ඇමතිධූර මාරු කලාට පිරිසක් නොසතුටෙන්


 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සතියේ නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලැබුවේ, ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති බරපතළ විරෝධය හේතුවෙනි. කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඉකුත් සතියේ සෙනසුරාදා රාත්‍රියේ අගමැතිවරයාත්, හිටපු ඇමැතිවරුනුත් ජනාධිපති මන්දිරයට කැඳවීය. ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින් සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සඳහා කටයුතු කරන බව ය. 

හිටපු ඇමැතිවරුන් ගණනාවකට තනතුරු අහිමි වන බවද ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ අදහසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එකවර එකඟ නොවූයේ, හිටපු ජ්‍යෙෂ්ඨයන් සියලු‍ දෙනා ඉවත්කර තරුණ පිරිසක් පමණක් පත් කිරීම සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ අකමැත්ත හේතුවෙනි. අගමැතිවරයා කීවේ ජ්‍යෙෂ්ඨයන් සියලු‍ දෙනා ඉවත් කිරීමට තමා විරුද්ධ බවය. ඔවුන්ට ඇමැති ධුර නොදෙන්නේ නම් තමා විපක්ෂයේ වාඩි වීමට වුවද සූදානම් බවය. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා ද සිටියේ අගමැතිවරයාගේ ස්ථාවරයේය. ඔහු ඇමැති ධුරය අත් හරින්නට එක්වරම සූදානම් නොවීය. මේ අතර සරත් වීරසේකර ඇමැතිවරයා ද විමසා සිටියේ ඇමති මණ්ඩලය ඉවත් වූ පසු සියලු‍ ප්‍රශ්න විසඳෙනවා ද කියාය.
බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන ඇමැතිවරුන් දෙදෙනා මුල සිටම සිටියේ ඇමැති ධුර බාර නොගන්නා අදහසක ය. බන්දුල කලින් දිනයේ ම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබුණේ තරුණයන්ට අවස්ථාව දීමට තමා ඇමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවය. ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඊට බලපෑ හේතු, එය විසඳිය හැකි ආකාරය සම්බන්ධ යෝජනාවලියක් ද බන්දුල සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාද මුල සිටම සිටියේ ඇමති ධුරය භාර නොගැනීමේ අදහසක ය. ඩලස් ඇමති ධුරයක් බාර නොගන්නා බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. මේ අතර සරත් වීරසේකර ඇමැතිවරයා ඉරිදා පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තමාද ඇමැති ධුරයක් බාර නොගන්නා බවය.


කෙසේ හෝ ජනාධිපතිවරයා දැඩි තීන්දුවක සිටියේ නවකයන්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීම වෙනුවෙනි. මේ ගැන සෙනසුරාදා රෑ අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බැවින්, ජනාධිපතිවරයා ඉරිදා රාත්‍රියේ ද අගමැතිවරයා සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපති මන්දිරයේ දී හමු විය. එහිදී ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ තරුණ පිරිසක් ඇමැති මණ්ඩලයට පත් කිරීමට තමන්ට අවශ්‍ය බවය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්වරම ඊට එකඟ නොවීය. අගමැතිවරයා ඊට එකඟ නොවී සාකච්ඡාවෙන් පිටත්ව ගිය බවටද ආරංචි පැතිර ගියේය.


නව කැබිනට් මණ්ඩලය සඳුදා උදේ දහයට පමණ දිවුරුම් දීමට නියමිතව තිබිණි. ඒ සඳහා තෝරාගෙන ඇති මන්ත්‍රීවරුන්ට උදේ 9.45ට ජනාධිපති මන්දිරයට පැමිණෙන්නැයි කලින් දින රාත්‍රියේ දැනුම් දී තිබිණි. ඇමැතිවරුන් ලෙස පත්වීමට නියමිත පිරිසට ජනාධිපතිවරයාම කතා කර තිබූ බවද වාර්තා විය. අලු‍ත් කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා කලින්ට වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටි බව පෙනෙන්නට තිබිණි. හිටපු ඇමැතිවරුන්ට අමාත්‍ය ධුර නොලැබෙන බව ජනාධිපතිවරයාම ඔවුන්ට කතා කර දැනුම් දී තිබිණි.


සඳුදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු දාහත් දෙනෙක් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඊට කලින් ඇමැතිවරුන් තිදෙනකු දිවුරුම් දී තිබූ අතර, ඇමැති මණ්ඩලය විස්සක් බවට පත්විය. රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන තිදෙනාට අමාත්‍ය තනතුරු භාර නොදීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන තිබිණි. කලින් දිවුරුම් දුන් මහාචාර්ය ජී.එල්. පීරිස්, අලි සබ්‍රි සහ දිනේෂ් ගුණවර්ධන යන තිදෙනාගෙන් දිනේෂ් ගුණවර්ධන පමණක් ඉරිදා නැවත දිවුරුම් දුන්නේ අමාත්‍යාංශය වෙනස් වී තිබූ බැවිනි. හිටපු කැබිනට් ඇමැතිවරුන්ගෙන් දිනේෂ්ට අමතරව, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ඩග්ලස් දේවානන්ද සහ දිලු‍ම් අමුණුගමට පමණක් ඇමැති ධුර හිමිවිය.
අනෙක් දොළොස් දෙනාම නවකයෝය. එයින්ද එකොළොස් දෙනෙකු රාජ්‍ය ඇමැතිවරුන් වූ අතර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා පමණක් නවක මන්ත්‍රීවරයෙකි. ඔහු මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන අතර, පසුගිය මහ මැතිවරණයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ඉදිරිපෙළ සාමාජිකයෙක් විය. මෙවර කැබිනට් මණ්ඩලයේ තවත් විශේෂත්වයක් වූයේ කාන්තා නියෝජනයක් නොතිබීමය.


දිවුරුම් දීමේ උත්සවයට පැමිණ සිටියේ එදින දිවුරුම් දුන් ඇමැතිවරුන්ට අමතරව මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා පමණි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා එදින උත්සවයට සහභාගි නොවූ අතර, ඔහු සහභාගි නොවූයේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ඇති වූ ගැටුම හේතුවෙන් බවටද ආරංචි පැතිර ගියේය. එනමුදු ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන් සියලු‍ දෙනාම ජනාධිපති මන්දිරයෙන් පිටත් වීමෙන් පසුව කෙළින්ම අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. අගමැතිවරයා ඔවුන්ට සුභ පැතූ අතර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා අගමැතිවරයා හමුවීමෙන් අනතුරුව කෙළින්ම ගියේ ඔහුගේ පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා බලන්නටය. වරාය හා නාවික අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පත්වීම් ලිපිය ඔහු පියා අතට භාර දුන්නේ මේක අප්පච්චි වෙනුවෙන් ලැබුණු ඇමැතිකමක් කියමිනි. තමාට ඇමැතිකමක් නොලැබුණද තම පුතාට ඇමැතිකමක් ලැබීම ගැන ජනක සිටියේ මහත් සන්තෝෂයෙනි.
ඇමති තනතුරු අත්හරින්නට වීම ගැන හිටපු ඇමැතිවරුන් ගණනාවක්ම සිටින්නේ කලකිරීමෙනි. ඔවුන් කියන කරන දෑ වලින් ඒ බව පැහැදිලිය. ප්‍රසිද්ධියේ නොකීවද ඔවුන් සියලු‍ දෙනාම පාහේ සිටින්නේ කලකිරීමෙනි. කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් වැඩ භාරගැනීමේ උත්සවවලට හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනකු සහභාගි වී සිටියේ නැත. දැනගන්නට ඇති පරිදි ඊට සහභාගි වූයේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පමණි.


කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී මහාචාර්ය චරිත හේරත්ටද කැබිනට් ඇමති ධුරයක් දීමට යෝජනා වී තිබූ බව වාර්තා විය. එහෙත් ඔහු නියෝජනය කරන පළාතේ හිටපු කැබිනට් ඇමැතිවරයකුගේ විරෝධය මත එය අවසන් මොහොතේ වැළකී ගිය බවද දැනගන්නට ඇත.


