කොළඹට ආ චන්ඩි බේරේ වැවට දැමූ ජන රැල්ල


 

ලාංකීය දේශපාලන කරළිය ගිය සතියේ ගිනිගත්තේ රට බරපතළ අර්බුද රැසකට ඇද දමමිනි. මෙරට දේශපාලන කරළිය මේ තරම් ගිනිගත් අවස්ථාවක් මෑත ඉතිහාසයේ වාර්තා වී නොමැත. එය කොතරම් දරුණුවීද යත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තනතුරෙන් ඉවත්වී ආරක්ෂාව පතා හමුදා කඳවුරක රැඳී සිටින්නට පවා සිදුව ඇත. ඔහු මේ මේ වන විට සිටින්නේ ත්‍රිකුණාමලය නාවික හමුදා තටාකාංගණයේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්වන්නැයි බලකරමින් රට පුරා පැවති විරෝධතා ගිය සතිය වන විට උත්සන්න වෙමින් තිබිණි. මේ තත්ත්වය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉකුත් සඳුදා ඉල්ලා අස්වන බවට ද වාර්තා පළ වෙමින් තිබිණි. දැනගන්නට ඇති පරිදි අගමැතිවරයා සිටියේ සඳුදා දිනයේ ඉල්ලා අස්වීමේ සූදානමක ය. මැති ඇමැතිවරුන් , පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට කැඳවා , අගමැතිවරයා සිටියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ගෙදර යන්නට ය . ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ආදිය ද සකස් වෙමින් තිබිණි.


කෙසේ වුවද අවසානයේ පවුලේ ම සමහරුන්ගේ මැදිහත්වීම මත අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තාවකාලිකව නතර වූ බවට ද වාර්තා පළ විය. ඉල්ලා අස්වීමට සූදානමින් සිටි අගමැතිවරයා අරලියගහ මන්දිරයට රැස්වූ පාක්ෂිකයන්ට ද අලු‍ත් බලාපොරොත්තුවක් දෙමින් කතාවක් කළේ මේ නිසා ය. අරලියගහ මන්දිරයට රැස්වූ දහස් ගණන් පාක්ෂිකයන් කියා සිටියේ අගමැතිවරයාට ඉල්ලා අස්නොවන ලෙසය . ඊට උත්තේජන සැපයුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ කතාවකි. අගමැතිවරයා ද සිය කතාව අවසාන කරමින් විමසා සිටියේ ‘එහෙම නම් මම ඉල්ලා අස්වෙන්න ඕන නෑ නේද?’ යනුවෙනි .


එහෙත් තත්ත්වය දරුණු වූයේ අරලියගහ මන්දිරයට රැස්වූ පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් අරලියගහ මන්දිරයෙන් පිටතට ගොස් මයිනා ගෝගමට සහ ගෝඨා ගෝ ගමට කඩා වැදී සාමකාමී අරගලයක යෙදී සිටි පිරිසට එලව එලවා පහර දීමෙනි. එය රූපවාහිනී නාලිකා හරහා රටපුරා සජීවීව ප්‍රචාරයවීමත් සමග රටම ඇවිලී ගියේය. කොළඹට ආ පොහොට්ටුකාරයන්ට ගම්බිම් බලා යන්නට පවා නොහැකි තත්ත්වයක් ඇති වූයේ සාමකාමී අරගලයට කඩා වැදී පහර දීම හේතුවෙනි. එය කොතරම් දරුණු වී ද යත් ජීවිත හා දේපල විශාල ප්‍රමාණයකින් වන්දි ගෙවන්නට පවා සිදුවිය. කොළඹට ආපු පොහොට්ටුකාරයන් ගම්බිම්වලට ගියේ දවස් දෙක තුනකට පසුවය.


අරලියගහ මන්දිරයට පාක්ෂිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු වැඩි හරිය කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දුය. ඔහු එහිදී කීවේ ජනපතිට බලය පෙන්වීම සඳහා පෙළපාලියකින් යා යුතු බවය. ඔවුන්ගේ අරමුණ වූයේ ජනපති මැදුර බලා පෙළපාලියෙන් යාමය. එහෙත් එය අවසන් වූයේ මහත් විනාශයකිනි.


