හෙළ සිරිත් ගැන කයිවාරු ගසා හැඳි ගෑරුප්පුවලින් කෑමකාලා


හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් බටහිර සිරිත් විරිත් මෙන්ම පුරුදු හෙළා දැකීමේ යෙදුණු වියතකු තම ගෝලබාලයන් ඉදිරිපිටදීම හැඳි ගෑරුප්පුවලින් ආහාර ගැනීමේ පුවතක් දිවයිනේ මුහුදුබඩ උත්සවශාලාවක දී දැකගත හැකිවිය.
ගම්බද වෙසෙන මේ වියතා හෙළ දෙස බස පෝෂණය කිරීමේ යෙදුණෙකි. ලෙඩකට දුකකට බෙහෙත් පෙත්තක්වත් නොබිව් ඔහු ඒ සඳහා භාවිත කළේ ද හෙළ ඔසු පමණය. නිතරම ගමේ වැසියන් මෙන්ම තම ගෝල බාලයන්ට ද හෙළ සිරිත් විරිත් ආදියේ වටිනාකම කියා දුන්නේය. ගෝල බාලයන් ඇතුළු පිරිසක් සමග ඔහු පසුගියදා, රට වටා සංචාරයක නිරත වූයේය. මේ යන ගමනේ දී ඔහුගේ පැරණි ගෝලයකු හමුවට මුහුදුබඩ නගරයකට ද ගියේය. මේ ගෝලයා ඒ නගරයේ ඉහළ තනතුරක් දරන්නකු විය.
කලින් කළ දැනුම් දීම මත, මේ පැරැුණි හෙළයා ගුරුතුමන් ඇතුළු පිරිසට දිවා ආහාරය සංවිධානය කරන්නට පියවර ගෙන තිබිණි.
සමාජයේ ඉහළ පෙළේ පිරිස් නිතර ගැවසෙන ස්ථානයක් මේ සඳහා තෝරා ගෙන තිබිණ. මුහුදු සුළං වදිමින් පිරිස දිවා ආහාරයට ගියහ. එහි සිරිත් අනුගමනය කරමින් කෑම සූදානම්කර තිබිණි. මේසය මත පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු පිළිවෙලට තබා තිබිණි. පිරිස වාඩි වූහ. කෑම බෙදාගත්හ. හැමදා හෙළ සිරිතට මුල්තැන දෙන කතානායකයාට සියල්ල අමතක විය. හැඳි ගෑරුප්පු දෑතට ගෙන තම කාර්යයේ නිරත වූයේ තමන් සමග ආ සෙසු පිරිස වික්‍ෂිප්තව බලා සිටියදීය.