බදුවලට අනුගතවීමේ වගකීම


පසුගිය වසරින් ආරම්භ වී මේ දක්වාම නිරතුරුව සංවාදයට ලක්වන මාතෘකාවක් බවට ‘බදු’ පත්ව තිබෙන්නේ, වරින් වර බදු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ සහ ඒවා ක්‍රියාත්මක කිරීම නිසාවෙනි. මේ සඳහා හේතු වූ සාධකත්, ඒවායේ බලපෑම පිළිබඳවත්, අවබෝධයක් ලබා ගැනීම සියලු‍ දෙනාටම වැදගත් වේ. ඒ සමගින්ම මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (TIN) පිළිබඳවත් මේ සටහනින් විමසා බලා ඇත.

ගෙවී ගිය ආසන්න වර්ෂ කිහිපය ආර්ථික වශයෙන් ලාංකිකයන්ට ඇති කළ පීඩනය අමුතුවෙන් ලිවිය යුතු නොවේ. එවන් ආර්ථික බිඳවැටීමකට හේතු වූ සාධක බොහොමයක් අතරින් රට මුහුණ දුන් ණය අර්බුදය ප්‍රමුඛ විය. රාජ්‍ය වියදම් වර්ධනයට සාපේක්ෂව ආදායම වැඩි කරගැනීමට නොහැකි වීමෙන් ණය උගුලකට හසු ව‌ූ බැවින් ආණ්ඩුවේ ආදායම වැඩි කරගැනීම පිළිබඳ අවධානය වැඩි වූ අතර, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩුම බදු ආදායමක් උපයන රටක් වශයෙන් තවදුරටත් ගමන් කළ නොහැකි බව වැටහෙන්නට විය.

1978 වර්ෂය වන විට ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 24.2ක්ව පැවැති අතර, 2022 වන විට එය සියයට 7.3ක් දක්වා අඩු වී තිබේ. මේ සඳහා ආණ්ඩු විසින් අනුගමනය කරනු ලැබූ බදු ප්‍රතිපත්ති ද, පුද්ගලයන් හා ආයතන බදු සඳහා අනුකූලතාව නොදැක්වීම ද, බදු පරිපාලනයේ පවතින අඩුපාඩු ද හේතු වී ඇත. දැන් කළ යුතු වන්නේ, ඒ සියල්ල විවේචනය කරමින් බැණ බැණ සිටීම නොව, උගත් පාඩම් සමගින් වැටුණ වළෙන් ගොඩ ඒමය.

ශ්‍රී ලංකාවේ විභව බදු ආදායම (සෑබෑ වශයෙන් අය කළ හැකි බදු ආදායම) එකතු නොවන බව IMF පමණක් නොව බදු පිළිබඳ දන්නා නොදන්නා අනෙකුත් සියලු‍ දෙනාම විවාදයකින් තොරව පිළිගන්නා කරුණකි. එම නිසා එයට පිළියම් යෙදීම කල් දැමිය නොහැකි හදිසි කටයුත්තකි. එවන් හදිසි වැඩවලදී සාමාන්‍ය තත්වයේදී සිදු නොවන දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන අතර, දැනට පවතින බොහෝ අපහසුතා බදු ක්‍රමය නිවැරැදි වූ විට මගහැරී යනු ඇතැයි බලාපොරොත්තු වේ. ගැටලුව වන්නේ, ජනතාවට ඒ පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමය.

විභව බදු ආදායම අහිමි කරවන ප්‍රධාන සාධයක් වූ බදු ප්‍රතිපත්තිවල පැවැති අඩුපාඩු නිවැරැදි කිරීම උදෙසා 2022 වසරේ අගභාගයෙන් ආරම්භ කර, මේ වන තෙක් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. එහිදී මෙතෙක් ලබාදුන් සමහර බදු නිදහස් කිරීම් ඉවත් කිරීම, සහන බදු අනුපාත අහෝසි කිරීම මෙන්ම විවිධ අඩු කිරීම් හා සුදුසුකම් ලබන ගෙවීම් සඳහා ඉඩ දීම සීමා කිරීම නිසා එම සහන ලබාගත් තැනැත්තෝ අසතුටට පත්ව සිටිති. එවන් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයකට උදාහරණ ලෙස 2022 දෙසැම්බර් දක්වා පුද්ගලයන්ට හිමි වූ මසකට රුපියල් ලක්ෂ දෙක හමාරක බදු සහනය (පුද්ගල සහනය) රුපියල් ලක්ෂයක් දක්වා අඩු කිරීම, සේවා නියුක්තිකයන්ගේ කැමැත්ත මත අඩු කළ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද කැමැත්ත විමසීමකින් තොරවම සේවායෝජකයා මගින් අඩු කර ගෙවිය යුතු වීම, පොලී මත බදු අයකිරීමේදී පැවැති ක්‍රමවේදය වෙනස් කිරීම, තනි පුද්ගල ආදායම් බදු අනුපාත වැඩි කිරීම, පුද්ගලයන්ට ලබාදුන් වියදම් සහන ඉවත් කිරීම මෙන්ම සමාගම් සඳහා වන ආදායම් බදු අනුපාතය සියයට 30ක් දක්වා වැඩි කර, පැවැති සමහර සහන අනුපාත ඉවත් කිරීම ද පෙන්වා දිය හැකිය.

