කොළඹ වැටලූ විපක්ෂයේ විරෝධය


බැසිල්ගේ ඉන්දියා ගමන  


‘අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වහනවා වගේ’ යැයි ප්‍රකට කියමනකි. ආණ්ඩුව කරන සමහර වැඩ ද ඒ වගේ ය. රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙසත්, ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා රුපියල පා කරන ලෙසත්, ආර්ථික විශේෂඥයන් මෙන්ම, ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරු ද බොහෝ දෙනා පසුගිය කාලයේ දිගින් දිගටම කියා සිටියහ. ඒ අද ඊයේ නොව මීට වසරකට, එක හමාරකට පමණ පෙර සිට ය. එහෙත් ආණ්ඩුව ඒවා ගණනකට ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. ආණ්ඩුවේ වගකිවයුතු අය කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මේ තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බව ය. මහ බැංකු අධිපතිවරයා ද දිගින් දිගටම කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ අවශ්‍යතාවක් මතුව නැති බව ය.  

 

 එසේ වුව ද ආණ්ඩුව පසුගිය සතියේ තීරණ දෙකක් ගත්තේය. එකක් රුපියල පා කිරීම ය. දෙවැන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ය. ආර්ථිකය ගැන දන්නා බොහෝ දෙනා කියන්නේ මෙය ආණ්ඩුව මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දු දෙකක් බව ය.   


මේ අතර සඳුදා හැන්දෑවේ පැවති කැබිනට් රැස්වීමේ දී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ගේයාන්ග් රි ඇතුළු කණ්ඩායමක් ඒ වනවිටත් දිවයිනට පැමිණ සිටියේය. ඔවුන් එදින දහවල් මුදල් අමාත්‍යාංශයේ දී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද හමු විය. එම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටියේ ඊට පහුවදා ය. මේ අතරවාරයේ සඳුදා රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් ඇමැතිවරු දිගින් දිගටම කියා සිටියහ. ඔවුන් කියා සිටියේ මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හැර විකල්පයක් නැති බව ය. මීට පෙරද අවස්ථා දාසයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති බැවින් මෙය අලු‍ත් දෙයක් නොවන බව ද ඔවුන්ගේ අදහස විය. අවසානයේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මුදල් ඇමැතිවරයාට පැවරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ ය.   
 ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවූයේ ජනාධිපති කාර්යාලයේ දී ය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද ඊට එක්ව සිටියහ. ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මේ අවස්ථාවේ ලබාගැනීමට අපේක්ෂා කරන බව ය. 

 

බැසිල් හදිසියේ ඉන්දියාවට 
  
බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ දෙදින සංචාරයක් සඳහා හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. ඒ ඉන්දියාවෙන් ණය මුදලක් ලබාගැනීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අත්සන් කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ විය. ඔහු සමග මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ද ඉන්දියාවට ගියේ ය. බැසිල් එරට විදේශ ඇමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් හමුවූ අතර, ඔහුට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවිය. ඉන්දියාවෙන් ඩොලර් බිලියනය ලැබෙන්නේ බෙහෙත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ මෙරට කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙනි. ඒ මුදල ඉන්ධන ආනයනය සඳහා වලංගු වන්නේ නැත. ඉන්ධන ආනයනය සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ඉන්දියාව දැනටමත් තීන්දු කර ඇත.   
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවේ ඩොලර් බිලියනයක මුදල මේ අවස්ථාවේ යම් සහනයකි. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතන්නට තීරණය කර ඇත්තේ මේ තත්ත්වය හේතුවෙනි.


ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ ගෙවන්නට ඇති ණය කල්දමා ගැනීම ය.   
 මේ අතර අර්බුදය විසඳා ගැනීම සඳහා තවත් රටවල සහාය ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ඒ සඳහා එම රටවල් සමඟ සාකච්ඡා කිරීමට කණ්ඩායම් තුනක් ද ආණ්ඩුව මේ වන විට පත් කර ඇත.  
චීනය සමග සාකච්ඡා කිරීමට ආචාර්ය බන්දුල ගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ද ජපානය සමග සාකච්ඡා කිරීමට ඩලස් අලහප්පෙරුම සහ කෙහෙලිය රඹුක්වැල්ල ද මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා කිරීම සඳහා අලි සබ්‍රි හා නාමල් රාජපක්ෂ ද පත්කර ඇති අතර, ඒ කමිටු තුනේ ප්‍රධානී ලෙස පත්ව සිටින්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතිවරයා ය.   


