ආණ්ඩුවේ මන්ත්‍රීන්ට මහපාරේදී විරෝධය


 

දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් වෙමින් තිබෙන්නේ කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. ඒ සමඟම ආර්ථික අර්බුදය ද ඔඩු දුවමින් තිබෙන්නේ මෙරට ජන ජීවිතය බරපතළ ඛේදවාචකයකට ඇද දමමිනි. ඉන් ගොඩ ඒමට දේශීයවත් ජාත්‍යන්තරවත් කෙරෙන සාකච්ඡා සම්මන්ත්‍රණවලින් නම් අඩුවක් නොමැති තරම්ය. එහෙත් මේ වැටී ඇති දුක්ඛිත තත්ත්වයෙන් මේ රට ගොඩ ගැනීම නම් ලේසි පහසු නොවනු ඇත.
සතියේ කැබිනට් රැස්වීම ඉකුත් සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ රටේ ඇතිව තිබෙන තෙල් අර්බුදය සම්බන්ධයෙනි.
තෙල් හිඟය ඒ වනවිටත් බරපතළ ලෙස බලපා තිබූ අතර, මේ තත්ත්වය මත රට ඉදිරියට ගෙන යාම බරපතළ ගැටලු‍වක් බව ඇමතිවරු කියා සිටියහ. එහිදී තීරණය වූයේ, පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකර තිබෙන තෙල් සංචිතය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට ය. ඒ සම්බන්ධයෙන් වහාම මාධ්‍ය හමුවක් කැඳවා දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනට පැවරීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඉකුත් සතියේ දිවයිනට පැමිණ ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් හමු වී සාකච්ඡා වට ගණනාවක් පැවැත් වූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන් පමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ද ඔවුහු හමු වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යම් හෝ සහනයක් සැලසෙන පහන් තාරකාවක් ලෙස හැමෝම දකිති. ආණ්ඩුවේද අවසන් තුරුම්පුව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යම් වැඩපිළිවෙළකට යොමු වීම ය. ඒ කෙසේ සිදු වනු ඇත්දැයි කිව නොහැකි ය.


මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා දිවයිනෙන් පිටත්ව ගියහ. ඒ සමගම ඔවුන් නිවේදනයක්ද නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ දැමීම සඳහා සහාය ලබාදීමට කැප වන බව ය. එහෙත් ඔවුන් ඒ සහයෝගය දෙන්නේ කොපමණ ප්‍රමාණයකින් ද, නිශ්චිත නැතත් කවදා හෝ යම් සහනයක් සලසනු ඇතැයි යන දැඩි අපේක්ෂාවෙන් සියලු‍ දෙනා බලා සිටින බව නම් පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවේදනයට අනුව මේ වසරේ මෙරට ආර්ථිකය තවදුරටත් පල්ලම් බසිනු ඇත. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බදු ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බව ඔවුන් තරයේ කියා සිටින කාරණයකි.

 

මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රීලනිපය හමුවෙති

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඉකුත් බදාදා දහවල් එකොළහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් හමුවූහ.
ඒ මෛත්‍රීගේ අලු‍ත් නිල නිවසේය. මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පස් දෙනා සහභාගි වූ මේ හමුවට ශ්‍රීලනිපයෙන් මෛත්‍රීට අමතරව, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ෂාන් විජයලාල් ද සිල්වා, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරු ද, හිටපු ජනාධිපති ලේකම්වරුන් වන උදය සෙනෙවිරත්න හා ඔස්ටින් ප්‍රනාන්දු යන දෙදෙනා ද සහභාගි වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය නිවසටම පැමිණ ශ්‍රීලනිප නායකයන් හමුවීම පිළිබඳව මෛත්‍රී එම නියෝජිත පිරිසට ස්තූතිය පුද කළේය. ඒ සමඟම ඔහු රටේ දේශපාලන තත්ත්වය ගැන ද ඔවුන් සමග කතා කළේය. ඔහු කීවේ ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා රටේ මේ අර්බුදය නිර්මාණය වී ඇති බවය. සමහර තීන්දු ප්‍රමාද වී ගැනීම නිසා ද මේ තත්ත්වය වර්ධනය වුණු බව මෛත්‍රී කීවේය. කෙසේ වුවද රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා උදව් කරන්නැයි ඔහු මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් අදහස් දක්වමින් ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් පැහැදිලි කළේය. රට තුළ දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය යන දෙකම තිබෙන බව ඔවුහු කියා සිටියහ.”‍දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අපි සූදානම් නෑ. අපිට අවශ්‍ය මේ ආර්ථික අර්බුදය විසඳන්න සහාය වෙන්නයි.


