ශාන්තිකර්මයට ආ යකැදුරා ආතුරයාට බැල්මදාලා


ලස්සන තරුණියකි. පදිංචිය මැදරට ය. වයස අවුරුදු 19කි. විවාහ වී වසරකි. දරුවන් නැත. ඊට පිළියම් සොයා නොගිය තැනක් නැත. බස්නාහිර පළාතේ හොඳ ඇදුරකු සිටින බව ආරංචි වූයේ ඒ අතරය. ඔහුගේ ශාන්තිකර්මයෙන් හරියටම දරුවකු ලබාගත හැකි බව කියැවිණි. නෑයෙක් ඇදුරා සොයා ගියේය. ඇදුරා එක පයින්ම ඊට එකඟ විය. ඇදුරා ලෙඩා ළඟට ගොස් ශාන්තිකර්මය කරන බව කීවේය. ගාස්තුව රුපියල් 25,000කි. රැය පුරා මැතිරීම් කරන්නට සිදුවන බව කීවේය. ඒ සඳහා කළමනා ලැයිස්තුවක් ද ඔහුගෙන් ලැබිණි. යන්තරයක් පැළඳීම ශාන්තිකර්මයේ එක් අංගයකි. නියම කරගත් දවසේ ඇදුරා ගෙදරට ආවේය. ගෙදර කිහිප දෙනකු ශාන්තිකර්මය පටන් ගත්තේය. පැය කිහිපයක් නොයෙකුත් මන්තර කීවේය. දෙහි කැපුවේය. දුම්මල ඇල්ලූවේය. ශාන්තිකර්මයේ දෙවැනි පියවර උදාවිය. එවිට වේලාව මැදියම් රැයට ආසන්න වී තිබිණි. ලෙඩා තනි කළ යුතු බව වැඩිහිටියන්ට දැන්වීය. ආතුරයා ඊට කැමැති නොවීය. එහෙනම් ශාන්ති කර්මය කරන්න බැරි යැයි යකැදුරා කීවේය. ගෙදර අයගේ බලපෑම මත තරුණිය ඊට එකඟ විය. දැන් ගෙදර සිටිනුයේ යකැදුරාත් තරුණියත් පමණි. යකැදුරා මතුරන හඬ ඇසේ. යකැදුරා සිතූ දේ කරගන්නට ආතුරයාගෙන් ඉඩක් නොලැබිණි. අන්තිමේදී ඔහු මහ රෑම ගෙදරින් එළියට බැස්සේය. පොරොන්දු වූ මුදල ද ඔහුට අහිමි විය. යකැදුරා ගිය පසු නෑයෝ කාන්තාව සොයා ආහ. ඇය මොනවදෝ කියවමින් සිටියාය. ඇයට ආරූඩයක් වී ඇතැයි එහි ආ ඇතැමෙක් කීය. මළගිය ප‍්‍රාණකාරයකු වැහිලා යැයි තව කෙනෙකු කීය. යකැදුරාත් සොයා ගැනීමට නැත. යකැදුරා සොයා දුන් කත ද සොයා ගැනීමට නැත.