21 ගේන්න - පරද්දන්න දේශපාලන මෙහෙයුම්


ආර්ථික අර්බුදයත් සමඟ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය දවසින් දවස ඔඩුදුවන තත්ත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ රටම බරපතළ අර්බුදයකට ඇද දමමිනි. එය කොතනින් කෙළවර වේදැයි පූර්ව නිගමනයකට ආ නොහැකි නමුත් එය දේශපාලන පක්ෂවල පැවැත්ම පවා අභියෝගයට ලක් කරන බව නම් පැහැදිලිය. දිනෙන් දින වර්ධනය වන දේශපාලන සංසිද්ධි තුළ තිබෙන්නේ ද එම අවිනිශ්චිත සහ අර්බුදකාරී තත්ත්වය බව පැහැදිලිය.


ආර්ථික අර්බුදයත්, දේශපාලන අර්බුදයත් අතර යළිත් කතාබහට ලක්ව තිබෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙනි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඇතුළත් විසිඑක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට රජයේ මෙන්ම සෙසු දේශපාලන පක්ෂවල ද උනන්දුවක් ඇතිව තිබෙන බව පෙනෙන්නට තිබේ. දැනට සාකච්ඡා වෙමින් තිබෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කරන ලද්දක් නොවන නමුත්, අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන ලද්දකි. එය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නටද ආණ්ඩුව තීරණය කර ඇත. අදාළ කෙටුම්පත විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් සතියේ සඳුදා පැවති පළමු කැබිනට් රැස්වීමටම ඉදිරිපත් කරන ලදී. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර, එය සියලු‍ම දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කර, කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කරන්නට තීරණය විය.

 

 

හවුල් පක්ෂ අගමැති හමුවෙයි

ආණ්ඩුවේ හවුල් පක්ෂ නවයේ පක්ෂ නායකයන් බ්‍රහස්පතින්දා හවස අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැතිවරයා හමුවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුවය. එහි මුඛ්‍ය අරමුණ වූයේ විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නවයේ නායකයන් දැනුවත් කිරීමය. 
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට යාමට පෙර හවුල් පක්ෂ නායකයෝ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී එදින දහවල් රැස්වූහ. අගමැතිවරයා සමග කෙරෙන සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක් කරන කරුණු සම්බන්ධයෙන් කතාබහ කිරීම එම සාකච්ඡාවේ අරමුණ විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. විජයදාස රාජපක්ෂ ඇමතිවරයා මෙම පනත් කෙටුම්පත සකස් කිරීම හවුල් පක්ෂවල සහභාගීත්වයෙන් ද යුතුව කලින් සිදු කර ඇති නිසා, ඒ සම්බන්ධයෙන් සහාය දැක්වීම ගැටලු‍වක් නොවන බව ඔවුන්ගේ අදහස විය. එසේ වුවද තවත් සංශෝධන කිහිපයක් ඇතුළත් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා වන යෝජනාවලියක් ද අගමැතිවරයාට බාර දෙන්නට පක්ෂ නායකයෝ තීරණය කළහ. ඒ අනුව පක්ෂ නායකයෝ එදින පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අගමැතිවරයා හමුවූහ. විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත සම්බන්ධයෙන් දැනට තිබෙන සාකච්ඡා සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආකාරය සම්බන්ධයෙන් අගමැතිවරයා පක්ෂ නායකයන් දැනුවත් කළේය. හවුල් පක්ෂවල නායකයෝ එහිදී ප්‍රධාන කාරණා කිහිපයක් මතු කළහ. ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමේදී කාරක සභා අවස්ථාවේ, පක්ෂ නායකයන්ගේ එකඟතාවකින් තොරව වෙනත් සංශෝධන ඉදිරිපත් නොකළ යුතු බව ඉන් එකකි. අනෙක මේ සංශෝධන, පනත සම්මත වූ දා සිටම ක්‍රියාත්මක වන පරිදි කටයුතු කිරීමය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් එහිදී පක්ෂ නායකයින් වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබිණි. ඔවුන් කීවේ එය ද පනත සම්මත වූ දා සිට ක්‍රියාත්මක විය යුතු බවය. විසිඑක්වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා තම පක්ෂවල සහාය ලබාදෙන බව ඔවුහු අගමැතිවරයා හමුවේ පොරොන්දු වූහ. මේ අතර, අගමැතිවරයා විසිඑක්වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු‍ම පක්ෂවල නායකයන් සිකුරාදා පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

