අලියා නැතිව හෙණ්ඩුව ති​ෙයන ඇමැතිවරු


 

  • පොලිස් ඇමැතිගේ හිත බැටන් ප්‍රහාරයකට

 

 

ඉකුත් සතියේ කැබිනට් රැස්වීම රටේම අවධානය යොමු වූවකි .ඒ අන් කවරක් නිසාවත් නොව සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට රජය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දුව කුමක් දැයි රටම බලා සිටි බැවිනි. සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා හැන්දෑවේ පැවැත්විණි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවරද කැබිනට් රැස්වීම පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේ ය . ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට ද, සෙසු ඇමැතිවරු අමාත්‍යංශවල සහ සිය නිවෙස්වල සිටද ඊට සම්බන්ධ වූහ. කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡා කරන අතරතුර සී.බී. රත්නායක ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාවක් ද සාකච්ඡාවට ලක්විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සී.බී. රත්නායක කාලයක් තිස්සේ තමන්ට ඇති හිතේ දුක්ගැනවිල්ලක් ද ඉදිරිපත් කරන්නට එය අවස්ථාවක් කර ගත්තේය. 


‘‘රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රශ්නයක් තියනවා. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා හමුවෙන්නවත් බෑ. අඩුමතරමින් මගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හමුවෙන්නවත් දෙන්නෙ නෑ”‍. සී.බී. සිය දුක් ගැනවිල්ල කීවේ දීර්ඝ විස්තරයක් ද කරමිනි .


‘‘එහෙම වෙන්නෙ කොහොමද ? කැබිනට් ඇමැතිට ඕන වෙලාවක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හම්බවෙන්න පුළුවන්.”‍ ජනාධිපතිවරයා කීවේය. සී.බී. යළිත් කතා කළේය. ‘මම මේක මතු කළේ නෑ. මොකද උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා. නමුත් අපට ප්‍රශ්න විශාල වශයෙන් තියෙනවා. මේවා දිගින් දිගටම හිතේ තියාගෙන ඉන්න බෑ. රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්ලා එක්ක වැඩ කරන්න බෑ. ඒ අය අපි කැඳවන සාකච්ඡාවකට එන්නෙත් නෑ.’ සී.බී. රත්නායක කීවේය. ඒ සමඟම ඔහු කීවේ තමාට ඇත්තේ හෙණ්ඩුව විතරක් බවත් අලියකු නොමැති බවත් ය. නිලධාරීන්ගේ ඒකාධිකාරියක් තියෙන බව ද ඔහු කීවේය.


‘නෑ. නෑ. එහෙම වෙන්න බැහැ. මොකද කැබිනට් ඇමැති තමයි වගකියන්න ඕනෑ. ව්‍යවස්ථානුකූලව මුදල් බලය තියෙන්නේ කැබිනට් අමාත්‍යාංශයට’ යැයි ජනාධිපතිවරයා යළිත් කීවේය.


මේ කතාබහට ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද මැදිහත් විය. ‘අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ගැසට් එකක් ගහලා තියනවා අමාත්‍යවරයාට බලතල තියෙනවා කියලා ඒකෙ සඳහන් වුණත් අමාත්‍යවරයා යන්නෙන් අදහස් වන්නේ කවුද කියලා අර්ථනිරූපණයක් නැහැ. ඒනිසා අමාත්‍යවරයා යන්නෙන් අදහස් වන්නේ කවුද කියලා අර්ථනිරූපණයක් නීතිපතිවරයාගෙන් ගන්න ඕනැ. බන්දුල කියද්දී ජනාධිපතිවරයා කීවේ ‘ඒක නීතිපතිගෙන් අහන්න දෙයක් නෑ .මගෙන් ඇහුවා නම් හරි නේ. ඇමැතිවරයා යන්නෙන් අදහස් වන්නේ කැබිනට් ඇමතිවරයා. රාජ්‍ය අමාත්‍යංශවලට විෂය පථයන් වෙන් කළේ වැඩ කරන්න පහසුවෙන්න අවශ්‍ය පරිසරය හදන්න. ඒක සිද්ධ වෙන්නේ නැත්තන් වහාම ඒක නිවැරදි විය යුතුයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථයන්වල අවසන් වගකීම ව්‍යවස්ථානුකූලව කැබිනට් ඇමතිට තමයි තියෙන්නේ.’ ජනාධිපතිවරයා කීවේය . බන්දුල ගුණවර්ධන කීවේ ‘ඕක රාජ්‍ය අමාත්‍යාංවල ලේකම්වරුන්ට දැනුම් දුන්න නම් හොඳයි’ කියා ය.


