කියන්න දෙයක් නැතුව ආණ්ඩුවේ මන්ත්‍රීවරු රුපවාහිනී සාකච්චා මග හරිති


 

ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය ආර්ථික වශයෙන් වැටිය හැකි පතුලටම වැටී හමාරය. පාරේ යන එන විට ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් දෙස බැලීමේදී ඒ බව සක්සුදක් සේ පැහැදිලිය. රටේ ආර්ථිකය ගැන අවබෝධයක් ලබාගන්නට අලු‍තින් සමීක්ෂණ, නිරීක්ෂණ හෝ සංඛ්‍යා ලේඛන එකතු කිරීමේ අවශ්‍යතාවක් නැත. පාරට බැස කිලෝමීටර් තුන හතරක් ගියොත්, අප වැටී තිබෙන්නේ කොතැනට දැයි හොඳින් අවබෝධ කරගත හැකිය. 


වැටී ඇති අර්බුදයෙන් ගොඩ එන්නට විවිධ උපාය උපක්‍රම තෝරමින් සිටින බව ද පෙනේ. එහෙත් ඒවා කෙතරම් නම් සාධනීය ද යන්න වෙනම කරුණකි. රජයේ ආයතන වැඩ කරන දින ගණන සතියකට දින හතරකට සීමා කළේ අර්බුදය හේතුවෙනි. සිකුරාද දිනයේ රජයේ පාසල් ද වසා දැමිණි. විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේ නැවත ඉන්ධන නැව් එන දින වකවානුවක් පැහැදිලිව කිව නොහැකි බවය. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩ බාරගනිමින් ම කීවේ ගෑස් ඇණවුම් කර නැති නිසා අඩුම තරමින් තව දින දාහතරක් වත් ඇනවුම් කරන්නට ගතවන බවය.
ඇතිව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ද විකල්ප තෝරමින් සිටින බව පෙනේ. ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු තානාපතිවරයා සමග පසු ගිය සතියේ කතා බහ කළ බව දැනගන්නට ඇත. හවුල් පක්ෂ නවයේ නායකයන් කියන්නෙත් ආණ්ඩුවට රුසියාවෙන් තෙල් මිලදී ගන්න කියාය. එහෙත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තවමත් කෙළින් පිළිතුරක් දී නැත. එසේ වුවද ජනාධිපතිවරයා රුසියානු තානාපතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත්තේ සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙන් බව පැහැදිලිය.

 

ජනාධිපතිවරයා හිටපු  ඇමැතිවරුන් වෙන වෙනම හමුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙකු කොටුව මන්දිරයට කැඳවීය. ඒ එකවර නොව තනි තනිවම ය. ඔවුන්ට පසුගිය දිනවල විඳින්නට වූ අකරතැබ්බ ගැන, මෙන්ම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද ඔවුන් සමග සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.
රූපවාහිනී සාකච්ඡා සංවාද සඳහා පසුගිය කාලයේ නම් ආණ්ඩුවට ඕනෑ තරම් මැති ඇමතිවරු සිටියහ. එහෙත් දැන් සාකච්ඡාවකට මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයකු සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව බොහෝ දෙනා එවැනි කටයුතු වලින් මගහැර සිටීමය. ජගත් කුමාර මන්ත්‍රීවරයා නම් තවමත් රූපවාහිනී සංවාද සාකච්ඡාවලට බහුල වශයෙන් සහභාගි ​ෙවන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ඔහු ද කලින් මෙන් ආණ්ඩුව වෙනුවෙන්ම පෙනී නොසිට, ස්වාධීන මතයක් දරමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ.