මේ කමිටු තුන පහුගිය කාලේ රැස්වී සාකච්ඡා කළ අතර, චීනය ඉල්ලීමක් ද ඉදිරිපත් කර ඇත. ඒ ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීම ය. ඒ ගැන ශ්‍රී ලංකාව තුළ දැනට සාකච්ඡා වෙමින් පවතින බවද වාර්තා වේ.   


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය බදාදා රාත්‍රියේ ජාතිය ඇමතුවේ මේ සියලු‍ ප්‍රශ්න හමුවේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කරන්නය. ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමා දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ද තීරණය කර ඇති බව ය. ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව විනාඩි දොළහකට සීමාවිය.   
වෙනදා ඔහු තරමක් ආවේගයෙන් කතා කළ ද, මෙවර ඔහුගේ කතාවේ දක්නට ලැබුණේ නිවුණු ස්වරූපයකි.   
 ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, බස් පෝලිම් ආදිය හමුවේ ආණ්ඩුවද සිටින්නේ ගැලවෙන්නට ක්‍රමයක් නොමැතිව ය. පෝලිම්වල සිටින ජනතාවගෙන් ආණ්ඩුවට ලැබෙන්නේද කුණුබැණුම් ය. ඒවාට උත්තර දෙන්නට ආණ්ඩුවේ බොහෝ දෙනෙක් එළියට එන්නේ ද නැත. සමහරුන් රූපවාහිනී සංවාදවලින් පවා මඟහරිමින් සිටින බව වාර්තා වේ. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ඉකුත්දා රූපවාහිනී සංවාදයකට යද්දි ආර්ථිකය ගැන මෙන්ම දේශපාලනය ගැන දැනුමක් ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුට කතා කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර තිබුණේ අපි ගිහින් කුමක් කියන්න ද කියා ය.   


ආණ්ඩුවේ පසුපෙළ ද මේ වනවිට සිටින්නේ තරමක කලකිරීමෙනි. ඉන්ධන, ගෑස් අර්බුදයට විසඳුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ඔවුන්ගේ අදහස ය. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ගයක් නොගත්තොත් තමන්ට තීන්දුවක් ගන්නට සිදුවන බව පසුපෙළ කියා සිටී.   


 විමල්, උදය ගම්මන්පිල, වාසුදේව ඇතුළු ආණ්ඩුවේ හවුල් පක්ෂ එකොළහේ නායකයන්ගේ සහභාගිත්වයෙන් නුගේගොඩදී ලබන විසිනව වැනි දා මහින්ද සුළඟ මෙන් රැස්වීමක් පවත්වන්න යන බවට ද ගිය සතියේ ආරංචි පැතිර ගියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂ දහයේ නායකයින් ඒ වනවිටත් තීන්දුවක් ගෙන තිබුණේ නැත. පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන ද කතාබහට ලක්විය. එහිදී බොහෝ දෙනා කියා සිටියේ මැයි දිනය ළඟදීම එන නිසා වෙනත් රැස්වීම් නොපවත්වා මැයි දිනය එකවර පවත්වන්නට ය. ඒ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක එකතුවක් ලෙසිනි.   


මේ අතර හවුල්කාර පක්ෂවල නායකයන් ආගමික නායකයන්, විවිධ වෘත්තීය සමිති, පුවත්පත් කතුවරුන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් හමුවී වෙනම සාකච්ඡා කරන්නට ද තීරණය විය. ඔවුන්ගේ මතය රටට ගෙන යාම සඳහා සතිපතා මාධ්‍ය හමුවක් පවත්වන්නටත් පළමුවැන්න සියලු‍ පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් පත්වන්නටත් තීරණය විය.   


 බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ උපන් දිනය ද ඉකුත් බදාදා ට යෙදී තිබිණි. බන්දුල සිය වියදමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරුන්ට ද බන්දුල ආරාධනා කර තිබිණි. අගමැතිවරයා පැමිණ කොත් වහන්සේ නිරාවරණය කර පිටත්ව ගියේය. උදය ගම්මන්පිල, ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. බන්දුලගේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කරන ලසන්ත අලගියවන්න ද පැමිණියේය. ලසන්තත් උදයත් දෙදෙනාම බන්දුලගේ ගෝලයන්ය. ඔවුන් දෙදෙනා ඉඳගෙන සිටියේ බන්දුලට දෙපැත්තේ ය. එය දුටු අය කීවේ බන්දුල ආරක්ෂාවට ගෝලයින් දෙන්නා දෙපැත්තේ තියාගෙන ඉන්නා බව ය.    