බන්දුලගේ කතාවට විමල් වීරවංශ ඇමතිවරයා ද හවුල් විය. ‘මට මේ ප්‍රශ්නය මගේ අමාත්‍යංශයට නැහැ. හැබැයි මේ ප්‍රශ්නය ගොඩක් තැන්වල තියෙනවා. ඔබතුමා මේ ගැන ලේකම්තුමා හරහා දැනුම් දුන්න නම් තමයි හොඳ’ යැයි විමල් කීවේය.


‘නෑ නෑ, ලේකම්ලා ඕන නෑ. මම ලේකම්ලා ගෙනල්ලා පැහැදිලි කරලා දෙන්නම්’ යැයි ජනාධිපතිවරයා කීවේ ඔවුන් දැනුවත් කිරීමේ වගකීම බාරගනිමිනි.


මේ අතර සී.බී. කීවේ ‘මම කැබිනට් පේපර් එකක් දාලා මාස තුනක් වෙනවා. තාම ඒක සාකච්ඡාවටවත් ගත්තෙ නෑ’ කියාය. ජනාධිපතිවරයා කැබිනට් ලේකම්වරයාට උපදෙස් දුන්නේ එය ලබන සතියේ සාකච්ඡාවට ගන්න කියා ය. සී.බී. විනාඩි හතළිස් පහක් පමණ තිස්සේ සිය දුක් ගැනවිල්ල කීවේය.


අනතුරුව ජනාධිපතිවරයා පැහැදිලි කරමින් කීවේ රාජ්‍ය අමාත්‍යාංශ වලට විෂයයන් පැවරුවත් ව්‍යවස්ථානුකූලව වගකියන්න ඕනෑ කැබිනට් ඇමැතිවරයා බවය. ‘අමාත්‍යාංශවල දෙගොල්ලම වගකීමෙන් වැඩ කරන්න ඕනෑ’ යැයි ජනාධිපතිවරයා කීවේය.


ඊ ටී එෆ් - ඊ පී එෆ් අධිභාර බද්ද නවතී

 

අනතුරුව අධිභාර බද්ද සම්බන්ධ ප්‍රශ්නය මතු විය. ඒ ගැන මතු කළේ බන්දුල ගුණවර්ධන ය. ‘මට මේ අධිභාරය ගැන පැහැදිලි කරගන්න ඕනෑ. අධිභාරය ගහලා තියෙන්නෙ පුද්ගලයන්ට, සමාගම්වලට හා හවුල් ව්‍යාපාරවලට. පහුගිය ආණ්ඩුව මහින්ද රාජපක්ෂ රජය කාලයේ දීපු බදු නිදහස් සියල්ල අවලංගු කරලා අලු‍ත් පනතක් ගෙනාවා.


සමාගම් යටතට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ආදියත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ අර්ථනිරූපණය හරහා මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ ’ යැයි බන්දුල පැහැදිලි කළේය. අනතුරුව කතා කළේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ය. ඔහු මේ අධිභාරයට එරෙහිව දිගටම සටන් කළ ඇමැතිවරයෙකි. ඔහු ඒ ගැන මාධ්‍ය හමුවලද දිගින් දිගටම විවේචන එල්ල කළේය. ‘වෘත්තිය සමිති හා පෞද්ගලික අංශයේ සේවකයන් අතර ලොකු විරෝධයක් මේකට මතුවෙලා තියෙනවා. 2017 ගෙනා පනතේ අර්ථ නිරූපණය අනුවයි මේ අධිභාර ප්‍රශ්නය මතුවෙලා තියෙන්නෙ. ඒ නිසයි මේ ප්‍රශ්නය මතු වුණේ’ යැයි නිමල් කීවේය.


