සටන අවසන් ජය කාටද


අරාබි කලාපයේ ඉරාකය හා ජෝර්දානය යන දෙරටේ ජනතාවගේ හිසට උඩින් දෙසතියකට ආසන්න කාලයක් තිස්සේ රාත්‍රී අහස ඒකාලෝක කරමින් ගමන් කළ දේවතා එළි බඳු ආලෝක ධාරා වැල දැන් ගමන් කරන්නේ නැත. ඔවුන්ගේ කන් බිහිරි කරමින් ඊශ්‍රායලය පැත්තේ සිට ඉරානය දෙසට ගමන් කළ නවීන ප්‍රහාරක යානාවල හඬ දැන් ඇසෙන්නේ නැත. හිසට උඩින් නිහඬව පාවී ගිය ඩ්‍රෝන මාරයන් සැරිසැරීම නැවතී තිබේ. එකිනෙකාට කිලෝමීටර 1070ක් දුරින් පිහිටි ඊශ්‍රායලය හා ඉරානය අවි අමෝරා ගෙන සටන් වදිද්දී ඒ අතරමැද පිහිටි රටවල් දෙක වන ජෝර්දානය හා ඉරාකය අනියම් යුද බියකින් පෙළෙන්නට වූයේ කුමන මොහොතක හෝ හිසට ඉහළින් ඈත අහසේ ගමන් කරන මාරාන්තික යුද අවියක ඉලක්කය වැරදී තම ඉරණම විසඳාවි යන අවිනිශ්චිත බව මුල්කර ගනිමිනි. වාසනාවකට අසල්වැසියන්ගේ යුද්ධයට මැදි වූ ඉහත සඳහන් දෙරටේ ජනතාවට එකී ආකාරයේ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වූයේ නැත. මිසයිල ලෝන්චර හා යුද ගුවන්යානා ක්‍රියාකාරිත්වය නතරවී තිබේ. 

ඉහතින් අප සඳහන් කළේ යුද්ධයට අනියමින් හා අහේතුකව මැදිවූ රටවල් දෙකක ජනයා පිළිබඳවයි. එහෙත් ඉරානයත් ඊශ්‍රායලයත් දින 12ක් පුරා ගෙනගිය බිහිසුණු ගුවන් අවි යුද්ධයෙන් ඉතා දරුණු ලෙස ජිවිත තර්ජනයට ලක්ව සිටියේ එම දෙරටේ සාමාන්‍ය ජනතාවයි.  ගාසාහි, බටහිර ඉවුරේ හා යේමනයේ ජනයා මෑත කාලයේ යුද්ධය යනු කුමක්දැයි අත්විඳ ජීවිතවලින් වන්දි ගෙවා තිබිණ. එහෙත් ඉරානයේ මෙන්ම ඊශ්‍රායලයේ ජනතාවද මෑත කාලීනව සැබෑ යුද්ධයක අත්දැකීම් ලබා නොසිටියහ. ඊශ්‍රායලයේ ජනතාවට තිබුණේ හමාස් කල්ලියෙන් හෝ හිස්බුල්ලා කල්ලියෙන් එල්ල වන රොකට් වෙඩිවල කටුක අත්දැකීමයි. එහෙත් රොකට් වෙඩි සියල්ලම පාහේ අයන්ඩෝම් පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කෙරෙන නිසා ඔවුනට වැඩි බියක් නොතිබිණ. ඉඳහිට අයන්ඩෝමයට ගොදුරු නොවූ රොකට්ටුවක් ඊශ්‍රායල් නගරයකට පතිත වුවද ඉන් බරපතළ හානි සිදු නොවීය. 

