ඡන්ද කල්දාන සාස්තර පොත එලියට


කථානායකට ජනපතිගෙන් කේක්

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. ඒ සීවලි විද්‍යාල සිසුන් මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනපතිගෙන් කළ ඉල්ලීමකට අනුවය.

එම උත්සවයට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පැමිණෙන බව දැන සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායකට තවත් ආරංචියක් දැනගැනීමට ලැබුණේ එදින පෙරවරුවේය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපන්දිනයත් එදිනට යෙදී ඇති බවටය. ජනපති ලේකම් සමන් ඒකනායක වහාම ඇමතුමක් ගත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නටය.

නියෝජ්‍ය මහලේකම් ඇමතූ ජනපති ලේකම් විමසා සිටියේ “අද කථානායකතුමාගේ උපන් දිනය නේද?” යනුවෙනි. එය තහවුරු කරගත් ලේකම්වරයා වහාම කේක් ගෙඩියක් ගෙන්වාගෙන උත්සවයට පැමිණි කථානායකවරයාව හදිසි පණිවුඩයක් ඇතැයි කියමින් උත්සව සභාවට යාමට පෙර ජනපති නිල කාමරය වෙත කැඳවාගෙන ගියේය.
ජනපති රනිල්ගේ කාමරයේ කේක් ගෙඩියක් තිබෙනු දුටු කථානායක මහින්ද යාපා ද පුදුමයට පත් වූ අතර කථානායකවරයා කේක් කපා ජනපතිට ද පිළිගැන්වූයේ පැමිණ සිටියවුන්ගේ සුබපැතුම් මධ්‍යයේය.


ඉන්පසු ඔවුන් සීවලි විද්‍යාලයේ සිසුන් සමඟ එක්වී මංගල සැසිවාරය පැවැත්වූ අතර ජනපති සිසුන්ට උපදෙස් දුන්නේ ශිෂ්‍ය අවශ්‍යතා පිළිබඳව යෝජනා තම අභිමතය පරිදි කෙටුම්පත් කොට ශිෂ්‍ය පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙසය.

නසීර්ගෙ තීන්දුව කියවල ඉන්න 

ජනපති හරීන්, මනූෂ ඇතුළු මැති ඇමතිවරු පිරිස මුණගැසුණේ නසීර් අහමඩ් තීන්දුව ගැන විවිධ කතා යද්දී ය. “අපි ඇමැතිකම් මන්ත්‍රීකම් දරන අවසන් කියලා තමයි කට්ටිය කියන්නේ” ඇමැති හරීන් කීවේ සිනාමුසුව ය.

“බොරුවටනේ ඔයාලා බයවෙලා ඉන්නේ. මුලින්ම නසීර් අහමඩ් ගේ මන්ත්‍රී ධුරය ගැන දීපු නඩු තීන්දුව හොඳින් කියවන්න.” ජනපති කීවේ මන්ත්‍රී දෙපළ දෙස බලමිනි.

“නසීර් අහමඩ් එයාට පක්ෂයෙන් එවපු චෝදනා පත්‍රයට උත්තර බැඳලා නෑ. ඒකට උත්තර දෙන්න කල් අරගෙන තියෙනවා විතරයි. තමන්ට විරුද්ධව දීපු චෝදනා පත්‍රය වැරදියි කියලා එයා පිළිතුරු දෙන්න ඕනා. ඒක කළේ නැති නිසා තමයි උසාවිය මේ තීන්දුව දුන්නේ.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේ එලෙසිනි.
නසීර් අහමඩ්ගෙන් හිස්වූ පරිසර ඇමැති ධුරය ව්‍යවස්ථානුකූලව ජනපති යටතට පත්ව තිබෙන බව මෙහිදී හෙළිදරව් විය. ජනපති චීන සංචාරයෙන් පසු නව ඇමැතිවරයකු මේ විෂයට පත් කරන්නේ ද නැතිද යන්න ගැන තීන්දුවක් ගැනීමට නියමිතය.