මේ අතර රාජ්‍ය අමාත්‍යවරු විසිහතර දෙනෙක් ද එදින පස්වරුවේ දිවුරුම් දුන්හ. පසුගිය කාලයේ දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබී තිබූ අතර, ආණ්ඩුවට එක් වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියටද ඇමැතිකමක් ලැබිණි. රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස ඩිලාන් පෙරේරා පත්කිරීමේ සූදානමක් තිබූ නමුත් ඔහු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට ද වාර්තා විය.
මේ අතර, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා හමුවී යෝජනාවක් භාර දුන්නේ, අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස ඉල්ලමිනි. ඔවුන් කියා තිබුණේ බහුතරයකගේ පිළිගැනීම ඇති පොදුජන පෙරමුණේ අගමැතිවරයකු පත් කර ඔහු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බව ය. ඒ සඳහා සියලු‍ පක්ෂවල සහභාගිත්වය අනිවාර්ය බව ඔවුන් පෙන්වා දී තිබේ. එසේ නැති ව මේ අර්බුද විසඳා ගැනීමට නොහැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා හමුවන්නට ගිය මන්ත්‍රී කණ්ඩායමට පසුපෙළ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් ඇතුළත් වූහ. නමුත් ජනාධිපතිවරයාට භාර දුන් ලිපිය මාධ්‍යයට නිකුත් වෙද්දී තුන්දෙනෙකුගේ නම් ඉවත් වී තිබූ අතර ඉතිරි වූයේ දහ දෙනකුගේ නම් පමණි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, නීතිඥ උදයන කිරිඳි ගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කරුණාදාස කොඩිතුවක්කු, මහාචාර්ය ගුණපාල රත්නසේකර, අකිල සාලිය එල්ලාවල සහ උදය කාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් මෙම ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබිණි.


ජනාධිපතිවරයාට ලිපිය භාර දීමෙන් අනතුරුව පිරිස ඊට පසුදිනම අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ඔවුන් කියා සිටියේ ඇති වී තිබෙන තත්ත්වය බරපතළ බැවින්, නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බව ය. ඒ සඳහා සර්වපාක්ෂික නියෝජනයක් අවශ්‍ය බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබිණි


කාගේත් සුන්දරී මන්ත්‍රී කවුද


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.


අගමැතිවරයාට අමතරව, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරු ඉදිරිපෙළ අසුන් ගෙන සිටියහ. හිටපු කැබිනට් ඇමතිවරුන් ගණනාවක් සහභාගි වූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගමැතිවරයා විමසා සිටියේ වෙන මොනවත් සාකච්ඡා කරන්න තිබේ දැයි කියාය. අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා කීවේ අගමැතිවරයාට එරෙහිව ලොකු බලපෑමක් ඇවිත් තිබෙන බැවින්, ආණ්ඩුව අගමැතිවරයා රකින්න ඉදිරිපත් විය යුතු බවය.” මේ වෙලාවේ එකට ඉන්න ඕන. ඔය කවුරු ස්වාධීන වෙලා පෙන්නන්න උත්සාහ කළත් මිනිස්සුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකට. ඒ නිසා එකට මුහුණ දෙමු. කරපු වැඩ ගැන අපට විවිධ මත තියෙන්න පුළුවන්”‍ යැයි අරුන්දික ප්‍රනාන්දු කීවේය.


අරුන්දිකගේ කතාවෙන් පසුව කතා කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. ”‍අපි පහුගිය දවස්වල ගත්ත සමහර තීන්දු වැරදියි. මම අවුරුද්දකට කලිනුත් මේ ගැන කිව්වා. ගෑස්, විදුලිය, ඉන්ධන ප්‍රශ්න අපට බරපතළ ලෙස බලපා තියෙනවා. මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න. එහෙම නැත්නම් මේ මොනවා කළත් වැඩක් නෑ. ඇත්ත. ප්‍රශ්නයක් තියෙන නිසයි මිනිස්සු ගෝල්ෆේස් යන්නේ. විරෝධතා පවත්වන්නේ. ඒ නිසා ඒකට දොස් කියලා වැඩක් නෑ. අපි මේවා නැති කරන්න වැඩ කරන්න ඕන. අනෙක එක එක තැන්වල එක් කෙනා අරන් ආණ්ඩු හදන්න කතා කරනවා. කැබිනට් එකේ හිටපු ජ්‍යෙෂ්ඨයන් සියලු‍දෙනා පැත්තකට දාලා අලු‍ත් අය විතරක් දාපු එකෙන් පාලු‍ ගතියක් වගේ තියෙනවා. තීන්දු ගන්නකොට නැවත වරක් සලකා බලන්න සිද්ධ වෙනවා යැයි ජගත් කුමාර මන්ත්‍රීවරයා කීවේය.


කොයි ආණ්ඩුව හැදුවත් අගමැති වෙන්න ඕන ඔබතුමා. ජගත් කුමාර කීවේය.


රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාද කීවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ සිටිය යුතු බවය.”‍ අපි මීට වඩා අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. අපි විපක්ෂයේ ඉද්දි අපට විරුද්ධව කොච්චර දේවල් කළාද. ඒ නිසා අපි මේකට මුහුණ දෙන්න ඕනැ. බැරිනම් අපි විපක්ෂයට යමු. මම කියන්නේ අපි එකතුවෙලා මේ ගමන යන්ඩ ඕන. ඔබතුමා නැති ආණ්ඩු හදන්න අපි ලෑස්ති නෑ. එහෙම හදනවා නම් අපි විපක්ෂයට යනවා යැයි ඔහු කීවේය.


ජනාධිපතිවරයාට ලිපියක් බාරදීමට ගිය අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද කතා කළේය”‍ මෙහෙමයි සර් වෙලා තියෙන්නේ. අපි ඔබතුමා අයින් කරනවට කැමති නෑ. හැම කෙනෙක්ම කතා කළාම අපි එතනට යනවා. අපි දැන් කාගෙත් සුන්දරිය වගේ වෙලා තියෙන්නේ. මේ විදිහට පාවිච්චි කරන එක වැරදියි. අජිත් රාජපක්ෂ කියද්දී අගමැතිවරයාද හිනාවෙමින් කිව්වේ”‍ මොකටද ඔයා කාගෙත් සුන්දරිය වෙන්න ගියේ’ යනුවෙනි.
සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කිව්වේ”‍ අපි මේ වෙලාවේ එකට හිට ගත යුතු බවය.”‍ අපි අගමැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න ඕනැ යැයි කියමින් ඔහු යෝජනාවක් ඉදිරිපත් කළේය. ජගත් කුමාර සහ යූ.කේ. සුමිත් මන්ත්‍රීවරු එය ස්ථිර කළහ. නවකයන් ඇමති මණ්ඩලයට පත් කිරීමට ඉඩ දෙමින් හිටපු ජ්‍යෙෂ්ඨයන් ඉවත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කිරීමේ යෝජනාවක්ද අනුමත විය.
මේ අතර ඉකුත් දා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කතා කළේය. එහිදී ඔහු කියා තිබුණේ ඔබතුමාගෙයි මගෙයි යාළුකමට අවුරුදු 55ක් වෙනවා. මේ කාලය තුළ මම ඔබතුමාට උපදෙස් කියලා තියනවා. සමහර ඒවා පිළිගත්තා. සමහර ඒවා පිළිගත්තෙ නෑ. අගමැතිවරයාද කීවේ තමා ඒවා පිළිගෙන තිබුණු බව ය.


වාසු කියපු දේවල් හරි ගිය බවද අගමැතිවරයා කියා තිබිණ. මේ අතරේ වාසු කීවේ ඔබතුමාට ජනතාව තුළ ලොකු ගෞරවයක්, ආදරයක් තියෙනවා. ඒක නැති කරගන්නෙ නැතිව මේ වෙලාවේ ඉල්ලා අස්වෙන්නැයි ද වාසු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. අගමැතිවරයා කියා තිබුණේ තමා අවශ්‍ය නම් ඊට සූදානම් බවය.


විපක්ෂය පහරදෙයි


රටේ පවතින අර්බුදය ඉතා ප්‍රශස්ත තැනකට කළමනාකරණය කිරීමත්, රටේ ජනතාවට උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා දීමත් විපක්ෂනායක සජිත් ඇතුළු වූ සමගි ජන බලවේගයේ අරමුණ විය.
රට පුරා සිදුවන අර්බුදය පිළිබඳව දිනෙන් දින අවධානය යොමු කළ සජිත් තම පක්ෂයේ නියෝජිතයින් සහ විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කළේය.


පසුගිය 18 වෙනිදා “ජනතා බලය”‍ සිවිල් සංවිධානයේ නියෝජිත පිරිසක් සජිත් හමුවිය.
“මේ වෙලාවේ රට අර්බුදයකට පත්වෙලා තියෙන්නෙ. ඇයි ඔබතුමා පුළුවන්කම තියෙද්දිත් මේ වෙලාවේ අන්තර්කාලීන ආණ්ඩුවක් භාර ගන්නෙ නැත්තෙ?”‍නියෝජිතයෙක් සජිත්ගෙන් ඇසුවේය.
“අපි 113 හදන්න ඕනැ පොහොට්ටුවේ අයත් අරගෙන. ඔතන ඉන්න විශාල පිරිසක් අන්ත ජාතිවාදී අය. බරපතළ චෝදනා තියන අය. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මීට අවුරුදු දෙකකට කලින් මේ රටේ ජනතාව 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. අපි කියන්නේ මෙච්චරයි. සියලු‍ රාජපක්ෂවරු ඉල්ලා අස්වෙන්න ඕන. ඊට පස්සේ කෙටිකාලීන ආණ්ඩුවක් හැදුවාම තනතුරු බාර නොගෙන ඒ ආණ්ඩුවට අපි වැඩපිළිවෙළක් දෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන. ඊට පස්සේ අපිට ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනවරමක් ගන්න පුළුවන්”‍