බන්දුල ගුණවර්ධන ඒ ගැන යළිත් කතා කළේය. ‘මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෑ යහපාලන ආණ්ඩුව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටු කරන්න ගිහිල්ලා තමයි මේකට මේක කරලා තියෙන්නේ’
බන්දුල කියද්දී වාසුදේව නානායක්කාර ද එය තහවුරු කළේය. අනතුරුව කතා කළේ විමල් වීරවංශ ඇමතිවරයාය. ‘විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල අධිභාරයෙන් නිදහස් කියලා දැන්මම රටට කිව්වා නම් හොඳා. පස්සේ කියලා වැඩක් නෑ’ විමල් කීවේය. දිනේෂ් ගුණවර්ධන ද මේ කතාවට හවුල් විය ‘සේවක අර්ථසාධක අරමුදල, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සේවක භාරකාර අරමුදල, ඒව කොම්පැණි විදියට දාන්න හොඳ නෑ.’ දිනේෂ්ගේ අදහස විය.


අනතුරුව මේ ගැන පැහැදිලි කළේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ය. ‘අපි ඊටීඑෆ් එකෙන්, විශ්‍රාම වැටුප් අරමුදලින් අධිභාර බද්දක් ගන්නෙ නෑ. සමාගම් හැට නමයකින් විතරයි අධිභාර බද්ද ගන්නෙ.’ බැසිල් කීවේය. බන්දුල ගුණවර්ධන කීවේ ‘අධිභාර බද්ද අයින් කරන්න කියලා අපි කියන්නේ නෑ. හැබැයි අපි කියන්නේ පහුගිය ආණ්ඩුවේ වරදක් නිසා මේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. ඒ ගැටලු‍ව විසඳන්න කියලයි’ යනුවෙනි . විමල් වීරවංශ, උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල යන ඇමැතිවරු ද මේ ගැන අදහස් දැක්වූහ.
ඊ ටී එෆ් - ඊ පී එෆ් අරමුදල්වලින් අධිභාර බද්දක් පැනවීමට කිසිදු අදහසක් නැති බව බැසිල් කීවේය . අඩුම තරමින් එය අයවැය ඇස්තමේන්තුවේවත් නැති බව ඔහු කීවේය. අයවැය හදද්දි මේවා අයින් කරලයි අපි හැදුවේ. බැසිල් කීවේය


අනතුරුව ජනාධිපතිවරයා කතාකළේය. ‘ගිය ආණ්ඩුව කරපු වරදක් නිසා තමයි මේක වුණේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ ගැන පැහැදිලි කරන්න’ ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.


මේ අතර සරත් වීරසේකර ඇමැතිවරයා ‘සර් මට විනාඩි දෙකක් දෙන්නැ’ යි දිගින් දිගටම ඉල්ලා සිටියේ ය. ‘පහුගිය දවස්වල තිබුණු උද්ඝෝෂණවලින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. අපි උසාවි ගියා. එතනදි කිව්වේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි. උද්ඝෝෂණ තියෙන වෙලාවල්වලට පාරවල් වහන්න වෙනවා. මොකුත් නොකර බලන් ඉන්න එක පොලිසියටත් නින්දාවක්. ඒ නිසා ඔබතුමා කියපු නිසා පොලිසිය බැටන් ප්‍රහාර එල්ලකළෙත් නෑ. කඳුළු ගෑස් ගැහුවෙත් නැහැ. හැබැයි කඳුළු ගෑස්ගැහුවේ නෑ, බැටන් ප්‍රහාර එල්ල කළේ නෑ කියලා හොඳක් වුණේ නම් නෑ’. යැයි සරත් වීරසේකර කීවේය.