මෙයට සමගාමීව VAT සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය සැපැයුම් වටිනාකම වර්ෂයකට රුපියල් මිලයන 80ක් දක්වා අඩු කර තිබෙන අතර, සියයට 8ක් වූ VAT බදු අනුපාතය සියයට 12ක් දක්වාත්, ඉන් පසුව සියයට 15ක් දක්වා ද වැඩි කළ අතර, මෙය ජනවාරි 1 වැනිදා සිට සියයට 18ක් දක්වා වැඩි කර ඇත. තව ද, 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා නිදහස හිමි වූ භාණ්ඩවලින් අති බහුතරයකට VAT අයකිරීමට නීති ප්‍රතිපාදන සකසා තිබේ. බදු ප්‍රතිපත්තියේ සිදු කළ මෙවැනි වෙනස්කම් මගින් බදු ආදායම වර්ධනය කරගැනීම අපේක්ෂා කරනු ලැබේ.

මේ කටයුත්තේ පළමු පියවර වන්නේ බදු සඳහා ලියාපදිංචි වීම වුවත්, එයට ජනතාව දක්වන ලද අඩු උනන්දුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන පරිදි 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට බදුවලට ලියාපදිංචි වූ තැනැත්තන් සංඛ්‍යාව 437,547ක් වීමෙන් පැහැදිලි වේ.

මෙහි තර්කානුකූල ප්‍රතිඵලය වූයේ, ආදායම් බදුවලින් සමන්විත ඍජු බදු පදනම ඉතා පටු වීමයි. එහි බලපෑම සමනය කරගැනීමට භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු මත රඳා පැවැතීමටත්, එයත් ප්‍රමාණවත් නොවන විට ණය ගෙන වියදම් පියවා ගැනීමටත් ආණ්ඩු කටයුතු කර තිබේ. එම නිසා දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ලොව අඩුම බදු ආදායමක් රැස්කරන රටවල් කිහිපය අතරට මෙරට ඇතුළත් වූ අතර, රාජ්‍ය මූල්‍ය කටයුතු කළමනාකරණය කළ නොහැකි වීමෙන් රාජ්‍ය මූල්‍යය පිළිබඳ ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ. මේ පසුබිම තුළ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට යොමු විය. ඔවුන්ගේ මූලික හා ප්‍රමුඛතම කොන්දේසියක් වන්නේ, බදු ආදායම වර්ධනය කිරීම බැවින්, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15කට ආසන්න බදු ආදායමක් 2025 වන විට උපයා ගැනීම කෙටි කාලීන අරමුණ බවට පත්ව තිබේ. මේ ඉලක්කය ළඟා කරගැනීමට පවතින බදු පදනම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

එබැවින්, බදු පදනම පුළුල් කරගැනීම වෙනුවෙන් පියවර ගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ අනුව, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තියේ තුන් වැනි උප වගන්තිය පරිදි, කොමසාරිස් ජනරාල්ගේ ද කැමැත්ත ඇතිව මුදල් අමාත්‍යවරයා විසින් 2023 මැයි මස 31 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අනිවාර්යයෙන්ම බදු සඳහා ලියාපදිංචි විය යුතු කාණ්ඩ 14ක් නම් කරන ලදී. මෙයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව නිරීක්ෂණය වන අතර, 2023 දෙසැම්බර 31 වැනිදා වන විට සමස්ත ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා ඇත. ඉහත ගැසට් නිවේදනයේ දෙවැනි කොටස වූයේ, මේ දිනවල කතාබහට ලක්වන අවුරුදු 18 සම්පූර්ණ කළ සියලු දෙනාම TIN අංකය ලබාගත යුතු බවය. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තියේ තුන් වැනි උප වගන්තිය අනුව දක්වා තිබෙන්නේ, ලියාපදිංචි වීම සඳහා අතිරේක තැනැත්තන් පන්ති නිශ්චිතව දැක්වීම වන අතර, වයස 18ට වැඩි කාණ්ඩයට අයත් පුද්ගලයන් නම් කර ඇත්තේ ඒ අනුවය. මේ පිළිබඳ නිවැරැදි නොවන අදහස් හා මතවාද ඉදිරිපත් වන ආකාරය නිරීක්ෂණය වන අතර, එම නිසා බොහෝ දෙනෙක් අනියත බියක් ද ඇති කරගෙන සිටිති.