දින 12 මෙහෙයුම

1948 ඊශ්‍රායලය බිහිවූ දා සිට සමස්ත ඊශ්‍රායලයම ජනජීවිතයට තර්ජනයක් ඇතිවන මහා පරිමාණ යුද්ධයකට මුහුණ දී නැත. ඊශ්‍රායලය 1967 හා 1973 වසරවල අසල්වැසි රටවල් සමගත් ඉන් පසු මෑත දශක දෙකක පමණ සිට මුහුණට මුහුණ ලා පලස්තීන වැසියන් සමගත් වරින්වර යුද්ධ කර තිබේ. එහෙත් එම යුද්ධ බොහොමයක් ඊශ්‍රායල් දේශසීමාවෙන් පිට මිස රට තුළට පැමිණ ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ගොඩබිම් හා ගුවන් ආක්‍රමණයක බලපෑම ඍජුවම ඊශ්‍රායල් වැසියන්ට දැනුණේ 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් කල්ලිය ගොඩින් හා ගුවනින් දකුණු ඊශ්‍රායලයට සීමිත ආක්‍රමණයක් කිරීමත් සමගයි. ඊශ්‍රායල් වැසියන් 1113 කට දිවි අහිමි කර තවත් 240ක් පමණ හමාස් කල්ලියේ ප්‍රාණ ඇපයට පත්වූ ඒ පැය කිහිපයක ආක්‍රමණය වෙනුවෙන් ඊශ්‍රායලය අද වනවිට හමාස්වරුන්ගෙන් ඉතා දරුණු ලෙස පළිගෙන ඇති අතර එදා සිට අද දක්වා ගාසා තීරය අමු සොහොනක් කොට ජිවිත 56000කට වැඩි සංඛ්‍යාවක් වනසා අදටත් එම පටු බිම් තිරයේ රුඳී සිටින්නේ අනාගතයේ ගාසා යනු කිසි දිනෙක ඊශ්‍රායලයට තර්ජනයක් විය නොහැකි තත්ත්වයට පත්කිරීමේ අභිලාෂයෙන් බවක් හැඟී යයි. එහෙත් දින 12ක් ඉරානයට එරෙහිව කළ යුද්ධය එවැන්නක් නොවේ. ඒ යුද්ධයේදී ඊශ්‍රායලයේ සෑම නගරයක්ම එක විට ගුවන් අනාරක්ෂිත භාවයකට මුහුණ දුන්නේය. ජනතාවට ජීවිත රුකගැනීම සඳහා නිරතුරුව බංකරවල පිහිට පැතීමට සිදු විය. අයන්ඩෝම්, ඩේවිඩ්ස් ස්ලිංග්, ඇරෝ 2  ඇරෝ-3 පේට්‍රියට් හා තාඩ් වැනි අතිනවීන මිසයිල ආරක්ෂණ පද්ධතිවල ආවරණය ලැබුවද ඉරාන මිසයිල ඊශ්‍රායලයේ නගර වෙත පතිත විය. ජෙරැසලම, ටෙල් අවිව් අගනුවර, හයිෆා නගරය හා දකුණු ඊශ්‍රායලය වැඩිපුරම එම තර්ජනයට මුහුණ දුන් කලාප වේ. මිසයිල 100ක් විනාශ වෙද්දී ආරක්ෂක පද්ධති වලින් මිදී නගර මත පතිත වූ ඉරාන මිසයිල පුපුරා යාමෙන් ඊශ්‍රායල් සාමාන්‍ය වැසියන් 28 කට දිවි අහිමි වූ අතර තවත් 3461කට අධික පිරිසක් තුවාල ලැබූහ. ශ්‍රි ලාංකිකයෝ 4 දෙනෙක්ද ඒ අතර වූහ. එය ඊශ්‍රායලය මෙතෙක් මුහුණ දුන් දරුණුතම දීප ව්‍යාප්ත යුද හානියයි. අනෙක් අතට ඉරානයද 1988න් පසු යුද්ධය යනු කුමක්දැයි අත් විඳ නොතිබිණ. ඉරානය කලාපයේ ගැටුම්වලට තම අනුප්‍රාප්තික හමාස් හිස්බුල්ලා හා හූති කල්ලි මගින් මැදිහත් වුවද ඉරානයේ අභ්‍යන්තර ජන ජිවිතය අමෙරිකානු හා අන්තර්ජාතික සම්බාධක යටතේ පැවති පීඩනය හැරුණු කොට වෙනත් දරුණු යුද අවදානමකට මුහුණ දී නොතිබිණ. 