රවී තනතුරක්  ඉල්ලයි 

බ්‍රහස්පතින්දා සවස ජනපති පක්ෂ මධ්‍යම කමිටුව කැඳවා තිබුණේ පක්ෂයේ නිලතල කිහිපයක් වෙනස් කිරීමට අදාළව කතා කිරීමටය. පක්ෂයේ හිටපු උපනායක රවී කරුණානායකට ලේකම් ධුරය හෝ නියෝජ්‍ය නායක ධුරය පිරිනැමිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ගැන ජනපති මධ්‍යම කමිටුව දැනුම්වත් කළේය.
රවි කරුණානායකගේ අදහස වී තිබුණේ තමන් පක්ෂය වෙනුවෙන් වැඩ කළ නිසා බොහෝ දේ තමන්ට අහිමිවූ බවය. ඒ නිසා පක්ෂයේ තනතුරක් අවශ්‍ය බව රවිගේ අදහස වී තිබිණ. එසේම පක්ෂය යළි නිර්මාණය කළ යුතු බවද ඔහුගේ අදහස විය. මෙහිදී රවි කළ කතාබහෙන් පෙනී ගියේ ඔහු නොමැතිව පක්ෂය ගොඩගත නොහැකි බව තහවුරු කිරීමට ඔහු උත්සාහ කරන සෙයකි.  පක්ෂ නායකයාගේ අදහස වී තිබුණේ සියලු දෙනා කතාබහ කර තීරණයක් ගත යුතු බවය. එහිදී බහුතරයකගේ අදහස වූයේ පක්ෂයේ තනතුරුවල කිසිදු වෙනසක් නොවිය යුතු බවටය. 


මෙම කතාබහ සම්බන්ධ උණුසුම ජනාධිපති කාර්යාලය පුරාම ළැව්ගින්නක් සේ පැතිර ගිය නමුත් කිසිදු වෙනස්කමකින් තොරව කමිටුව අවසන් වූයේය.

අවුරුදු 30 කට පස්සේ
 
අලු‍ත් ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඉකුත් සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකා කිහිපයකි. සාමාන්‍යයෙන් මේ කියන මාතෘකා මෙරට දේශපාලනයේ අලු‍ත් මාතෘකා ද නොවේ. ඒවා වරින් වර කල එළි දැක ටික දවසකින් හැමෝටම අමතක වී යයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බලයේ සිටියදී ම දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක් ලක් වූ මාතෘකාවකි. 
 

 

 

 

 එහි උච්ඡතම අවස්ථාවට පැමිණියේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආගමනයත් සමගය. 94 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වී ලබන වසරට හරියටම වසර 30 කි. එහෙත් මේ කියන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් නම් තවමත් සිදු වී නොමැත. ඒ අනුව එය අවුරුදු  30කට පමණ පසුව නැවතත් කල එළි බැස ඇත.

අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ද එවැන්නකි. චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් වූ විගස නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට  සාකච්ඡාවක් ඇති විය. එය ද දිගින් දිගටම සිදු වූයේ කතා සාප්පුවකට සීමා වීමය. අලු‍තින්ම ආ මාතෘකාව මැතිවරණ ක්‍රම සංශෝධනයයි. ජේ. ආර්.ගෙ මනාප ක්‍රමයෙන් රටේ දේශපාලනය විනාශ වුණා යැයි කියමින් අලුත්  මැතිවරණ ක්‍රමයක් ගෙන ඒමේ කතාබහ ද දශක කිහිපයක් තිස්සේ පැවතිණ. එය නැවත කරළියට පැමිණ ඇත්තේ අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් හේතුවෙනි. ආරංචි වන අන්දමට එමගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අඩු නොකර, එය පත්කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් කිරීමට ය. ඉන් එකසිය හැට දෙනකු කොට්ඨාස මට්ටමින් ද, ඉතිරි  හැටපස් දෙනා අනුපාත සහ ජාතික ලැයිස්තුවෙන් ද පත්කර ගත යුතු යැයි යෝජනා කර ඇති බව වාර්තා වේ.


මෙය  හදිසියේ ගෙනාවේ මහ මැතිවරණය කල් දැමීමට දැයි යන්න සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ බරපතළ සැකයක සිටී. පළාත් සභා මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත් විවිධ හේතු දමා කල් දැමුවා සේ මහ මැතිවරණය කල් දමා ගැනීමට මෙමගින් ආණ්ඩුව  උත්සාහ කරන  බවට ඔවුහු චෝදනා කරති. මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද ජනමත විචාරණයකින් කිරීමට යන බවට  විපක්ෂය චෝදනා කරයි. මේ කරුණුවලට එරෙහිව  විපක්ෂයේ දේශපාලන  පක්ෂ  රට පුරා ජනතාව දැනුවත් කරමින් සිටී. 