 

ශ්‍රීලනිපයේ තව 4 ක් ආණ්ඩුවට

ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිටින්නේ අර්බුදයකට මැදිවෙලා ය. ආණ්ඩුවට කලින් සම්බන්ධ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙදෙනා හැරුණු විට නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන දෙදෙනා ද මේ වන විට ආණ්ඩුවට එක්වී ඇමති ධුර වලකටයුතු කරති. ඔවුහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුය. 


ආණ්ඩුවේ තනතුරු බාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන ඇතත් මේ දෙදෙනා එම තීරණයට පරිබාහිරව ගොස් ආණ්ඩුවේ තනතුරු ගත්තද, ඔවුන් සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඔවුන් දෙදෙනාට අමතරව තවත් මන්ත්‍රීවරුන් 4 දෙනකු ද අද හෙටම ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතය. ඒ, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්ප කුමාර යන සිව් දෙනාය. ඔවුන් සියලු‍ දෙනාට ද රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයි දැන ගන්නට ඇත. ඒ අනුව පක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් අතරින් වැඩි දෙනකු ආණ්ඩුවට සම්බන්ධ වනු ඇත. ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීන්දුවක් ගෙන නැත්තේ එමගින් පක්ෂයටද හානිදායක වන නිසා වන්නට ඇත .


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී රැස්වූයේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ය. එහි විශේෂත්වය වූයේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින සහ සම්බන්ධ වීමට නියමිත මන්ත්‍රීවරුන් කිහිප දෙනා ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටීම ය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිස ඊට සහභාගි වූහ. ආණ්ඩුවට සම්බන්ධ නොවිය යුතුය යන අදහසේ දැඩිව සිටින ශාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල, ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එදින සාකච්ඡාවට සහභාගී වූයේ නැත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටි නමුත්, ආණ්ඩුවේ තනතුරු ගත් මැති ඇමැතිවරුන් ද ඊට සහභාගිවීම සම්බන්ධයෙන් ඔහු සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. ඒ බව හොඳින් ම පෙනුනේ සාකච්ඡාව අවසන් වී පිටව යන අවස්ථාවේ දීය. පක්ෂය ගන්නා තීන්දු සම්බන්ධයෙන් එළියට විත් මාධ්‍ය හමුවේ වෙනදා ප්‍රකාශ නිකුත් කරන්නේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාය. එහෙත් මෙවර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකළේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන දෙදෙනාය. ජයසේකර මන්ත්‍රීවරයා අනුගමනය කළේ මගහැර යාමේ ප්‍රතිපත්තියකි. ඔහු එදින පක්ෂ මූලස්ථානයෙන් පිටත්ව ගිය නොරුස්නා ස්වභාවයෙන් එය හොඳින්ම පැහැදිලිය. නිමල් සිරිපාල හා මහින්ද අමරවීර දෙදෙනාම කියා සිටියේ විසිඑක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව ය.
ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එහි සිටි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ නමුත් ඔහු කිව්වේ දැන්ම යමක් කිව නොහැකි බවය.
නිමල් සිරිපාල හා මහින්ද අමරවීර ආණ්ඩුවේ තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ සභාපතිවරයා කලින් නිකුත් කළ නිවේදනයෙන් ද කියා සිටියේ, පක්ෂය තනතුරු භාර ගැනීමට තීරණය කර නොමැති බවය. තනතුරු බාර ගත් අය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි ඔහු පැහැදිලි කර තිබුණේද නැත.