තත්ත්වය තවත් දරුණු වෙද්දි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එදින පස්වරුවේ ජනාධිපතිවරයාට යැවීය. බොහෝ දෙනා කිව්වේ අගමැතිවරයා එදින පෙරවරුවේ මෙම තීරණය ගත්තේ නම් ඒ මහා විනාශය නොවනු ඇති බව ය.


අගමැති පිටවුණත් මන්ත්‍රීන් දින 
දෙකක්ම අරලිය මැදුරේ හිරවෙලා


තත්ත්වය කොතරම් දරුණු වීද යත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද මැති ඇමතිවරු ගණනාවකටද අරලියගහ මන්දිරයේ හිර වෙන්නට සිදුවිය . රාත්‍රිය වෙද්දි තත්ත්වය තව තවත් දරුණු වූ බැවින්, අගමැතිවරයා ආරක්ෂා කර ගැනීම බරපතළ ගැටලු‍වක් විය. අගමැතිවරයා සහ ඔහුගේ බිරිය ඇතුළු පවුලේ අය එදින රාත්‍රී අරලියගහ මන්දිරයේ ආරක්ෂිතව තබා ගත්තේ ඉතා අසීරුවෙනි. ඒ වන විටත් අරගලකරුවන් අරලියගහ මන්දිරය වට කර තිබිණි. 


පහුවදා උදේ 4 ට පමණ අගමැතිවරයා ඉන් පිට කිරීමේ මෙහෙයුම ආරම්භ විය. අගමැතිවරයාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් අරලියගහ මන්දිරයෙන් පිටතට ගෙන කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට රැගෙන විත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් හෝටලයේ හෙලිපෑඩ් එකට ගෙනැවිත් අගමැතිවරයාත් පවුලේ පිරිසත් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය වෙත රැගෙන යනු ලැබූහ . ඒ අතරේ අරලියගහ මන්දිරයේ හිරවී සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් හෙලිකොප්ටරයක් ගෙන්වා පිටත් කර හරිනු ලැබූහ . ඔවුන් පිටත්කර යැව්වද මන්ත්‍රීවරුන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් තවදුරටත් අරලියගහ මන්දිරයේ සිරවී සිටි අතර , ඔවුන් පිටත්කර හරිනු ලැබුවේ ඊටත් පසු දින ය.


අගමැතිවරයා ඉවත්වීමත් සමග ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබුණේ රට තවදුරටත් අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා හදිසියේ අගමැතිවරයකු පත් කර ගැනීමේ අවශ්‍යතාවය ය. ඒ අනුව ඔහු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් සමඟද සාකච්ඡා කළේය. මේ අතර , අගමැති ධූරය සඳහා නම් කිහිපයක් ලැබී තිබිණි . ඉන් ප්‍රමුඛ නම් දෙක වූයේ හිටපු අගමැතිවරයකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සහ සරත් ෆොන්සේකා මහතාගේ නමය. පක්ෂයේ මෙන්ම බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම වඩා සුදුසු බව ය. එසේ නැතුව සරත් ෆොන්සේකා මහතා අගමැති කිරීම ජාත්‍යන්තර සබඳතාවලට ගැටළුවක් විය හැකි බව ජනාධිපතිවරයාට පිරිසක් පෙන්වා දී තිබිණි.