TIN අංකය යනුවෙන් හඳුන්වන්නේ, ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ යි. බොහෝ දෙනාට පවතින ගැටලුව වන්නේ, හැමෝම බදු ගෙවන්නෝ ද යන්නයි. සැබැවින්ම හැමෝම බදු ගෙවන්නෝ වෙති. මක්නිසාද යත්, සෑම පුරවැසියෙක්ම භාණ්ඩ හා සේවා මත අයකරන වක්‍ර බදු ගෙවනා බැවිනි. කෙසේ වෙතත්, ඉහත සඳහන් කළ ගැසට් පත්‍රය මගින් මූලික අවධානය යොමු කරන්නේ ඍජු බද්දක් වන ආදායම් බදු අය කරගැනීම පිළිබඳවය.

පවතින ආදායම් බදු නීතියට අනුව ව්‍යාපාරිකයෙක් නම්, වර්ෂයකට රුපියල් ලක්ෂ 12ක් ඉක්මවන බදු අය කළ හැකි ශුද්ධ ලාභයක් උපයන විටත්, සේවා නියුක්තිකයෙක් නම්, තක්සේරු වර්ෂයකට රුපියල් ලක්ෂ 12ක් ඉක්මවන බදු අය කළ හැකි සේවා නියුක්ත ආදායම් ලබන විටත්, වෙනත් ඕනෑම ආදායම් මාර්ගයකින් බද්දට යටත් වන්නෙක් නම්, වර්ෂයකට ලක්ෂ 12 ඉක්මවන බදු අය කළ හැකි ආදායමක් ලබන විට පමණක් බදු ගෙවිය යුතු වේ. යම් පුද්ගලයෙක් ඉහත ආදායම් සීමාව ඉක්මවා නොයන්නේ නම්, TIN අංකයක් තිබුණ ද ආදායම් බදු ගෙවීමට අවශ්‍ය නොවේ.

එම නිසා, ආදායම් බදු ගෙවීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නැති පුද්ගලයන් කලබල විය යුතු නැත. එහෙත්, මෙතෙක් බදු නොගෙවන ලද බදු පැහැර හරින ලද සහ තම ආදායම් සඟවන ලද තැනැත්තන් නම්, යම් තිගැස්මකට ලක්වීම සිදු විය හැකිය. මක්නිසාද යත්, ඉදිරියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන තොරතුරු අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හා සම්බන්ධ වෙමින්, ඒ ඒ තැනැත්තන්ගේ ආදායම් පිළිබඳ දත්ත පද්ධතියක් නිර්මාණය වන බැවිනි. මේ සඳහා 2023 අංක 4 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් ප්‍රධාන පනතේ 123 වගන්තිය සංශෝධනය කරමින් සුවිශේෂී නීතිමය අවශ්‍යතාවක් දක්වා ඇත. එයට අනුව, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා, රාජ්‍ය ආයතනයක කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන නිලධරයකු, මූල්‍ය ආයතන, කොටස් හුවමාරු ස්ථාන හෝ නියෝග මගින් නියම කරන වෙනත් යම් තැනැත්තෙක් හෝ රජයේ ආයතනයක් විසින් මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු ඉලෙක්ට්‍රොනික ආකෘතියකින් නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපැයීම හෝ ඉහත තැනැත්තන් හෝ ආයතන භාරයේ තිබෙන එවැනි වාර්තා වෙත කොමසාරිස් ජනරාල් වෙත ප්‍රවේශය ලබා දිය යුතුය. එම තොරතුරු අදාළ TIN අංකය හා සම්බන්ධ වීමෙන් ඒ ඒ තැනැත්තන්ගේ ආදායම් හා වත්කම් පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පහසු වේ. ඒ අනුව, මෙතෙක් තොරතුරු සොයාගෙන කළ බදු විගණන වෙනුවට තෙවැනි පාර්ශ්වයේ විශ්වසනීය සාක්ෂි සහිත තොරතුරු සමගින් සිදු කරන විගණන වෙත මාරු වීමක් සඳහා අවස්ථාව හිමි වේ.