 

21 ට පොහොට්ටුවේත් මතගැටුම්

විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂය ද සිටින්නේ දැඩි අර්බුදයකය. එහි වැඩි දෙනකු විසි එක්වන සංශෝධනයට සහාය දීමේ සූදානමක සිටින නමුත්, කිහිප දෙනකු ඊට විරුද්ධ මතයක සිටින බව දැනටමත් වාර්තා වී ඇත. 


ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය සහ ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයාට පැවරීම සම්බන්ධ කාරණයේ දී පොහොට්ටුවේ පිරිසක් ඊට විරුද්ධ අදහසක සිටින බව පැවසේ. පක්ෂයේ ප්‍රබලයකු ද එම අදහසේම සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව, පොහොට්ටුවේ පිරිසක් 21 ට පක්ෂව ඡන්දය දෙද්දී, තවත් පිරිසක් ඊට විරුද්ධවීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේත් නොමැති නම් තවත් පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටීමට ඉඩ ඇත.


පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් නෙළුම් මාවත කාර්යාලයට ඉකුත් බ්‍රහස්පතින්දා කැඳවා තිබිණි. විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබූ බව වාර්තා විය. දැනගන්නට ඇති පරිදි, ඊට සහභාගි වූ පිරිස විසි දෙකක් පමණ වෙයි. රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ජයන්ත කැටගොඩ, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ඊට සහභාගි වූ බව පැවසෙයි.
පොහොට්ටුවේ මත ගැටුම් හේතුවෙන් පිරිසක් ඉන් ඉවත් වීමේ සූදානමක් තිබෙන බවටද වාර්තා වෙමින් තිබේ. එම පිරිස පොහොට්ටුවේ පසුගිය කාලයේ ක්‍රියාකාරීත්වය මෙන්ම, පසුගිය කාලයේ ආණ්ඩුව ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් ද දැඩි කලකිරීමකට පත්ව සිටින පිරිසක් බව දැනගන්නට ඇත. අලු‍තින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ පිරිස දැඩි උනන්දුවකින් පසුවන බවද වාර්තා වේ.
ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟය රට මේ මොහොතේ මුහුණ දී තිබෙන බරපතළම අර්බුද තුනකි. මේ අර්බුද තුන විසඳීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. මේ අතර, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගිය සතිය පුරාම වරින් වර හමුවී ඔවුන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. රට මුහුණ දී තිබෙන ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයට පිළියමක් ලබා ගැනීම සsඳහා උදව් කරන්නැයි ඔහු ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානී ඇනා සිංගර් මහත්මිය මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට සිටින ප්‍රධානීන්, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු ප්‍රබල රටවල් ගණනාවක තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ද පසුගිය සතියේ හමුවූ ජී.එල්. දිගින් දිගටම ඉල්ලීමක් කළේ ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා උදව් කරන ලෙසය. ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා කෙටිකාලීනව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ඔහු එහිදී ඔවුන්ගේ අවධානය යොමු කරවීය.

 