ජනාධිපතිවරයා කිව්වේ ‘හොඳක් වුණේ නෑ කියලා කියන්නේ කොහොමද ?. කඳුළු ගෑස් ගැහුවා නම් මට මෙතන ඉන්න හම්බෙන්නෙත් නෑ. ඔයාට ඔතන ඉන්න හම්බවෙන්නෙත් නෑ. කඳුළු ගෑස් ගහන එකවත්, බැටන්චාජ් කරන එකවත් මේවට උත්තර නෙමේ’ යැයි ජනාධිපතිවරයා කීවේය.


සරත් වීරසේකර යළිත් කතා කළේය. ‘ජනාධිපතිතුමනි ඔබතුමා කියන එක හරි. හැබැයි පහුගිය යහපාලනය කාලෙ අපට මතකයි නේ’ වීරසේකර කියද්දී ජනාධිපතිවරයා කීවේ ‘ඔව් මම දන්නවා. අපි ඒක කරන්න යන්න හොඳ නෑ. කදුළු ගෑස් ගහන එකෙන් , බැටන් චාජ් කරන එකෙන් මටයි ආණ්ඩුවටයි බැණුම් අහන්න වෙන්නෙ . ඒ නිසා ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා’ යැයි ජනාධිපතිවරයා සරත් වීරසේකරට යළිත් කීවේය.
‘ජනාධිපතිතුමනි , මම කියන්නේ කඳුළු ගෑස් ගහන්න , බැටන් චාජ් කරන්න කියලා නෙමෙයි, ගුරු වර්ජනයට ඉඩ දුන්නා, ඒකෙන් ස්ටාර්ලින්ලා , මහින්ද ජයසිංහලා ගුරුවරුන්ගේ වීරයෝ බවට පත්වුණා’ යැයි සරත් වීරසේකර කීවේය. ජනාධිපතිවරයා කීවේ ‘රටේ ජනතාව දන්නවා අපියි ඒ වැටුප් ප්‍රශ්නය විසඳුවේ කියලා. ඒ වෙලාවේ කඳුළු ගෑස් ගහලා බැටන් චාජ් කළානම්, ඒගොල්ලො තවත් වීරයෝ වෙනවා’ යනුවෙනි . ”‍සර්, මම කියන්නේ කඳුළුගෑස් ගහන්න ,බැටන් ප්‍රහාර එල්ල කරන්න කියලා නෙමේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලයි.’ වීරසේකර කීවේය. එහෙත් ජනාධිපතිවරයා කීවේ ‘උද්ඝෝෂණවලට බැටන් චාජ් කරන්න, කඳුළුගෑස් ගහන්න කියලා නීතියේ කොහෙද තියෙන්නේ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කට්ටිය උද්ඝෝෂණය කරගෙන මගේ කාර්යාලයකට ආවා. අපි කඳුළු ගෑස් ගැහුවේ නෑ. බැටන් චාජ් කළේ නෑ . ආපු සමහර අය රැල්ල පාගල යනවත් දැක්කා . ඔයා කියන විදියට කඳුළු ගෑස් ගැහුවා නම් මොකද වෙන්නේ , අනවශ්‍ය ප්‍රශ්නයක් එනවා’ යැයි ජනාධිපතිවරයා කීවේය .


අනතුරුව කතා කළේ විමල් වීරවංශ ඇමැතිවරයා ය. ‘ජනාධිපතිතුමනි , අපි මැරිලා ඉපදිලා නෑ, පහුගිය අවුරුදු හතරේ අපි හිටියේ පාරෙ, අපි උද්ඝෝෂණවලට බැස්සේ කඳුළු ගෑස් ගසත්වා, බැටන් ප්‍රහාර එල්ල කරත්වා කියලයි . උද්ඝෝෂණවලට පෙළපාළිවලට ගැහුවොත් තමයි වටිනාකමක් ලැබෙන්නේ’ විමල් කීවේය. මහින්ද අමරවීර, රමේෂ් පතිරණ ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකු ද අදහස් දක්වමින් කීවේ ජනාධිපතිවරයා ගේ අදහස නිවැරදි බව ය. ඒත් සරත් වීරසේකර වැඩේ ඇත ඇරියේ නැත. ඔහු දිගින් දිගටම සිය මතය වෙනුවෙන් පෙනී සිටියේය. අවසානයේ ජනාධිපතිවරයා කිව්වේ ‘ඔයා ඕනනං ගිහිල්ලා කියන්න පොලිස් ඇමති විදියට ජනාධිපතිවරයාගෙන් මෙහෙම ඉල්ලීමක් කළා. හැබැයි මම කොහෙත්ම ඒකට ඉඩ දෙන්නෙ නෑ කිව්ව කියලා’ යනුවෙනි.