සජිත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරද්දී බොහෝ නියෝජිතයන් සජිත්ගේ ස්ථාවරය පිළිබඳව ඉතා පැහැදීමෙන් කතා කළේය.


“අපි මේ අර්බුදය ගන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත්කරලා දෙන්න.”‍ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවැසීය.


“ඇත්තටම මේ වෙලාවේ අර්බුදය හරි අතට අරගෙන නිල අල්ලලා ආණ්ඩුවට ගහන්නේ අපි, විපක්ෂ නායකතුමා හරියටම වැඩේ කරනවා”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
“ඒක හැමෝටම පේනවා. කොන්දේසි විරහිතව රාජපක්ෂලාට අයින් වෙලා යන්න කියල කියන්නෙ විපක්ෂ නායකතුමා. එළියෙ අරගල කරන තරුණයින්ට මුලින්ම ධෛර්යය දුන්නේ අපි. සමහර පක්ෂ ඒ අරගලයට එයාල සම්බන්ධ නෑ කියල ප්‍රකාශ පවා දුන්නා. එහෙම අරගලය පාවා දුන්න අය දැන් අරගලයේ පීතෘවරු වෙන්න හදනවා.”‍ රාජිත කීවේය.


“මෙහෙමයි, රටට අනතුරු එනකොට අනතුරු එන්න කලින් අපි ඒවා කීවා. කොරෝනා එන්න කලින් කොරෝනා එයි කියලා කිව්වා. බෙහෙත් ගැන කීවා. රටේ බෙහෙත් හිඟ වෙන්න පුළු‍වන් කීවා. කොරෝනා නිසා රෝහල් පද්ධති දියුණු කරන්න කීවා. බදු සහන දුන්න නිසා රට කඩාවැටෙනවා කිව්වා. රට බංකොලොත් වෙන දවස් දින වකවානු එක්කම කීවා. අපි මොනවද නොකීවේ. ඒ සේරටම සමහරු හිනා වුණා. සමහරු අපහාස කළා. හැබැයි ඒ දේවල් අද වෙලා තියෙනවා. අද අඬන්නේ මට අපහාස උපහාස කරපු අය විතරක් නෙවෙයි. මුළු රටටම අඬන්න වෙලා තියෙනවා. අපි “හුස්මක්”‍ වගේම සක්වලත් ගෙනයන්නේ අන්න ඒ අඬන මිනිසුන්ගේ කඳුළු පිහින්න”‍ සජිත් කීවේය.


“ඇත්තටම මේ වෙනකොට ආණ්ඩුව හොඳයි කියලා කියන මනුස්සයෙක් නෑ. එහෙම කවුරුහරි ඉන්නවනම් මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා, ඇමතිවරු පවා ඉන්නේ තිත්ත වෙලා.”‍ චමින්ද විජේසිරි කීවේය.
“මේ වෙලාවේ අපි මූලිකව කරුණු දෙකක් කරන්න ඕනැ. එකක් මහපාරේ අරගල කරන පුරවැසියන්ව රැකගන්න ඕන. අනෙක් පැත්තෙන් ජනතා බලය අපි ආණ්ඩුවට පෙන්වන්න ඕන. ඒ එක්කම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල අපි ජනතාවට දිනා දෙන්න ඕන”‍ සජිත් එහෙම කියන විට මන්ත්‍රී කණ්ඩායම ම එය අනුමත කළේය.


“අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනැ. 20 ආපහු හරවන්න ඕන. සංවරණ තුලන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන්න ඕන. ස්වාධීන කොමිෂන් සභා ටික නැවත ස්ථාපිත කරන්න ඕනැ. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් දෝෂාභියෝගයක් ගේන්න ඕනැ”‍ සජිත්ගේ ස්ථාවරය දැනුම් දුන්නේය.
“විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අත්සන් ගැනීමේ කටයුතු හරින්, මනුෂ ඇතුළු කණ්ඩායමට පැවරූ සජිත් අලු‍ත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වූ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු පිළිබඳව ද සොයා බැලු‍වේය.