බදුල්ලේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පසු ගිය කාලයේ ආණ්ඩුව වෙනුවෙන්, ආණ්ඩුවේ ලොකු ලොක්කන් වෙනුවෙන් දිවි පරදුවට තබා පෙනීසිටි මන්ත්‍රීවරයෙකි. එහෙත් මේ වන විට ඔහු සොයා ගන්නටවත් නොහැකි වී ඇත. ඔහු වැඩි සද්දයක් බද්දයක් නැති නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔහුගෙන් මේ ගැන විමසීය. ඔහු කියා තිබුණේ නිහඬව සිටින එක වඩා ඇඟට ගුණ බවය
මේ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බදාදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ කමිටු සභාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් හමු විය. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්, කෝපා කමිටුවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ, හිටපු ඇමැති අලි සබ්රි, ආචාර්ය හර්ෂ ද සිල්වා, රිෂාද් බදුර්දීන්, රවුෆ් හකීම්, ඉරාන් වික්‍රමරත්න, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මැති ඇමතිවරු පිරිසක් ඊට සහභාගී වූහ. තවත් විශේෂිත පුද්ගලයෙක් පැමිණ සිටියේය. ඒ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ය. මැයි 9 වැනිදා ඇතිවූ සිද්ධියේදී කුමාර වෙල්ගම මන්ත්‍රී වරයාද පහරකෑමට ලක්ව රෝහල්ගතව සිටියේ ය.


ඔහු දේශපාලන කටයුතු සඳහා සහභාගි වූයේ පළමු වරටය. සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන හිටපු ලේකම් ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු නිලධාරීහු කිහිපදෙනෙක් ද කැඳවනු ලැබ සිටියහ. ඒ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙනි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කරුණු පැහැදිලි කරමින් කිව්වේ රට ඉතාම අසීරු අඩියකට වැටී ඇති බවය. ඉන් ගොඩ ගැනීම සඳහා බොහෝ කැප කිරීම් කරන්නට සිදුවන බවද ඔහු කීවේය.

 

21 ඉල්ලා චම්පික කඳවුරු බඳී

යෝජිත විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වහා පාර්ලිමේන්තුවට ගෙන එන්නැයි බලකරමින් චම්පික රණවක ඇමැතිවරයා පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ තනියම නොව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් ද සමගය. චම්පික කිව්වේ ආණ්ඩුව 21 ගෙන ඒම හිතාමතා ප්‍රමාද කරමින් සිටින බවය. ඊට බලපෑම් කිරීම සඳහා තමා ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ද එකතු කරගත් බව චම්පික කීවේය.

චීන තානාපතිවරයා මෛත්‍රී හමු​ ෙවන්න පොළොන්නරුවට යයි

චීන තානාපතිවරයා ඉකුත් සතියේ දී පොළොන්නරුවට ගොස් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හමුවිය. ඒ ඔහුගේ පොළොන්නරුවේ පිහිටි නිවසේය. 


චීන තානාපතිවරයා මෛත්‍රී බලන්නට ගියේ තනියම නොව ඔහුගේ බිරිඳ ද සමගය. රටේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග ගැන ද කතාබහට ලක්වූ අතර තමා ජනාධිපතිව සිටියදී පො​ෙළාන්නරුවට වකුගඩු රෝහලක් පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කෙළේය. ඔහු කිව්වේ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවය. චීන තානාපතිවරයා මෛත්‍රී සමඟ ඡායාරූපයකට පෙනී සිටියේය. ඔහුගේ බිරිඳ සහ මෛත්‍රී ගේ බිරිඳ ද ඊට එක්ව සිටියහ.

හවුල් පක්ෂ හමුව

හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් අඟහරුවාදා හැන්දෑ වේ රැස්විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල් යන පිරිසට අමතරව අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ.


මේ කතාබහ අතරේ පිරිස කීවේ රජය කරන දේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවය. ඒ පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළ යුතු බව ද ඔවුන්ගේ අදහස විය. සන්ධානය ගොඩනැගීම සහ එහි ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර සන්ධානය එළිදැක්වීමේ කටයුතු ප්‍රමාද නොකිරීමට ද තීරණය විය.


රුසියානු රජය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට ඉදිරිපත්ව සිටියදී ආණ්ඩුව එය මග හැර සිටීම සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී කතාබහට ලක්විය. ඔවුන් කීව්වේ ආණ්ඩුව ඒ සඳහා යොමු කළ යුතු බවය. හවුල් පක්ෂ රුසියානු තානාපතිවරයා ද ළඟදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහිදී තීරණයකට පැමිණියේය.