රාජ්‍ය ඇමතිකම එපා වූ ලන්සා


ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමැති නිමල් ලංසා ද ගිය සතියේ දේශපාලන කරළියේ දැඩි කතා බහට ලක්වූ චරිතයකි . ඔහු පහුගිය කාලේ ද ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතැම් විවේචන එල්ල කළේය . එසේ වුවද ඔහු ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි බොහෝ දෙනා නොසිතුවේ ඔහු බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට ඉතා සමීප ඇමතිවරයකු ද වන බැවිනි. එසේ වුවද ඔහුට සිය අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ බේරාගන්නට ප්‍රශ්නයක් තිබිණි. ඒ සිය අමාත්‍යාංශයේ එදිනෙදා කටයුතුවලට මුදල් වෙන් කරවා ගැනීමය. එහෙත් අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක කියා තිබුණේ අමාත්‍යවරයා ඉල්ලන ආකාරයට මුදල් නිදහස් කළ නොහැකි බවය. ඉකුත් වසරේ ගෙවීමට ඇති හිඟ බිල්පත් ගෙවීමට ද මේ වසරේ මුදල් යොදා ගන්නා ලෙස මහාභාණ්ඩාගාරය දැනුම්දී ඇති නිසා එයද පියවා ගනිමින් මුදල් නිදහස් කිරීම සිදුකළ හැකි බව ලේකම්වරයා දැනුම් තිබිණි. ප්‍රශ්නය උග්‍ර අතට හැරුණේ ඉකුත් අඟහරුවාදා උදේය. ලන්සාගේ ඉවසීමේ සීමාව පැන්නේ ය . ඔහු සිය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණේ අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්ව යන ලෙස ලෙසය. ඒ අනුව ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයේ සිය බඩුමුට්ටු ඉවත් කර ගත්තේ අමාත්‍යවරයාගේ දැනුම්දීම අනුවය. ඒ සමගම ලන්සා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වන්නට යන බවට ආරංචි පැතිර ගියේය. එය දැනගත් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් නිමල් ලංසාටත් දුරකථනයෙන් කතා කළේය. ඔහු ලංසාට කීවේ ඇතිව තිබෙන ගැටලු‍ව ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර විසදා ගන්නා ලෙසය .
ඒ අතර නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණේ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් අමාත්‍යාංශයකට හෝ වෙනත් තනතුරකට මාරු කරන්නට යන බවය. යන්නට කැමති වෙනත් තැනක් ඇද්දැ යි ආණ්ඩුවේ බලධාරීන් ඔහුගෙන් විමසා ඇති බවද දැනගන්නට ඇත.


ලන්සා සනසන්න ප්‍රසන්න නිවසට යයි


ලන්සාගේ සිද්ධිය දැනගත් වහාම ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් ලන්සා සොයාගෙන ඔහුගේ නිවෙසට ගියේය. ලන්සා දිගින් දිගටම කියා සිටියේ ඔහුගේ අමාත්‍යාංශයේ කටයුතු සඳහා මුදල් ලබා දී නොමැති බව ය. තමා මෙම ඉල්ලීම දිගින් දිගටම කළ ද ඒ සඳහා සතුටුදායක පිළිතුරක් නොලැබුණු බව ඔහු කීවේය. ඔහුගේ දුක් ගැනවිලි අසා සිටි ප්‍රසන්න කීවේ තමා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ය. එතෙක් කලබල නොවී ඉන්නැයි උපදෙස් දුන් ප්‍රසන්න ලන්සාගේ දුක්ගැනවිල්ල ජනාධිපතිවරයාට ගෙන යන්නට බාරගත්තේ ය.