එළියට දාන්න එපා කී  හරීන්ගේ-මනුෂගේ  ඡායාරූප එළියට ආ හැටි

ඉකුත් සතියේදී දිවුරුම් දුන් කැබිනට් ඇමැතිවරුන් අට දෙනා අතර, සමගි ජන බලවේගයෙන් එක්වූ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර යන දෙදෙනා දිවුරුම් දීම සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් ඇති විය. ඊට හේතුව ඔවුන් දෙදෙනා දිවුරුම් දීම සම්බන්ධ ප්‍රශ්නයක් නොව, දිවුරුම් දී පැමිණ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකි. එම ප්‍රකාශය කර පැයක් යන්නටත් පෙර, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න රට හමුවේ නිරුවත්වීම හරහා මේ රටේ දේශපාලනය තිබෙන්නේ කොතැනද යන්න ජනතාවට තේරුම් ගත හැකි විය. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තිබෙන අප්පිරියාව හා හිරිකිතය හේතුවෙන් තමන් සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මූණවත් නොබලා අහක බලාගෙන පත්වීම් ලිපිය ගත් බව හරීන් මාධ්‍ය හමුවේ කීවේ හැඟු‍ම්බර ප්‍රකාශයක් කරමිනි. ඒත් ඒ ප්‍රකාශයේ වලංගුභාවය තිබුණේ විනාඩි කිහිපයක් පමණි. හරීන් සහ මනුෂ දිවුරුම් දී කොටුව ජනාධිපති මන්දිරයෙන් එළියට එද්දී ජනාධිපති මාධ්‍ය අංශයට දැනුම් දී තිබුණේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් නොකරන ලෙසය. ඒ අනුව එම ඡායාරූප නොමැතිව අනෙකුත් ඇමැතිවරුන් දිවුරුම් දීම පමණක් මාධ්‍යයට නිකුත් කරන්නට මාධ්‍ය අංශය පියවර ගත්තේය. එහෙත් හරීන් සහ මනූෂ මාධ්‍ය හමුව කැඳවා කළ ප්‍රකාශයේ උණුසුම යන්නටත් පෙර, හරින්ලාම එපා කී දිවුරුම්දීමේ පින්තූර දෙකම මාධ්‍යයට නිකුත් කරන්නට ජනාධිපති මාධ්‍ය අංශය වගබලා ගත්තේය. ඔවුන් දෙදෙනා සිනාමුසු මුහුණින්, ජනාධිපතිවරයා සමඟ කතාබහ කරමින්, පත්වීම් ලිපි ගන්නා ඡායාරූප මාධ්‍යයට නිකුත් වීමත් සමග රටේ දේශපාලකයන් ජනතාව සමඟ සෙල්ලම් කරන්නේ කෙසේද යන්න රටටම දැන ගැනීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත.

 

අගමැතිකම නොගත් හේතු සජිත් කියයි

විපක්ෂ නායක සජිත් පසුගිය සතියේ ආරම්භ කළේ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කළ නියෝජිත පිරිසක් මුණගැසෙමිනි.


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අද වන විට මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව සහ එම තත්ත්වයෙන් සංචාරක කර්මාන්තය ගොඩ ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් එහිදී ඇතිවිය. ඊට පසු දින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය හමුවීමට ද සජිත් කටයුතු කළේය.
වර්තමානයේ පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුකොටගෙන ළමා පරපුර මුහුණ දී සිටින ගැටලු‍ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස සජිත් එම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.


එදිනම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හනා සිංගර්, මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් හමුවීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.
මේ අතර සජිත්, සිරගතව සිටින රංජන් රාමනායක බැලීමට නැවත වතාවක් වැලිකඩ සිරමැදිරියට ගියේය.
‘රන්ජන් රාමනායක කිසි විටක කිසිවෙකුට සිය ආත්මය පාවා දුන්නේ නෑ. රන්ජන් කියන්නේ සත්‍යවාදී ජනතා නියෝජිතයෙක්. සිරදඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත්තා’
සජිත් ඉදිරිපිට රැඳී සිටි මාධ්‍යවේදීන්ට කීවේය.


‘උන් ඔක්කොම යාළුවෝ මල්ලි”‍ කියලා තමයි ඒ දවස්වල රන්ජන් කීවේ. මේ මොහොතේ නැවතත් ඒ කතාව සිහිපත් වෙනවා”‍


සජිත් වැඩිදුරටත් කීවේය.


සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවතියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.
සමගි ජන බලවේගයේ තීන්දුවට පිටුපා යමින් ස්වාධීන වී ආණ්ඩුවට සහයෝගය දෙන්නට ගිය හරින් සහ මනුෂ සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය විවිධ අදහස් ඉදිරිපත් කරනු ලැබීය.
‘ඔබතුමා ගත්ත තීන්දුව සියයට සියයක් නිවැරදි කියල අද වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. මේ ආණ්ඩුව කරන්නේ සම්පූර්ණ ප්‍රෝඩාවක් බව දැන් මුළු රටම දන්නවා”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
‘සමහරු කියනවා ඔබතුමා අගමැතිකම ගන්න ගියා කියලා. හැබැයි ඒ අය අමතක කරනවා අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියන කොන්දේසිය උඩ කියලා’
හෙක්ටර් අප්පුහාමි කීවේය.