රඹුක්කන විරෝධතාවයකදී පොලිසිය විසින් තරුණයෙකු ඝාතනය කිරීම පිළිබඳව සජිත් සිටියේ දැඩි කම්පනයකිනි. මේ පිළිබඳව සිය මන්ත්‍රී කණ්ඩායම කැඳවූ විපක්ෂ නායකවරයා ඉතා පුළුල් ලෙස සාකච්ඡා කළේය. අදාළ ඝාතනයට සම්බන්ධ බොහෝ තොරතුරු සොයාගත් සජිත් පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියේ ඒ සියලු‍ තොරතුරු ද ඇතිවය.


“මේක ජන ඝාතක ත්‍රස්තවාදී ආණ්ඩුවක්”‍සජිත් කතාව ආරම්භ කළේ එහෙමය.


කරදගස්තැන්න - නාරම්බැද්ද - හිරිවඩුන්න, රඹුක්කන ජීවත් වුණු කේ.ඩී. චමින්ද ලක්ෂාන් දරුවන් දෙදෙනකුගේ පියෙක්. නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරපු, තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය, තමන්ගේ කතා කිරීමේ නිදහස, උද්ඝෝෂණ කිරීමේ නිදහස ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වුණු පුද්ගලයෙක්. අපි පැහැදිලිවම කියන්නට කැමැතියි මේ චමින්ද ලක්ෂාන්ගේ මරණයට වගකියන්නට ඕනැ රාජපක්ෂ රජයේ ම්ලේච්ඡත්වය සහ රාජ්‍ය ත්‍රස්තවාදය බව”‍ සජිත් දැඩි ප්‍රහාරාත්මක කතාවක් කළේය. මුළු සභාගැබම මීයට පිම්බාක් මෙන් නිහඬ විය.


“මම අහන්න කැමැතියි වෙඩිතියන එක, මිනීමරණ එක අවම බලයද? ම්ලේච්ඡත්වය අවම බලයද, රාජ්‍ය ත්‍රස්තවාදය අවම බලයද කියලා මම අහන්න කැමති. කවුද වෙඩි තියන්න බලය දුන්න එස්.එස්.පී.? මොකක්ද එස්.එස්.පීගේ නම? එස්.එස්.පී. කාගේ කවුද? කවුද? මොකක්ද එස්.එස්.පී.ගේ සම්බන්ධතාව. මේවා ගැන කරුණාකරලා එළිදරව් කරන්න.”‍ සජිත් කීවේය.


“රතුපස්වල ජනතාව ජලය ඉල්ලනකොට මරලා දැම්මා. ධීවරයෝ ඉන්ධන සහනාධාර ඉල්ලනකොට වෙඩි තිබ්බා. මරලා දැම්මා. රොෂාන් චානකව මතකද? ඒ කරපු මිනීමරු ක්‍රියාව මතකද? මම කියන්න කැමති. ලසන්ත වික්‍රමතුංගව මැරුවා. ලලිත්ලව කූගන්ලව මැරුවා. මාධ්‍යවේදීන් මර්දනය කළා. මාධ්‍යෙව්දීන් ඝාතනය කළා. මේ රඹුක්කනින් දුන්න සංඥාව තමයි ජන අරගලයටත් ගහනවා කියන එක.”‍ සජිත් කීවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධනය සඳහා යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් 21 වැනිදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය. විපක්ෂනායක කාර්යාලයේ දී අදාළ කෙටුම්පත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදුන්නේය. ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත භාර දෙනු ලැබීය.


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශ්ව බලය බෙදාහැරීම අදාළ සංශෝධනය, 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විතය.


එජාප නායකයාගෙන් 
විසඳුම් නවයක්


රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දැඩි සංවේගයට පත්වී සිටියේය. සිදුවීම දැනගත් වහාම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රෝහලට ගොස් තුවාලකරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් සොයා බැලීය. ඒ වනවිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ නිසා මියගිය තරුණයාගේ නිවසට යාමට නොහැකි විය. රෝහලේදී මාධ්‍ය ඇමතූ රුවන් විජයවර්ධන මහතා සිද්ධිය හෙළා දැක්කේය.


