​වෛරය හා පලිගැනීමෙන් තොර ලොවක් ගොඩනගමු


වාණිජකරණය අද මනුෂ්‍යයා වෙලා සිටින දරුණුම සත්වයා බවට කිසිදු සැකයක් නැත. දරුවෙකු මව්කුස පිළිසිඳගත් ද‌ා සිටම එම දරුවාගේ මව්පියන් දරුවාගේ අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරති. ඔහු හෝ ඇයට අනාගතයේ ඉතා යහමින් මුදල් උපයාගත හැකි වෘත්තියක් දිනාගැනීම සඳහා ඊට අනුකූල වූ අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි කතිකා කරති. න්‍යාය පත්‍ර සකස් කරති.  


 දරුවාගේ පාසල් අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් සකස් වෙන්නේ දරුවාගේ රුචි අරුචිකම්වවලට වඩා සිය​ දෙමාපිය වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් වලට අනුකූලවය. එය විශේෂයෙන්ම ගොනු වී ඇත්තේ ජනප්‍රිය හා සමාජය තුළ වැඩිපුර ඉල්ලුමක් සහිත වැඩි වැඩියන් මුදල් උපයාගත හැකි වෘත්තීන් වෙනුවෙනි. දරුවාගේ ස්වභාවික නිදහස, විවේකය, නිදහස් චින්තනය අද වෙන විට වචනවලට පමණක්ම සීමා වී ඇත.  


පාසලත්, ටියුෂන් පන්තියෙනුත් තොර ලෝකයක් දරුවන්ට වත්මනයේ දකින්නට නැත. නිදහසේ වෙල් ලියැදිවල දිව පැන සෙල්ලම් කළ කෙළිදෙලෙන් කාලය ගත කරන කුඩා දරුවන් අද අපිට නිවාඩුවට ලංකාවට ගිය විටදීවත් දැක ගැනීම දුෂ්කරය. මේ හැම දෙයක්ම වාණිජත්වය විසින් ළමා ළපටීන් ගෙන් පමණක් නොව වැඩිහිටි සමාජයේ අයටත් හොරා ඔවුන් වෙතින් ද උදුරාගෙන ගොස් ඇත.  


එද‌ා පාසල තුළ තිබූ ළමා ළපටීන්ගේ බාහිර දැනුම දක්ෂතා ඔප් නැංවීමට මනා පිටිවහලක් වූ ළමා සමිති නාට්‍යය හා කලා සංගම්, ළමා ලේඛක එකමුතු වීම්, සන්නිවේදන සංගම්, අද වෙන විට බෝඩ් ලෑලි බවට පත්වෙමින් තිබේ. වත්මනයේ දරුවන්ට මෙවැනි බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට වෙලාවක් නැත. මනුෂ්‍යත්වයෙන් තොර යන්ත්‍ර බවට පත් වී ඇති ඔවුහු ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාග වෙනුවෙන් තරගවදින වේගවත් ධාවකයින් බවට පරිවර්තනය කොට තිබේ.  
 එදා ඉරුදින විහාරස්ථාන භූමියේ පවත්වාගෙන ගිය දහම් පාසල අතීත ලක්දෙරණ තුළ උගතුන් බිහිකිරීමටත්, බුද්ධි වර්ධනයටත් චරිත වර්ධනයටත් නොයෙකුත් බාහිර දක්ෂතා එළිදැක්වීමටත් ලැබුණු මහඟු අනර්ඝතම ක්ෂේමභූමියක් විය.  
එනමුත් අද බොහෝ විහාරස්ථානවල ඉරුදින දහම් පාසල පවත්වාගෙන ගිය බණමඩුවෙන් දහම් පාසල අතුරුදහන් වෙමින් තිබේ. ඒ වෙනුවට පෞද්ගලික ටියුෂන් පන්ති එම භූමිය අරක්ගෙන සිටී. කුමන නීති අණපණත් පැනවුවත් මේවා නතර කිරීමට කිසිදු අයෙක් කැමැති නැත. සිංහල සාහිත්‍යය, ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන් විශ්වවිද්‍යාල තුළින් පවා අතුරුදහන්වෙමින් පවතී.  


