හෝටලෙන් කා බී වේටර්ට දුන්න සන්තෝෂම පුතා අරන්


දකුණු පළාතේ ප‍්‍රසිද්ධ ආපන ශාලාවකට පසුගිය දා ප‍්‍රභූ මට්ටමේ පවුලක් නවීන මෝටර් රථයකින් ආවේ උදෑසන ආහාරය ගැනීමටය. මව, පියා අතදරුවකු හා වයස අවුරුදු හයක් තරම් වූ දරුවකු ද මෙහි විය.

දඟකාරයකු වූ ලොකු පුතා අමාරුවෙන් මෙල්ල කොට ගෙන කෑම කෑ ඔවුහු මුදල් ගෙවා රුපියල් පනහේ නෝට්ටුවක් වේටර්ගේ සන්තෝසම ලෙස බන්දේසියේ ඉතිරි කළේය.

වාහනයට ගොඩ වී මඳ දුරක් ගිය විට ලොකු පුතාගේ අතේ කිසිවක් මිට මොලවා ගෙන ඇති බව පියාට පෙනිණ. ඔහු ඒ පිළිබඳව විමසිලිමත් විය.

‘‘තාත්තට මේක අමතක වෙලානෙ ආවේ’ කියමින් පුතා රුපියල් පනහේ නෝට්ටුව පෙන්වූ විට පියාට තරු පෙනුනේ තමා වේටර් සඳහා තැබූ මුදල පුතා ආපසු රැගෙනමිට මොලවාගෙන සිටි බව තේරුම් ගත් නිසාය.