ශ්‍රී ලංකාව විශාල වශයෙන් ලෝකෙට ණය වෙලා. ඒත් ඒව ගෙවලා නෑ. ණය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. ආණ්ඩුව පැත්තෙන් කළ යුතු ක්‍රියාමාර්ග ගත්තට පස්සේ තමයි අපි ණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ”‍ ඔවුහු කියා සිටියහ.
ඒ සමගම ඔවුන්ගේ අවධානය යොමු වූයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ දෙස ය. සහනාධාර ලැබිය යුතු පිරිසට ලැබෙන්නේ නෑ.


නොලැබිය යුතු පිරිසුත් මේ අතරේ ඉන්නවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනෑ.
සමෘද්ධි සහනාධාරය අනවශ්‍ය විදියට ලබාගන්න අයත් ඉන්නවා”‍ ඔවුහු කියා සිටියහ.
ඒ සමගම හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විමසා සිටියේ ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දෙන්නේ කුමන කාලයකින් ද කියාය. එහෙත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත වකවානු ප්‍රකාශ කිරීමක් නියෝජිතයන් අතින් සිදු නොවීය. අපි අපේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළට අනුකූලවයයි ඔවුහු කීහ.
‘අපි ගිය මාර්තු මාසේ ආර්ටිකල් 4 කියලා වාර්තාවක් නිකුත් කළා’ ඒකෙන් අනාවරණය වූ කරුණු අනුව තමයි අපි කටයුතු කරන්නේ’’ අරමුදලේ නියෝජිතයන්ගේ අදහස විය.

 

සුසිල්-සමන් රුසියාවට

ඇතිව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රුසියාවෙන් ලබාගත ගත හැකි සහාය
සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සාකච්ඡා කණ්ඩායමක් ලබන නව වැනිදා රුසියාවට පිටත් කර හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ හිටපු තානාපතිවරයකු වන වෛද්‍ය සමන් වීරසිංහ යන මහත්වරුන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත රුසියාව සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ඉකුත් සතියේ ලිපියක් යැවූ බව ද වාර්තා විය. යුනෙස්කෝ සමුළුවට ගොස් එන සුසිල් ප්‍රේම ජයන්ත මහතා මේ සති අන්තයේ දී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔහු ලබන නව වැනිදා සමන් වීරසිංහ මහතා ද සමග රුසියාව බලා පිටත් වනු ඇත. තෙල් ලබා ගැනීම, ණය ලබාගැනීම, මානුෂීය ආධාර ලබා ලබා ගැනීම ආදී කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.
මෙරට සිටින රුසියානු තානාපතිවරයා ගිය සතියේ ජනාධිපතිවරයාද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු රජයේ ප්‍රබලයන් ද හමුවී සාකච්ඡා කළේය. රුසියාවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා ගැනීමට හැකි මාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත.

හවුල් පක්ෂ හමුව

හවුල් පක්ෂ නවයේ කණ්ඩායම සුපුරුදු පරිදි අඟහරුවාදා හැන්දෑවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී හමුවිය. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා තරමක් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊට සහභාගී නොවීය.


එහිදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කාරණා දෙකකි. පළමුවැන්න වත්මන් දේශපාලන තත්ත්වයයි. දෙවැන්න ඉන්ධන ආනයනය, නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය විදේශීය සමාගම්වලට පැවරීමට ගෙන ඇති කැබිනට් තීරණය යි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී සියලු‍ දෙනාගේම අදහස වූයේ මේ ආණ්ඩුවේ ගමන් මග ඉතා වැරදි බැවින්, ආණ්ඩුව වෙනස් කිරීමට වහා පියවර ගත යුතු බව ය.


