටත් පොලු‍ තැබූ ධන කුවේරයන් ඉන්නවා. ආණ්ඩුව මුදල් අච්චු ගසන්නට යන්නේ ඔවුන්ගේ ණය කපා දැමීමට වෙන්න පුළුවන්”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
මේ අතර සජිත් පසුගිය සතිය ආරම්භ කළේ ලංකාවේ ආබාධිත ප්‍රජාවේ නියෝජිත පිරිසක් හමු වෙමිනි.
එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් තමන් ප්‍රඥප්තියක් එළිදැක් වූ ආකාරය ද එහිදී සජිත් සිහිපත් කළේය.
”‍මේ රටේ ලක්ෂ ගණනක් ආබාධිත ප්‍රජාව ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කිසිම මැදිහත්වීමක් නෑ. ඇත්තටම ඉතිහාසයේ පළවෙනි වතාවට ඔබතුමා තමයි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්තියක් ඉදිරිපත් කළේ. මේ ප්‍රශ්නය පිළිබඳව ඔබතුමා සංවේදී බව අපි දන්නවා”‍


එහි නියෝජිතයෙක් කීවේය.
“‍පෝලිම්වල සිටින ජනතාව එයින් මුදාලන්නට කල්පනා නොකරන පාලකයන්, මේ රටේ ආබාධිත ප්‍රජාවට අවශ්‍ය කරන අවම සම්පත් ටික හෝ ලබා දෙන්නට කල්පනා නොකරන පාලකයන් ධන කුවේරයන්ට සහ දේශපාලකයන්ට සහන සැලසීමට නම් කල්පනා කරනවා”‍ සජිත් කීවේය.

21ට එරෙහි කුමන්ත්‍රණවලට විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රහාරයක්!

සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතර, රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරන බවට වාර්තා හැම අතින්ම පළ වෙමින් තිබුණේය.
තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ සහිත මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
”‍විධායකය අහෝසි කරන පළමු පියවර සඳහා කටයුතු කළ යුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරනවා. විසි එක් වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවටයි මේ රටටයි මුලින්ම ඉදිරිපත් කළේ අපි. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අංගසම්පූර්ණ 21වැනි සංශෝධනය ගෙනාවා. එහෙම එකේ අපි මොකට ද මේකට විරුද්ධ වෙන්නේ ? හැබැයි 21 කියලා මේ රටේ ජනතාවගේ ඉල්ලීමට පිටුපාන ඒවට කොන්දේසි විරහිතව සහාය දෙන්න කියලා ද මේ අය කියන්නේ ?


රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. හැබැයි ලු‍ම්පන් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම”‍ සජිත් කීවේය.
”‍මේ වෙනකොට රටේ තියෙන අර්බුදය තවමත් ආණ්ඩුව තේරුම් අරගෙන නෑ. මේක මොන මොහොතක හරි පුපුරල යනවා. අන්න ඒ වෙලාවට විපක්ෂය හැටියට අපි කියන දේවල් හැමෝටම තේරෙයි.”‍ මුජිබර් කීවේය.
‘‘අද වනවිට රටේ බරපතළ ආහාර හිඟයක් මතුවෙලා. ගොවි ජනතාවට සිදුකළ අගතිය නිසා අස්වැන්න බරපතළ ලෙස පහළ බැහැලා. මේ අත්තනෝමතික තීන්දු නිසා හටගත් අර්බුද”‍ හෙක්ටර් අප්පුහාමි කීවේය.
අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැකි ඉක්මනින් ලබාගැනීමේ වැඩපිළිවෙළක් කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබූණි.
‘‘දැන් ආණ්ඩුව ගන්නකොට සමහරු කීවේ රට ගොඩදාන මැෂිම තමයි මේක කියලා. පටන් ගත්තෙම ලෙලි යන්න බදු ගහලා.”‍ චමින් ද විජේසිරි කීවේය.
”‍එදා කිව්වේ මොලහතානෝ රට කරයි කියලා. අද මොල දාහතානෝ කරන හැටි පේනවා නේ”‍ කාවින්ද ජයවර්ධන කීවේය.