 

විපක්ෂය සහ බහුජන සංවිධාන  අතර හමුව

අද ලංකාව පත්ව ඇත්තේ මහා අර්බුදයකට ය. එය රටකට කලාතුරකින් මුහුණ දෙන්නට ​ෙවන  අර්බුදයකි.
ඇත්තටම දැන් ලංකාව සිටින්නේ එදා මෙදා තුර රටක් ලෙස වැටෙන්නට හැකියාව ඇති දරුණුතම අගාධයේ ගැට්ටේය.


එවැනි තත්ත්වයක් තුළ පසුගියදා විශේෂ කටයුත්තක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
එය “ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය”‍ යි.
රට වැටී තිබෙන පරාජිත අර්බුදයේ තරම පිළිබඳව දිග පළල වටහා ගත් ඔවුන්, වඩාත් සාධනීය සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙනුවෙන් සිය කැපවීම පෙන්නුම් කළේය.
වික්ටර් අයිවන්, ප්‍රසන්න විතානගේ, නදී වාසලමුදලි, විරාජ් අබේරත්න, ජනක එදිරිසිංහ ඇතුලු‍ සිවිල් නියෝජිතයන් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ අදාළ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට ය.


මේ සාකච්ඡාවට අවශ්‍ය දිනයක් ලබා දෙන ලෙස වික්ටර් අයිවන් මහතා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා තිබුණේ පසුගිය සතියේය. එම ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා ඒ සතියේම දිනයක් ලබා දුන්නේය. ඔහු කළේ ඒ දිනට යොදාගෙන තිබුණු වෙනත් වැඩක් අවලංගු කොට වහාම මේ කටයුත්ත වෙනුවෙන් වෙලාව වෙන් කිරීමය. ඒ විතරක් නොවේ, ඔහු තමන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ද මීට ආරාධනා කළේය.


විපක්ෂයේ සෙසු නායකයන්ට ද සජිත් ආරාධනා කළේය. මනෝ ගනේෂන්, එම් සුමන්තිරන්, රවුෆ් හකීම්, පී. දිගම්බරන් ඇතුලු‍ පක්ෂ නායකයන් පිරිසක් ද ඊට එක් වූයේ ඒ අනුවය.
රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, මුජිබර් රහුමාන්, ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

 

විපක්ෂ රැස්වීමට ආ ආණ්ඩුවේ  හිටපු ඇමැතිවරයා

 

 

 

 

 

 

 මේ අතරතුර තවත් විශේෂ යමක් සිදු විය.


ආණ්ඩුව නියෝජනය කළ අමාත්‍යවරයෙකු ද එම අවස්ථාවට එක් ව සිටීමය. විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් අතර ආණ්ඩුව නියෝජනය කරන හිටපු ඇමැතිවරයෙකු සිටීම කාගේත් කුතුහලයට හේතු විය. 


ඔහු නාලක ගොඩහේවාය. නාලක ගොඩහේවා යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු වූ අතර වියත්මග ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේ ද ඔහුය. ඔහු මේ රැස්වීමට කැඳවාගෙන විත් තිබුණේ විපක්ෂ නායකවරයාගේ සමීපතම හිතවතෙකු විසිනි. පක්ෂයේ කටයුතුවලට අනවශ්‍ය විදියට මැදිහත් වන බවට පසුගිය දිනවල ඔහුට ඇතැම් පිරිස් චෝදනා එල්ල කරමින් තිබුණ ද නාලක ගොඩහේවා වැන්නෙකු මෙවැනි කටයුත්තකට කැඳවාගෙන ඒමට මුල් වූයේ ද ඔහු වීමම විශේෂත්වයකි.
නාලක ගොඩහේවා එම ස්ථානයේ සිටිනවා දැකීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම එම අවස්ථාවට පැමිණ සිවිල් නියෝජිතයන්ගේ ද විමතියට හේතු විය.