‘අද වෙලා තියෙන්නේ, සම්පූර්ණයෙන්ම රාජපක්ෂලා ආපහු කරළියට එන එක. බිත්තියට හේත්තු වෙච්චි ගෝඨාභය ආපහු සුරක්ෂිත කළේ කොන්දේසි විරහිතව ගිහින් එයාලට සහාය දුන්න රනිල් වික්‍රමසිංහ නිසා’ නලින් බණ්ඩාර කීවේය.


‘එයා ඉතිං හැමදාම රාජපක්ෂලාගේ ගැලවුම්කාරයා. ආරක්ෂකයා. හැබැයි අපිට දුක අපි බොහොම ආදරයෙන් හිටපු අපේ දෙන්නෙකුත් ඒ ආරක්ෂකයින්ගේ ගොඩට එකතු වෙච්ච එක ගැන’ චමින්ද විජේසිරි කීවේය.
‘අද වෙනකොට ජන අරගලය දිය කරලා හරින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඒක හරහා රාජපක්ෂලාට අාපහු රැකවරණය ලැබෙනවා. පක්ෂයේ මතයට පිටින් ගිය කිසිම කෙනෙක්ට බුරුලක් දෙන්න එපා’කාවින්ද ජයවර්ධන කීවේය.


‘සමහරු කියනවා මම අභියෝග බාර ගන්න බයයි කියලා. තමුන්නාන්සේලාට මතක ඇති යහපාලන කාලයේදී මට අගමැතිකම ගන්න කියල කියනකොට අදට වඩා එදා රට හොඳ තැනක තිබ්බේ. හැබැයි එදා මම ඒක නොගත්තේ ඒ වෙලාවේ ඒක ව්‍යවස්ථානුකූල නැති නිසා. ඒ වගේම නීත්‍යානුකූල අගමැතිවරයා හිටපු නිසා. ඒ විතරක් නෙවේ, මම මගේ නායකයාට පිහියෙන් අනින දුෂ්ට මිනිහෙක් නොවෙන නිසා. අදත් ඒකම තමයි. පස්සා දොරෙන් අගමැතිකම් ගන්නවත් තනතුරු ගන්නවත් මට පුළුවන්කමක් නෑ. මහජන නියෝජිත තනතුරු දෙන්නේ ජනතාව. ජනතාවගේ පරමාර්ථවලට පිටින් ගිහිල්ලා වැඩ කරන්න මට බෑ. ඒ විතරක් නෙවෙයි, මගේ කිසිම මන්ත්‍රීවරයෙක් අහිමි කරගන්න මම කැමති නෑ. අපි හැමෝම වැඩ කළේ එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණේ දී විවිධ මත ගැටුම් තිබුණා. හැබැයි ඒ සේරටම වඩා අපේ අරමුණ වැදගත් වුණා. මේ රටේ ජනතාව කීවේ ගෝඨාභයට ගෝ හෝම් කියලා. මේ රටේ ජනතාව කිව්වේ රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. හෘද සාක්ෂියක් තියෙන මනුස්සයෙක් හැටියට මම කොහොමද ඒක පාවලා දෙන්නේ”‍ සජිත් දීර්ඝ වශයෙන් කීවේය.


‘ඔබතුමා ගත්ත මතය හරි කියන එක අද ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි දැන් කළ යුත්තේ ඉතාම ඉක්මනින් පක්ෂය ප්‍රතිසංවිධානය කරලා මේ රටට ජයග්‍රහණ අත්පත් කරලා දෙන එක’ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
ඒ අනුව රට පුරා නැවතත් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමටත් දිස්ත්‍රික් මට්ටමෙන් ශක්තිමත් ලෙස රජයට එරෙහි විරෝධතා තීව්‍ර කිරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

 

බෙහෙත් සොයන්න  අගමැති අත ගසයි

 