හවුල් පක්ෂ නායකයෝ විමල්ගේ ගෙදර


මේ අතර , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ ගිය සතියේ අඟහරුවාදා විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල නිවසේ දී රැස්වූහ. අතුරලියේ රතන හිමියෝ ද , වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ , ජයන්ත සමරවීර, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස් , විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ . එහිදී වැඩි අවධානයක් යොමුවූයේ ලබන මස මුලදී එළිදක්වන්නට යන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන නව යෝජනාවලිය සම්බන්ධයෙනි . ඒ සම්බන්ධයෙන් රටේ දැඩි උනන්දුවක් ඇතිවන ලෙස කටයුතු කළ යුතුය යන්න සියලු‍ දෙනාගේ අදහස විය. මේ අතර සේවක අර්ථසාධක අරමුදලින් හා භාරකාර අරමුදලෙන් සියයට 25ක් අධිභාර බද්දක් පැනවීමට ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ආණ්ඩුව එය ඉවත් කර ගැනීමට තල්ලු වූ බව ද ඔවුහු කියා සිටියහ


හසලක දී සජිත්ට හමුවූ අමුත්තා!


පසුගිය 13 වැනිදා පෙරවරුවේ උඩුදුම්බර හසලක දී පැවැති සමගි ජන ජනබලවේගයේ ජනහමුවකට විපක්ෂ නායක සජිත් එක්විය. ජනහමුවට පෙරාතුව හසලක නගර මැද ඉදිකොට ඇති ගාමිණී කුලරත්න රණවිරුවාගේ පිළිරුව සහ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද සජිත් එක්විය. එතැනට විශේෂ අමුත්තෙක් ද පැමිණ සිටිනු දැකිය හැකි විය. එය රණවිරු ගාමිණී කුලරත්නගේ මෑණියන්ය. ඇය සමග සුහද පිළිසඳරක යෙදුණු සජිත්”‍ මම අම්මගේ ගෙදරට එනවා”‍යැයි කීවේය.


සජිත් ජනහමුවට සහභාගී වූයේ ඉන් අනතුරුව ය. අති විශාල ජනකායක් ඊට සහභාගී වී සිටියහ.
එම රැස්වීමෙන් පසුව සජිත් රණවිරු ගාමිණී කුලරත්නගේ නිවසට ගියේය. ඒ ඔහුගේ මවට වූ පොරොන්දුව ඉටු කරමිනි.


‘‘අපි කරනවා සක්වල කියලා වැඩසටහනක්. ඒකෙන් කරන්නේ දුෂ්කර පාසල් වල දරුවන්ට ඉගෙන ගන්න පරිගණක තියෙන පන්ති කාමර හදන එක.”‍


සජිත් එහෙම කියන විට රණවිරු ගාමිණී කුලරත්නගේ මව උනන්දුවෙන් අසා සිටියාය.
‘‘මම ඊළඟ සක්වල වැඩසටහන අරගෙන එන්නේ හසලකට. අපි ගාමිණී කුලරත්න රණවිරුවා වෙනුවෙන් හසලක ඉස්කෝලෙට පරිගණක පරිත්‍යාග කරමු”‍ සජිත් එහෙම කියන විට රණවිරු ගාමිණී කුලරත්න ගේ මවගේ ඇස් සතුටින් දිලිසෙන්නට විය.


සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව සජබ පෙරට!


පසුගිය සතිය මාධ්‍යයට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ට යහපත් සතියක් වුණේ නැත.
ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට රාත්‍රියේ එල්ල වූ මැර ප්‍රහාරය ගැන සජිත්ට සැලවීමත් සමග ඔහු ඒ පිළිබඳව වහාම සොයා බලන්නට අමතක නොකළේය. ඒ වනවිටත් සජිත් සිටියේ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයකය.