“මේ වෙලාවේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න කරන්න පුළුවන් ඕනෑම දෙයක්, ඕනෑම කැපකිරීමක් කරන්න විපක්ෂය හැටියට අපි ලෑස්තියි. හැබැයි මේක බලය ලබාගන්න ඔළුගෙඩි මාරු සෙල්ලමෙන් එහා ගියපු වැඩපිළිවෙළක් වෙන්න ඕනෑ. ඔබතුමන්ලගෙ වැඩපිළිවෙළ සම්බන්ධව අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා”‍ විපක්ෂ නායකයා ඔවුන් හමුවේ කීවේය.
“දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩ ඒමට අසමත්ව ඊළඟ අගාධයට ඇද වැටුනහොත් ඉක්මනින් ගොඩ ඒමට පහසු නැති අශීලාචාර තත්ත්වයකට රට ඇද වැටෙන එක වළක්වන්න බෑ.”‍ ඊට එක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී වික්ටර් අයිවන් මහතාගේ අදහස විය.


“මේ මොහොතේ ලංකාවට අදාළ ඒ බිහිසුණු යථාර්ථය තේරුම් ගැනීමට රටේ දේශපාලන තන්ත්‍රය, ක්‍රමය හෝ රෙජීමය වෙනස් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින සටන් කාමී බලවේග හෝ සමාජය තේරුම් ගෙන ඇති බව පෙනෙන්නේ නෑ. පාලක පක්ෂයේ දූෂිත අධම ස්වරූපය නොසලකා ඔවුන් සමග එකතු වී ලංකාව ඊළඟ අගාධයකට ඇද වැටීම වළකා ගනිමින් ලංකාව දැන් සිටින අගාධයෙන් ද ගොඩ ගැනීම සඳහා ක්‍රියා කළ යුතු විශේෂ මොහොතක් මේක”‍ වික්ටර් අයිවන් සිය වැඩපිළිවෙළ පැහැදිලි කළේය.
“ඔබතුමන්ලා ගේ වැඩපිළිවෙළේ සියලු‍ චෝදනා අදහස් වලට 100% ක් අපි එකඟයි. හැබැයි මමත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්. ඔබතුමන්ලා දන්නවා මේ ආණ්ඩුවට කිසිම සද්භාවයක් නෑ. මෙයාට ඕනෑ ගේම් ගහලා තමන්ගේ බලය රැකගන්න විතරයි. මේ රට මරණාසන්න මොහොතකට තල්ලු‍ වෙලා තියෙනවා. එහෙම තියෙද්දිත් මේ අය ඔළුගෙඩි මාරු කර කර, පුටු මාරු කර කර, තනතුරු මාරු කර කර සෙල්ලම් කරමින් ඉන්නවා. ඔබතුමන්ලා දන්නවා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. ඒ ඉල්ලීම අනුව රාජපක්ෂලා බිත්තියට හේත්තු වෙලා හිටියෙ. හැබැයි ඊට පස්සේ අද වෙලා තියෙන දේ ඔබතුමන්ලා දන්නවා.”‍
විපක්ෂ නායකවරයා කීවේය.


“ක්‍රමය වෙනස් කිරීම, රෙජීමය වෙනස් කිරීම වැනි ඕනෑම දෙයක් සිදුවිය යුත්තේ මූලික අරමුණට හානියක් නොවන මේ විශේෂ මොහොතේ දී ලංකාවට දරාගත හැකි ව්‍යවස්ථාමය රාමුවක් තුළ. ඒ නිසා මේ වෙලාවේ සියලු‍ම පක්ෂ ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුමයි”‍ නදී වාසලමුදලි කීවේය.
තර්ක විතර්ක, අදහස් මැදින් පැය තුනකට ආසන්න කාලයක් පළමු වටයේ සාකච්ඡාවක් පැවැත්විණි.
වඩාත් වැදගත් කාරණාව වූයේ ආසන්නයේම නැවත දිනයක මේ රැස්වීමට දින වෙන් කර ගැනීමය. ඒ අනුව පසුගිය සඳුදා ද ඔවුහු විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් වූහ. එදිනද පැය තුනකට ආසන්න කාලයක් පුළුල්ව සාකච්ඡාවට ගැනුනි.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාව වඩාත් පුළුල් සහ විධිමත් මෙන්ම අර්ථාන්විත වූ බව ඔවුන්ගේ විශ්වාසය විය. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා එම ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිගත්තා පමණක් නොව එම ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන දැනුවත් කිරීම සඳහා වඩා පුළුල් සාකච්ඡාවක් කැඳවීමට ද ක්‍රියා කළේය.
එපමණක් ද නොව, “ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය”‍ට මහලේකම් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේම ආරම්භ කිරීමට ද විපක්ෂ නායකවරයා උපදෙස් දුන්නේ ය.