හවුල් පක්ෂත් අවුලක


මේ අතර, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ද බදාදා හවස ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී රැස්විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට අතුරලියේ රතන හිමියෝ ද, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක , විජයදාස රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ජයන්ත සමරවීර, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ , ගෙවිඳු කුමාරතුංග, නිමල් ලංසා, නලින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වූහ. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන සුසිල් ප්‍රේම ජයන්ත , අනුර ප්‍රියදර්ශන යාපා , ජෝන් සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු කිසිවකුත් ඊට සහභාගි නොවීමද විශේෂත්වයකි. මේ අතර, මේ රැස්වීමට සහභාගි වූ ශ්‍රිලනිපයේ කිහිප දෙනෙකු සහ ස්වාධීන කණ්ඩායමේ කිහිප දෙනෙකු සාකච්ඡාවට සහභාගීවීමට පෙර ජනාධිපතිවරයා හමු වන්නට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්නැයි ඉල්ලීමක් කළ බවටද වාර්තා පළ විය.
සාකච්ඡාව ආරම්භ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ අගමැති ධුරය සඳහා අපි නමක් තීරණය කර යමු කියාය. කිසිවකුත් කතා නොකර සිටියදී හිටපු ජනාධිපතිවරයා කීවේ ‘අපි නමක් යැව්වොත් හොඳයි නේද’ කියා ය. එහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේ අපි පක්ෂ 10 විදියට අගමැති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන බව ය . මේ අතර, නිමල් ලන්සා මන්ත්‍රීවරයා කීවේ කාගෙවත් නමක් යැවීම අනවශ්‍ය බව ය. ජනාධිපතිවරයාට කැමති අයෙකු පත් කරගන්නට ඉඩ දිය යුතු බව ද ලංසා කීවේය. මේ අතර මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ජාතික සභාව පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මත එතැනින් පිටත්ව ගියේය.


මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේ අගමැති ධුරය සඳහා නම් තුනක් ලැබී තිබෙන බවය. නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම සහ ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බව ඔහු කීවේය නමුත් නිමල් සිරිපාල සිල්වා මන්ත්‍රීවරයා සිටියේ ඒ ගැන පැහැදීමකින් නොවේ. ඔහු ආවේගයෙන් මෙන් කතා කළේය. ඔහු කීවේ තමා විපක්ෂ නායක වශයෙන් පමණක් නොව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් ඇමැති ධුර ගණනාවක් ම හොබවා ඇති බවය . අනෙක් නම් ඉදිරිපත් කර ඇත්තේ අගමැති තනතුර හෑල්ලු‍ කිරීමට බව කී නිමල් අගමැති ධුරය හෑල්ලුවට ගත යුතු තනතුරක් නොවන බවද කීවේය . මෙහි කුමන්ත්‍රණයක් ඇතැයි කියමින් නිමල් සිරිපාල මන්ත්‍රීවරයා නැගිට යන්නට උත්සාහ කළේය. ඒත් පිරිස කීවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බැවින් නිමල්ට ඉන්න කියාය.
මේ අතර උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කිව්වේ ආණ්ඩුව පත් කරගන්නා කෙනකුට පත් කරගන්නට ඉඩ දිය යුතු බවය.


ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ද කතා කළේය . අගමැතිවරයා සහ ආණ්ඩුව පත් කර ගැනීම සම්බන්ධයෙන් අප අතරත් එකඟතාවක් නැත්නම් අපි මේ කරන දෙයින් තේරුමක් නැති බව ඔහු කීවේය. අවසානයේ තීරණය වූයේ යෝජනා වූ නම් 3 ජනාධිපතිවරයා වෙත යැවීමට ය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් පසු ගිය බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති මන්දිරයට කැඳවීය. කැබිනට් මණ්ඩලයේ විසි දෙනාගෙන් පැමිණ සිටියේ පහළොස් දෙනකු පමණය. මහාචාර්ය ජී එල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, මහාචාර්ය චන්න ජයසුමන, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, නසීර් අහමඩ්, ජානක වක්කුඹුර, කනක හේරත් ,තේනුක විදානගමගේ , දිලු‍ම් අමුණුගම, මොහාන් පීද සිල්වා සහ විමලවීර දිසානායක ඒ අතර වූහ.


සාකච්ඡාව ආරම්භයේ දී ජනාධිපතිවරයා ඇමතිවරුන්ට මුහුණ දෙන්නට සිදු වී ඇති අකරතැබ්බ ගැන කනගාටුව පළ කළේය. අනතුරුව ජනාධිපතිවරයා කීවේ රටේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ අගමැතිවරයකු පත් කරගැනීමට අවශ්‍ය බවය. මේ වෙලාවේ අවශ්‍ය රටේ අභියෝගයට මුහුණ දෙන්නට හැකි අගමැතිවරයකු බවය. ඒ සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බව කී ජනාධිපතිවරයා අත්දැකීම් ඇති සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට තමන් සූදානම් බව කීවේය. ඒ අනුව ඔහු හෙට හෝ අනිද්දා දිවුරුම් දෙන බව ජනාධිපතිවරයා කීවේය.


අනතුරුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කතා කරමින් කීවේ ජනාධිපතිවරයා ගේ තේරීම ඉතා හොඳ බව ය. ඒ සඳහා පොහොට්ටුවේ උපරිම සහයෝගය ලබාදෙන බව ජී.එල්. කීවේය . අනතුරුව කාංචන විජේසේකර මන්ත්‍රීවරයා කතා කරමින් කීවේ ජනාධිපතිවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ය. පසුගිය ආණ්ඩු කරද්දී සිදුවූ වැනි දේවල් මෙවර වෙන්න දෙන්න බෑ යයි ඔහුට කිව යුතු යැයි කාංචන කීවේය. නිවාසවලට සිදුවූ හානිය හා පහුගිය දිනවල මුහුණ දෙන්නට වූ අවාසනාවන්ත තත්ත්වය ගැන චන්න ජයසුමන මන්ත්‍රීවරයා ඉතා කනගාටුවෙන් අදහස් දැක්වීය.


අනතුරුව ප්‍රමිත ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා කීවේ මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමට ගත් තීරණය ඉතා හොඳ දෙයක් බවය. තවදුරටත් කල් නොයවා අදම දිවුරුම් දිය යුතු යැයි ඔහු කීවේය. ඇමතිවරුන් ගණනාවකගේ නිවාස රැසක් විනාශ වී ඇති බව කී ඔහු කීවේ ඒවාට සම්බන්ධ වී ඇත්තේ සමගි ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් බවය . පොලිසියත් බලාගෙන සිටියදී ගෙවල්වලට ගිනි තබා ඇති බව ඔහු කීවේය.


එබැවින් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව ඔහු කීවේය විමලවීර දිසානායක මන්ත්‍රීවරයා කීවේ තමාගේ බිරිඳත් පුතාත් එකතුවී හදපු නිවාසය ගිනි තබා විනාශ කර ඇති බව ය.
සාකච්ඡාව හමාර කරමින් ජනාධිපතිවරයා කීවේ හිටපු ඇමැති මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන බව ය. රනිල් වික්‍රමසිංහ මහතා තව නොබෝ වේලාවකින් කොටුව මන්දිරයට පැමිණෙන බව ජනාධිපතිවරයා කීවේය.


ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පැය භාගයකට පමණ පසු රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ සාගල රත්නායක හිටපු ඇමැතිවරයාද සමඟය. රනිල් හිටපු ඇමැතිවරුන් සමඟ සාකච්ඡාව ආරම්භ කළේය . අගමැති ධුරය බාර ගැනීමට තීරණය කළ බව රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. හිටපු ඇමැතිවරුන් කිව්වේ ආණ්ඩුවේ බහුතරය සොයා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ද මැදිහත් වන ලෙසය. තමන්ද ඒ සඳහා උපරිම සහාය ලබාදෙන බව ඔවුහු කියා සිටියහ.


ප්‍රමිත තෙන්නකෝන් කීවේ, ‘අපේ ගෙවල් ගිනි තියලා. අපි හරි කනගාටුවෙන් ඉන්නෙ. එක මන්ත්‍රීවරයෙක් මරලා . ඒ නිසා මේවට සාධාරණය ඉටුවීම අවශ්‍ය බවය .


රනිල් කීවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බව ය. සාකච්ඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව ගිය අතර හිටපු ඇමතිවරු පිරිස ජනාධිපතිවරයා සමඟ දිවා ආහාරය ගැනීමෙන් පසුව පිටව ගියහ.


රනිල් වික්‍රමසිංහ මහතා එදින පස්වරු හයයි තිහට දිවුරුම් දීමට සූදානම් කර තිබීයදී සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බව කියමින් කොන්දේසි සහිත ලිපියක් ජනාධිපතිවරයාට යැව්වේ අහම්බෙනි. ජනාධිපතිවරයා ඒ වන විටත් අවසන් තීරණයක් ගෙන තිබූ අතර හැරෙන තැපෑලෙන් පිළිතුරු ලිපියක් යවමින් කීවේ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු ඉල්ලීමට ප්‍රමාද වී ඇති බවය. අවශ්‍ය නම් ඇමති මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් පිරිසක් පත් කර ගත හැකි බව දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නාම ලේඛනය තමාට නොපමාව ලැබෙන්නට සලස්වන ලෙසද ඉල්ලීමක් කළේය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විසිහය වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එදින හැන්දෑවේ දිවුරුම් දුන්නේ රටට අලු‍ත් බලාපොරොත්තුවක් ඇති කරමිනි .