මුලින්ම චමුදිතට දුරකථනයෙන් ඇමතූ සජිත් බොහෝ තොරතුරු ලබා ගත්තේය. අනතුරුව ඔහු පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මෙන්ම පක්ෂයේ නීති මණ්ඩලයද ක්ෂණිකව සම්බන්ධ කරගත්තේය.
‘‘මේක නින්දිත වැඩක්. වහාම මේ ගැන පක්ෂයෙන් ප්‍රකාශයක් කරන්න. අපේ ලෝයර්ස්ලා දාලා චමුදිතට උදව් කරන්න. වහාම මේකට පරීක්ෂණයක් පවත්වන්න කියන එක අවධාරණය කරන්න”‍ සජිත් උපදෙස් දුන්නේය.
අනතුරුව සජිත් සිය මාධ්‍ය අංශයට උපදෙස් දුන්නේ තමන්ගේ නමින් ද විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන ලෙසය. එයින් නොනැවතුණු සජිත් නැගෙනහිර සිට විශේෂ ප්‍රකාශයක් ද ලබා දුන්නේය.
තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ශිහාන් මාලක සහ මනෝරම වීරසිංහ දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබීම ගැන සැල වීමත් සමඟම සජිත් ඔවුන් සමග කතා කළා පමණක් නොව අවශ්‍ය නීති සහාය ලබාදීමට ද කටයුතු කළේය.

 


දෛවයේ සරදම ගැන සජිත් කී කතාව

 

 

 

 

 


ණයට ඩීසල් රැගත් නැවක් පසුගියදා ලංකාවට පැමිණීමත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගැනීමත් එක් අතකින් දෛවයේ සරදමක් විය.
‘‘ණයට ඩීසල් රැගෙන නැවක් ඊයේ ආවා.


ඇමැතිවරු දෙන්නා ගිහිල්ලා උත්සවයකුත් තියලා මේ ණයට ලැබුණු තෙල් නැව පිළි අරගෙන”‍ ගයන්ත කීවේ සිනාසෙමිනි.


‘‘ණයට හම්බවෙච්ච ඩීසල් නැව් උත්සව තියලා පිළිගන්න රටක්නෙ මේක”‍
අශෝක් අබේසිංහ කීවේය.


‘‘දෛවයේ සරදම තමයි මේ”‍


සජිත් එහෙම කියන විට මන්ත්‍රීවරු සජිත් දෙස බැලු‍වෝය.


‘‘ඇයි, ඉන්දියානු ණය ආධාර යටතේ අපේ කාලේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝදි අගමැතිතුමා ලංකාවට එනකොට එදා කළු කොඩි දාන්න කියපු ඇමැති තමයි මෙදා ණයට ලැබුණු ඩීසල් නැව පිළිගන්න ගියේ. එදා ආධාර විදිහට ලැබුණ නිවාස ව්‍යාපෘතිවලට කළු කොඩි දැම්මා. මෙදා ණයට ලැබුණු ඩීසල් ටික ගන්න උත්සවයකුත් තිබ්බා.”‍


සජිත් එහෙම කියන විට සියලු‍ දෙනාටම සිනහව නවතා ගත නොහැකි විය.
‘‘අලු‍ත්ම ආරංචියක් තියෙනවා.”‍ හර්ෂ ද සිල්වා පැමිණියේ එහෙම කියමින්ය.
ඊ.පී.එෆ්. එකටයි ඊ.ටී.එෆ්. එකටයි අත තියන්නේ නෑ කියලා බැසිල් කියලා”‍ හර්ෂ කීවේය.
‘‘ඒ කියන්නේ අපේ අරගලය නිසා ආණ්ඩුව අන්තිමේට එක රිවස් කරගෙන?”‍ මහලේකම් රංජිත් වැසුවේය.
”‍විපක්ෂ නායක තුමා මේක පාර්ලිමේන්තුවේදී ඇහුවට පස්සෙ ආණ්ඩුව ගැස්සුනා. හතර වටින් අපි උද්ඝෝෂණ තියලා මේකට විරුද්ධව වැඩපොළට බහිනකොට ආණ්ඩුවට උණ ගැනුණා”‍ ඉරාන් කීවේය.
‘‘ඇත්තටම ඒක තමයි වුණේ දැන් ආණ්ඩුව ඉන්නේ ගලේ පහරපු බළල්ලු වගේ”‍
ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘‘හැබැයි අපි විමසිල්ලෙන් ඉන්න ඕනෑ. ඔය රිවර්ස් එක වෙන විදිහකට ඩබල් වෙලා ආපහු එන්න බැරි නෑ”‍
සජිත්ගේ කතාව හැමෝම අනුමත කළහ.