විනය පරීක්ෂණ වැලක් පැනීමට එරෙහිව නඩු ගොඩක් ?

නසීර් අහමඩ් ඇමැතිවරයාට එරෙහිව ලැබුණු තීන්දුවෙන් පසුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනා විසින් සජබට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලැබීමට නියමිතය. මෙහි තීන්දුවෙන් හරීන් සහ මනූෂ දිනුවොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට අවස්ථාවක් ලැබෙයි. එය ආණ්ඩුව එක්තරා ආකාරයක අර්බුදයක පැටලෙන එකක් වෙයි. මෙයින් මනූෂලා පැරදී මනූෂ සහ හරීන්ගේ වැඩේ වැරදි යැයි තීන්දුවක් ලැබුණොත් ඔවුන්ට ඇමැතිකම් අහිමි වේ යැයි ද කතාවක් තිබේ. 

මේ සියල්ල අස්සේ රිෂාඩ් බද්යුදීන්ගේ පක්ෂයේ මුෂාරාෆ් මන්ත්‍රීවරයාට එරෙහි විනය පරීක්ෂණය අවසන් කර තිබේ. ඒ අතරේ දී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ විනය පරීක්ෂණ දෙකෙන් පසුව මොවුන්ට විරුද්ධව ද නඩු පැවරීමට පක්ෂය සූදානමින් සිටියි.

 

මේ නඩු වැල එතැනින් නතර නොවන සෙයකි. ඉෂාක් රහුමාන්, වඩිවේල් සුරේෂ් සහ ෆවුසි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව සජබද විනය පරීක්ෂණ පවත්වා නඩු දැමීමට තීරණය කර ඇත. මේ සියලු මන්ත්‍රීවරු වරින්වර ආණ්ඩුවට පක්ෂපාතකම් දැක්වූ අය වන අතර ඔවුන්ට මන්ත්‍රීධුර අහිමි වීම යනු ආණ්ඩුවේ ඉලක්කම පහත වැටීමක් වෙයි. 

ඉන්දීය විදේශ ඇමැති  මහින්ද හා නාමල් හමුවෙයි 

මේ අතර ඉන්දියානු සාගරයේ වටද්දර රටවල සංගමයේ විදේශ  අමාත්‍යවරුන්ගේ සමුළුව ගිය සතියේ කොළඹදී පැවැත්විණ. ඊට  ඉන්දියානු සාගර කලාපයේ රටවල විදේශ අමාත්‍යවරු රැසක් සහභාගි වූහ. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ශන්කර් ද ඊට පැමිණ සිටියේය. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු හමු වූ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමු විය. ඒ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේය. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ද සහභාගි විය.

දයාසිරි සහ ලියුම් හුටපට 

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද ඉකුත් සතියේ සිකුරාදා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට ආණ්ඩුවට එක්ව සිටින නිමල් සිරිපාල ද සිල්වා  මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්  පියදාස ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.


හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මේ වන විට සිටින්නේ විදේශගත වෙලාය. පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනා කරමින් නිදහසට කරුණු විමසා යවන ලද ලිපියට දයාසිරි ජයසේකර  හිටපු ලේකම්වරයා නීතිඥ සමාගමක් හරහා මධ්‍යම කාරක සභාව වෙත ලිපියක් යවා තිබිණ. ඒ බව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සභාවට දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල එය සභාවට ඉදිරිපත් කළේය. දයාසිරි  එම පිළිතුරු ලිපියෙන් කියා තිබුණේ ලේකම් ධුරයෙන්  ඉවත් කළ සභාපතිවරයාම තමාගෙන් නිදහසට කරුණු විමසීම නීත්‍යනුකූල නොවන බවය. එබැවින් එම නීත්‍යනුකූල නොවන ලිපියකට පිළිතුරු දීමට තමන් සූදානම් නැති බවත්, නීත්‍යනුකූලව ලිපියක් පැමිණිය හොත් එයට උත්තර දීමට සූදානම් බවත් ඔහු කියා තිබිණ.