ඕස්ට්‍රේලියාවට ගොස් සිටින සන්දිත් සමරසිංහ මහතාගේ පාක්ෂිකයෙක් වූ මිය ගිය තරුණයා එක්සත් ජාතික පක්ෂයට බෙහෙවින් ලැදි අයකු බව රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍යයට කියා සිටියේය. රජයට එරෙහි උද්ඝෝෂණ මර්දනය කිරීමට රජය ප්‍රචණ්ඩත්වයෙන් ගන්නා උත්සාහය ඔහු දැඩි ලෙස හෙළා දැක්කේය.
රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ රුවන් විජයවර්ධන මහතා දීර්ඝ සාකච්ඡාවක යෙදුණේය.


මේ අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් 9 ක් රජයට ඉදිරිපත් කළේය. පවතින තත්ත්වය අනුව යහපාලනය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවට අන්‍යොන්‍ය සහාය අවශ්‍ය වන බව ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපළ විකිණීම වැළැක්වීම, ආහාර, ඖෂධ, පොහොර හා ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක් කිරීම, පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ඇතුළුව යෝජනා 9 ක් ඉදිරිපත් කළේය.


පාර්ලිමේන්තුවේදී රටේ තත්ත්වය ගැන අදහස් දැක්වීම රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සමගි ජන බලවේගය මන්ත්‍රි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එකවර නැගී සිටියහ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මට මුලින්ම මයික් ඕනෑ’ යනුවෙන් කතානායකවරයාට ප්‍රකාශ කළේය. ‘ඔබ විපක්ෂනායකනේ ඔබට මුලින් මයික් එක දෙනවා’ යනුවෙන් කතානායකවරයා ප්‍රකාශ කළේය. සජිත්ට කතා කරන්න අවස්ථාව දී රනිල් වාඩි වුණේය.


ජවිපෙ පාගමන ගැන කතා කරයි


කළුතර සිට කොළඹ දක්වා රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් සතියේදී ස්වයං විවේචනයක යෙදුණේය. 17, 18, හා 19 දිනවල පැවැති මෙම පා ගමනට පක්ෂයේ සියලු‍ ප්‍රධානීහු විටින් විට සහභාගි වූහ. මෙම පා ගමන පිළිබඳව පක්ෂ මූලස්ථානයේදී රැස්වූ සංවිධායකවරු සාකච්ඡා කළහ.


පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා කීවේ කළුතරින් පා ගමන ආරම්භ කරන අවස්ථාවේදී ඉතා හොඳ සහභාගිත්වයක් පැවැති බවත් මග දෙපස රැස්ව සිටි ජනතාව උණුසුම් ප්‍රතිචාර දැක්වූ බවත්ය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ පානදුර නගරයේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ උඩරට නැටුම් කණ්ඩායමක් පාගමන පිළිගත් බවය. මොරටුව, කොරලවැල්ලේදී ද නැටුම් කණ්ඩායමක් පා ගමන පිළිගනිමින් අලංකාර රංගනයක් ඉදිරිපත් කළ බවද ඔහු කීවේය.


ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා අදහස් දක්වමින් පා ගමනට සහභාගි නොවූ විශාල පිරිසක් මග දෙපස සිට රජයට විරුද්ධ බැනර් ඔසවා ගෙන සිටි බව හා එයට කුඩා දරුවන්ද සහභාගි වී සිටි බවත් ප්‍රකාශ කළේය. මඟදෙපස පුද්ගලික ආයතනවල කණ්ඩායම්ද මාර්ගය අසලට පැමිණ සහාය දැක්වූ බව සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.


ලාල් කාන්ත මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගාලු‍ පාරේ මංතීරු දෙකම පා ගමන සඳහා වෙන්වූ අතර පොලිසියද කිසිදු විරෝධතාවක් නොදක්වා විශාල සහායක් ලබාදුන් බවය. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ මේ පා ගමන නිසා ගමනා ගමනයට යම් බාධාවක් වුවත් එයට කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොවූ බවයි.


මෙම සාකච්ඡාවේදී තෙල් මිල යළි වැඩිවීම පිළිබඳවද එයින් ජනතාව පත්වන අසීරුතාව පිළිබඳවද අදහස් පළවිය.