‘‘ඒකාන්තවම තවත් සතියක් යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දානවා.”‍ හර්ෂ අනාවැකියක් කීවේය.


‘‘අනිවාර්යයෙන් ඒක තමයි මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම. දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතුයි කියලා. සංස්ථාව ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් 121කට වන අතර එය රුපියල් 169 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද යෝජනාවේ සඳහන් වෙනවා.”‍ ඉරාන් කීවේය.


”‍දැන් ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු කියනවා වැඩ වර්ජනය කරන විරෝධතා තියන අයට විරුද්ධව පොලු‍ අතට ගන්නලු‍.”‍


නලින් බණ්ඩාර එහෙම කීවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ය.
‘‘ජනතාව පොලු‍ අතට ගන්නේ කාට විරුද්ධව ද කියලා බලාගන්න පුළුවන් ඉතාම ඉක්මනින් මැතිවරණයක් තිබ්බම.”‍


මනුෂ සිනාසෙමින් උත්තර දුන්නේය.


‘‘ඒක ඇත්ත, මැතිවරණයකදී බලමු කාට විරුද්ධව ද ජනතාව පොලු‍ අතට ගන්නේ කියලා.”‍


ඩොලර් හිඟයට තවමත් විසඳුමක් නෑ -එජාප නායක


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ පැවැති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ වාර්ෂික පෙරහරේ පළමු දින මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට සහභාගී විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාව සිදු විය.


පසුවදා වීඩියෝ තාක්ෂණය මගින් ​කොළඹදී ප්‍රකාශයක් කළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඩොලර් හිඟයට හෝ රුපියල් හිඟයට කිසිදු විසඳුමක් මෙතෙක් ලැබී නැති බවයි.
මේ යන ආකාරයට ඩොලරයේ අගය රුපියල් 300 දක්වා අව ප්‍රමාණය වීමට හැකියාව තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.


මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනකු සමග සාකච්ඡා කළ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජය භාෂණයේ නිදහස ආරක්ෂා කරන ආකාරය කනගාටුදායක බව ප්‍රකාශ කර සිටියේය.


මේ අතර අසනීපයෙන් පසුවූ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතිය පුරාම විවේකීව කාලය ගත කළේය.


කරු ආර්ථික අර්බුදයට විසඳුම කියයි


පසුගිය සතියේ මේ රටේ විරුද්ධ පක්ෂ නායකයන් රාශියක් එකට එක්වී සිදුකළ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. අද වන විට රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා එයට විසඳුම් ලෙස රජය යොමුවිය යුතුව ඇති ප්‍රවේශය කුමක්ද යන්න එම සාකච්ඡාවට පාදක වූ ප්‍රධාන මාතෘකාව විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර්. සම්බන්දන්, එස්. සුමන්තිරන්, රවුෆ් හකීම්, ශානක්‍ය රාසමානික්කම්, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන දේශපාලන පක්ෂ නායකයෝ හා නියෝජිතයෝ මෙම රැස්වීමට එක්ව සිටියහ. එම සාකච්ඡාවට එක්ව සිටි දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන එකම නායකයා වූයේ කරු ජයසූරිය මහතාය. එහිදී රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ප්‍රධාන කරුණු 4ක් ඇතුළත් යෝජනාවලියක් ද රජයට ඉදිරිපත් කෙරිණ.

 

 

 

 

-ගජබා-