‘ටිකට්’ කතාවක් ඇසී මඟියා දුවන දුම්රියෙන් පැනලා
මොරටුව බලා ධාවනය වූ බලවේග කට්ටල දෙකක් සහිත ශීඝ‍්‍රගාමි දුම්රියකි. එය රාගමට ළඟාවන විට උදෑසන හයයි පනස් පහ පමණ විය. තම කාර්යාලවලට රාජකාරි සඳහා ගමන් ගන්නා බොහෝ අයගෙන් මෙම දුම්රිය පිරී තිබිණි. දුම්රිය පසුව හුණුපිටියේ ද, ඊළඟට කැලණියේ ද නවත්වන ලද අතර ඉන් අනතුරුව නැවැත්වූයේ දෙමටගොඩය.
බලවේග කට්ටල දෙකකින් යුක්ත වූ නිසා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී ඉදිරිපස දුම්රිය මැදිරි දෙකක් පමණ නැවැත්වීමට සිදුවූයේ දුම්රිය වේදිකාවද පසු කරමිනි. එම මැදිරිවල සිටි කාන්තාවන්ට බිමට බැසීමට සිදුවූයේ අන් අයගේ ද උපකාරයෙනි. දුම්රිය නියාමක මහතාගේ සංඥාවෙන් පසු දුම්රිය නැවතත් ධාවනය වන්නට විය.
එවිටම වාගේ ඉදිරිපස මැදිරියෙන් ”ටිකට් ටිකට් ටිකට් ටිකට්” යනුවෙන් හඬක් ඇසුණි. එවිටම සෙනඟ පිරී තිබු එම මැදිරියේ සිටි මගියකු දුම්රියෙන් බිමට පැන කඩාගෙන දුවන්නට විය. වාසනාවකට මගියාට අනතුරක් සිදු නොවීය. ”ටිකට්” යන හඬ දෙස බැලූ මගීන්ට දක්නට ලැබුණේ දෙමටගොඩින් දුම්රියට ගොඩවූ ලොතරැයි අලෙවිකරුවකු ලොතරැයි අලෙවි කරමින් ගමන් කරන බවය.