ආණ්ඩුව ගන්න: නොගන්න 
සජබ රැස්වීමේ කතාබහ

රටේ ඇතිවී තිබෙන සමාජ - ආර්ථික - දේශපාලන අරාජිකත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනවලදී වැඩි අවධානයක් යොමු කළේය. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් ගෝඨා ගෝ ගම විරෝධතාව හමුවේ ජනාධිපතිවරයා සජිත්ට දුරකථන ඇමතුමක් ලබාදී තිබුණේය.


එම දුරකථන ඇමතුමෙන් ජනාධිපතිවරයා ඉල්ලා තිබුණේ අගමැති ධුරය භාරගන්නා ලෙසය.
“අපි ගෝල් ෆෙස් ජනතා අරගලයේ මතවාදය සමග ඉන්නවා. මොන දේ වුණත් අරගලය කරන අයගේ අපේක්ෂාව ඉටු වෙන්න ඕන. ඒ වගේම මම මගේ මන්ත්‍රී කණ්ඩායම එක්ක සාකච්ඡා කරලා තමයි අවසන් තීරණයක් ගන්නේ”සජිත් ජනාධිපතිවරයාට පැවසුවේය.


ජනාධිපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු පසුව වහාම මන්ත්‍රී කණ්ඩායම කැඳවන ලෙසට පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට උපදෙස් දුන්නේය. ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවූවේය. 


ජනාධිපතිවරයාගෙන් ලැබුණ දුරකතන ඇමතුම ගැන සජිත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
“මම මන්ත්‍රී කණ්ඩායමෙන් අහන්නේ නැතිව කිසිම තීරණයක් ගන්නේ නෑ. අගමැති ධුරය භාරගන්න කියලා ජනාධිපතිගේ ඉල්ලීමට මොකද කරන්නේ කියලා අපි තීරණය කරමු” සජිත් පැවසුවේය.


“මේ රට දැන් අගාධයකට ඇද වැටිලා තියෙන අවස්ථාවක්. අර්බුදකාරී අවස්ථාවක්. අපි දේශපාලනයට වඩා ජනතාව ගැන හිතන්න ඕනෑ” මන්ත්‍රීවරු පැවසූහ.


“විධායක ජනාධිපතිකම අහෝසි කිරීම කරන්න ඕන. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යන්න ඕන”සජිත් තමන්ගේ ස්ථාවරය පැහැදිළි කළේය.


ඒ අතර පැයෙන් පැය රටේ තත්ත්වය වෙනස්වන්නට පටන් ගත්තේය. ඒ අතර අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස් ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දුන්හ.


“මේ ගහන්නේ රාජපක්ෂලා. පොලිස්පති ඇතුළු සියලු‍ දෙනාම මේකට වගකිව යුතුයි. වහාම මේ පහරදීම් නතර කළ යුතුයි”අරගල භූමියට පහරදෙන විට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සජිත් ඉදිරිපත්වූවේය.
අරගලභූමියට පහරදෙන වීඩියෝ නැරඹූ සජිත් කීවේ එතැනට යා යුතු බවය.


“එතැන තවම රාජපක්ෂලාගේ අය ඉන්නවා. යන එක ආරක්ෂාවට තර්ජනයක්”අරගල භූමියට යාමට අවශ්‍ය බව සජිත් කී විට ආරක්ෂක අංශයේ නිලධාරීහු පැවසූහ. එහෙත් සජිත් කීවේ අරගලබිමට යා යුතු බවය.
අරගල භූමියේ රාජපක්ෂවරුන්ගේ ආධාරකරුවන් සිටින බව අමතක කළ සජිත් එතැනට ගියේය. එතැන ප්‍රකෝපකාරීව හැසිරුණ පිරිසක් සජිත්ට පහරදීමට පැමිණි අතර ඔහු එතැනින් ඉවතට පැමිණියේය. එතැන සිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සජිත්ගෙන් මන්ත්‍රීවරු විමසුවේ පහරදුන්නේ කවුරුන්දැයි කියාය.
“එතැන සිටි තරුණයින්ද ගැහුවේ?” නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇසුවේය.