මේ කතාබහ අතරේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේය. ඔහු කීවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමා හමුවී කළ ඉල්ලීමක් ගැනය. ආණ්ඩුව වෙනස් කළ යුතු නේදැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාගෙන් විමසූ බව වාසු කීවේය. ඔවුහු ඒ ගැන හවුල් පක්ෂ සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. හවුල් පක්ෂවල සියලු‍ දෙනාගේ අදහස වූයේ මේ සම්බන්ධයෙන් නාමල් සමඟ කිසිදු සාකච්ඡාවකට නොයා යුතු බව ය. ඒ අනුව නාමල්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හවුල් පක්ෂ තීරණය කළේය.

 

චන්ද්‍රිකාත් කරළියට

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද දේශපාලන කරළියට යළිත් අවතීර්ණ වී සිටින බව වාර්තාවේ. ඇය මීට සති කිහිපයකට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඇතුළු කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට ඇත.

 

චම්පිකත් ස්වාධීන කණ්ඩායමට

මේ අතර, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සතියේ චීන තානාපතිවරයා හමුවූහ. චීන තානාපති කාර්යාලයේ පැවති මේ හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, ප්‍රියංකර ජයරත්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් සහභාගි වූහ. චම්පික හා වෙල්ගම හැරුණු විට අනෙක් සියලු‍ දෙනාම එකට වැඩ කළ කණ්ඩායමකි. ඔවුහු සියලු‍ දෙනා ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරු වෙති. මෙහි අලු‍ත්ම තත්ත්වය වන්නේ වෙල්ගම සහ චම්පික එම කණ්ඩායමට එකතු වී සිටීමය. ඔවුන් තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ රට ගොඩ ගැනීම සඳහා උදව් කරන ලෙසය.

රාජකීය දෛවඥයා යළි කරළියට

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ දී රාජකීය දෛවඥයා ලෙස ප්‍රකට වූ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන ඉකුත් සතියේ තලවතුගොඩ ප්‍රධාන පෙළේ හෝටලයක දී සිය උපන් දින සාදය පැවැත්වීය. ඔහුගේ උපන් දිනයට අමතරව ඔවුන්ගේ විවාහ දිවියට වසර හතළිහක් පිරීම ද ඊට නිමිත්ත විය. රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, මනුෂ නානායක්කාර, ශාන් විජයලාල් ද සිල්වා, වීරසුමන වීරසිංහ යන මැති ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයෝ පිරිසක් ද කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. ගීත ගායනයට ලතා වල්පොල සහ අමිත් වල්පොල එක්ව සිටියහ සාදයේදී මනුෂ නානායක්කාර සහ වීරසුමන වීරසිංහ කතා කළහ. මනුෂ කතා කළේ සුමනදාස අබේගුණවර්ධන පදිංචිව සිටින ගාල්ල ප්‍රදේශය වෙනුවෙනි. වීරසුමන සුමනදාසගේ බිරිඳගේ උපන් ගම වන මොරවක ප්‍රදේශය නියෝජනය කරමින් කතාවක් කළේය.”‍ මම දේශපාලනයේ හැම තීන්දුවක්ම ගත්තේ සුමනදාස අබේගුණවර්ධන මහත්තයත් එක්ක දිගටම කතා බහ කරලා. හැබැයි ළඟදී මම ඇමැතිකම ගත්තේ එතුමගෙන් අහලා නෙමේ. මේක මේ අවස්ථාවෙ කලින්ම කිව්වේ අසාර්ථක වුණොත් ඒක සුමනදාස මහත්තයා පිට පටවන්න ලෑස්ති නැහැ කියන එක කියන්නයි ”‍මනුෂ කීවේය.
මේ අතර ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේ දී අනුර යාපා, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසට මහාචාර්ය චරිත හේරත් හමුවිය. අනුර යාපා, චරිතගෙන් විමසා සිටියේ විපක්ෂයේ අපි හැමෝටම එකතු වෙලා එක කණ්ඩායමක් හදන්න බැරි දැයි කියාය. චරිත කිව්වේ මේ ගැන ඩලස් ඇමතිතුමා එක්ක කතා නොකර මුකුත් කියන්න බෑ කියාය.