 

විපක්ෂය සටන අරඹයි

රටේ දැවෙන ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ යුතු බවට සමගි ජන බලවේගයේ තරුණ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් පක්ෂ නායක සජිත් ප්‍රේ‌මදාස මහතාට යෝජනා කර තිබුණේ දැනට සති කිහිපයකට පෙරදීය. මීට පෙර විපක්ෂ නායක කර්යාලයේ සිට ගෝල් ෆේස් දක්වා ගමන් කළ විරෝධතා ව්‍යාපාරය ගැනත් සිහිපත් කළ සජිත් එදා ලැබූ සාර්ථකත්වයට වඩා වැඩි සාර්ථකත්වයක් ලබාගත හැකි විරෝධතාවයක් සංවිධානය කරන ලෙසට උපදෙස් ලබාදී තිබුණේය.


ඒ අනුව විරෝධතා පෙළපාළියක් සංවිධානය කිරීමේ වැඩි වගකීමක් තරුණ මන්ත‍්‍රීවරුන්ට පැවරිණි. එස්.එම්. මරික්කාර්, හරින් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර, නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත‍්‍රීවරුන් විරෝධතාවයට සූදානම් වූයේ සති දෙකකට පමණ පෙර සිටය.


‘‘ආණ්ඩුවත් එක්ක කාලයක් හිටපු සමහර අය දැන් එළියට ඇවිත් ආණ්ඩු විරෝධය හයි ජැක් කරලා වෙන තැනක පාර්ක් කරගන්න හදනවා. ඊට පස්සේ අායිමත් ඒ අය ආණ්ඩුවට එකතු වෙන්න පුලු‍වන්. ඒ නිසා ආණ්ඩු විරෝධය හයි ජැක් කරගන්න දෙන්නේ නැතිව අපි විරෝධතාව සංවිධානය කරමු’’මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා විරෝධතාවයේ සංවිධාන වැඩ කටයුතු අතරවාරයේදී පැවසුවේය.
‘‘පුළු‍වන් තරම් ජනතාව මේ විරෝධතාවයට එක් කරගන්න. විරෝධතා පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන බලපෑම කරන්න ඕනෑ’’ සජිත් විරෝධතාවයට අවශ්‍ය ශක්තිය ලබාදුන්නේය.
‘‘අපි කොළඹ ස්ථාන දෙකකින් පෙළපාළිය ආරම්භ කරමු’’ මරික්කාර් යෝජනා කළේ විපක්ෂ නායක කාර්යාලය අසලින් සහ මාලිගාවත්තෙන් පෙළපාළි දෙකක් ආරම්භ කිරීමටය. ඒ අනුව මාලිගාවත්ත ක්‍රීඩාංගනය එදින වෙන් කරගැනීමටද කටයුතු කළේය.

 


විරෝධතා පෙළපාළිය සංවිධානය වන විට ආණ්ඩුවේ බුද්ධි අංශද දිගින් දිගටම මේ ගැන සොයා බලා තිබුණි. හිරුණිකා ප්‍රේ‌මචන්ද්‍ර ඇතුළු සමගි කාන්තා බලවේගයේ ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාගේ නිවස වටලා විරෝධතාවයක් පවත්වන තෙක් ඒ ගැන ආරක්ෂක අංශවලට කිසිදු තොරතුරක් නොලැබීම නිසා කැලඹීමට පත්ව සිටි හෙයින් කොළඹදී පවත්වන විරෝධතාව ගැන කල් ඇතිව තොරතුරු ලබාගැනීමට ඔවුන්ට අවශ්‍ය වී තිබුණි.


‘‘මට දුරකථන ඇමතුම් දීලා සමහරු අපේ විරෝධතාව ගැන අහනවා. ඒවා අහන විදියෙන්ම මේ කතා කරන්නේ ආරක්ෂක අංශයේ අය කියලා තේරෙනවා’’නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේ තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් පිළිබඳවය.


මේ අතර හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විරෝධතා පෙළපාළියෙන් අනතුරුව පන්දම් දල්වා විරෝධයක් දැක්විය යුතු බවට යෝජනා කළේය.


‘‘විරෝධතාව ලංකාවේ මාධ්‍යයේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මාධ්‍යයේත් අවධානය ගන්න පුළු‍වන් විදියට පවත්වන්න ඕනෑ. ඒ නිසා අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පන්දම් පත්තු කරලා අපේ තියෙන විරෝධය පෙන්වමු’’හරින්ගේ යෝජනාවට සියල්ලෝම කැමැත්ත පළ කළහ.