1981-88 ඉරාන ඉරාක යුද්ධයෙන් පසු මේ දක්වාම ටෙහෙරාන් අගනුවර වැසියන්ගේ හිස් මතට වෙනත් රටක් විසින් බෝම්බ පතිත කරවා නොතිබිණ. මේ නිසා 1988න් පසු උපත ලැබූ තරුණ තරුණියන් යුද්ධය යනු කුමක්දැයි සිනමා හා වීඩියෝ පටවලින් නැරඹුවද සැබැවින් අත්විඳ නොතිබිණ. මේ ඔවුන්ගේද පළමු අත්දැකීමයි. ඊශ්‍රායලයේ ජනතාව ආරක්ෂක බංකරවලට පලාගියද ඉරානයේ නගරවල ජනතාවට එවැනි පහසුකම් නොතිබිණ. එහි ප්‍රතිපලය ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරාන වැසියන් 600-900 අතර සංඛ්‍යාවක් මියගොස් 4700ක් පමණ තුවාල ලැබීමයි. ඒ යුද්ධයේ මානව හානියයි (HUMAN COST). 

ඊශ්‍රායලයට සිදුවූ භෞතික හානිය මූල්‍යමය වශයෙන් ඩොලර් බිලියන 30 ඉක්මවයි. ඉරානයට සිදුවූ හානිය මේ දක්වා ගණන් බලා නැති අතර වැඩිම හානිය සිදුව ඇත්තේ ඉරානයටයි. ඒ සටනේ පළමු දිනයේදී ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කොට ඉරාන අහස අත්පත් කරගෙන ඉන් පසු දෛනික ප්‍රහාර ඇරඹීමට ඊශ්‍රායලය පියවර ගැනීමෙන් පසු දින12ක කාලය පුරාම කිසියම් වූ දැනෙන ප්‍රතිචාරයක් අදියරෙන් අදියර ලබාදීමට ඊශ්‍රායල් පාර්ශ්වය පියවර ගත් නිසා ඉරානයට බරපතළ හානි සිදු විය. ඒ තුළින් ඉරාන ජනතාව තුළ රටේ පැවැත්ම ගැන භීතිකාවක් නිර්මාණය විය. ඉරාන හමුදාවේ ඉහළ නිලධාරීන් 30 කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය විසින් ගොදුරු කරගැනීමත් න්‍යෂ්ටික විද්‍යාඥයන් 10 දෙනෙකු පමණ ඝාතනයට ලක්වීමත් නිසා බරපතළ ආරක්ෂක තර්ජනයක්ද නිර්මාණය විය. එහෙත් තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් පළවූයේද ශක්තිමත් ස්ථාවරයකි. 

අයතොල්ලා අලි කමෙයිනිගේ පාලනය ගැන ප්‍රශ්න සහිත ඇතැම් ජනකොටස් සිටියද සමස්තයක් වශයෙන් රට අවදානමකට ලක්වෙද්දී මවුබිම රැකගැනීමේ අභිලාෂය අනුව ඔවුහු ශක්තිමත් හා එක්සත් බවක් පෙන්වූහ. ඒ නිසා ඊශ්‍රායලය පැවසු පරිදි බල හුවමාරුවක් සදහා එනම් පාලනය වෙනස් කිරීමක් සඳහා ජනතා රැල්ලක් ඉන් නිර්මාණය නොවීය. අමෙරිකාව ඉකුත් ඉරිදා අලුයම ඉරානයට බෝම්බ හෙළීම මේ අර්බුදයේ උචචතම අවස්ථාව වන අතර ඉන් පසු එය ක්‍රමයෙන් සමතයක් කරා යොමුවීමක් පෙන්නුම් කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන්විරාම යෝජනාව ගෙන එන්නේ දෙපාර්ශ්වයම යම්කිසි විරාමයක් අපේක්ෂාවෙන් සිටි අවස්ථාවකය. 