සරත් වීරසේකරට, අජිත් රාජපක්ෂට ඇබැද්දියක්

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඉකුත් සතියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ගොස් අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඉන්ධන නොමැති බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඔහු වටකරගෙන ඔහුට දෝෂාරෝපණය කරමින් හූ කියන්නට වීම ඊට හේතුවය. හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර මන්ත්‍රීවරයාද එදිනම හවස බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසලදී පිරිසක් වට කරගත්තේ විරෝධය එල්ල කරමිනි. ඔහු කිසිවක් නොකර එම ස්ථානයෙන් පිටව ගියේ රැස්ව සිටි පිරිසගේ හූ සංග්‍රහයක් මධ්‍යයේය.

උදයකාන්ත ගුණතිලකගේ සංවිධායකකම හැලේ

පොහොට්ටුවේ උදයකාන්ත ගුණතිලක මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පසු පෙළ කණ්ඩායමේ සාමාජිකයෙකි. දැදිගම සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඔහු ඉවත් කර ඊට වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර තිබුණේ පොහොට්ටු කාර්යාලයේ ප්‍රධානියකු විසිනි. ඊට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සැර ලිපියක් පොහොට්ටුවේ ලොක්කන්ට සිකුරාදා යවා ඇතැයි වාර්තා විය.

මූල්‍ය අරමුදලෙන් විපක්ෂනායකට  පොරොන්දුවක්

පවතින අර්බුදයෙන් ගොඩ ඒමටත්, අදූරදර්ශී ආණ්ඩුව එළවා දැමීමටත් දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන්නට සමගි ජන බලවේගය තීන්දු කළේය.
ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට දැනුම්දුන් සජිත් ඒ සමගම මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමටද තීරණය කළේය. එහි පළමු අදියර කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී 28 වැනිදා ආරම්භ විය.


ඒ අනුව, නවලංකා නිදහස් පක්ෂය, පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයන් මේ අවස්ථාවට එක්වූහ.
“ආණ්ඩුවේ අත්‍යවශ්‍ය සේවාව වන්නේ ජනාධිපති, අගමැති, මැති ඇමති පුටු ආරක්ෂා කරගැනීම පමණයි. එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවන්වලින් දුක් විඳිනවා”‍ සජිත් කීවේය.
“මේකට තියෙන එකම විසඳුම මේ ආණ්ඩුව එළවා දැමීම.”‍
කුමාර වෙල්ගම කීවේය.


“අනිවාර්‌යයෙන්ම වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ඊට පස්සේ මේ රට ගොඩනගන ආණ්ඩුවක් සමගි ජන බලවේගය විසින් පිහිටුවනවා”‍ සජිත් කීවේය.

 

පක්ෂ නායකයන් පුදුම කළ සජිත්ගේ වැඩ!

මේ අතර විපක්ෂනායක සජිත්ගේ අත්සනින් විපක්ෂයේ මෙන්ම ස්වාධීන වී ඇති සියලු‍ කණ්ඩායම්වලට ලිපියකින් ආරාධනාවක් කරනු ලැබූවේ එකට එක් වී ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කරන්නට ආරාධනා කරමින් ය.


මේ අතර මැතිවරණ කොමිසමේ ලියාපදිංචි පක්ෂ නායකයන් සහ සජිත් අතර හමුවේ දී රටේ පවත්නා තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.


“මේ වෙලාවේ රට තුළ ඉන්න පාලකයෝ කිසි කෙනෙක් ජනතාව පිළිගන්නේ නෑ. ඔබතුමා තවම අත්හදා නොබලපු ප්‍රතික්ෂේප නොවිච්ච නායකයෙක්. එනිසා ඔබතුමා තිරසාර වැඩපිළිවෙළක් හදන්න මේ රට ගොඩනගන්නේ කොහොමද කියලා”‍


පක්ෂ නායකයෙක් සජිත්ට කීවේය.
“ඔබතුමා විපක්ෂයේ ඉඳගෙන ආදර්ශමත් වැඩ කොටසක් කරනවා. විශේෂයෙන්ම හුස්ම සහ සක්වල වැඩසටහන ඒ අතරින් විශේෂයි.”‍


නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර කීවේය.
“මේ වෙනකොට හුස්ම වැඩසටහන් 50ක් කරලා තියෙනවා. කෝටි 14 ක් වටින සෞඛ්‍ය උපකරණ බෙදලා තියෙනවා. සක්වල හරහා කෝටි 17 ක පරිගණක උපකරණ බෙදලා තියෙනවා.”‍ සජිත් කීවේය.
මේ බව ඇසූ එතන සිටි පක්ෂ නායකයෝ විමතියට පත්වූහ.