විරෝධතා පෙළපාළිය පැවැත්වෙන දිනයට පෙර දිනයේ සවස් වන තුරුම එහි ගමන් මග ගැන අවසන් තීරණයක් ගත්තේ නැත. ඒ කුමන අවස්ථාවකදී හෝ ආණ්ඩුව පෙළපාළිය කඩාකප්පල් කිරීමට කටයුතු කරනු ඇතැයි පැවති සැකය නිසාය.


ඒ අනුව පෙර දින රාත‍්‍රී නවයයි තිහට විපක්ෂ නායක කාර්යාලයේදී මන්ත‍්‍රීවරුන් කණ්ඩායම හමුවූයේ පසුදින විරෝධතා පෙළපාළිය ගැන තීරණ ගැනීමටය


‘‘කොළඹට එන්න දුන්නාට ජනාධිපති ලේකම් කාර්යාලය ළගට යන්න ඉඩ දෙන එකක් නැහැ කියලා තමයි දැනට ආරංචි තියෙන්නේ. කොල්ලු‍පිටියෙන් බැරියර් දාලා වහන්න හදනවා කියලා කියනවා’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තමන්ට ලැබුණු තොරතුරක් අනාවරණය කළේය.


‘‘අපි මාලිගාවත්තේ ඉඳලා මරදාන, ටෙක්නිකල් හංදිය, කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට එමු. අනික් පැත්තෙන් ටවුන් හෝල් ඉඳලා කොල්ලු‍පිටිය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත්, ජනාධිපති ලේකම් කාර්යාලය වටලමු’’ මරික්කාර් කළ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය


එහෙත් ගමන් මාර්ගය ගැන පසුදා වන තුරු මාධ්‍යයට කරුණු ඉදිරිපත් නොකිරීමට සියල්ලෝම එකඟවූහ.
මේ අතර විරෝධතා පෙළපාළිය පැවති දිනයේ උදෑසන වන විට කොල්ලු‍පිටියේ ස්ථාන කිහිපයක මාර්ග බාධක දැමීම සඳහා අවශ්‍ය බැරියර් ගෙන ඒමට සූදානම් කර තිබුණි. එහෙත් දහවල් වන විට දස දහස් ගණනින් පිරිස කොළඹට පැමිණෙන බවට තොරතුරු ලැබීමත් සමග එම බැරියර් ඉවත් කරගෙන තිබුණි.


විපක්ෂ නායක කාර්යාලය අසලින් විරෝධතා ව්‍යාපාරය ආරම්භ වන විටම සජිත් පෙළපාළියට එක්විය. විපක්ෂ නායක කාර්යාලයට වී පෙළපාළියේ වැඩ කටයුතු ආරම්භ වන ආකාරය ගැන සොයා බලමින් සිටි ඔහු පෙළපාළිය ආරම්භයේ සිට අවසානය දක්වාම පයින් ගමන් කළේය.


විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වූ පෙළපාළිය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එන විට මාලිගාවත්තේ සිට පැමිණි පෙළපාළියත් ක්‍රමයෙන් ඉදිරියට එමින් තිබුණේය. පෙළපාළි දෙකම එකම අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමට අවශ්‍ය වූ නිසා දෙපැත්තේම පෙළපාළි සංවිධානය කරමින් සිටි කණ්ඩායම් දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ගමන් ගන්නා වේගය ගැන කතා බස් කරගන්නට විය. හරින් සහ නලින් බණ්ඩාර මාලිගාවත්තේ සිට පැමිණි අතර මනුෂ සහ මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණෙන පෙළපාළියේ ගමන් මග ගැන දැනුවත් කළේය.


මාලිගාවත්තේ සිට පැමිණි කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට තරමක වේලාවක් ගත වූ නිසා විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණ පෙළපාළිය අරලියගහ මන්දිරය ඉදිරිපිට නතරවී ටික වේලාවක් විරෝධය දැක්වූවේය. ඉන් පසුව එම පෙළපාළියත් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ආරම්භ කළේය.


ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි විරෝධතා පෙළපාලිය ඇමතීමට ශබ්ද විකාශන යන්ත‍්‍ර සවිකළ වාහන දෙකක් ගෙනැවිත් තිබුණේය. එක් වාහනයක වේදිකාවක් ද සකස් කර තිබුණි.