මේවා ගැන සොයා බැලීමට හෝ කතා කිරීමට හෝ කෙනෙක් නැත. තමාගේ දරුවාට වඩා දක්ෂතා ඇති වෙනත් දරුවෙකුගේ දක්ෂතාවක් අගය කිරීමට තබා ඒ ගැන කතාකිරීමටවත් සමහරුන් කැමැත්තක් නොදක්වති. අනුන්ගේ හිස මතට මොන හෙණපතයක් ඇද වැටුණුත් කමක් නැත. එම අනතුර තමන් ​ෙවත නොපැමිණ තමන් පමණක්ම එයින් ගැලවුණොත් එයම ප්‍රමාණවත්ය යන ආත්මාර්ථකාමී ප්‍රපංචයට සමාජය තල්ලුවෙමින් පවතී. මෙය නතර කිරීමට කිසිදු අයෙකුට වුවමනාවක් ද නැත. ප්‍රසිද්ධියේ පොදු අරමුණු පරමාර්ථ මෙන්ම අනුන් ගැන ඉතා සංවේදීව කතා කරන්නන් මෙන්ම ක්‍රියා කරන්නන් බහුතරයක්ම රහසිගතව කරනුයේ ආත්මාර්ථකාමිත්වයෙන් ඔද්දල්ව තම තමන්​ෙග් සාක්කු පුරවා ගැනීමට ක්‍රියාකරති. මේ සඳහා වුවමනා තරම් නිදසුන් ඔබ අපි ජීවත්වෙන සමාජයෙන් ලබාගත හැකිය.  
කෙනෙකු ඉතා වෙහෙස මහන්සිව ගොඩනංවාගෙන ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළවල් හා ක්‍රියාද‌ාමයන් තමන් කළ දෙයක් ලෙස ලොවට පෙන්වීමට සමහරු යත්න දරති. තමන් තුළ නැති අනෙකෙකු තුළ ඇති නිසැක දක්ෂතාවටත් අධ්‍යාපන පරිචයටත් පරිභව කරති. ප්‍රසිද්ධිය බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කරති.  
නිර්දෝෂි අහිංසකයින්ට චෝදනා කිරීමට මෙන්ම චෝදනා පටබැඳීමටත් කටයුතු කරන්නෝ ඉතා සුලබය. එනමුත් ඇත්ත සැබෑ තත්ත්වය හෙළිදරව් වූ විට චෝදනාකළවුන් අතුරුදහන් වෙති. සැඟවී යති.  


මනුෂ්‍යයා තමන් ජීවත්වන සමාජ පරිසරයෙන් නිතරම පැසසුම් හා නායකත්වයත් නිතරම බලාපොරොත්තුවේ. ඕනෑම මොහොතකදී හෝ ස්ථානයකදී තමනට මෙම පිළිගැනීම ඔවුන් විසින් අපේක්ෂා කරනු ලබති. මුදල් යහමින් ඇති අය මුදල් විසිකොට හෝ මෙම තත්ත්වයන් තමන් වෙත ඇදගැනීමට උත්සුක වෙති. මනුෂ්‍යයාගේ දෑස් වර්තමානයේදී මුදල් විසින් අන්ධභාවයට පත්කොට ඇති සෙයක් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වයේ බලපෑම නිසා දෝ බොහෝ මනුෂ්‍යයින්ට වර්තමානයේදී හොඳ නරක මෙන්ම සමාජ සාරධර්මවලට ඇහුම්කන් දීමට හෝ තේරුම් ගැනීමට හෝ අපහසු වී ඇත. නැතහොත් වුවමනාවෙන්ම ඔවුන් විසින් ඒවා අමතක කොට තිබේ.  
පින්දහම් කරන ස්ථානවලට, භූමිවලට පැමිණ ඔවුහු පව් කරති. සුදුවතින් සැරසී විහාරස්ථානවලට පැමි​ෙණන සමහර පින්වතුන් එහි පිංපෙට්ටි කඩා මුදල් සොරකම් කරති. පන්සලට වංචා කරති. පල්ලියට එන සැදෑහැවතුන් පවා අතට අසුවෙන දෙයක් තමන්ගේ සාක්කුවල පුරවාගෙන යති. මෙවැනි ක්‍රියාමාර්ගවල නියැලෙන්නන් ගෙන් ඒවා ගැන විමසූ විට ලැබෙනුයේ විමතිය දනවනසුළු පිළිතුරුය. එනම්, විහාරස්ථානවල වැඩ වාසය කරන හිමිවරුනුත් නිවන දැක නැත. ඒ අයත් ඔහේ බෞද්ධ පොත්පත් වලින් කටපාඩම් කළ දෙයක් ජනතාවට දේශනා කරනවා විනා ඒවායේ අන්තර්ගතයවත් හරියාකාරව තේරුම් ගෙන නැත. ඒ අය ගත කරන්නේත් ඉතා සුවපහසු ජීවිතයකි. අනෙක් අතට ගිහියන් හිරිකිතයක් නොමැතිව කුණුහරුප කතාබස්කරන, ගුටිබැට හුවමාරු කර ගන්නා සභාවල සිටින හිමිවරුන් මේ කිසි දෙයක් තමනට නොපෙනෙන, නොඇසෙන අන්ධයින්, ගොළුවන් ලෙස ක්‍රියාකරති.  