සටනේ ප්‍රතිඵල 

දින 12ක් සටන් කර දෙපාර්ශ්වයට ලැබුණේ කුමක්ද? මෙහිදී ආක්‍රමණිකයාගේ භූමිකාව නිරූපණය කළේ ඊශ්‍රායලයයි. ඒ නිසා යුද්ධයේ අරමුණ ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසිනි. ඒ අරමුණ නම් ඊශ්‍රායලයට තර්ජනයක් වන ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හානියට පත් කිරීමයි. එය යළි ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයකට පත්කිරීමයි. එම අරමුණ ඊශ්‍රායලයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන අමෙරිකාව නිරතුරුවම තහවුරු කළේය. අමෙරිකාව මේ යුද්ධයේදී ඊශ්‍රායලය සමග එක පෙළට සිටගෙන සිටියේ ඉරානයට මෙන්ම බටහිර බලයට විකල්ප ධාරාවක් වන රැසියා-චීන හවුලටද බලාධිකාරයේ ශක්තිය හා ශක්‍යතාව ගැන යම් පණිවුඩයක් ලබාදෙමිනි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ යළි පණගැන්විය නොහැකි ආකාරයෙන් විනාශ කළ බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකාබද්ධව තහවුරු කරනු ලැබීය. මෙහිදි වොෂිංටනය කැලඹුණේ අමෙරිකාව B2 STEALTH  අධි තාක්ෂනික ගුවන්යානා හා  GBU-57 MOP  අධිබලැති භූගත පිපිරුම් බෝම්බ භාවිත කර සිදු කළ ප්‍රහාරයෙන් සැලකිය යුතු තරම් හානියක් සිදු නොවූ බව දැක්වෙන බුද්ධි අංශ වාර්තාවක් යැයි සඳහන් ලියවිල්ලක් අමෙරිකානු මාධ්‍ය අතට පත්වීමත් සමගය. 

මෙය ට්‍රම්ප් පාලනය කොතරම් කැලඹීමට පත් කළේද යන්න කිව හොත් එය මේ යුද්ධය මධ්‍යයේ අමෙරිකානු මාධ්‍ය එරට බුද්ධි අධ්‍යක්ෂිකා ලු‍තිනන් කර්නල් තුල්සි ගැබාඩ්, ඉරානයේ න්‍යෂ්ටික අවි තර්ජනයක් නොමැති බවට සෙනෙට් පරික්ෂණ මණ්ඩලයක් හමුවේ පසුගිය මාර්තු මාසයේ කළ ප්‍රකාශය ඇදගෙන ජනපති ට්‍රම්ප්ගෙන් මාධ්‍ය ප්‍රශ්න කිරීමෙන් පසු ඇතිවූ අලකලංචියට සමාන තත්ත්වයකි. එම වාර්තාවෙන් ඇතිවූ හානිය කළමනාකරණය සඳහා වොෂිංටනය ඉතා දැඩි වෙහෙසක් ගත් බවක් දක්නට ලැබිණ. ගැබාඩ්ගේ ප්‍රකාශය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර අවසානයේ ගැබාඩ්ටද තම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් හා මාධ්‍යයට දොස් පවරමින් ප්‍රකාශයක් නිකුත් කිරිමට සිදුවිය. අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුවු හානිය අඩු බව සඳහන් කරමින් නිකුත්වූ ඇමෙරිකානු බුද්ධි වාර්තාවද ට්‍රම්ප් දැඩි සේ ප්‍රතික්ෂේප කළේය. අනතුරුව එය ප්‍රතික්ෂේප කිරීමට ට්‍රම්ප් පාලනයේ සෙසු නිලධාරිහුද පෙළ ගැසුණහ. ආරක්ෂක ලේකම් පීටර් හෙස්ගත් එය ප්‍රතික්ෂේප කළේය. සී අයි ඒ ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ජෝන් රුට්ක්ලිෆ් පසුව එය ප්‍රතික්ෂේප කළේය. ඔවුන් පෙන්වා දුන්නේ එය අසම්පූර්ණ හා අවිධිමත් වාර්තාවක් බවයි. කෙසේ වෙතත් එම වාර්තාව GBU-57 MOP  බෝම්බ 14ක් ඉරානයට හෙළා සිදු කළ හානියට වඩා වැඩි ප්‍රචාරාත්මක හානියක් වොෂිංටනයට සිදුකළ බවක් හැඟී ගියේ ට්‍රම්ප් පාලන තන්ත්‍රය එම වාර්තාව ප්‍රතික්ෂේප කිරිමට ගත් වෙහෙස නිරීක්ෂණය කිරිමේදීය. 