 

 

මේ අතර නිමල්  සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කියා සිටියේ දයාසිරිගේ ලිපියට පිළිතුරු දීමට අවශ්‍ය නොමැති බවය. අධිකරණයට ගියහොත් ඒ සඳහා උත්තර දිය යුතු බව නිමල් සිරිපාල කීවේය. ඔහු එවන මෙවැනි ලිපිවලට උත්තර දීමට අවශ්‍ය නැති බව හෙතෙම සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප වූ තැන්වල ඇප මුදල් බලය ලත් නිලධාරීන් විසින් නැවත අරගෙන ඇති බව සභාවට දැනුම් දෙන ලදි. ඒවා ඉක්මනින්ම පක්ෂයට නැවත ගෙන්වා ගත යුතු බව සභාපතිවරයා කීවේය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වරයකු වන ශාන් විජයලාල් ද කීවේ එය වහාම ක්‍රියාත්මක විය යුතු බවය. ආණ්ඩුව නාමයෝජනා අවලංගු කිරීමට යෝජනාවක් ගෙනාවොත් එම සියලු‍ ඇප මුදල් නැවත ලබා ගත හැකි බවත් ඒ සඳහා රිසිට්පත් අවශ්‍ය වන බවත් ඔහු කීවේය. ඔහු කිව්වේ පළාත් පාලන මැතිවරණයේ දී නාම යෝජනා භාරදීම ඇතැම් තැන්වල අක්‍රමවත් ලෙස සිදු වූ බවය. උදාහරණයක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කය ගනිමින් කිව්වේ ඇප මුදල් බැඳීමට තමාට අමතරව තවත් බලලත් නිලධාරියෙකු පත්කර  සිටි බවය.


මේ අතර තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයා පක්ෂයේ විනය කඩකරන්නන්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කළේය. බොහෝ දෙනා අතර මතයක් ඇත්තේ ඔහු දයාසිරිගේ මිනිහෙකු කියාය. එහෙත් තිලංග දයාසිරි ගැන කතා නොකළේය.


අනතුරුව කතාබහට ලක්වුණේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන ය. සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී සිහිපත් කළ ආකාරයට ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කළ යුතු බව ද කියා සිටියේය.

මේ අතර, මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා ද දැනුම් දුන්නේ පක්ෂයේ පුරප්පාඩු වී ඇති උප ලේකම් ධුර දෙකට සජින් වාස් ගුණවර්ධන හා මහියංගණයේ ආර්.පී. ගුණවර්ධන පත් කර ඇති බවය.

මේ අතර, සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ විසිතුන්වෙනි ගුණ සමරුව වෙනුවෙන් පක්ෂ මූලස්ථානයේ දී පින්කමක් පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ පක්ෂයේ කාන්තා සංවිධානය විසිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ.

 

දිලිත් කලඑළි බසී 

හැංගි හැංගි වෙස් මුහුණ බැන්දත් නටන්න වෙන්නෙ එළියෙ යැයි ගම්වල ප්‍රකට කියමනක් තිබේ. එය දේශපාලනයට ද අතිශයින් අදාළය. ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා මෑත කාලයේ රට පුරා යමින් විවිධ මාතෘකා යටතේ සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීය. සමහරු කීවේ ඔහු  ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා පසුබිම සකස් කිරීමට රටපුරා යන බවය. ඔහු ගිය සතියේ ප්‍රසිද්ධ දේශපාලනයට  පිවිසියේය. ප්‍රධාන පෙළේ මාධ්‍ය හිමිකරුවකුගේ දේශපාලන පක්ෂයක් ගැනත් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවත් ඉරිදා ලංකාදීපය මීට සති කිහිපයකට ඉහත දී සිය මුල් පිටුවේ ප්‍රවෘත්ති පළ කළේය. ඒ සමගම බොහෝ දෙනා දැන ගත්තේ මේ කරළියට එන්නේ දිලිත් ජයවීර බවය. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ ‘‘අපේ ජනතා පෙරමුණ’’ ඔහු සිය භාරයට ගත්තේය. දැන් ඔහු එහි නායකයාය. හේමකුමාර ජ්‍යෙෂ්ඨ නායකයාය. පක්ෂයේ නව කාර්යාලය නාරාහේන්පිට දී විවෘත වූයේ පක්ෂ නායක දිලිත් ජයවීරගේ මූලිකත්වයෙනි. හිටපු  ඇමැතිවරයකු වන ආචාර්ය සරත් අමුණුගම හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ ‘‘වියත්මග’’ නියෝජනය කළ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ද ඊට පැමිණ සිටියාය. එහිදී දිලිත්  කීවේ මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් එකක් නොවන බව ය.

 

■ ගජබා