“ඇත්තටම සමහර දේවල් අදහා ගන්නවත් බෑ. ඔබතුමා විපක්ෂනායකයා හැටියට පුදුමාකාර වැඩකොටසක් කරලා තියෙනවා.”‍ සරත් මනමෙන්ද්‍ර කීවේය.
“සමහර දේවල්වලට ඒ තරම් ලොකු මාධ්‍ය ප්‍රචාරයක් නැහැ. හැබැයි අපි දුන්න දේවල්වලින් ප්‍රයෝජන අරගෙන මේ රටේ මිනිස්සු හුස්ම ගන්නවා. ඒ සතුට අපිට තියෙනවා.”‍ සජිත් කීවේය.
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් රැසක් සමඟ සුවිශේෂී සාකච්ඡාවක් විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. එහි දී වර්තමානයේ අප රට පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ විපක්ෂනායකවරයා කියා සිටියේ නැවතත් රටක් වශයෙන් නැගීසිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස යි.


“මේ වෙලාවේ අපේ රටේ ජනතාව ඉන්නේ පුදුමාකාර අර්බුදයකට මැදි වෙලා. ඔබ දකින්න ඇති, රටපුරා තැන් තැන්වල පෝලිම්. මේ අර්බුදයෙන් ගොඩ එන්න අපේ රටට අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න”‍ සජිත් ඉල්ලා සිටියේය.


දෙපාර්ශ්වය අතර පැයකට වැඩි කාලයක් දීර්ඝ වශයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර එහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පැමිණි පිරිස කියා සිටියේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවය.

ඉන්ධන අර්බුදයට අගමැති කනගාටුවෙන්

බැංකුවක් ඉදිරිපත් නොවීම නිසා ජනතාව අසීරුවට පත්වීම ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ බලවත් කනස්සල්ලට පත්වී සිටියේය.


අග්‍රාමාත්‍යවරයා කඩිනමින් ඉන්ධන ලබාගැනීමට ඉන්දීය රජය සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූයේය. ඊට අමතරව මහ බැංකු නියෝජිතයන් හා තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග ද සාකච්ඡා වට ගණනාවක්ද පැවැත්වීය.


මීට අමතරව අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකානු භාණ්ඩාගර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ලෝකු බැංකු නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් සමගද සාකච්ඡා කළේය. එම අවස්ථාවලට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ සාගල රත්නායක මහතා ද සහභාගී වූහ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් ජනතාවට තොරතුරු ලබාදීම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ සඳහා මේ රටේදීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මධ්‍යස්ථානයටද මාධ්‍යවේදීන් ගෙනගොස් පුහුණුව ලබාදීමට යෝජනා වූ අතර රුවන් විජයවර්ධන මහතා ඊට පූර්ණ සහාය දැක්වීමට එකඟ වූයේය.
මීට අමතරව අග්‍රාමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ ලෝක බැංකු ප්‍රධානීන් සමගද සාකච්ඡා කළේය. මෙහිදී රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විග්‍රහයක් කළේය.

 

එජාප නව සැලසුමක්

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව සැලසුමක් යටතේ පක්ෂ ප්‍රචාරණ කටයුතු ඉදිරියට ගෙන යාමට තීන්දු විය.

 


ඉකුත් බදාදා අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී රටේ පවතින තත්ත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය. මේ අවස්ථාවට රුවන් විජයවර්ධන මහතාද සහභාගි විය.


මේ අතරතුර රුවන් විජයවර්ධන මහතා ඔලුවිල් වරාය සේවක පිරිසක් හමුවූයේය. එම වරාය වාණිජ වරායක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳව එහිදී රුවන් විජයවර්ධන මහතා ධීවර ඇමැතිවරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඒ අවස්ථාවේදීම දුරකතනයෙන් සාකච්ඡා කළේය.