එම නිසා පව හා පින පිළිබඳව අපට විශ්වාසයක් නොමැත. ඉපදුණු නිසා අපි ජීවත්විය යුතුය. ඒ උදවිය හා අප අතර එතරම් වෙනසක් ද නොමැති සෙයක් පෙනීයයි. පල්ලිවල සිටින පාදිලිවරුන් පවා ස්වර්ගය දැක නැත. ජේසු ස්වාමි දරුවන් දේශනා කළා යැයි ඔවුන් කියන දේවල් සැබෑ ලෝකයේ මිනිසුන් අතර දැකගත නොහැකිය. පාදිලිවරුන් ක්‍රිස්තියානි සභාවෙන් මාසිකව ඔවුනට ලබාදෙන මුදල් මත ක්‍රියාකරති. සමහර ක්‍රිස්තියානි නිකායවල පාදිලිවරුන් අප මෙන්ම විවාහ ජීවිත ගතකරන ලෞකිකයෝය. එම නිසා සියල්ලටම පෙර ජීවත් වී සිටිය යුතුය. ජීවත්වීම උදෙසා අපි මෙවැනි ක්‍රියාවල නියැලීම වරදක් ලෙස නොපෙනෙන බව ඔවුන් තරයේ ප්‍රකාශ කරති. මුස්ලිම් පූජකයන්ගේත්, හින්දු පූජකයන්ගේත් ක්‍රියාකාරිත්වය මීට සමාන යැයි ද ඔවුහු කියති.  