වේදිකාවට ගොඩවූ සජිත් කොනක් නොපෙනෙන ජන ගඟට ආචාර කරන්න විය. වෙදිකාව තිබූ උසට වඩා වැඩි උසකට නැගීමට සජිත්ට අවශ්‍ය විය. ඒ අනුව එතැන තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර කිහිපයක් මතට නැගුණු සජිත් විරෝධතාකරුවන්ට ආචාර කළේය. තවත් ටික වේලාවකින් වේදිකාව සකස් කර තිබූ වාහනයේ වහලය මතට ඔහු නැගුණේ පැමිණ සිටින ජනතාවට හොඳින් පෙනෙන ලෙසට ආචාර කරමිනි.
ජනාධිපතිවරයාට වහාම ගෙදර යන්නැයි සජිත් තද කතාවක් කරමින් පැවසුවේය.


‘‘දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.’’ සජිත් එහිදී කීවේය.
‘‘මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.’’ එහිදී කියැවිණ.

මන්ත‍්‍රී කණ්ඩායම් හමුවක්

විරෝධතාව පැවති දිනට පසු දිනයේදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ඒ විරෝධතාවයේ සාර්ථකත්වය ගැන අවධානය යොමු කිරීමට සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කිරීමටය.


‘‘අති සාර්ථක විරෝධතාවක් අපි පැවැත්වූවා. මේකට සහාය වූ හැමෝටම ස්තුතියි’’සජිත් සියලු‍ දෙනාටම සිය ස්තුතිය පුද කරමින් පැවසුවේ මෙම විරෝධතාව ආණ්ඩුව පලවාහරින තෙක් ඉදිරියට ගෙන යා යුතු බවය.
ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු විරෝධතා ව්‍යාපාර ගැන දීර්ඝව මන්ත‍්‍රී කණ්ඩායමේදී සාකච්ඡා විය.

 

ජවිපෙන් දිගටම විරෝධතා

 

බඩු මිල ඉහළයාම, ගෑස් හා ඉන්ධන හිඟය, විදුලිය කප්පාදුව නිසා ර​ටේ ජනතාව මුහුණ පා සිටින අසීරුතා සම්බන්ධයෙන් රජයට විරුද්ධව දිගින් දිගටම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඉකුත්දා කැඳවූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය විණ.

ඒ අනුව ඉදිරි දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ සඳහා දින වෙන් කිරීම මෙහිදී සිදුවිය. අනුරාධපුරය, මහනුවර, ගාල්ල යන ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වීමට මෙහිදී තීරණය කරනු ලැබූ අතර මීට අමතරව ආගමික නායකයන් හමුවීමටද දින නියම කර ගත්තේය.


බෞද්ධ හා ක්‍රිස්තියානි ආගමික නායකයන් ගණනාවක්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවස්ථාව ඉල්ලා තිබුණි. ඒ අනුව උන්වහන්සේලා හමුවීමටද තීරණය විය.


විශ්‍රාමික බැංකු නිලධාරීන්ගේ සංගමය ගිය සතියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී සාකච්ඡා කළේය. රාජ්‍ය ආයතනවලට අසීමිතව ණය ලබාදීම නිසා රාජ්‍ය බැංකු කඩා වැටෙන තත්ත්වයට පත්වී තිබෙන බව මෙහිදී විශ්‍රාමික බැංකු නිලධාරීහු පෙන්වා දුන්හ. පවතින ආර්ථික කඩා වැටීමෙන් රට ගොඩ ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.


මීට අමතරව ගොඩනැගිලි කර්මාන්තය සඳහා අමු ද්‍රව්‍ය ගෙන්වන මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් පිරිසක් ගිය සතියේදී ජවිපෙ මූලස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හමුවූහ. භාණ්ඩ ආනයනය සීමා කිරීම හා භාණ්ඩ හිඟය නිසා මුහුණ පෑමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳව ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.


මේ අතර හම්බන්තොට හා අම්බලන්තොට යන නගරවලදී ද රජයට එරෙහි විරෝධතා උද්ඝෝෂණ ඉකුත් සතියේදී පැවැත්වුණි. මෙම විරෝධතාවයන්ට ඉන්ධන පෝලිමේ සිටි ජනතාවද කලින් දැනුම් දීමකින් තොරවම එක්වී සිටියහ. නුවර හා කළුතරද මෙවැනි විරෝධතා පැවැත්වුණි.


සෙනසුරාදා සමාජවාදී තරුණ සංගමය මගින් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට ගාලු මුවදොර දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.