වතුකරයේ ජනතාව නියෝජනය කරමින් කුමාර කුරුබරන් මහතා ඇතුළු පිරිසක් රුවන් විජයවර්ධන මහතා හමුවූ අතර එහිදී කුරුබරන් මහතා විසින් රුවන් විජයවර්ධන මහතාට උපහාර සළුවක් පළඳවනු ලැබුවේය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී මහ බැංකු අධිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමේ ලිපියට අත්සන් තැබීය.

ජවිපෙ නායකයාගේ ප්‍රකාශයට හොඳ ප්‍රතිචාරයක්

අපි රට බාර ගන්න සූදානම්’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා අනුරාධපුරයේදී කරන ලද ප්‍රකාශයට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණි.


පාර්ලිමේන්තුවේ සිටින දහ දොළොස් දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් මගින් මාස 6ක කාලයක් තුළ ජනතාවට සහන ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායකයා කරන ලද ප්‍රකාශයට පක්ෂ හා විපක්ෂ දේශපාලනඥයෝත්, රටේ පොදු ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් ඔහුගේ දුරකතනයට නිවාඩුවක් නොලැබුණු තරම්ය. ඊට අමතරම විවිධ පුද්ගලයෝ ඔහු හමුවීමට පැමිණියහ. රජයේ හිටපු ඇමැතිවරුන් ගණනාවක් අනුර කුමාර දිසානායක මහතාට කතා කර පූර්ණ සහාය දෙන බව ප්‍රකාශ කළහ. මේ රට ස්ථාවර කිරීමට ගන්න වැඩපිළිවෙළට පූර්ණ කාලීනව උදව් කරන බව ඔවුහු ප්‍රකාශ කර සිටියහ. පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව මාතරදී පැවති අතර දෙනියාය, අකුරැස්ස වැනි දුර බැහැර ප්‍රදේශවලින් ජනතාව අත්ට්‍රැක්ටර්, බයිසිකල්වලින් පැමිණ සිටි අතර රාජ්‍ය හා පෞද්ගලික අංශවල කාර්ය මණ්ඩල පාරට බැස රැස්වීමට විශාල සහායක් දැක්වූහ. එහිදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ වැඩිහිටියන්ගේ වැරදිවලට තරුණ කණ්ඩායම දුක්විඳින බවයි. පාර්ලිමේන්තුවේ පසුපෙළ වාඩිවී තරුණයන්ට සහාය දැක්වීමට සූදානම් බවද ඔහු කීවේය.


පානදුර පැවැති රැස්වීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගි විය. මෙහිදී පැයකට අධික කාලයක් ජනතාව ඇමතූ අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව මේ රජය පලවා හැරීමට කටයුතු කළ යුතු බවයි. රජය පලවා හැරීම සඳහා පාරට බහින ලෙසට ඔහු ඉල්ලා සිටියේය. ඒ සඳහා දිනයක් ප්‍රකාශ කරන බවද ඔහු කීවේය.


මෙම රැස්වීම්වලින් පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරය පුළුල් කිරීමට සාකච්ඡා කෙරිණි. ජනතා විරෝධතාව පැවැත්වෙන දිනය විමසා පණිවුඩ ගණනාවක් ලැබී තිබුණු අතර ඒ සඳහා ළඟදීම දිනයක් නියම කර ගැනීමටද මෙහිදී සාකච්ඡා විය.
එවැනි ජනතා විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වීමට ගොවි ජනතාව සූදානමින් සිටින බව නාමල් කරුණාරත්න ප්‍රකාශ කළ අතර ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය හා පෞද්ගලික අංශය මේ සඳහා දැඩි උද්යෝගයකින් පසුවන බවයි. හර්තාලයකට එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.


මීට අමතර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයට වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ හර්ෂ නානායක්කාර, ලක්ෂ්මන් නානායක්කාර ඇතුළු පිරිසක් සහභාගි වූහ.


තානාපතිවරුන් ගණනාවක් අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අපේක්ෂාවෙන් සිටි අතර ඒ සඳහා කඩිනමින් අවස්ථාව ලබාදීමටද ජවිපෙ තීරණය කර ඇත.

 

 

-ගජබා-