මෙම හැම දෙයකින්ම එළියට පැන ඇත්තේ කුමක් ද? වැඩි වැඩියෙන් මුදල් උපයා ගැනීමත් ඒ තුළින් සැප සම්පත් විශාල ප්‍රමාණයක් අත්පත් කරගැනීමට මනුෂ්‍යයා තුළ ලෞකිකව කැකෑරෙන පවිටු උත්සාහයේ අති භයානක ප්‍රතිඵල නොවේද? මනුෂ්‍ය සාරධර්මවල බිඳවැටීම නොවේ ද? මනුෂ්‍යයා ආගම දහම පිළිබඳව තිබූ විශ්වාසයෙන් ඈත්වීම නොවේ ද?  
අද අපි ජීවත්වන සමාජ පරිසරය දෙස මදක් එබිකම් කර බැලුවත්, ලෝකය දෙස විමසිල්ලෙන් විමර්ශනය කළ විට පෙනීයන්නේත් මිනිසා තම ලෞකික අවශ්‍යතා සන්තර්පනය කරගැනීම සඳහා වැඩි වැඩියෙන් මුදල් ඉපයීමත් භෞතික වස්තුන් රාශියක් අත්පත් කරගැනීමටත් වෙරදරන බවයි. එමගින් නිතැතින්ම ඔහු තුළ පැන නැගෙනුයේ වෛරය හා පලිගැනීමේ චේතනාවයි. අධ්‍යාපනය තුළ මෙන්ම බලය සඳහා කෙරෙන දේශපාලන අරගලයේදී ද මෙම සිද්ධාන්ත නිතැතින්ම ඔහු විසින් අනිවාර්යයෙන් ක්‍රියාවට නංවනු ලබයි. තමනට තර්ජනයක් බලපෑමක් ඇති ඕනෑම අයෙකු විනාශකොට හෝ බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගෙන සද‌ාකාලිකවම හිරේ විලංගුවේ දමා හෝ තම පාලනය රැකගැනීමට සමහර නායකයින් ක්‍රියාකරති. තම පරපුර පමණක් සමාජයේ ඉහළම තලයේ තබාගැනීමට ඔවුහු ක්‍රියාත්මක වෙති. රටේ ජනතාවගේ නිදහස හා මානුෂික අයිතිවාසිකම් ඔවුන් පැහැරගනිති. රාජ්‍යයේ ධනයත් වස්තූනුත් තම පුද්ගලික දේපළ ලෙස සලකති. තමාගෙන් පසු තම පවුල තුළම රාජ්‍යය බලය ගිලිහී යා නොදී රඳවා තබාගැනීමට ඔවුන් නොකරන උප්පරවැට්ටියක් ද නැත.  


කෙනෙකු යම් තනතුරකට පත්වීමට පෙර ඔහු තුළ තිබුණු ගුණගරුක බව, තව අයෙකුට ලෙන්ගතුව සැලකීම, මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම වැනි සමාජ වටිනාකම් සහිත රීතීන් තමන් බලය ලබාගැනීමෙන් පසු මේවා සියල්ලම අමතක කර කටයුතු කරන සෙයක් දිස්වේ. නීතිය හා මැතිවරණ ගැන, ජනතාව තුළ ඇති විශ්වාසයන් ගිලිහෙමින් පවතී. නීතියට ඇති පිරිසිදු සුජාතභාවයත්, මැතිවරණ පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වසනීයත්වයත් යම් නායකයෙක් තම පැවැත්ම උදෙසා කෙළෙසා විනාශකරන්නේ නම් එම රටේ හෝ රාජ්‍යයේ කඩාවැටීම් මෙන්ම ජනතා නැගිටීම් ඇතිවීම නිතැතින්ම සිදුවන්නකි.  


ජනතා පොදු මතයට එරෙහිව ක්‍රියාකරන රාජ්‍යය බලය යොද‌ා ජනතාව පෙළන, රටේ ජාතික ධනය හා වස්තූන් කොල්ලකන නායකයින්ව එම අයට බලය ලබාදුන් ජනතාව විසින්ම බලයෙන් පහකර විනාශකර දැමූ අවස්ථාවන් පිළිබඳව ලෝක ඉතිහාසය තුළ උද‌ාහරණ රාශියක් අපට සොයාගත හැකිය. එම නිසා ඕනෑම රටක හෝ සමාජයක අවි ආයුධ වලින් හා මැරකම් කිරීමෙන් ප්‍රශ්න විසඳ‌ාලීමට යම් නායකයෙක් ක්‍රියා කරයි ද? ඔහුගේ නායකත්වය පමණක් නොව ඔහු නායකත්වය දෙන කණ්ඩායමේද විනාශයන් එතැනින්ම ආරම්භ වෙනු නිසැකය.  