පාරවල් වසා තබා ජනතාව විරෝධය දැක්වීම පිළිබඳවද කරුණු ඉදිරිපත් විය. මෙහිදී සියලු‍ දෙනාගේම අදහස වී තිබුණේ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම හැමවිටම සාමකාමීව සිදුවිය යුතු බවය. එසේ නැතහොත් රජය ඒ වාසිය ගෙන මර්දන නීති හදිසි නීති හා ඇඳිරි නීතිය යොදා ගැනීමට අවස්ථාව ලබා ගන්නා බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතු බවද අනුර කුමාර දිසානායක පක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ තරුණ සංවිධානයේ එරංග ගුණසේකර හා රංගන දේවප්‍රියද ගාලු‍ මුවදොර අරගලය පිළිබඳව කතා කළහ. මෙම අරගලය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය දීමේ අවශ්‍යතාවයද ඔවුහු පෙන්වා දුන්හ. පාස්කු ප්‍රහාරයට එරෙහිව මීගමුවේදී පැවැති පාගමනට හා විරෝධතාවට විශාල පිරිසක් සහභාගිවී සිටි අතර එහිදී සරත් ඉද්දමල්ගොඩ, වකමුල්ලේ උදිත හිමි, මව්ලවි මුනිර් මුලෆ්ෆර් හා නායක අනුර කුමාර දිසානායකද කතා කළහ.


20 අහෝසි කිරීමේ වෑයම ගැන කරු තම සතුට පළ කරයි


රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ පුරවැසි සමාජයේ වගකීම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා කරු ජයසූරිය මහතා පසුගිය දින 10 ක කාලය තුළදී ප්‍රධාන පෙළේ සාකච්ඡා දෙකක් කැඳවා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙසටය. අලු‍ත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 12 වැනි දින ද ඉන් අනතුරුව පසුගිය 19 වැනිදා ද එම සාකච්ඡා කොළඹ ජානකී හෝටලයේදී පවත්වනු ලැබීය. ඒ සඳහා ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන 59 ක නායකයෝ හා නියෝජිතයෝ පැමිණ සිටියහ.


දැනට පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට නම්, එය පාර්ලිමේන්තුව හරහා සිදුකර ගැනීම අත්‍යවශ්‍ය බව ඒ සඳහා පැමිණ සිටි සියලුම දෙනා එහිදී අවධාරණය කළේය. පාර්ලිමේන්තුව එම කටයුතු සඳහා යොමුවීමට නම්, දැනට බලාත්මක 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුව ඇතැයි එහිදී සියලු‍ දෙනා අවධාරණය කළ ප්‍රමුඛතම කරුණ විය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයන් විසින් 20 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කථානායකවරයා වෙත භාරදුන් දිනයේ කරු මහත් සතුටකින් පසුවිය. ඔහු හමුවූ සහ ඔහුට දුරකතන ඇමතුම් දුන් සියල්ලන්ටම කරු පොදුවේ අවධාරණය කළේ විපක්ෂයේ එම උත්සාහය සාර්ථක කරලීම සඳහා තමාත්, තම සංවිධානයත්, සම්පූර්ණ වශයෙන්ම කැප කරන බවය.


සියඹලාපිටියට ආ 

පොහොට්ටුවේ ඇමතුම


සඳුදා සවස නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාට දිගින් දිගටම වට්ස් ඇප් දුරකථන ඇමතුමකි.
‘නියෝජ්‍ය කථානායකතුමා අඳුරන්න පුළුවන්ද?’ පසුගියදා ඇමැතිකම් අහිමි වූ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ කටහඬ ඇසුණි.


‘මචං වැදගත් වැඩකට කතා කළේ. උඹ යුද්ධ කාලේ ලොකු බරක් ඇදපු මිනිහෙක්. අද ලොක්කත් ඒ ගැන කතා කළා. ලොක්කා ආර්ථික වැඩ ටික කරන්න ඔයාට හොඳ ඇමැතිකමක් දෙන්න ලෑස්තියි’ ඒ ප්‍රබලයා කීවේය.
‘අපි යාළුවෝ තමයි මචං. ඒත් ඔය විදියට ජන මතය පාවලා දෙන්න මම සූදානම් නෑ’ සියඹලාපිටියගේ පිළිතුර විය.
‘හරි හරි මම කියනවට කල්පනා කරල බලපන්. හෙට උදේ මම කතා කරනවා.’ ප්‍රබලයා කියද්දී ‘තරහ වෙන්න එපා මචං, මම කාලය නාස්ති කරන්න කැමැති නෑ. ආයේ උදේ කතා කරන්න අවශ්‍යතාවයක් නෑ’ සියඹලාපිටිය කීවේය.


පසුදා උදේ වරින්වර ඇමතුම් වැලකි. පිළිතුරු නැති නිසා ප්‍රබලයාගේ ක්‍රියාන්විතය ලොප් විය.

 

-ගජබා-