කෙසේ වෙතත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හානියට ලක්ව ඇති බව ඉරාන රජයම පිළිගෙන තිබේ. විදේශ ඇමති අබ්බාස් අග්‍රාෂි කියා සිටියේ භූගත ඉරාන න්‍යෂ්ටික පහසුකම් හානියට ලක්ව ඇති බවයි. කලින් ඉරානය කියා සිටියේ හානි වීමට ප්‍රථම බලගැන්වූ යුරේනියම් තොග ඉවත්කරගැනීමට හැකි වු බවකි. එහෙත් එය නිල මට්ටමින් නිකුත් වූ ප්‍රකාශයක් පමණි. කෙසේ වෙතත් යුද්ධයේ ප්‍රතිඵල දෙස බැලීමේදී එහි කිසිදු ජයග්‍රාහකයෙකු නොමැති බවක් පෙනී යයි. ඊශ්‍රායල් ප්‍රහාරය නිසා ඉරානයට හානි සිදුවූ අතර එරට පාලන තන්ත්‍රය වෙනස් කිරිමට තරම් බලපෑමක් කිරිමට එය සමත්වීද යන්න ප්‍රශ්නයකි. එමෙන්ම ඉරානය සිතු තරම් දුර්වල ප්‍රතිවාදියෙකු නොවන බව ඊශ්‍රායලයට ඒත්තු ගැන්වීමට මෙම යුද්ධය සමත් විය. ඉරානයටද ඉන් අභියෝග රුසකි. ප්‍රධාන වශයෙන්ම ඉරානය ඉතා දරුණු ලෙස ඊශ්‍රායල් හා බටහිර බුද්ධිඅංශ වලට ගොදුරක් වී ඇති බව මේ ප්‍රහාරයෙන් වඩාත් තහවුරු විය. ප්‍රහාරයේ පළමු දිනයේදීම ඉරානයේ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති විනාශ කිරිමට ඊශ්‍රායලය සමත්වීම ඊට කදිම උදාහරණයකි. එම මිසයිල පද්ධති විනාශ කෙරුණේ ගුවන් ප්‍රහාරවලින් නොවන බව දැන් සනාථ වී තිබේ. බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් අල් ජසීරා රූපවාහිනි සේවය පෙන්වා දුන්නේ රහසිගතව රාත්‍රී අඳුරට මුවාවී ජුනි 13 වැනි සිකුරාදා අලුයම ඊශ්‍රායල් ඔත්තුකරුවන් හා රහස් ප්‍රහාරකයන් පිරිසක් ඉරානයේ ආරක්ෂක මිසයිල පද්ධති වෙත ළඟාවී කෙටි දුරක සිට විදිය හැකි ස්පයික් මිසයිල හා ඉරානය තුළදීම නිෂ්පාදනය කරන ලද කුඩා ඩ්‍රෝන යානා යොදාගනිමින් එම මිසයිල පද්ධති එක විට විනාශ කර ඇති බවයි.

ඉරානයේ අහස තවදුරටත් ආරක්ෂිත නොවන බවට ඔත්තුකරුවන් ලබාදුන් සංඥාව මත ක්‍රියාත්මක වූ ඊශ්‍රායල් ගුවන් හමුදාව තම නවීන එෆ් 35 ඇතුළු අමෙරිකානු යානා යොදාගනිමින් දින 12 ප්‍රහාරය ඇරඹූ බව දැන් හෙළිවි තිබේ. දෙවැනුව පළමු ප්‍රහාර වටයේදීම ඉරාන හමුදාවේ ඉහළතම නිලධාරීන් 30 කට අධික පිරිසක් මරාදැමීමට තරම් ප්‍රබල බුද්ධි තොරතුරු ඊශ්‍රායලය වෙත ලැබීමයි.මෙය වඩාත් දරුණු වූයේ ඉරානයේ තීරණාත්මක සාධකය වන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙයිනි සිටින තැන තමන් දන්නා බවත් දැනට ඔහුට තර්ජනයක් නොමැති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කිරීමත් සමගයි. ඉරානය දැන් මුහුණ දෙන දරුණුතම තර්ජනය වන්නේ රටේ අභ්‍යන්තර පාලන පද්ධතිය දක්වා විහිදී ඇති සතුරු බුද්ධි තර්ජනය පිටුදැකීමයි. දැනට ඉරානය පෙන්වා ඇත්තේ ඔත්තුකරුවන් ප්‍රසිද්ධියේ ඝාතනය වැනි හුදු ප්‍රචාරාත්මක ව්‍යාපාරයක් මිස ක්‍රමෝපායයික වැඩපිළිවෙළක් නොවන බව පෙනී යයි. මේ යුද ක්‍රියාන්විතයේ සැබෑ ජයග්‍රාහකයා ඊශ්‍රායලය හෝ ඉරානය නොවන බව සිදුවීම් විශ්ලේෂණයේදී පැහැදිලි වේ. එසේ නම් සැබෑ ජයග්‍රාහකයා කවුද? පැහැදිලි වන ආකාරයට නම් ඒ වෙන කිසිවෙකු නොව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. සමස්ත අර්බුදය තුළ ඔහු සියලු‍ පැතිවල පාලනය තමන් සතු බව පෙන්නුම් කළේය.