මීට අමතරව මේ මස 23 වැනිදා ජන බල වේගයේ විරෝධතාව කොළඹ පැවැත්වීමට සාකච්ඡා විය. වසර 74ක ශාපය නිමා කරමු’ යන තේමාව මත මෙම විරෝධතාව පවත්වනු ලැබේ.

සාමාජිකයන් බඳවා ගන්න  එජාපය ගෙයින් ගෙට යයි

එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයට අලුතෙන් සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී ගෙයින් ගෙට ගොස් සාමාජිකයන් බඳවා ගැනීම සිදු කළේය. බොරලැස්ගමුව, මොරටුව, හා හෝමාගම යන ප්‍රදේශවල මෙම වැඩ සටහන ක්‍රියාත්මක වූ අතර සමන් රත්නප්‍රිය මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. රටේ විනාශය, ආර්ථික අර්බුදය හා ඩොලර් හිඟය ඇති වූයේ මෙම රජයේ අවිධිමත් බව නිසා බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා මේ රට යළි සංවර්ධනය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂ රජයක් අවශ්‍ය බව ජනතාවට පැහැදිලි කරමින් අලුතෙන් සාමාජිකයන් බඳවා ගැනීම ක්‍රියාත්මක කළේය.
මෙම වැඩ සටහන යටතේ නැගෙනහිර කොළඹ විශේෂ රැස්වීමක් සංවිධානය කර තිබූ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණි.


මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ පවතින ප්‍රශ්නවලට මුහුණදීම සඳහා අවශ්‍ය කරන්නේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික එකඟතාවක් බවය.


ඩොලර් හිඟයට විසඳුමක් ලෙස රුපියල පා කිරීමට තීරණය කරනු ලැබූ අතර දැන් රුපියල පාවෙනවා පමණක් නොව තද රැල්ලකට හසුවී තවත් උඩට යනවා. පහළට ඒමක් නෑ යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.


මේ අතර ගිය සඳුදා පක්ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී පක්ෂයට අලුතින් සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළේ ප්‍රගතිය සාකච්ඡා කළේය.


ලබන 25 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති සත්‍යග්‍රහ ව්‍යාපාරය සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කරනු ලැබුවේය. සත්‍යග්‍රහ වැඩ පිළිවෙළේ සියලු මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මගින් සිදු කිරීමටද මෙහිදී තීරණය විය.
හිටපු ඇමැති දයා ගමගේ හා අනෝමා ගමගේ යුවල කළුබෝවිල පිහිටි නිවසේදී පක්ෂයේ ප්‍රධානීන් සඳහා රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු ඇමැති රවි කරුණානායක, සාගල රත්නායක, පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් එයට සහභාගි වූහ.

 

එක්සත්කමේ වැදගත්කම කරු  අනුරාධපුරයේදී කියයි

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන යහපත් රටක් උදෙසා සමාජ කතිකාව පසුගිය 15 වැනිදා අනුරාධපුරයේදී පැවැත්විණි. අනුරාධපුරයේ ප්‍රමුඛ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිකයෝ රැසක් සහභාගි වී සිටියහ. එහිදී එක් ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු කරු ජයසූරිය මහතාට කීවේ අදටත්, ඔබ බොහෝ දේශපාලන නායකයන්ට වඩා ඉදිරිගාමී බවය.


‘ඇයි එහෙම කියන්නේ’ කරු ඔහුගෙන් විමසුවේය. එවිට ඔහුගේ පිළිතුර වූයේ ‘බලන්න. මේ රටේ දේශපාලන ව්‍යාපාර කොපමණ තියනවද නමුත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙබඳු විය යුතුද සහ මැතිවරණ සංස්කෘතිය වෙනස් විය යුතුද? මේ රටේ පවත්නා අර්බුදයට විසඳුමක් ලෙස යොදාගත යුතු අවම වැඩ පිළිවෙළ කුමක්ද කියලා ඉතා පැහැදිළිව ලිඛිතවම රටට කියන්නේ ඔබේ සංවිධානය විතරයි. ඒක රටේ අනෙකුත් දේශපාලන ව්‍යාපාරවලට ආදර්ශයක්’. ‘ඔබේ ඇගයීම වටිනවා. අප උත්සාහ කරන්නේ රටේ දේශපාලන පක්ෂ හා ව්‍යාපාර අබිබවා යන්න නොවේ. ඒ සියලු දෙනා එක්සත් කරමින් රට වැටී ඇති මේ ප්‍රපාතයෙන් ගොඩගන්නයි’. කරු එහිදී අවධාරණය කළේය.

 

-ගජබා-