 රටේ ජනතාවට දැඩිව දැනෙන ගැටලු‍වලට විසඳුම් ලබාදීම සඳහා පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතිය පුරා දිවා රාත්‍රී නොබලා දැඩි වෙහෙසක් ගත්හ.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන රටේ ඖෂධ හිඟයට පිළියම් සෙවීමට පත් කළ දා සිටම ඔහුට අධික වැඩ තිබුණි. ඉකුත් සඳුදා සෞඛ්‍ය සමාලෝන රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. සෞඛ්‍ය හා ඖෂධ අංශවල සියලු‍ ප්‍රධානීන් එයට කැඳවා තිබුණි. එහිදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තරය ඖෂධ ලබාදීමට එකඟවී සිටින නිසා නියමාකාරයෙන් හිඟ ඖෂධ ලැයිස්තුවක් කඩිනමින් ලබාදිය යුතු බවයි. එම ලැයිස්තුව කඩිනමින් ලබාදීමට මෙහි දී සෞඛ්‍ය අංශ එකඟ විය.


මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ අඩු වියදමින් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පැවරුවේය.
රටට අවශ්‍ය සේලයින් මුළු ප්‍රමාණයම දැන් මෙරට නිෂ්පාදනය කරන බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා ඒ ආකාරයට මෙරටදීම නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග නිපදවීම ආරම්භ කිරීමට පියවර ගතයුතු බව පෙන්වා දුන්නේය.


ඖෂධ පාලන අධිකාරියේ ලියාපදිංචිය වෙනුවට කමිටුවක් මගින් ඖෂධ සපයන්නන් ලියාපදිංචි කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා විය.
ඉන්දිය ආධාර යටතේ ලබා දුන් වියළි ආහාර පැකට් ලක්ෂ 40ක ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දුගී දුප්පත් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ගිය සතියේ දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා තමන් එවැනි ආහාර පැකට් ලක්ෂ 40ක් ලබා ගැනීමට ද සාකච්ඡා කරන බවත් එහිදී ප්‍රකාශ කළේය. රටේ සිටින ලක්ෂ 80ක් වූ දුගී දුප්පත් ජනතාවට එම වියලි ආහාර ලබාදීම ඔවුන්ට විශාල සහනයක් බවද පෙන්වා දුන්නේය.


ඉන්ධන, ගෑස් හා ඖෂධ නිසි පරිදි නොලැබීම පිළිබඳවද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අනාවරණය වී ඇත්තේ ණයවර ලිපි කල් ඇතිව නිකුත් නොකිරීම නිසා ඉන්ධන හා ගෑස් බරපතළ ලෙස හිඟවී ඇති බවය. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසු අදාළ භාණ්ඩ එවීමට මාස දෙක හමාරක පමණ කාලයක් ගතවන බව ද මෙහිදී සඳහන් විය. බොහෝ විට ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ ඇනවුම ලැබීමෙන් පසුව නිසා ඇනවුම් ලැබීමට මාස 3ක පමණ කාලයක් ගතවන බව ද මෙහිදී පෙන්වා දුන්නේය.
තෙල්, ගෑස් හා ඖෂධ හිඟය සති දෙකකින් අවසන් කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කරන බව ද ප්‍රකාශ කළේය. එසේ වුවත් ලබන අගෝස්තුවෙන් පසු ඇති විය හැකි සාගත තත්ත්වයකට විසඳුමක් නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
දකුණු ආසියාවේ බහුතරයක් රටවල් මේ සාගතයට මුහුණ දීමට ඒ ඒ රටවල් මට්ටමෙන් පියවර ගෙන ඇතත් ශ්‍රී ලංකාවට ඒ සඳහා ගෙන ඇති පියවරක් නැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගිය සතියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියොජිත වෛද්‍ය අලාක සිං මහතා හමුවූයේය.

