සිංහ වෙස්ගත් ප‍්‍රභූ ආරක්‍ෂක අන්තිමේ බලූ කුක්කකු වෙලා
කොළඹ ප‍්‍රධාන රෝහලකි. අවේලාවේ පැමිණි මෝටර් රියක් වෛද්‍යවරුන්ගේ රථ ගාලේ නතර කළේ කිසිදු අවසරයක් නැතිවයි.
රෝහලේ ආරක්ෂක සේවකයකු වේගයෙන් එදෙසට දිව ගියේය.
‘‘මහත්තයා මෙතැන වාහන නවත්වන්න පුළුවන් දොස්තර මහත්වරුන්ට විතරයි. ලෙඩුන් බලන්න එන අයට වාහන නවත්වන්න තැනක් වෙන් කරලා තියනවා.” ආරක්ෂක භටයා කරුණු පැහැදිලි කළේය.
‘‘දන්නවද මං කවුද කියලා. මං ප‍්‍රභූ ආරක්ෂක නිලධාරියෙක්. මට මෙතැන වාහන නවත්වන්න කාගෙවත් අවසර ඕන නෑ,” යැයි පැවැසූ ඔහු ලෙඩෙක් බලන්නට රෝහල ඇතුළට යන්නට උත්සාහ කළේ ආරක්ෂක භටයාගේ වචන තඹේකටවත් මායිම් නොකරමිනි.
”මහත්තයා මේ ලෙඩුන් බලන වෙලාවක් නෙමෙයි. ඔබට යන්න දුන්නොත් අපේ රස්සාවත් ඉවරයි.” රෝහල් සේවකයා මග හරස් කරමින් පැවසීය.
යක්ෂාවේශ වූ ප‍්‍රභූ ආරක්ෂකයා, ”මං නවත්වන්න තමුන් කවුදැ” යි විමසා රෝහල් සේවකයාගේ කනට පහරක් ගැසීය.
ප‍්‍රභූ ආරක්ෂකයාගේ ඔරලෝසුව වැදී රෝහල් සේවකයාගේ කන තුවාල වී ලේ ගලන්නට විය. මේ කලබලය දුටු සෙසු රෝහල් සේවකයෝ ද, වෛද්‍යවරු ද එතැනට පැමිණියහ. සිංහ වෙස්ගෙන සිටි ප‍්‍රභූ ආරක්ෂකයා වෛද්‍යවරුන්ගේ සහ රෝහල් සේවකයන්ගේ විරෝධය හමුවේ අසරණ විය.
අවසානයේ මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කෙරිණි. පොලිසියට ගිය ප‍්‍රභූ ආරක්ෂකයා, ”මේක සමාදාන කරගනිමු. දුර දිග ගියොත් මගේ රස්සාවත් ඉවරයි,” කියමින් පින්සෙන්ඩු වන්නට විය.
පොලිසියේ දී සමාව ගත් ප‍්‍රභූ ආරක්ෂකයාට තුවාල ලැබූ රෝහල් සේවකයා වෙනුවෙන් රුපියල් 5000ක වන්දියක් ද ගෙවීමට සිදු විය.