“මේ පහරදීම කළේ රාජක්ෂලාගේ මැරයෝ. ඒක වෙන වෙන ගිණුම්වලට බැර කළ යුතු නෑ”සජිත් කීවේ ඒ බව තමන් ප්‍රසිද්ධියේම පවසන බව කියමිනි.


“ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ‘කිසිවෙකුට කිසිදු ගැලවීමක් නෑ”සජිත් තරයේ කීය.


එදින රාත්‍රියේදී මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තැබූ අතර ඇතිවී තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවූවේය.


“ඇතිවෙමින් තිබෙන්නේ නරක තත්ත්වයක්. ප්‍රාකෝපවූ කල්ලි මැර ක්‍රියාවල යෙදෙනවා. විපක්ෂයක් විදියට අපි මේක සමථයකට පත් කරන්න මැදිහත් වෙන්න ඕනෑ”හර්ෂ ද සිල්වා, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් කීවේ එක හඬිනි.


ඒ අතර ආණ්ඩුව භාරගන්වාද නැද්ද යන තීරණයත් ගැනීමට සිදුව තිබුණේය.
“නායකතුමනි, දැන් රට වැටිලා තියෙන්නේ බරපතළ තැනකට. මේක අද පොහොට්ටුවට වෙනවා. හෙට වෙන අයට දික් වෙන්න පුලු‍වන්. අරගලයට පිටින් කල්ලියක් තමයි කටයුතු කරන්නේ”හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සංවේදී කතාවක් කළේය.
“අපි මේක අරගනිමු. සාර්ථක වෙන්න හෝ අසාර්ථක වෙන්න හෝ අපි මේක බාරගනිමු. අපි ඇතිවෙලා තියෙන අර්බුදයට මුහුණ දෙමු”හර්ෂ යෝජනා කළේය. එම යෝජනාවට සජිත් එකඟත්වය පළ කළේය.
එදින සවස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද පැවති අතර තානාපතිවරුන් හා මහ බැංකුවේ අධිපතිවරයා හමුවීමටද සජිත් කටයුතු කළේ ඇතිවී තිබෙන අර්බුදය කඩිනමින් සමථයකට පත් කරගැනීමටය.
එදින සවස සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේය.
“දැන් තත්ත්වය උග්‍ර අතට පත්වෙලා තියෙන්නේ. අපි විසඳුම් සොයන්න ඕනෑ”සජිත් කීය.
“අපි ඒකට සූදානම් වෙමු”හර්ෂ ද සිල්වා කීවේය.
“අපි ආණ්ඩුව ගනිමු. ඒත් සමස්ත රාජපක්ෂවරු ආණ්ඩුවේ සියලු‍ම කටයුතුවලින් ඉවත් විය යුතුයි” සජිත් කීවේ ජන අරගලයේ ඉල්ලීම්ද ඉටු කරමින් ආණ්ඩුව භාරගත යුතු බවය.
මේ අතර මහ නායක හිමිවරුද සජිත්ට කතා කරමින් රට භාරගන්නා ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ජන අරගලය පාවා නොදෙන ලෙසටද අවධාරණය කළහ.


මේ අතර කාදිනල්තුමන්ද සජිත්ට දුරකතන ඇමතුමක් දුන්නේය.
“කොන්දේසි විරහිතව ආණ්ඩු අරගෙන රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න එපා” කාදිනල්තුමෝ ඉල්ලා සිටියහ.
මේ අතර මන්ත්‍රීවරුන් පැවසුවේ දේශපාලන ඩීල් එකකට නොගොස් රාජපක්ෂවරුන් ඉවත් කිරීමේ සටන අතට ගන්නා ලෙසය.


ඒ අතර සජිත් තමන් කොන්දේසි සහිතව ආණ්ඩුව භාරගැනීමට සූදානම් බව පවසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙන බවට මාධ්‍ය වාර්තා පළවිය.
“ කවුරුවත් ඉල්ලු‍වද නැද්ද කියල අදාළ නෑ. අවශ්‍ය වෙලාවේදී තමයි අපි මේ තීරණය ගත්තේ. අනෙක් කෙනාගේ න්‍යායපත්‍රය අනුව අපේ තීන්දු ගන්න බෑ. අපි නිවැරදි වෙලාවේදී, නිවැරදි තීරණ ගන්නේ”සජිත් කීය.