 

 

ජවිප විදෙස්  තානාපතිවරුන් හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ ගිය සතියේදී තානාපති නිලධාරීන් කීප දෙනෙක්ම හමුවී රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේ දී ඇමරිකානු තානාපතිනිය හමුවී රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
මීට අමතරව වෛද්‍ය නලින්ද ජයතිස්ස, අනිල් ජයරත්න, චමින්ද ජයසූරිය හා මුදිත නානායක්කාර යන මහත්වරුන් චින තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානීයා හමුවී රටේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. චීන රජය හැම විටම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහාය දක්වන බව ප්‍රකාශ කර සිටියේය. ඉදිරි සතියේදී යුරෝපා හා මැද පෙරදිග රටවල තානාපතිවරුන් හමුවීමට නියමිතව ඇත.


ජනතා විමුක්ති පෙරමුණෙ මධ්‍යම කාරක සභාව ගිය සතියේදී රැස් වූ අතර එහිදී දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රධාන රැස්වීම් පැවැත්වීමේ වැඩ පිළිවෙළ යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත. පළමු රැස්වීම කොළඹ දී පැවැත්වීමට තීරණය කරනු ලැබුවේය. වත්මන් රජය ජනතා විමුක්ති පෙරමුණට කරනු ලබන බරපතළ චෝදනාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේය. ගෙවල් ගිනි තැබීම්වලට හා දේපළ විනාශ කිරීම්වලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් කරනු ලබන චෝදනාව පිළිබඳව සුනිල් බටගල මහතා කරුණු දැක්විය. පොහොට්ටු මන්ත්‍රීවරුන් ලබා දී ඇති නම් ලැයිස්තුවලට අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අති බව පෙන්වා දී ඇති සුනිල් වටගල මහතා සැබෑ සාක්ෂි සොයා බැලීමක් කර නැති බව ද පෙන්වා දුන්නේය.
රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන තතත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. අන්තර් කාලීන රජයක් පිහිටුවන බව කීවත් එවැන්නක් සිදු වී නැති බව ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා මැයි 11 වැනිදා ප්‍රකාශ කළ පක්ෂයේ දේශපාලන පදනම ඒ ආකාරයටම ඉදිරියටත් යාම සුදුසු බව පෙන්වා දුන්නේය. අලු‍ත් ජනවරමක්, අලු‍ත් පාර්ලිමේන්තුවක් ඇතිවීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.


ස්ථාවර දේශපාලනයක අවශ්‍යතාව ජාත්‍යන්තර සංවිධාන පවා පෙන්වා දී ඇති බැවින් ජනාවට ඇහුම්කන් දීම රජයේ වගකීම බව ද පෙන්වා දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන ලියවිල්ල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන්නේය.


මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ගිය සතියේ දී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා හමුවී ජනතා විමුක්ති පෙරමුණට ඇති චෝදනා පිළිබඳව සාකච්ඡා කළාහ. රජයේ පාර්ශවයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ද අති චෝදනා සම්බන්ධයෙන් නිවැරදි සොයා බැලීමක් කරන ලෙස ජ.වි.පෙ. නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

 

21 වෙනුවෙන් කරුත් වැඩ

21 වැනි සංශෝධනය පිළිබඳව පසුගිය සතියේදී දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල උනන්දුවක් දක්නට තිබිණ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කරු ජයසූරිය මහතා රටේ බොහෝ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ද බොහෝ කණ්ඩායම් සම්බන්ධීකරණය කරගනිමින් ද එය යථාර්ථයක් කර ගැනීම සඳහා බලවත් සටනක නිරත වනු දක්නට ලැබිණ. 


එහිදී ​මේ රටේ ප්‍රමුඛ පෙළේ ආගමික නායකයන්, සිවිල් සමාජ කණ්ඩායම් හා නීතිඥ ප්‍රජාවද ඔහු අමතමින් එය පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා සියළුම දේශපාලන කණ්ඩායම් උනන්දු කරවන ලෙස ඉල්ලීම් කර ඇත.
මේ අතර පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකරන ලද මහජන සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උළෙලට ද කරු පුළුල් දායකත්වයක් දැක්වීය.

 

 

-ගජබා-