 

 

සජිත් ශාස්ත්‍රපති උපාධි ලබයි

පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති විභාගයේ මුල් විෂයයන් දෙකෙන් විශිෂ්ට සාමාර්ථ දෙකක් සහිතව සමත් විය.


ඒ අනුව Environmental Policy Planning and Assessment විෂයට ඒ ප්ලස් සාමාර්ථයක්ද, Environmental Economics and Management විෂයට A සාමාර්ථයක්ද සජිත් විසින් හිමිකර ගන්නා ලදී.
මේ ආකාරයට තනතුරේ සිටියදී පාරිසරික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගත් ලංකාවේ පළමු දේශපාලන නායකයා ලෙස සැලකෙන්නේ සජිත්ය.


“සෝෂල් මීඩියාවලයි, හැම තැනමයි අද නායකතුමා වීරයා වෙලා. පක්ෂ විපක්ෂ කවුරුත් ඔබතුමාගේ ජයග්‍රහණය ගැන කතා කරනවා”‍
නලින් බණ්ඩාර කීවේය.
“අපි අහල තියනවනේ සමහර නායකයන්ගේ පුතාල නීතිඥ විභාග ලියපු හැටි. ඒ සී කාමරවල සේරම පහසුකම් තියාගෙන, කොපි කර කර විභාග ලියල නීතිඥයෝ වෙච්ච පුත්තු ඉන්න රටක ඔබතුමා පුදුම ආදර්ශයක් දුන්නා”‍
ගයන්ත කරුණාතිලක කීවේය.


“ඇත්තටම නායකතුමා අපිට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ දෙවැනි ගෲප් එකේ දී ඔබතුමා කිව්වා පක්ෂය සියලු‍ම මන්ත්‍රීවරුන්ට තමන්ගේ අධ්‍යාපනය දියුණු කරගන්න නොමිලේ පාඨමාලා වලට යොමු කරවන්නම් කියලා. ඔබතුමාට හැමදාම ඕනැ කම තිබුණා අපි ඉගෙන ගන්නවා දකින්න. ඇත්තටම අපි ඒකට උනන්දු වුණේ නෑ. හැබැයි ඔබතුමා ආදර්ශයෙන්ම පෙන්නුවා ඉගෙන ගන්න එකට වයසක් නෑ කියලා” කිංස් නෙල්සන් කීවේය.


“ඉගෙන ගන්න එකට වයසකුත් නෑ. ඉගෙන ගන්න වෙලාවක් නෑ කියලා එකකුත් නෑ. මම හැමදාම කියන්නේ කවුරු මොන චෝදනා කළත්. කවුරු මොන අපහාස උපහාස කළත් පුළුවන් ඕනෑම වෙලාවක ඕනෑ දෙයක් ඉගෙන ගන්න” සජිත් කීවේය.

 

මධ්‍යම අධිවේගී මාර්ගය  ඉක්මන් කරන යෝජනා

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කටයුතු අප්‍රමාදව සිදුකරන ලෙසටත් රත්නපුර දක්වා දිවෙන අධිවේගී මාර්ග මඳක් ප්‍රමාද කරන ලෙසටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ දී උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබුවේ රාජ්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයේ පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.


බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන් හා සමන් රත්නප්‍රිය මහතාද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා ඉංජිනේරු බළකායේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් තාවකාලිකව නතර කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇත. එහෙත් මධ්‍යම අධිවේගී මාර්ගය මේ වන විට කුරුණෑගල දක්වා අවසන් වී ඇති නිසා කඩවත සිට ඉදි කරන ඉතිරි කොටසේ වැඩ අවසන් කරන ලෙස උපදෙස් දුන්නේය. එසේ නොවුණ හොත් ලැබුණු ආධාරවලට ගැටලු ඇතිවිය හැකි බව ද අගමැතිවරයා කීය.
ගිය සතියේ අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කළේ ඉන්ධන ප්‍රශ්නයටයි. ඉතිරි සතියක කාලය තුළ ඉන්ධන ප්‍රශ්නය අමාරු විය හැකි බව ඔහුගේ අදහස වී තිබුණි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී විශේෂ අවධානයක් දැක්වූයේ ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳවය. ඉන්දීය ක්‍රෙඩිට් ලයින් යටතේ අවසන් ඉන්ධන නැව ලැබුණු අතර එයින් පසුව ඉන්ධන ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් සඳහා වන මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් ගැන සාකච්ඡා කෙරිණි.
මෙම ඉන්දීය ණය යෝජනා ක්‍රමය අත්සන් කළ පසු තවත් මාස 4කට ප්‍රමාණවත් ඉන්ධන ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.