”‍මොන විදිහට ගියත් ඉස්සරහට එන්න තියෙන දවස් අනුව හරිම භයානකයි.ගොඩක් දේ වෙන්න පුළුවන්. රට තියෙන්නේ බරපතළ අර්බුදයක.”‍
හර්ෂ ද සිල්වා අනාවැකියක් කීවේය.
”‍දැන් ආණ්ඩුවයි ජනාධිපති දෙන්නම කියනවා නිදහසට කාරණා එපා වවන්න ලු‍.”‍
රෝහණ බණ්ඩාර කීවේය.
”‍ගොවි ජනතාව ළඟට ගිහිල්ලා, සෙල්ලම් කරන්න එපා බලාගෙන කියලා තග දාලා, හමුදාව දාලා හරි ගොවිතැන් කරනවා කියලා කියපු ජනාධිපති අද හතට අටට නැවිලා කියනවා අනේ වවන්න කියලා.”‍ නලීන් බණ්ඩාර කීවේය.


‘‘පොහොර නෑ. තෙල් නෑ. බීජ නෑ. ඒ නිසා ගොවිතැන් කරන්න නම් බෑ. එයා කියන විදිහට වවන්න වෙන්නේ රැවුල විතරයි”‍
හර්ෂණ රාජකරුණා සිනාසෙමින් කීවේය.
මේ අතර විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ ආයෝජන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, වෙළඳ ක්ෂේත්‍රය, ඇතුළු අංශ රැසක නියෝජිතයන් හමුවූ අතර ඔහු සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවය.

 

ජනාධිපති මැදුරේ සිටි අගමැතිට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් දුරකතන ඇමතුමක්

හය වතාවක් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේදී ප්‍රථම වතාවට මුදල් ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමෙන් පසු ඔහුට දිගින් දිගටම සුභ පැතුම් පිරිනැමුණි. ඉකුත් සතියේ තවත් විශේෂත්වයක් වූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග අග්‍රාමාත්‍යවරයා පැවැත්වූ දුරකථන සාකච්ඡාවයි. මෙම දුරකථන ඇමතුම ලැබෙන විට අග්‍රාමාත්‍යවරයා 21 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මන්දිරයේ පැවැති රැස්වීමකට සහභාගි වී සිටියේය.


ඉකුත් ඉරිදා අග්‍රාමාත්‍යවරයා පක්ෂ 10 නායකයන් සමග ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූයේය. එය සාධනීය සාකච්ඡාවක් වූ අතර එයින් පසු නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර සහ ඇමැතිවරුන් හමුවී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.


ආහාර සුරක්ෂිතතා කමිටුවට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා පොහොර ගැටලුව හා ආහාර අර්බුදයට විසඳුම් සෙවීම පිළිබඳව ද සාකච්ඡා කළේය. බස්නාහිර පළාතේ ගෙවතු වගා කටයුතු පිළිබඳව සොයා බලන ලෙස හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතාට පැවරුවේය.


අග්‍රාමාත්‍යධුරය බාර ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගියේය. ඒ අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සහභාගි වී සිටියහ. එහිදී පක්ෂයේ කටයුතු අධීක්ෂණය කිරීම රුවන් විජයවර්ධන මහතාට බාර කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකාවේ වගාවට අවශ්‍ය පොහොර ලබාදීමටද එකඟතාව දක්වනු ලැබුවේය.
ඖෂධ ගැටලුව පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද සහභාගි වූහ. දැනට ඖෂධ සහනාධාර ලබාදීමට යෝජනා ගණනාවක් ඉදිරිපත්වී තිබෙන නිසා හිඟ ඖෂධ පිළිබඳව නිවැරදි ලේඛනයන් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දුන්නේය.


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විද්වත් වෘත්තිකයන් පිරිසක් හමුවූයේය. එහිදී රටේ ආර්ථික පිරිහීම හා දේශපාලන අර්බුදය පිළිබඳවද අදහස් හුවමාරු විය. මීට අමතරව රුවන් විජයවර්ධන මහතා ගිය සතියේදී පක්ෂයේ වැඩ කටයුතුවලටද සහභාගි වූයේය. පාක්ෂිකයන් හා විවිධ පුද්ගලයන් හමුවී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කළේය. රටේ ඖෂධ හිඟයට පිළියම් ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනු ලබන රුවන් විජයවර්ධන මහතා ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පිරිස් සමගද සාකච්ඡා කරමින් අවශ්‍යතා සොයා බැලුවේය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේදී ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය. පැල්වත්ත සීනි කම්හලේ ජාතික සේවක සංගමය සමග සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරයා එහි වැඩකටයුතු පුළුල් කිරීම සම්බන්ධ යෝජනා සලකා බැලුවේය.