ලියුම අරගන ගිය මෙහෙයුම


මෙම ලිපිය සකස් කිරීමට පෙර මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්විණි. කොන්දේසි විරහිතව අගමැතිකම ගැනීමට කිසිවෙක් එකඟවූයේ නැති බව එම පක්ෂය කියයි. අරගලය පාවා නොදෙන තැනක සිට මෙය භාරගත යුතු බවට වන අදහස සහිතව ලිපිය සකස් කිරීම ආරම්භ විය.
ලිපිය සකස් කිරීමේ කටයුතු භාරගත්තේ ඉරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, කබීර් හෂීම් සහ විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධනය. ලිපිය සකස් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඉහළ මහලේය. ලිපියේ පිටුවෙන් පිටුව සකස් කර පහළ මහලට එව්වේ යතුරු ලියන කටයුතු සඳහාය.
මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබූ අතර සජිත් කීවේ ලිපිය කඩිනමින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙසය.
මේ වන විට විරෝධතා නිසා තැන තැන මාර්ග තදබදයක්ද ඇතිව තිබූ අතර මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේ බයිසිකලයකින් ගියේ නම් මාර්ග තදබදය මගහැර යා හැකි බවය. තමන් සහ හරීන් ප්‍රනාන්දු බයිසිකලයකින් යන බව ඔහු කීවේ කඩිනමින් ලිපිය සකස් කරන ලෙස ඉල්ලමිනි.
ලිපියේ සෝදුපත් බැලු‍වේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාය. එම ලිපිය රැගෙන රවි ජයවර්ධන සහ මරික්කාර් ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ.


ලිපිය භාරදීමෙන් පසුව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දුරකථන ඇමතුමක් දුන්නේය. සජිත් එවූ ලිපිය ලැබුණේදැයි ඔහු විමසා සිටියේය.
“ලියුම ලැබුණා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා”ගාමිණී සෙනරත් කීය.
“මොකක්ද ප්‍රශ්නය” හර්ෂ ඇසුවේය.


“අපි එක් කෙනකුට වචනයක් දීලා තියෙනවා. ඒක හරි ප්‍රශ්නයක්”ගාමිණී සෙනරත් උත්තර දුන්නේය.
“අගමැති පත් කරන්නේ කට වචනයටද”හර්ෂ ඇසුවේ තරමක ආවේගයකින් යුතුවය.
“කෝල් කරලා විපක්ෂ නායකතුමාගෙන් මේක භාරගන්න කියලා ඉල්ලීමක් කළානේ”ගාමිණී සෙනරත් කීවේය.
“ රටේ ප්‍රධාන විපක්ෂය සහ, විපක්ෂ නායක ආණ්ඩුව භාරගන්නම් කියනවා. ඒ ලියුම අනුව වැඩ කරන්න”හර්ෂ පැවසුවේය.
එම ඇමතුම දී ටික වේලාවකින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතරම ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් එවා පවසා තිබුණේ කලින් පැමිණියේ නම් අගමැති ධුරය ලබාදීමට තිබුණ බවය.
“මට කෝල් කරලා මෙදාට කලින් එන්න කියලා කිව්වේ නෑනේ. කඩිනමින් භාර දෙන්න තීරණය කළේ කොහොමද. රටේ ප්‍රශ්න නැති කරනවා වෙනුවට රාජපක්ෂලා තවත් ප්‍රශ්න ඇති කරන එක තමයි කරන්නේ”ලියුම අතට ගත් සජිත් තරමක ආවේගයෙන් යුතුව කීය.