ඉන්ධන හා ගෑස් ප්‍රශ්නය විසඳීම සඳහා සම්බන්ධීකරණ කටයුතුවල වගකීම අග්‍රාමාත්‍යවරයා පවරා තිබුණේ සාගල රත්නායක හිටපු ඇමැතිවරයාටය. ගෑස් අර්බුදය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර සිටි සාගල එම කරුණු අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළේය. එහිදී ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයකු පත් කරන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. 2019 වර්ෂයට පෙර සිටම ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකුව සිටි මුදිත පීරිස් මහතාගේ නම යෝජනා වූ අතර වගකීම් භාර ගැනීමට සූදානම් වන්නේ නම් ඔහු පත් කරන ලෙස උපදෙස් දුන්නේය.


ගෑස් ප්‍රශ්නය විසඳීමට සැබෑ පිළිතුරක් අවශ්‍ය වන බවත් ජනතාව පෝලිම්වල රස්තියාදු වීම නතර කිරීමට පියවර ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ඔහුට ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව වගකීම් භාරගත් මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ පැරණි සැපයුම්කරුවා වූ සීමාන් ට්‍රේඩින් සමාගමට කතා කර ගෑස් කොන්ත්‍රාත්තුව ලබා දීමට සාකච්ඡා කරන බව ප්‍රකාශ කර සිටියේය.
ඉන්ධන ආනයනයට අවශ්‍ය මුදල් සපයා ගැනීමට අගමැතිවරයා දැඩි වෙහෙසක් ගත්තේය සාගල ද එයට එක්විය. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් හා භාණ්ඩාගාරයෙන් යම් මුදලක් ලබා ගැනීමටත් හැකිවිය.
​මේ අතර සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමුවී ඔවුන්ගේ දුක් ගැනවිලි ඉදිරිත් කළහ. පවතින වාතාවරණය යටතේ කෙටි කාලීන ක්‍රමයක් සකස් කර ගන්නා ලෙස උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා ලබන ජනවාරියේ සිට ඉදිරි වසර 3ට සැලසුම් සකස් කර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුව මගින් අගමැති කාර්යාලයේ සංවිධානය කර තිබූ ආගමික වැඩ සටහනට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.


ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් ගිය සතියේ දී අග්‍රාමාත්‍යවරයා හමු වූ අතර එහිදී රටට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට එකඟත්වය පළ කළේය. ඉන් පසුව ඇමෙරිකානු රජය මෙරටට ඩොලර් මිලියන 120ක මූල්‍ය පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් හමු වූ අග්‍රාමාත්‍යවරයා හැකි ඉක්මනින් පළමු වටයේ ගිවිසුම අත්සන් කිරීමට වාතාවරණය සකසන ලෙස දැනුවත් කළේය.


සියලු කටයුතු මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කටයුතු ගැන ද ​සොයා බැලුවේය. එහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටි​යේ 21 වෙනි සංශෝධනය ගැන සඳහන් කරමින් රටේ ආර්ථිකය ව​ගේම දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීමත් අවශ්‍ය බවය. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලබන සඳුදා 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකිවන බවයි.


රටේ ආර්ථික ප්‍රශ්නවලට අයි.එම්.එෆ්. එකඟතාවය ලැබුණු පසු විසඳුම් ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොසොන් පෝය දිනයේ දී විජය පුවත්පත් ආයතනය අනුග්‍රහයෙන් පැවැත්තවෙන තන්තිරිමලේ ආලෝක පූජාවට සහභාගි විය.