අමෙරිකානු චිත්‍රපටවල දක්නට ලැබෙන සුපිරි වීර චරිත කැප්ටන් අමෙරිකාගේ භූමිකාව ට්‍රම්ප් විසින් ආරෝපණය කරගත් බවක් පෙනී යයි. ට්‍රම්ප් ගහන්න යැයි කියු විට ඊශ්‍රායලය පහරදෙයි. නවත්වන්න යැයි කියූ විට ඊශ්‍රායලයත් ඉරානයත් යන දෙකම ඊට අවනත වෙයි. මෙම සිද්ධියේ නම් ඊශ්‍රායලයට මෙන්ම ඉරානයටද මෙම යුද්ධය නිරර්ථක අවසානයක් නොමැති අර්බුදයක් පමණක් වීම ඊට හේතුවයි. එමෙන්ම ඉරානය යම් තාක් දුරකට පාලනය හා ඔවුන් තම න්‍යායපත්‍රය අනුව එක්තරා සීමාවක පවත්වාගැනීම මේ සමස්ත ක්‍රියාදාමයේ අරමුණ බව පෙනී යයි. ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් කතාකරන්නේ ඉරානය හා අමෙරිකාව පවත්වන සාකච්ඡා ගැනයි. එමෙන්ම ඔහු යුද්ධයෙන් ඉරානය වූ හානිය ගැන දුක්වෙයි. හානි පූරණය සඳහා නැවතත් ඉරානයට තෙල් ගනුදෙනු ඇරඹීමට ඉඩදිය හැකි බවට ඉඟි කරයි. 2018 වසරේ ඉරානයේ තෙල් ගනුදෙනුවලට තිත තබමින් ගෝලීය සම්බාධක පැනවූයේ ට්‍රම්ප් විසින්මය. එදා ඉරාන තෙල් මිලදී ගැනීමෙන් වළකින ලෙස ඔහු චීනයට මෙන්ම ඉන්දියාවටද අනතුරු ඇඟවීය. 

සටන් විරාමය යළි ඇරඹීමත් සමග ට්‍රම්ප් කියා සිටින්නේ ඉරානයට උදව්වක් ලෙස තෙල් මිලදී ගැනීමට චීනය ඉදිරිපත් විය යුතු බවය. ඇතැම් විට මේ කතා හතරබීරි කතා ලෙස පෙනීයෑමට පුළුවන. එහෙත් මේ සිද්ධිදාමය බලය කේන්ද්‍රකරගත් බටහිර බලාධිකාරයේ නව ගෝලීය රටාව නියෝජනය කරන, එහි ගමන්මග සකසන පෙරමග ලකුණු බව පමණක් කිව හැක.  ගෝලීය භූ දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගන්නා අතරම පුද්ගලික මිතුරන් රැකීමේ න්‍යාය පත්‍රද ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීම එක අතකට හාස්‍ය ජනකය. එක්ස් සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කොට ඇත්තේ තම අතීසාර මිතුරා වන ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ඊශ්‍රායල් අධිකරණය හමුවේ ඇති වංචා හා දූෂණ නඩු විභාගයට නොගෙන ඉවතදැමිය යුතු බවයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩම්ගොඩගේ