සෑම කෙනෙකුම දුක් කරදරවලට මුහුණ නොදී තම ජීවිත කාලසීමාව තුළ උපරිම සතුටත්, සැපත් විඳගැනීමට ඇලුම් කරති. ඒවා ලබාගැනීමට සමාජ පරිසරය තුළ ඔවුන් ක්‍රියාකරන ආකාරය අනුව වෛරය, පලිගැනීම වැනි ක්‍රියාද‌ාමයන්ට ගොදුරුවීමට ඔවුනට සිදුවෙති. තරගය, තනතුරු, ප්‍රසිද්ධිය, බලය වැනි සංසිද්ධීන් නිසා මිනිසා විසින් තවත් තමන් වැනීම මිනිසෙකු ගේ ආත්මගරුත්වය විනාශ කොට, තලා පෙළා, වදහිංසා කිරී​ෙමන් නතර නොවී සමහර විට මරා දැමීමට පවා ක්‍රියාකරන්නේය. කවුරු විනාශ වුවත් තමුන් පමණක් ඉතුරුවිය යුතුය, දියුණුව ලබාගත යුතුය යන මතවාදයන් කිසිම හිරිකිතයකින් තොරව මිනිසා ප්‍රසිද්ධියේ කතිකාකරන තත්ත්වයටත් පත්වී තිබේ.  


එම නිසා මනුෂ්‍යයා මෙම අරාජික තත්ත්වයෙන් ගොඩගැනීමට නම් අධ්‍යාපන පරිසරය මගින් විශාල කාර්යභාරයක් කළ හැක. මුදල මත දිවෙන සමාජ පරිසරය, අති දුෂ්කරවූ ව්‍යායාමයක් මගින් මිනිසාගේ සිත් සතන්වල තැන්පත් වී ඇති නරක අදහස් හා සාරධර්මවල පෙරළියක් ඇති කළ යුතුමය. මුදලට වඩා උගත්කමට, බුද්ධියට ප්‍රමුඛස්ථානය දෙන සමාජ වටපිටාවක් රටක් තුළ නිර්මාණය කරගත යුතුමය. මෙය ක්‍රියාවට මුසුකිරීම අසීරු කරුණක් යැයි සිතා අපි අධෛර්ය නොවිය යුතුය. මෙය කළ හැකි සංසිද්ධියකි. අපගේ හැදෙන වැඩෙන දරුවන්ගේ සමාජය මගින් ඉතා පහසුවෙන්ම එය ක්‍රියාත්මක කළ හැකිය. මානසික වශයෙන් කෙරෙන්නා වූ විප්ලවීය, ක්‍රියාමාලාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. අපගේ ගෞරවනීය සංඝ පීතෘන් වහන්සේලාටත් අනෙකුත් ආගමික පූජකතුමන්ලාටත් මෙම කර්තව්‍යයේදී විශේෂ මෙහෙයක් සිදුකළ හැකිය. එනම් මනුෂ්‍යය සමාජයට ඉතාමත් සක්‍රියව දැනට සිදුව ඇති විනාශයත් එයින් ගොඩඒමට ගතයුතු හා ක්‍රියාවට නැංවිය යුතු කාර්යභාරයත් පිළිබඳව ඉතාමත් ලෙන්ගතුව වැඩිහිටි සමාජයට අවබෝධ කරදීමට පිළිවන. එය ආගමික සංස්ථාවෙන් සිදුවිය යුතු වැදගත්ම කාර්යභාරයක් වනු ඇත.  


 වෛරය හා පලිගැනීමෙන් තොර ලොවක් ගොඩනගාගැනීමට ඉදිරියේදී මුළු මහත් ලෝකවාසීන්ටම අත්‍යවශ්‍යය. වුවමනාවක් වෙනු නිසැකය. යුද්ධයෙන් තොර සාමකාමී ලෝකයක් හැඳීමටත් ඉහත විස්තර කළ කරුණු ලෝකවාසීන් විසින් තම තමන්ගේ රටවල ප්‍රායෝගිකත්වයට පත්කළ යුතුමය. එවිට අද අපේ සිහින දූ දරුවන්ට පමණක් නොව අනාගතයේදී ඉපදෙන අපේ දූදරුවන්ටත් තම රටත්, ලෝකයත් ප්‍රීතිය සතුට හා සොම්නසින් ගහණ වූ බුද්ධිමත් පරිසරයක් වනු ඒකාන්තය.

 

 

සුදත් ප්‍රනාන්දු  
ප්‍රංශය