 

ජාතික ජන බලවේගයේ විධායක සභාව පත්වෙයි

ජාතික ජනබලවේගයේ විධායක සභාව සඳහා නියෝජිතයන් 65 දෙනෙක් පත්කර ගැනීම ඉකුත් සතියේ දී සිදු විය. මහරගම ජාතික තරුණ සේවා සභා ශාලාවේ දී කොළඹ දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ සමුළුව පැවැති අවස්ථාවේ විධායක සභාව පත්කර ගැනීම සිදු විය.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, ලක්ෂ්මන් වික්‍රමාරච්චි නීතිඥ හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් ඇතුළුව ආචාර්ය හරිනි අමරසූරිය හා සමන්මලී ගුණසිංහ යන මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ. මෙම සමුළුවේ දී පක්ෂයේ තරුණ කලාකරුවන්ගේ ගී ගායනය රැස් වූ පිරිසගේ ආකර්ශනයට හේතු විය.


මෙම සමුළුවේ දී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ රාජ්‍ය පාලනයෙන් හා දේශපාලනයෙන් ඉවත් වුවත් කොල්ල කෑ දේපළ රජය සතු කර ගන්නා බවය.
මීට අමතරව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය පක්ෂ මූලස්ථානයේ දී රැස්වී පසුගිය කාලය පුරා පැවැත් වූ දිස්ත්‍රික් සමුළුව පිළිබඳව සමාලෝචනය කරනු ලැබීය. එහිදී ත්‍රිකුණාමලය, නුවරඑළිය හා කොළඹ දිස්ත්‍රික් සමුළු පිළිබඳව වැඩි අවධානය යොමු විය. යාපනය දිස්ත්‍රික් සමුළුව ලබන 25 වැනිදා පැවැත්වීමට ද මෙහිදී තීරණ කළේය. ජූලි මුල සතියේ සිට ජාතික ජන බලවේගයේ ආසන සමුළු පැවැත්වීමට නියමිතය.
කොට්ඨාස සභා පිහිටුවීමේ දී දුර්වල ස්ථාන ගැන වැඩි අවධානයක් ​යොමු කිරීමට පක්ෂ කටයුතු කරන බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමට එම ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් අනුර කුමාර දිසානායක මහතා හමුවූහ.


මේ සතිය පුරාම බඩු මිල තෙල් හිඟය හා ජනතාව විඳින පීඩාව මූලික කර ගනිමින් නගර මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වීමට ද තීරණය කෙරිණි.


ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම පක්ෂ නායකයා හමු වී පොලිසිය කරනු ලබන අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සාකච්ඡා කළේය. නිවාසවලට පහරදීම්වලට සහභාගි වූ බවට බොරු චෝදනා කර සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලට මැදිහත්වීම් කිරීමටත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටත් තීරණය කළේය.

 

කරුට බය හිතිලා

‘‘රට අද යන විදියට ඇතිවිය හැකි තත්ත්ව තවදුරටත් බරපතළ වේවි. රටේ ​දේශපාලන පක්ෂ විතරක් නොවෙයි ආගමික මෙන්ම සිවිල් සමාජය ද ඒ ගැන නිසි අවබෝධයක් නැතිව කටයුතු කළහොත් ඇතිවිය හැකි තත්ත්වය ඛේදවාචකයක් වෙන්නත් පුළුවන්. 


මට ඒ ගැන බයක් තියෙනවා.’’ පසුගිය සතිය තුළ දී කරු ජයසූරිය මේ අනතුරු ඇඟවීම රටේ ප්‍රමුඛ චරිත ගණනාවක් වෙතම ප්‍රකාශ කර ඇත. දේශපාලන නායකයෝ හා මහානායක හිමිවරු ආගමික හා සිවිල් සමාජ නායකයෝ රැසක් ද ඒ අතර වූහ. එහිදී කරු ඒ සියල්ලන්ටම කියා ඇත්තේ රටට මෙහෙම වෙන්න හේතුව අපේ රටේ නායකයන් ජනතාවට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ද බොරු පොරොන්දු දෙමින් ඔවුන් රවටන්නට කටයුතු කිරීම නිසා වන බවය.

 

 

-ගජබා-