ඉහත සඳහන් කළ සංශෝධන පනතින්ම තවත් සුවිශේෂී නීතිමය අවශ්‍යතාවක් හඳුන්වා දී ඇත. ප්‍රධාන පනතේ 10 වැනි වගන්තියට කළ මේ සංශෝධනය අනුව එක් දිනකදී, එක් අවස්ථාවක හෝ තනි ගනුදෙනුවක් සඳහා රුපියල් ලක්ෂ 5ක් හෝ එයට වැඩි මුදල් ප්‍රමාණයක් වෙනත් තැනැත්තෙක්ට ගෙවීමේදී එය ඉලෙක්ට්‍රොනිකව මාරු කිරීම, ආදායකයාගේ නමට පමණක් ලියන චෙක්පතකින් මුදල් ගෙවීම, ණයපතක්, හරපතක් හෝ බැංකු අණකරයක් මගින්ම කළ යුතු වේ. එසේ නොවේ නම්, බදුකරණයේදී අදාළ වියදම පිරිවැයක් ලෙස හෝ වත්කමේ පිරිවැයක් ලෙස අඩු කිරීමට අවස්ථාව හිමි නොවේ. මෙය මුදල් ගනුදෙනු අධෛර්යවත් කර, බැංකු ගනුදෙනු දිරිමත් කිරීමකි.

මෙලෙස විශේෂ නීති දේශීය ආදායම් පනත තුළට ගෙන එමින් වියදම්වලින් අති බහුතරය බැංකු හරහා කිරීමට පෙළඹවීමත්, එම මූල්‍ය ගනුදෙනු ඇතුළු වියදම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබාගැනීමට කටයුතු කිරීමත් සමග බදු පැහැර හැරීමට තිබෙන ඉඩකඩ සීමා සහිත වීමෙන් ඒ ඒ තැනැත්තන් ගෙවිය යුතු නියමිත බදු මුදල රජයට ලබාගත හැකි වනු ඇත. එලෙස ඍජු බදු ආදායම වර්ධනය වීම මගින් වක්‍ර බදු පීඩනය අවම කර අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත දුප්පත් ජනතාවට පවා ගෙවන බදු අඩු කිරීමේ හැකියාව ලැබේ. එයට අමතරව බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවන විට මෙතෙක් බදු ගෙවන ලද සුළු පිරිසේ බදු බර ද අවම කිරීමේ හැකියාව ලැබේ.

මේ නිසා නීතිගරුක වගකිව යුතු පුරවැසියන් විසින් TIN අංකයක් ලබා ගනිමින් තම තමන්ගේ දායකත්වය මේ සඳහා ලබා දීම ජාතික අවශ්‍යතාවකි.

පවතින බදු නීතිවලට අනුගත වීම පුරවැසියන්ගේ වගකීමක් වන බැවින්, විවිධ කටකතා හෝ බොරු ප්‍රචාරණවලට හසු වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගැනීම නීතිය ඉදිරියේ වරදක් වන අතර, ඒ සඳහා රුපියල් 50,000ක් දක්වා දඩයකට යටත් වීමට ප්‍රතිපාදන තිබුණත්, මේ අවස්ථාවේ එවැනි දඩ මුදලක් පැනවීමක් සිදු නොකෙරේ. කෙසේ වෙතත්, වගකිව යුතු පුරවැසියන් ලෙස නීතියට අනුගත වීම හැම අතින්ම සුදුසු වේ. විශේෂයෙන්ම, බදු ගෙවිය යුතු සියලු දෙනාම නිවැරැදි බදු මුදල ගෙවන විට එම බදු මුදල් භාවිත කර නාස්තිය හෝ දූෂණය සිදු කරන්නේ නම්, විශාල පිරිසක් එය ප්‍රශ්න කරනු ඇත. එවිට චෝදනා එල්ල වන දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද පරෙස්සම් විය යුතු බැවින්, මහජනතාව තුළ පවතින විරෝධය ද සමනය වී, වගකීමෙන් එහා ගිය සමාජ යුතුකමක් ලෙස සිතා බදු ගෙවීමට පෙළැඹෙනු ඇත. එම නිසා නීතියට එහා ගිය ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරගැනීමෙන් සහ නියමිත බදු ගෙවීමෙන් බදු බරක් දැරිය නොහැකි ජනතාවට ද රටට ද යහපතක්ම සිදුවනු ඇත.

 

(***)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
සහකාර කොමසාරිස්
සනත් හෙට්ටිආරච්චි