රනිල්ට අගමැතිකම ගන්න 
පක්ෂයේ දිගු සාකච්ඡා


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ වැඩි කාලයක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡාවලට සහභාගි වූයේය.
මෙම සාකච්ඡාවල මාතෘකාව වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය පදවිය හිමිකර දීමය.
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකරදීම පිළිබඳව ගණන් බැලීමේ කටයුතුවලට හා අනෙකුත් පක්ෂ සමඟ පැවැති සාකච්ඡා වට ගණනාවකටම රුවන් විජයවර්ධන මහතා සහභාගි වූයේය.
කොළඹ පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙන බව දැනගත් වහාම රුවන් විජයවර්ධන මහතා එහි ගොස් තත්ත්වය පරීක්ෂා කර බැලීය.
ගිය සතියේ අවස්ථා ගණනාවක්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිය රුවන් සාකච්ඡා වාර ගණනාවක් පැවැත්විය.
රුවන් විජයවර්ධන මහතා මුල් කාලයේ සිටම ප්‍රකාශ කර සිටියේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවය.


ප්‍රහාරයට විරෝධය පා ජවිපෙ උද්ඝෝෂණ
ජනතා විමුක්ති පෙරමුණට ගිය සතියේදී බෙහෙවින් කාර්ය බහුල විය. සඳුදා මධ්‍යම කාරක සභාව රැස්වූයේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සාකච්ඡා කරමින් සිටින අතරතුර කමිටු සාමාජික එරංග ගුණසේකර මහතාට දුරකථන ඇමතුමක් ලැබුණේය. එහි සඳහන් වූයේ ‘ගෝඨා ගෝ ගමට’ රජයේ මැරයන් පහර දෙන බවයි. ඒ අවස්ථාවේම මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටවූ අනුර කුමාර දිසානායක මහතා ‘ගෝඨා ගෝ ගමෙහි’ සිටින තරුණ පිරිස් තනි නොකිරීමට වහාම එහි යා යුතු බව ප්‍රකාශ කළේය.


ඒ සමග අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන වෛද්‍ය නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, ලාල් කාන්ත යන මහත්වරු ගෝඨා ගෝ ගම බලා පිටත්වූහ. ඒ අවස්ථාවේ තදබල වාහන තදබදයක් පැවැති නිසා ඔවුන්ට ඒමට ප්‍රමාද විය. එබැවින් සුනිල් හඳුන්නෙත්ති හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ලේක්හවුස් වටරවුමේ සිට ගෝඨා ගෝ ගමට පයින්ම දුවගෙන ගියහ. ඒ වනවිට අනුර දිසානායක ප්‍රමුඛ පිරිසක් එහි පැමිණ සිටි අතර ඔවුන් පක්ෂයේ නීතිඥ මණ්ඩලයට වහාම ඒ ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය. වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රීවරුන් හා වෘත්තිය සමිති නියෝජිතයන් ඒ ස්ථානයට කැඳවා අරගලයේ සිටි තරුණන්ට ශක්තිය ලබා දුන්නේය.
මෙම ප්‍රහාරයට විරෝධය දක්වා උද්ඝෝෂණ පැවැත්වීමට තීරණය කළ අතර ස්ථාන ගණනාවක ඒ අනුව උද්ඝෝෂණ ආරම්භ කෙරිණි.


මේ අතර ඕමල්පේ සෝභිත, රජවත්තේ වප්ප, හැඩිගල්ලේ විමලසාර, පාහියංගල ආනන්ද සාගර යන හිමිවරු ජවිපෙ මූලස්ථානයේදී නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවී සාකච්ඡා කළහ.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා සාධනීය බව එහිදී භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළහ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීමට යෝජනා වී තිබීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය දැක්වීය.


දකුණු ආසියාවේ විශිෂ්ටතම 
නායකයා සම්මානය කරුට


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා දකුණු ආසියාවේ විශිෂ්ටතම නායකයාට හිමිව ඇති විශේෂ සම්මානයෙන් පුද ලැබුවේ පසුගිය       සතියේ දී ය. 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයකු ලෙස ඉටු කරන ලද විශිෂ්ටතම සේවාව වෙනුවෙන් ද ජනතාවට සාමය, සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරදීම උදෙසා කැපවූ නිර්භීත නායකයා ලෙස හඳුන්වා දෙමින් කරුට මෙම සම්මානය ප්‍රදානය කර ඇත්තේ සන්ෆො ග්ලෝබල් ෆෙඩරේෂන් නමැති ජාත්‍යන්තර සංවිධානය මගිනි.

 

-ගජබා-