 

මන්ත්‍රීන්ට දෙන නිවාස ගැන ජවිපෙ නායක ප්‍රශ්න කරයි

සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසක් ගිනි ගත්තොත් රජයේ පාර්ශ්වයෙන් කිසිදු සහනයක් ලබා නොදුන්නත් පසුගිය 9 වැනිදා විනාශයට පත් මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවට වියත්පුර නිවාස සංකීර්ණයෙන් කඩිනමින් අංග සම්පූර්ණ නිවාස ලබාදීමට ගන්නා ලද තීරණය පිළිබඳව ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තීරණය කළේය.


හානි වූ නිවසකට සහනයක් ලබාදීම පිළිබඳව කිසිදු ගැටලුවක් නැතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද ලබාදීම පිළිබඳව ඔහු ප්‍රශ්න කිරීමට යයි.


ගිය සතියේදී ජාතික ජන බලවේගය දිස්ත්‍රික් සමුළු නුවරඑළිය, මාතලේ හා හම්බන්​තොට දිස්ත්‍රික්කවලදී පැවැත්විණි. හම්බන්තොට සමුළුව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද, මාතලේ සමුළුව මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන්ද, නුවරඑළිය සමුළුව මහාචාර්ය සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වුණි. නුවරඑළියේ පැවැති සමුළුවට වතුකරයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටීම විශේෂයකි.


මීට අමතරව කුරුණෑගල, ගම්පහ, ගාල්ල හා අනුරාධපුරය යන නගරවල ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන් විද්වත් වෘත්තික රැස්වීම්ද පැවැත්විණි.


ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉකුත් සතියේදී පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී චීන තානාපතිවරයා හමුවිය. එහිදී රටේ මූල්‍ය අර්බුදය හා දේශපාලන තත්ත්වය පිළිබඳව චීන තානාපතිවරයා කරුණු විමසා බැලුවේය. මෙහිදී නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය ඉදිරි ගමනට බෙහෙවින් බාධාවක් වී ඇති නිසා මාස කීපයක් තුළදී රට ස්ථාවර කිරීමේ ක්‍රමයක් අවශ්‍ය බවයි. චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකවේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට දිගටම සහාය දක්වන බවයි.
ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවූ අතර එහිදී ඔවුන් ජන අරගලය ගැනද විමසා සිටියේය. එහිදී ජනතා විමුක්ති පෙරමුණු නියෝජිත පිරිස ප්‍රකාශ කර සිටියේ විවිධ හේතු නිසා අරගලයට සහභාගී වන ජනතාවේ අඩුවක් තිබුණත් රජයේ ක්‍රියාමාර්ගයට රටේ තදබල විරෝධයක් පවතින බවය.

ආර්ථිකය ගොඩ ගත හැකි සැලසුමක් හදන්න කරු එක්වෙයි

ශ්‍රී ලංකාව අද වන විට ගොදුරු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත හැකි මාර්ගය හා ඒ සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග පිළිබඳ කරු ජයසූරිය ඇතුළු පිරිසක් විසින් සිදුකර ඇති දීර්ඝ අධ්‍යනයකින් පසු පවත්වා ඇති කතිකාවතක් පසුගිය දා පැවැත්විණි.


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් හා ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයෝ රැසක් ඊට සහභාගි වූහ. පසුගිය සඳුදා දවස පුරාම සිදුකර ඇති මෙම කතිකාව සම්බන්ධීකරණය කර ඇත්තේ මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. එම කටයුත්තේ අරමුණ වූයේ පවත්නා ආර්ථික අර්බුදය ජයගත හැකි ආකාරය අදාළ අංශවලට පෙන්වා දෙන්නටය. ඒ අනුව මෙවන් පරිසරයක දී අනුගමනය කළ යුතුව ඇති අවම පොදු වැඩපිළිවෙළක් හඳුන්වා දෙන්නට එහි දී තීරණය විය. එම වැඩපිළිවෙළ මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

-ගජබා-